සංඛපාල විහාරය – සැරිසර වාර්තා
රත්නපුර, කහවත්ත, මාදම්පෙ පහු කරගෙන, පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ රුහුණු රට පල්ලෙබැද්ද ප්‍රදේශයට යද්දි, කොළඹගේ ආරට නුදුරුව මාවතේ වම් පසින් හමුවෙන විහාරස්ථානය සංඛපාල විහාරය නම් වෙනවා. පැය කිහිපයක් එකදිගට වෑන් රථයේ ගමන් කිරීම නිසා ඇතිවුණු ගමන් මහන්සිය නිසාත්, එතෙක් සංඛපාල විහාරයට නොගිය දෙදෙනෙක් අප අතර සිටි නිසාත් සංඛපාල විහාරයේ මඳකට නවතින්නට තීරණය වුණා මිස එම ප්‍රදේශයේ අතීත විභූතිය කියා පාන තොරතුරු සොයමින් පරිසරයේ සැරිසරකට පෙර සූදානමක් අප වෙත තිබුණෙ නැහැ.
විහාර භූමියේ වටපිටාව අපි හැමදාමත් සැරිසරන්නට ප්‍රිය කරන නිහඬ, නිස්කලංක පරිසරයෙන් සමන්විත වුණා. විහාරයට පිවිසෙත්ම හිතේ නැගෙන දහසකුත් සිතුවිලි මොහොතකට නතර වෙන්නෙ පරිසරයේ අපූර්වත්වය විඳින්න මනසට ඉඩදෙන ගමන්. පියගැටපෙල මතින් විහාර මළුවට යද්දි හමුවෙන ගල් කුළු වලට වාරු වෙලා තුරු සෙවණේ මොහොතක් නැවතුණ අපේ කතාබහට පාදක වුණේ මෙම විහාරස්ථානයේ අතීත කතාවයි.
දුටුගැමුණු රජතුමාගෙ සේනාවෙ හිටපු ඵුස්සදේව යෝධයාට අයත් වෙලා තිබුණු සංඛය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කලේ ඵුස්සදේව යෝධයා බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ඵුස්සදේව විසින් පර්වතයේ ඉහලට ගල් පඩිපෙලක් කපමින් ගොස්, හක් ගෙඩිය තැන්පත් කළ බව බොහෝදෙනා අතර ප්‍රසිද්ධ කතාවක්. සංඛය තවමත් මෙහි තිබෙන බව පැවසෙන විවිධ කතාන්දරත් ජනවහරේ විරල නැහැ. කෙසේ වෙතත් මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශය ඵුස්සදේව යෝධයාට ගම්වරයක් ලෙස දුටුගැමුණු රජතුමා ප්‍රදානය කළ වග සඳහන් වෙනවා. ඒ වගේම ඵුස්සදේව යෝධයා භික්ෂු ජීවිතයට ඇතුලත් වෙලා අර්හත් ඵලය ලද බවත් ජනවහරේ වගේම වංශකතාවලත් සඳහන්. විහාරස්ථානය ඇතුලෙ ඵුස්සදේව යෝධයාගෙ ජීවිතයේ විවිධ අවස්ථා සිතුවම් කරලා තියෙන හැටිත් සිත් ගන්නා සුළුයි.
මේ මනස්කාන්ත පරිසරයේ හෝරා දෙකක් පමණ ගත කරද්දි දක්නට ලැබුණු, නිරීක්ෂණය කළ දේවල් අතරින් හක්ගෙඩි ගල, විහාරගෙයි බිතු සිතුවම්, රාජාධි රාජසිංහ රජ සමයේ විසූ කරතොට ධම්මාරාම තෙරුන් වදාල කවි සහ කටාරම් කෙටූ ඉපැරණි සෙල්ලිපිය විශේෂ තැනක් ගත්තා. තුරු සෙවණට වී අවට සිරි නරඹමින් ඉන්න අතරෙ, විහාරයට පැමිණෙන බැතිමතුන්ගෙන් බොහෝ දෙනා හක්ගෙඩියක සලකුණ සටහන් කර ඇති ගල දෙස උනන්දුවෙන් මෙන්ම විමතියෙන් බලමින් ඒ ගැන කතා කරන අයුරු දක්නට ලැබුණා. එකත් එකටම ඒ කතාවෙන්නෙ ඵුස්සදේව යෝධයාගෙ සංඛය ගැන ජනප්‍රවාද වෙන්නට ඕනෙ.
ගිරිකුල ඉහලටම යන්නට අදහසක් තිබුණත්, හිරු අවරට යමින් කාල වේලාව පිළිබඳ ගැටළු ඇතිකරමින් සිටියා. ඒ අතරම මාර්ගයේ ඉහලට යද්දි දෙබර ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක්ද පවතින බව අසන්නට ලැබුණු නිසා තවත් දිනෙක මෙහි පැමිණෙන බලාපොරොත්තුවෙන් සංඛපාල විහාරයේ සැරිසරට අනාගතයෙන් ඉඩක් වෙන්කරන්නට තීරණය කෙරුණා.
නාගරික පරිසරයේ එදිනෙදා හමුවෙන කොන්ක්‍රීට් වනාන්තර, වාහන තදබදය හා ඝෝෂාවන් නිසා හෙම්බත් වෙන මනස සුවපත් කරන්නට නිස්කලංක පරිසරයක ගෙවෙන හෝරා දෙකක් නොසෑහෙන තරම්. තත්වය එසේ වුවත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරමින් අපි නැවතත් පුරුදු ජීවන චක්‍රයට අවතිර්ණ වෙන බලාපොරොත්තුවෙන් පියගැටපෙල බහින්නට පටන් ගත්තෙ, බැතිමත් බෞද්ධයන් ගැවසෙන ශාන්තවූ පරිසරයක වෙසෙමින්, ඉතිහාසය හා අපේ උරුමය ගැන සාකච්ඡා කළ දැනුමින් පෝෂණය වූ අපූරු හෝරා දෙකක මිහිරි මතකයන් ජීවිතයට එක්කරගෙනයි.












සුන්දර ඡායාරූප සමග වටිනා ලිපියක්. මමත් හරි ආසාවෙන් ඉන්නවා සංඛපාල විහාරය බලන්න යන්න. තව ටික දවසක් යනකොට කාලකන්නි නිදන් හොරු මේ සේරම විනාස කරලා දානවා.