නිවස > බුදු දහම > සමාජ සංස්ථාව තුල පවුලක සමගිය

සමාජ සංස්ථාව තුල පවුලක සමගිය

සමගියෙන් වෙළුණ සමාජය රටට සම්පතකි. සමගියෙන් යුතු පවුල සමාජයට වාසනාවකි. සමගි සම්පන්න රට ලෝකයටම ආදර්ශයකි. එවන් පවුලක්, සමාජයක්, රටක් නිර්මාණය කිරීම සඳහා වූ ප‍්‍රතිපත්ති මාලාවක් සම්බුද්ධ දේශනාවෙහි අන්තර්ගතය.

ලිච්ඡවි රජ දරුවන් වෙනුවෙන් දේශිත සප්ත අපරිහානීය ධර්මයන්ට එහි දී ප‍්‍රධාන තැනක් හිමි වේ. සමගියෙන් රැස්ව සමගියෙන් කටයුතු කොට විසිර යන්නා සේම නොපැනවූ නීති නොපැන වීමත්, පැනවූ නීති කඩ නොකොට ආරක්ෂා කිරීමත් සමාජයක් විනාශය කරා යාමෙන් වැළකීමට සමත් ය.

තම පවුල් ජීවිතයේ ඇතිවන්නා වූ බොහෝ ගැටලු විසඳා ගත නොහී තත්ත්වයේ සිටිනා පවුල් අප රටේ හා සමාජයේ අප්‍රමාණය. කෙනෙක් ජීවිතය ගැන කළකිරීමෙනි. ජීවත් වෙම්දෝ, නොවෙම්දෝ යි තවත් කෙනෙක් අපේක්ෂා භංගත්වයෙනි. මේ ගැටලුවලට දුප්පත් පොහොසත් භේදයක් නැත. උගත් නූගත් වෙනසක් ද නැත. බොහෝ ප‍්‍රශ්න එකකට එකක් සමාන වීම ද සුවිශේෂී ය.

“ මගේ බිරිය දැන් හොඳටම වෙනස් වෙලා. විවාහයට පෙර අපි අතර ගැටුමක් තිබුණේ නෑ. අනාගතය සැලැසුම් කළේ අපි දෙදෙනාම අපහසුවට පත් නොවෙන විදිහටයි. ඒත් දැන් එක එක නීති දමමින් මා අපහසුවට පත් කරනවා. විවාහයට පෙර විහිළුවටවත් නොකියූ දේ පවසමින් මා පාලනය කරන්නට උත්සාහ කරනවා. මේ නීතිවලින් දැන් මා සිරවෙලා. අම්මට, තාත්තට, සහෝදරයන් සලකන්න විදිහක් නෑ. මගේ ජීවිතයම අපායක් වෙලා.”

බොහෝ සැමියන් මෙන්ම බිරින්දෑවරුන් ගේ ද ගැටලු මෙලෙසින්ය. විවාහයට පෙර නොපැනවූ නීති පැනවීමට යාමෙන් මෙවන් අසහනකාරී තත්ත්වයන් උදාවන බව පැහැදිලිය. විවාහයට පෙර මේ මේ දෙය මෙලෙස කළ යුතු යැයි, මුහුණ දෙන ගැටලු දෙදෙනාම සහයෝගයෙන් විසඳා ගත යුතු යැයි ගිවිසුමකට එළැඹියේ නම් විවාහයෙන් පසු ඔහු හෝ ඇය කිසි කලෙක ඒ ගිවිසුම් කඩ නොකරන්නට ද වග බලාගත යුතුය. කැපවිය යුතු ය. ඇඳුම් පැළඳුම්, කතා බහ, හැසිරීම්, මිල මුදල් පාලනය ආදි වූ මේ සෑම ක්ෂේත‍්‍රයක දී ම දෙදෙනා ගේම එකඟතාවක් පැවැතීම වැදගත් ය. සාර්ථක ගෘහ ජීවිතයක් ගත කළ හැකි වන්නේ එවිට ය.

බොහෝ කාන්තාවන් විවාහයට පෙර තම පෙම්වතුන් ගේ මවුපියන් දෙවිවරුන් හා සලකති. පුරුෂයන් ද එලෙස ය. කෑමෙන් බීමෙන්, ඇඳුම් පැළඳුම්වලින් පමණක් නොව මිල මුදලින් ද ඔවුනට උපකාර කරති. විවාහපේක්ෂිත පුද්ගලයන් ද ඒ සඳහා උනන්දු කරවති.

මෙලෙසින් වැඩිහිටියන් කෙරේ ගරු බුහුමන් දක්වන ඒ කාන්තාවම, නැතහොත් ඒ පිරිමියාම විවාහයෙන් මාස දෙක තුන ගත වෙත්ම මවුපියන් දුරස් කරන්නට පෙළඹීම දැකිය හැකිය. ඉඳුම් හිටුම් කෑම බීම පසෙක තබා ලෙඩකට දුකකට හෝ නොබලන්නට තරම් ඔවුන් ගුණමකුය. මේ සමාජයේ බොහෝ දූ දරුවන් ගේ සැබෑ තත්ත්වය මෙලෙසය.

මෙවැනි අවස්ථාවක දී සැමියා සහ බිරිය අතර ගැටුම් ඇතිවීම, මවුපියන් සහ දරුවන් අතර විරසකකම් ඇතිවීම ස්වාභාවිකය. ගෘහ ජීවිතයේ සාර්ථකත්වය බලාපොරොත්තු වන කාන්තා පිරිමි දෙපාර්ශ්වයම මේ කරුණ සිහියේ තබා ගැනීම වැදගත්ය. ජීවිතයේ මුහුණ දෙන්නා වූ විවිධ අවස්ථා පිළිබඳව විවාහයට පෙර යම් ප‍්‍රතිපත්ති වූයේ නම් ඒ ප‍්‍රතිපත්ති සමූහය පටු සිතිවිලි මත පදනම් වී වෙනස් නොකළ යුතුය.

යම් එකඟතාවයක් වෙනසකට ලක් කරන්නේ නම් දෙදෙනා කෙරෙහිම ඒ වෙනස පිළිබඳව ද එකඟතාවක් පැවැතීම අනිවාර්යය. පවුලක මව සහ පියා යන දෙදෙනාම, එක් අයකු ගේ උවමනාව මත නව නීති හඳුන්වා දීම හෝ පවතින නීති කඩ කරන්නේ නම් නිසැකවම ඒ පවුලෙහි අසමගිය වර්ධනය වේ. රණ්ඩු සරුවල් ඇති වේ. එකිනෙකා නීතියෙන් වෙන්වීම දක්වා මේ අඬ දබර දුර දිග යාමට පුළුවන.

නොපැනවූ නීති නොපනවන්නා සේම පැනවූ නීති කඩ නොකර ආරක්ෂා කිරීම ද මවුපියන් ගේ වගකීමකි. පවුලක සතුට, සමගිය ඇතිවන්නේ අඹු සැමියන් එකිනෙකාට විශ්වසනීය වූ කල්හිය. විශ්වාසය, බිඳී ගිය තැන සතුට රඳා පවතින්නේ නැත. නිවෙසක මවුපියන් නීති ගරුක නම්, විනය ගරුක නම් දරුවන් ද ඒ මග යති. තම දරුවාට නොබියව, නොපැකිළිව ගුරුහරුකම්, හොඳ නොහොඳත් කියා දිය හැකි වන්නේ මව සහ පියා නිසි මග යන්නේ නම් පමණි.

යම් යම් අවස්ථාවන් හිදී නව නීති රීති හඳුන්වා දීමට සිදුවීම පවුලකට පමණක් සීමා වන්නේ නැත. ආයතනයකට, රටකට, සමාජයකට අලුත් නීති ගෙන ඒමට සිදුවීම ස්වභාවිකය. එහි දී ගෙනෙන යෝජනා, නීති රීති, ප‍්‍රතිපත්ති නිසා එකී සමාජයේ එකිනෙකා අතර විශ්වාසය පළුදු නොවීමට වග බලා ගත යුතුය. තම දරු පවුල ගැන හෝ වේවා, සේවය කරන ආයතනය හෝ වේවා, සමස්ත සමාජය පිළිබඳව හෝ වේවා මෙතෙක් පැවැති ක‍්‍රමය වෙනස් කොට අලුත් යෝජනා හඳුන්වා දෙන පුද්ගලයා සිය කාර්ය ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් ඉටු කිරීම වැදගත් ය.

තමා ගේ යෝජනා සමාජය කිසිවකු තලා පෙළා නොදැමිය යුතුය. කිසිවෙක් අපහසුතාවයට පත් නොකරන්නා සේම පොදුවේ සියලු දෙනාටම සර්ව සාධාරණ විය යුතුය. එවැනි පසුබිමක ගැටලු නිර්මාණය වන්නේ නැත.

ආයතනයක නම් සිය සේවකයන්ට තෘප්තිමත් මනසකින් වැඩ කිරීමට ඉඩ සැලසීම එහි දියුණුවට හේතු වේ. සමහර ආයතනයන්හි සේවක සේවිකාවන් වැඩ කරන්නේ කවර මොහොතක තම රැකියාව අහිමි වේ දැයි බියෙනි. ප‍්‍රධානීන් නව නීති හඳුන්වා දෙමින් හිතුමතේ ඒවා කි‍්‍රයාවට නැඟීම තම රාජකාරියට බාධා වී ඇතැයි සේවකයින් ගේ මතයයි.

මෙහි දී සිදුවන්නේ කුමක් ද? වැඩ බිමක කාර්යක්ෂමතාව බිඳ වැටීමය. එකිනෙකා අතර මානසික අසහනය වර්ධනය වී, සාමුහික එකඟතාව නැති වී යාමය. අතීශය ද්වේශ සහගත ලෙස කටයුතු කිරීම නිසා ආයතනය පරිහානියට ගමන් කිරීමය. අප ජීවත්වන සමාජයේ මෙවැනි අවස්ථා සඳහා කොතෙකුත් නිදසුන් ඇත.

රාජ්‍යයක් ගොඩනැගීමේ දී ඒ සඳහා වූ ව්‍යවස්ථා, නීති රීති හඳුන්වා දීම සුවිශේෂි ලක්ෂණයකි. එහි නීති රීති හඳුන්වා දී ම බහුතර ජනතාව ගේ කැමැත්තෙන් පවරා ගනු ලැබු මන්තී‍්‍රවරුන් ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ. එම නීති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට උචිත දැයි සොයා බැලීම සඳහා අධිකරණය නම් වූ ආයතනයක් හඳුන්වා දී තිබේ. මේ අනුව ඕනෑම රාජ්‍යයක නීති රීති සමූහයක්, එකඟතා සමූහයක් පවතින බව අපට පැහැදිලිය.

එය බුද්ධ කාලීන භාරතයේ ලිච්ඡවීන් විසින් පාලනය කළ රාජ්‍යයෙ හි ද දැකගත හැකි වුණි. සිය රාජ්‍යයේ පරිහානිය වැළැක්වීම සඳහා, රාජ්‍ය සමගිය බිඳ වැටීම වැළැක්වීම සඳහා ගෙන ගිය ප‍්‍රධානතම ප‍්‍රතිපත්තිය වූයේ නොපැනවූ නීති නොපැනවීමය. පැන වූ නීතියක් වේ නම් ඊට ගරු කරමින් ආරක්ෂා කිරීම ය. මෙය ඉතා උසස් ප‍්‍රතිපත්තියක් බව මහා පරිනිබ්බාණ සූත‍්‍රයෙහි ‘සප්ත අපරිහානීය ධර්ම පිළිබඳව කළ විවරණයේ සඳහන් වේ.

සම්බුද්ධ ශාසනයේ ඇති වීමට ගිය බරපතළ ව්‍යසනකාරී තත්ත්වයන් වළකාගන්නට ද මේ ප‍්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළ බව බෞද්ධ ඉතිහාසය විමසීමේ දී පැහැදිලි වේ. බුදු සසුනේ පැවැත්ම රඳා තිබෙන්නේ විනය මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

බුදු සසුනේ චිරාත් කාලීන දියුණුව, රඳා පැවැත්ම, ආරක්ෂාව යන මේ සියල්ල තීරණය වන්නේ භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙහි විනයානුකූල බව මත ය. එනම් බුදුරජාණන් වහන්සේ විසින් ප‍්‍රාතිමෝක්ෂයේදී මේ සිව්වනක් පිරිස උදෙසා පනවන ලද විනය ශික්ෂා පද මත පිහිටා සිටින තාක් බුදු සසුන පරිහානියට පත් නොවන බව උන්වහන්සේ දේශනා කොට වදාළහ. මෙය අනාගතයෙහි සිදුවිය හැකි යථාර්ථය මනාව අවබෝධ කරගත් උතුම් ගුරුවරයකු ගේ මඟ පෙන්වීමකි.

රටක දුරාතීතයේ සිට ගොඩ නඟා ගත් නීති රීති පද්ධතියක් ඇත.

එය ආරක්ෂා කිරිමට රාජ්‍ය නායකයින් ඇතුළු පොදු මහජනතාව කැපවිය යුතුය. එවිට රටවැසියන් අතර අලුතෙන් භේද භින්නතා ඇතිවන්නේ නැත. මෙහි දී ඔබට ගැටලුවක් පැන නැගීමට පුළුවන. එනම් නූතනයේ ඇතිවන ගැටලු මඟ හරවා ගැනීම සඳහා ඉතා පැරැණි ව්‍යවස්ථා මත පදනම් වී, පැරැණි නීති ග‍්‍රන්ථවලට අනුව කටයුතු කිරීමෙන් හැකිවේ ද යන්න ය.

එහෙත් පවතින නීති වෙනස් කිරීමට යාමේදී, සංශෝධනය කිරීමට යාමේ දී ඒ ඒ ආයතනවල ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකි ය. මේ නිසා නව නීති සම්පාදකයින් ඉතාම වගකීමෙන් එම කාර්යය ඉටු කිරීමට කැපවිය යුතු ය. රටක, සමාජයක යහ පැවැත්ම රඳා පවතින්නේ එවිට ය.

යම් රාජ්‍යයක් ගොඩ නැඟීමේ දී යම් නීති රීති සමූහයක් නිර්මාණය කර තිබෙන්නේ ඒ රාජ්‍යයේ ඓතිහාසික මූලයන් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවය. එම මූලයන් මත ගොඩනැඟුණු දියුණු වුණු ජනතාවගේ සංස්කෘතියක මූලික සම්මුතීන් වෙනස් කරන්නට යාම ව්‍යසනකාරී තත්ත්වයන් උද්ගත කිරීමට හේතු වනු ඇත. මේ කරුණු කෙරෙහි නීති සකසන අය ගේ අවධානය යොමුවීම වැදගත් ය. එවිට අනාගත අභියෝග අවම වනු ඇත.

ප්‍රවර්ග:බුදු දහම
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: