නිවස > ඉතිහාසය > බෞද්ධ අධ්‍යාපනයේ පෙර ගමන් කරු…..

බෞද්ධ අධ්‍යාපනයේ පෙර ගමන් කරු…..

විදේශ රටක වෙනත් ආගමික ලබ්ධිකයකු වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරටට පැමිණියේ පාණදුරා වාදයේ පිටපතක් කියවන්නට ලැබී ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයක් ඇති කොට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පිහිටවීමේ අරමුණ ඇතිව ය.

එතුමා, 1880 මැයි මස මෙරටට පැමිණි අතර මැයි 25 වැනිදා ගාල්ල විජයානන්ද පිරිවෙනට ගියේය. එහිදී තිසරණ සහිත පංච ශීලයේ පිහිටි එතුමා බෞද්ධාගමිකයකු විය. පසුව කොළඹට පැමිණ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීය. එකල අනගාරික ධර්මපාල තුමා හා වලිසිංහ හරිශ්චන්ද්‍ර යන දේශප්‍රේමී බොදු නායකයන්ගේ සහාය ද එතුමාට ලැබිණි. බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය බෞද්ධ පරිසරයක් ඔස්සේ සකස් විය යුතු බව ඕල්කට් තුමාගේ අරමුණ විය. ඒ සඳහා 1886 දී කොළඹ මැලිබන් වීදියේ කුඩා නිවෙසක ඉංගිරිසි විද්‍යාලයක් ආරම්භ කෙරුණු අතර ඒ වත්මන් ආනන්ද විද්‍යාලයේ මූලාරම්භයය.

මෙම බෞද්ධ ප්‍රබෝධය හා බෞද්ධ පාසල් සංකල්පය පිළිබඳව සරසවි සඳරැස පත්‍රය විස්තර පළ කැර තිබූ අතර 1886 නොවැම්බර් 1 වැනිදා ඇරැඹුණු එම ඉංග්‍රිසි පාසල පිළිබඳව සරසවි සඳරැස පත්රයේ පළ වී තිබූ ප්‍රවෘත්තිය මෙසේය. “බෞද්ධ ශිෂ්‍යයයන් සඳහා පිටකොටුවේ පාසලක් ආරම්භ විය. බෞද්ධ මාපියන්ගේ දරුවන් බොදු පාසල් වලට යැවීමට උනන්දු කැරවීම මෙහි අරමුණය. මෙම ඉංගිරිසි පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 ක් වූ අතර ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන්නට වූ විට මරදානේ ඉඩමක් මිලදී ගෙන මැලිබන් වීදියේ ඉංග්‍රිසි පාසල  මරදානට ගෙන එන ලදී.

මෙම විදුහලට ආනන්ද යන නම යෙදුණු ආකාරය පිළිබඳ කතා පුවත ද රසවත් ය. විදුහලට නමක් යෙදීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඕල්කට් තුමා රැස්වීමක් කැඳවූ අතර ඕල්කට් තුමා කීවේ මෙම විදුහල ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය දුන් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ගේ නාමය මේ විදුහලට යෙදිය යුතු බව ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ එම යෝජනාව අනුමත නො කළහ. “මේ සඳහා මගේ නම අවශ්‍යයම යැයි කියා සිටිනවා නම් මගේ නාමයේ ගුණ යන කොටස අතහැර ආනන්ද යන කොටස පමණක් යොදන්න. බුදුන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක ආනන්ද තෙරණුවන්ට ගෞරවය පිණිස ඒ නම යෙදිය හැකි යැයි උන්වහන්සේ කීහ. ආනන්ද විදුහල ලෙස එදා සිට හැඳින්වෙන මෙම විදුහල ශත වර්ෂයකට අධික කාල පරිච්ඡේදයක් පුරා දිවයිනේ මහ බොදු විදුහල  ලෙස කීර්ති රාවය පතුරවයි.

ආනන්ද විදුහලේ ප්‍රථම විදුහල්පති වූයේ අයර්ලන්ත ජාතික සී.ඩබ්ලිව්. ලෙඩ්බීටර් මහතා ය. ඉන්පසුව ජේ.ටී.ඩේවිස්, එම්.යූ. මුවර් ෆ්රිට්ස් කැන්ස් මහත්වරු විදුහල්පතිවරු ලෙස කටයුතු කළ අතර ප්‍රථම ශ්‍රී ලාංකික විදුහල්පතිවරයා වූයේ ඒ.ඊ. බුල්ජන්ස් මහතා ය. ඉන්පසුව විදුහල්පති ධූරය හොබවමින් ආනන්දය විශිෂ්ට විදුහලක් බවට පත් කිරීමට සිය කාලය හා ශ්‍රමය වැය කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, පී. ද එස්. කුලරත්න, ආචාර්ය ජී.පී. මලලසේකර, එල්.එච්. මෙත්තානන්ද, එස්.ඒ. විජේතිලක, එම්. ඩබ්ලිව්. කරුණානන්ද, කර්නල් ඊ.ඒ’ පේරුසිංහ, කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ, එන්. නෙත්තානන්ද, වී.එස්. කුඩලිගම, ඒ.පී. ගුණරත්න, ටී.බී. දමුණුපොළ යන විදුහල්පතිවරුන් ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු ය.

මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, කොළඹ නාලන්දා , පන්නිපිටියේ ධර්මපාල ආදී විදුහල් ආරම්භ වූයේ ද එතුමා ඇති කළ බෞද්ධ ප්‍රබෝධය  නිසා ය. වෙසක් පොහොය නිවාඩු දිනක් බවට පත් කිරීමෙන් එතුමා කළ විශිෂ්ට සේවාව ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. බෞද්ධ ප්‍රබෝධය පිණිස කොඩියක් නිර්මාණය කිරීමේදී එතුමා මූලිකත්වය ගත් අතර වර්තමාන බෞද්ධ කොඩිය එම උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙම බෞද්ධ ප්‍රබෝධය නිසා ඇති වූ විදුහල් වල ශිෂ්‍යයයන් අන්තර් ජාතික තලයේ ලැබූ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදීමට විවිධ අවස්ථාවල සමත්ව ඇත. එම ජයග්‍රහණ ක්‍රීඩා අධ්‍යාපන හා සමාජයීය ක්ෂේත්‍ර දක්වා විහිද ඇති අතර එම විදුහල් වල දූ පුතුන් ලබාගත් ජයග්‍රහණවල ගෞරවය මෙබඳු විදුහල් ජාලයක් ඇති කොට අධ්‍යාපන ප්‍රබෝධයේ මං සලකුණු තබන්නට එදා අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ ඕල්කට් තුමාට හිමි විය යුතු ය.

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ බෞද්ධාගම හා බොදු සංස්කෘතිය නඟා සිටුවීමට මෙතුමා කළ සේවය සිහි ගැන්වීමට මෙතුමාගේ නමින් නම් කැරුණු ආනන්ද විදුහලේ ඕල්කට් අනුස්මරණ ශාලාව කියාපාන්නේ දහස් සංඛ්‍යාත බොදු දරුවන ගේ අභිමානය නොවේද?

සත්‍යය මත පදනම්ව කටයුතු කරන මනුෂ්‍යය වර්ගයාගේ දියුණුව රඳා පවතින්නේ සහෝදරත්වය මත බවට එතුමන් දැරූ මතය මෙබඳු අවදියෙක වඩාත් ඉස්මතුව පෙනේ.

බෞද්ධ අධ්‍යාපනයට නව ජීවයක් දෙන්නට ගන්නා උත්සාහය පිළිබඳව ඕල්කට් තුමා දැරුවේ මෙවන් අදහසකි. ‘බීජ වපුරා ඇත. එම බීජ වලින් හටගන්නා සුහුඹුල් පැළ යෝධ වෘක්ෂ බවට පත්වෙයි. එම වෘක්ෂ වලින් සරුසාර පල දැරීම නවතා ලීමට සමතෙක් මේ ලොවෙහි නැත. ඕල්කට් තුමා අදහස් කළ පරිදි එතුමා වපුල බීජ දැන් පල දරා ඇත. පල දැරූ ගස් වලින් පල ප්‍රයෝජන ලබන අය ද බොහෝ ය.

එබඳු උතුම් පරමාර්ථයකින් කටයුතු කළ එතුමා සිහිපත් කිරීම කෘතවේදී ජනතාවගේ යුතුකම ය.

සැකසුම ආනන්ද විද්‍යාලයාධිපති බී.ඒ. අබේරත්න මහතාගේ අනුග්‍රහයෙනි…

Advertisements
ප්‍රවර්ග:ඉතිහාසය
  1. Sarath Gunatunga
    2010 අප්‍රේල් 9 දින පෙ.ව. 9:54 ට

    මේ උතුම් මනුශ්‍ය රත්නයට මුලු ලංකාවේම ඇති බෞද්ධ පාසැල් නයගැතිය. එතුමා වෙනුවෙන් ඒ පාසැල් දක්වන කෘතඥ තාවය ඉතාමත් මඳ බව මගේ හැඟීමයි. මම මාතර රාහුල විද්‍යාලයේත් කොලඹ ආනන්ද විද්‍යාලයේත් ආදි ශිෂයෙක්මි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: