රෝමියෝ ජූලියට් වගේ…

දින කිහිපයකට උඩදි බස් රථයක ගමන් ගනිමින් ඉඳිද්දි අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. බස් රථයේ මා ඉඳගෙන සිටි අසුන අසලම හිටගෙන උන්නු පාසල් සිසුවියන් දෙදෙනෙක් (9 වසරෙ හෝ 10 වසරෙ විතර ඇති මේ දෙන්නා) අතර ඇතිවුණු සංවාදයක්, ගමනාන්තය දක්වාම මාව කල්පනාවක නිමග්න කරලා තියන්න සමත් වුනා කීවොත් වඩාත් නිවැරදියි. බස් එකේ සෙනඟ මැද උනත් මේ දෙන්නා කතා වෙමින් හිටියෙ ඔවුන් හඳුනන පෙම්වතුන් යුවළක් ගැන. කවුරු මොනවා කොහේදි කතා කලත් අපිට ඒවයින් පලක් නැති බව ඇත්ත. නමුත් මේ සංවාදයට මගේ හිත යොමුවුණේ එක් සිසුවියක් කියූ වදන් පෙලක් නිසා. ඒ තමයි ඔවුන්ගේ සංවාදයේ මාතෘකාව වී සිටි පෙම්වතුන් යුවළ, රෝමියෝ ජූලියට් වගේ කියලා ඇය පැවසීම. අපොයි දෙවියනේ…. උන් දෙන්නා ආදරය කරන්න ගිහින් මලානෙ :|

ආදරවන්තයන්ව රෝමියෝ ජූලියට්ට සමාන කරන කිසි කෙනෙක් එහෙම කරන්නෙ අකල් මරණයක් ගැන හිතාගෙන නෙමෙයි. බ්‍රිතාන්‍ය ජාතික නට්‍යවේදී විලියම් ශේක්ෂ්පියර්ගෙ රෝමියෝ ජූලියට් නම් වේදිකා නාට්‍යය, වසර සිය ගණනක් ගතවෙලත් අදටත් ප්‍රේක්ෂකයා ආදරයෙන් රසවිඳිනවා. බල තණ්හාව, පන්ති අරගලය හා වංශාධිපතියන්ගේ මාන්නය අතරට මැදිවුණු යොවුන් වියේ ප්‍රේමයක ඛේදාන්තය යන තේමාවන් උක්ත කරගෙන ගොඩනැගුණු මෙම කතාවේ එන රෝමියෝ සහ ජූලියට් කියන්නෙ ලෝකය ගැන දැනුමෙන් සහ අත්දැකීමෙන් මුහුකුරා නොගිය නිසා බාල වයසේම හදිසි තීරණ ගන්න ගිහින් ජීවිතය නැතිකරගත්තු ළමයි දෙන්නෙක් විතරයි. ආදරයේ නාමයෙන් මැරුණයි කීවට, මෙම ප්‍රබන්ධය උනත් සිහි නුවණින් පරිශීලනය කරලා බලනකොට, රෝමියෝ සහ ජූලියට් හදිස්සි වෙලා තීරණ ගනිද්දි, ආදරය කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්නවත් බැරි ළාබාල වයසක ඔවුන් සිටි බව වැටහේවි.

අනේ ඉතින් එහෙම දෙන්නෙකුට තමා අද අපේ තරුණ පරපුර ආදරවන්තයන්ව සමාන කරන්නෙ. අද කාලෙ ආදරය කරනවයි කියන බොහෝදෙනා දුරදිග නොබලා ගන්න ලාමක තීරණ හා ක්‍රියාමාර්ග දිහා බලද්දි, ආදරවන්තයන් හා රෝමියෝ ජූලියට් අතර සමාන කමක් නැත්තෙත් නැහැ වගෙයි. ආදරවන්තයන්ව රෝමියෝ ජූලියට්ට සමාන කරන බොහෝදෙනා ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජූලියට් කතාව හරියට කියවපු අය නෙමෙයි. මෙහි තියෙන අවාසනාවන්තම තත්වය තමයි ආදරය වෙනුවෙන් දිවිනසා ගැනීම මහා ලොකු වීරකමක් හැටියට මාධ්‍ය මගින් පවා උලුප්පා දීම. වත්මන් පරපුරේ තරුණ තරුණියන් පොඩ්ඩක් ඇත්නම් වහ බොන්න, ගෙලවැලලා ගන්න හෝ කන්දකින් පනින්න පෙළඹීම හා මෙම රෝමියෝ ජූලියට් වීරයන් ලෙස හුවා දැක්වීම අතර වක්‍රාකාරව හෝ සම්බන්ධයක් ඇතැයි අපට සිතේ. නිර්මාණයක ඇතැම් කොටස් උලුප්පා දක්වමින්, සමාජයට අහිතකර අදහස් තරුණ පරපුර අතර පතුරුවා හැරීම තදින්ම විවේචනයට ලක්විය යුතු කාරණයක්. ප්‍රාණඝාතය මහා අකුසලයක් ලෙස සලකන බොදු රටක, බුද්ධියෙන් විමසා කටයුතු කරන්න උපදෙස් දුන් බුදුවරයෙකුගේ මග යන සමාජයක, ආදරය හෙවත් (කලින් ලිපියක කතා කල පරිදි ආදරය යනු තෘෂ්ණාවේම කොටසකි) තෘෂ්ණාව හේතුවෙන් ජීවිතය නැතිකරගැනීම වැනි කොන්ද පණ නැති වැඩකට වීරත්වයක් ආරූඩ කිරීම පිළිකුල් සහගත වැඩක් ලෙස අපි දකිමු.

ඉතින්… සියළු බාධක බිඳගෙන ආදරය ජයගන්නවට වඩා… අමාරුවෙන් ලබාගත්තු මිනිසත් බව ආදරයෙ නාමයෙන් නැතිකරගන්න එක වීරකමක් හැටියට සලකන්න අද කාලෙ ළමයින් පුරුදුවෙලා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නෙ තරුණ පරපුරේ වරදින්ම නෙමෙයි කියලා කියන්නත් අපි කැමතියි. වැඩිහිටියො වගේම මාධ්‍ය මගිනුත් නිවැරදි මාවත පෙන්වනව නම් කවුරුත් ජීවිතයක අරුත සහ වටිනාකම හඳුනාගන්න ඉගෙන ගනීවි. ආදරය වෙනුවෙන් පණ උනත් දෙනවයි කියන අදහසේ ලොකු වරදක් මෙන්ම මෝඩකමක් ගැබ්ව තියෙනවා.  කෙනෙකුට හරි තීරණයක් ගන්න බුද්ධිය අවශ්‍යයි. කෙනෙක් බුද්ධිමත් වෙන්න දැනුම අවශ්‍යයි, ජීවිතයට අත්දැකීම් එකතු කරගෙන තිබීම අවශ්‍යයි… පාසල් යන ළමයින්ට පෙම් හබ වලට පැටලෙන්න එපා කියල වැඩිහිටියො උනත් නිතර කියන්නෙ තරහකට, ඉරිසියාවකට හෝ නූගත් කමකට නෙමෙයි…. ආදරයට.

  1. 2011 සැප්තැම්බර් 18 දින ප.ව. 8:29 ට | #1

    perfect !!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 64 other followers