නිවස > සැරිසර > වන අරණක අසිරිය ~ කිතුල්ගල

වන අරණක අසිරිය ~ කිතුල්ගල

බොහෝ දෙනා කිතුල්ගල යන්නෙ ඔරු පදින්න. ඒකත් නරක නැහැ, සෑහෙන පිරිසක් ඉන්නවනම්. නමුත් අපට කිතුල්ගල යන්න ඕන වුණේ කුරුල්ලො බලන්න.

ඉතින් අන්තර්ජාලය පීරලා හොයා ගත්තා නවාතැනක්; හොයා ගත්තා පාර; ගියා.

හැබැයි ඉතින් හදිසියෙ දා ගත්ත ගමනක්නෙ. අදාළ නවාතැනට ගියාම එතන ඉන්න ටිකක් බය හිතුණා. ඒ නිසා ආපහු හැරිල ගියා හෝටල් සංස්ථාවෙ නවාතැනට. එතන පිටුපසින් කැළණි නදියෙ ජල ධාරාව. හෝ නාදය එක දිගට. ඊට එහා වනය. පුදුම ලස්සනක්.

අපට ඕනෙ වුණේ උදෙන්ම පිටත් වෙලා කැලයට යන්න- මොකද, එහෙම නැතුව කුරුල්ලො බලන්න බැහැ. නමුත් අපට සැප……ට නින්ද ගියා. ඇරත් නවාතැනේ කෑම දෙන්නෙ 7.30ට. නොකා කැලේ යන්නත් හිත නෑ. නවාතැනේ අයම කතා කරල දුන්නා ගමේ තරුණයෙක් අපට මග පෙන්වන්න. අන්තිමට ගමනට පිටත් වෙනකොට 8.30 විතර වෙලා.

අපි එතනින්ම බැස්සා ගඟට. ගඟ හරහා කුඩා ඔරුවකින් තමයි මිනිසුන් එහා මෙහා යන්නෙ. එය බලා හිටින්න අපූරු දසුනක්. තොටියා පළමුව ගං ඉවුර දිගේ කෙළින්ම ඉහළට ඔරුව පදිනවා; ඉන් පස්සෙ තමයි ගඟ මැදට හරවන්නෙ. ගඟේ දිය පහරත් සමඟ ඔරුව පාවෙලා පහළට යන අතරෙ ඔහු අපූරුවට ඔරුව යොමු කරනවා එහා ඉවුරට. මේ ගඟ හරහාම තමා විනෝදය පිණිස ඔරු පදින්නෙත්. ඒ අය එනකොට මෙ ඔරු අයින් කර ගන්නවලු.

ගඟෙන් එගොඩ වෙලා ගම මැදින් ගිහින් අපි ආවා මාකන්දාව සංරක්ෂිතයට. එතැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් තිබුණත් තවම ප්‍රවේශ පත්‍ර දීමක් අරඹලා තිබුණෙ නෑ. එතැන හිටි නිලධාරියා පොඩි සද්දයක් දැම්මා අපව එක්කගෙන ගිය තරුණයට: “කියල තියෙනව නේද? ඔහොම එක්ක එන්න බෑ; අවසර ගන්න ඕනෙ කොළඹින්..” ඊට පස්සෙ අපිට හිනාවකින් සංග්‍රහ කළා. ඒත් අපිනම් හිනාවකට වඩා සංග්‍රහයක් කළේ නෑ. අපේ මාර්ගෝපදේශකයා මොන මොනවාදෝ කිවු පසු අපට වනයට යාමට අවසර ලැබුණා.

අපි යන වෙලාව වෙනකොට කුරුල්ලො හැංගිලා. තැනින් තැන කුරුලු  නාද ඇහුණත් හොඳින් නිරීක්ෂණය කරන්න ලැබුනෙ නෑ. අපේ තරුණයත් කුරුළු වර්ග නමින් දැන සිටියේ ඉතා ස්වල්පයයි.

උස් ගසින් පිරි වනය මැද තැනින් තැන දොළ පහරවල්. මේවා පසු කරමින් අපි ගියේ මකුළු ඇල්ල බලන්නයි. එය සුන්දර දිය ඇල්ලක්. නමුත් වෙනත් වැසි වනාන්තරවල වගේම මාකන්දාව රක්ෂිතයත් කූඩැල්ලන්ගේ කෙළිබිමක්. එකෙක් අරන් දානකොට දහයක් උඩට නැගල මූණ බලනවා. දිය ඇල්ල බලල ආපසු එම මාර්ගයේම ඇවිත්, ඊළඟ මං පෙතට හැරුණා විතරයි, මගේ ගමන් සගයාගේ කූඩැල්ලන් දරා ගැනීමේ සීමාව ඉක්මවා ගියා. “ඔයාට ඕනෙනම් යන්න” කියල ඔහු ආ පාර දිගේම දිව්වා වනයෙන් එළියට!

වනයේ තවත් රවුමක් ගියත් කූඩැල්ලන් හැර වෙනත් සතෙක් දැකීමේ වාසනාව මට අහිමි වුණා. නමුත් මේ වනය පිස එන මඳ සුළඟ විඳිමින්, තුරුලතාවල සුවඳ විඳිමින් යන මට එය ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මගේ මාර්ගෝපදේශක තරුණයටනම් එය හිතට වදයක් වුණා. එ නිසා ඔහු යෝජනා කළා වනය මැදින් ඔහුගේ ගමට යන්න- වනයේ වෙසෙන වලි කුකුළන් රංචුවක් දවසකට වරක් දෙකක් ගමට එනවලු. ඔහුට ඕනෙ වුණේ මට අඩු ගානෙ කුකුළෙක්වත් පෙන්නන්නයි. මටත් ඇවිදින්න ආස නිසා ඒ රවුමත් ගිය නමුත් මයිනන්, කහ කුරුල්ලන් හා ගිරවුන් මිස වලි කුකුළන්නම් දකින්නට වුණේ නෑ.

ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ බවට සැළකෙන බෙලි ලෙන ඇත්තේ කිතුල්ගල කිට්ටුව නමුත් කූඩැල්ලන් නිසා සසර කළකිරී හිටි මගේ ගමන් සගයා මගට බැස ඇවිදීම තරයේ ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඒ ගමන අතහැර දමන්නට මට සිදු වුණා.

About these ads
Categories: සැරිසර
  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 1:45 ට | #1

    එකම පාරයි කිතුල්ගල ගියේ, ඒකත් ඉතින් නාන්ට තමයි

  2. නුවා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 10:43 ට | #3

    ඇයි අක්කේ කුඩල්ලෝ මේස් අරන් ගියේ නැද්ද? :D

  3. චන්දිමා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 11:19 ට | #4

    නෑනෙ. :(

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 84 other followers

%d bloggers like this: