නිවස > සැරිසර > සැරිසර වාර්තා – සිරිපා වන්දනාව 2010

සැරිසර වාර්තා – සිරිපා වන්දනාව 2010

සිරිපා වන්දනාව 2010


2010 වසර ආරම්භයේදීම මේ එළැඹුණු නව වසරේ කටයුතු සමනොල කන්දෙ පිහිටි මුණි සිරිපා වන්දනා කරලම පටන් ගන්න තීරණය කරපු දුටුගැමුණු බලකාය 2010 ජනවාරි මාසෙ 02 වෙනිදා පාන්දරම පානදුර බස් නැවතුම්පොළෙන් රත්නපුරේ යන බස් රථයකට ගොඩ වුණා.

අපේ පළමුවෙනි නැවතුම්පළ වුණේ රත්නපුරේ මහ සමන් දේවාලය. උදෑසනම සමන් දේවාලයට පැමිණි දුටුගැමුණු බලකාය පන්සිල් අරන්, දෙවියන්ට පින් දීලා කෙළින්ම පැමිණියේ කුරුවිටට. අපේ ගමන් මාර්ගය උනේ කුරුවිට එරත්න පාර. ඉතාමත් දුෂ්කර මාවතක් ලෙස සැලකෙන මෙම මාර්ගය, බැතිමතුන් විසින් තෝරගන්නෙ කලාතුරකින්. එමනිසාම සිරිපා වාරය ඇරඹි මුල් දිනවලම කරුණා කරන අප නඩයට අතරමඟදී බැතිමතුන් දෙතුන් දෙනෙකුට වඩා මුණ නොගැසීම පුදුමයට කරුණක් වුණේ නැහැ.

හා හා පුරා කියලා අපි මුලින්ම ගියේ වැරදි පැත්තට. හොඳ වෙලාවට එතන කඩයක හිටපු මනුස්සයෙක් කතා කරලා හරි පාර පෙන්නුවා. අපේ කණ්ඩායමේ හිටපු  කිසි කෙනෙක් ඊට කලින් කුරුවිට පාරෙ සිරිපා කරුණා කරලා තිබුණෙ නෑ. ඒ මදිවට කෝඩු කාරයෙකුත් උන්නා අපේ නඩයෙ. කොහොමහරි පාර හොයාගෙන යන්න සූදානම් වෙනකොටම නඩයෙ කෙනෙක් නෑ ……. බලද්දි බුලත්විට හොයන්න ගිහිං.  මේ හෙළ දෙරණේ සිංහල කොල්ලන්ට කෙල්ලන්ට බුලත් විටකින් සප්පායම් නොවී පුළුවනෑ …… බුලත්විට හොයාගන්නම බැරි අවස්ථාවක ක්‍රීම් සෝඩා උනත් වරදක් නෑ මහන්සි උනාම.😉

අපි ගිය මාර්ගය ඇත්තටම ලස්සනයි. විටින් විට හමුවන දිය කඩිති, දොල පාරවල්, දිය ඇලි පසුකරමින් අපි ඉදිරියට ඇදුනෙ  ඉතාමත් සුන්දර පරිසරයක් මැදින්. ඔහොම යද්දි  අපිට මාර්ගය දෙපස දක්නට ලැබුණා ගස් ජාතියක්. හැඩයෙන්, ප්‍රමාණයෙන් උක් ගස් වලට සමානයි. උක් දණ්ඩක් හප හප යන්න තියෙන ආසාවට දෙන්නෙක් සූදානම් උනා ගහක් කපාගන්න. අනික් අය නම් මුල ඉඳලම කිව්වෙ ඔය උක් නෙමේ කියලා. ඒ උනාට අතැරියෙ නෑ. පිහියක් හෙව්වා ගමන් මළු කණපිට පෙරලලා. ඒත් හොයාගන්න බැරිවුණා පිහියක් ….. පිහිය හොයාගන්න බැරිවුන නිසාම අපි අවසානයේ තීරණය කලා ඒ උක් ගස් නෙමෙයි කියලා.

ඒ වගේම අතරමඟදි හමුවුණා ලේසියෙන් අමතක නොවන විවිධ චරිත. එක්කෙනෙක් අතරමඟ කඩයක් කරන තරුණයෙක්. ඔහුගෙ නම අපි අදටත් දන්නෙ නැහැ (හැබැයි ඔහුව හඳුන්වන්න අපි නමක් දාලයි තියෙන්නෙ😉 )  කොහොමහරි අපි සමඟ බොහොම කුළුපග බවක් පෙන්වපු මේ ආගන්තුක තරුණයා අපිට කැවුම් පාර්සලයකුත් පිරිනැමුවෙ බලෙන්ම වගේ අපි එක්ක මිතුරු වෙන්න උත්සාහ කරමින්. මෙය අපි විශේෂයෙන්ම මෙහි සටහන් කරන්නෙ සිරිපා වන්දනාවෙ තියෙන වටිනාකම වගේම අනතුරුදායක බවත් සිහිකරගත යුතු නිසයි. අපේ ගම් පළාත් වලින් ගොඩක් ඈත මෙහෙම ගමන් යද්දි අතරමඟදි හමුවන පුද්ගලයන් හා ඔවුන් කරන කියන දෑ ගැන අපි විමසිලිමත් විම නුවණට හුරුයි. විශේෂයෙන්ම එම ආගන්තුකයන් පමණට වඩා මිතුරු බවක් පෙන්වයි නම්.  මේ නිසාම කෙනෙක් හොඳ හිතින් දෙයක් දුන්නත් අපිට කරන්න දෙයක් නෑ ඒ ගැන. ඉතිං හිතාගන්න පුළුවන්නෙ ඒ කැවුම් පාර්සලේට වෙච්චි දේ? ….. බැරිද? ….. ඒක හැරමිටිපානෙ කුණු කූඩෙක.

කළුවර වැටුණට පස්සෙ අවට සිරි නරඹන්න බැරි නිසා අතරමඟ වැඩිවෙලා නොනැවතී අපි ගමන් කලා.  ඉඳිකටු පානෙදි අදාල චාරිත්‍ර නිමා කරලා රාත්‍රී ආහාර ගන්න අපි නැවතුනේ කෙලින්ම හැරමිටිපානෙදි. ඒ වෙද්දි රාත්‍රී  10.30 පමණ වී තිබුණා. රාත්‍රී  ආහාරයෙන් පස්සෙ අපි තරමක විවේකයක් ගත්තෙ හැරමිටිපානෙදි. එතෙක් ආ මඟ අතරමගදි අපට හමුවුණේ ඉහත කී තරුණයාට අමතරව උඩට නගින තවත් මිනිසුන් දෙදෙනෙක් විතරයි.  හැරමිටිපානෙ අපි නැවතුන කඩේදි රිදී රැයක් ප්‍රසංගයෙන් කොටසක් බලන්නත් අපිට හැකිවුණා. ඕක බලන අතරෙ හිනා වෙන්න ගිහිං එක්කෙනෙක් වතුරත් හලාගත්තලු. ඉස්සරහට වෙච්චි දේවල් එක්ක සසඳලා බලද්දි ඒක ඉතිං බොහොම සුළු දෙයක්.

හැරමිටිපානෙදි කුරුවිට මාර්ගය සහ රත්නපුරා මාර්ගය එකට එකතු වෙන නිසා එතැන් පටන් අපට වන්දනා නඩ මුණ ගැසුණා. මෙහෙම  යද්දි කව්දෝ කෙනෙක් අමතක වෙලා දාලා ගිය තොප්පියක් හම්බවුණා අපෙ නඩේ ගුරාට. රාත්‍රියට මළුව සීතල නිසා මේ තොප්පිය අයිතිකාරය, එය නැවත ලබාදෙන අදහසින් නඩේ ගුරා අතේ තිබුණ හැරමිටියෙ උඩ රඳවගෙන තොප්පිය අරන් ආවා. මගදි හමුවෙන නඩ වලිනුත් තොප්පියක් අමතක වෙලා ආවද කියලා අසමින් අපි උඩට ආවා. තොප්පිය විසි කරන්න කියලා කීප සැරයක් කිව්වත් විසි කරන්නෙත් නෑ. ඒ පාර අපේම කෙනෙක් ඉල්ලගෙන ඒ තොප්පිය දාගත්තා. හපොයි ඒකෙ ගඳ,  එකත් එකටම අයිතිකාරයත් තොප්පිය විසි කරල ගිහින්ද කොහෙද. අහක යන තොප්පි අරන් දා ගැනීමේ විපාක ඇස් පනාපිටම  දැකපු අපි තොප්පිය විසි කරලා උඩට නැග්ගා.තවමත් ගමනෙන් තුනෙන් එකකටත් වඩා ප්‍රමාණයක් ඉතිරි වෙලා තිබුණා. ගමනෙ දුර මනින්නෙ  මාර්ගය දෙපස දැල්වෙන විදුලි බුබුළු ගණන් කිරීමෙන්. ඒ වෙද්දි විදුලි ලාම්පු කණු 30ක පමණ දුර ඉතිරි වෙලා තිබුණා (තව උඩට යද්දි විදුලි බුබුළු 30, 40 වෙලා තිබ්බා). තවත් උඩට ගියාට පස්සෙයි තේරුණේ අපි ගෙනාපු කුඩයක් අතරමඟ දාලා ඇවිත් කියලා. දෙන්නෙක් ආපහු පහලට බැස්සා කුඩේ ගේන්න. මහන්සිය මදිවට ආයෙ බැහැලා නගින්න උනා. කොහොමින් කොහොම හරි පාන්දර 3.00 වෙද්දි සිරිපා මළුවට අපේ නඩය පැමිණියා. සිත්සේ සිරිපා වැඳපුදා ගත්තත් ඉර සේවය බලන්න ඉන්න අපේ කණ්ඩායමේ සැලසුම් වලට අනුව අපට වෙලාවක් තිබ්බෙ නෑ. උදෑසන 7.30ට හැටන් සිට නුවර බලා යන කෝච්චියේ අපි සිටිය යුතු වූ නිසා මහන්සි නොබලා හැටන් පාරෙ ආපසු පහලට බහින්න පටන් ගත්තා.  පැය දෙකහමාරක් ඇතුලත බැහැලා ඉවර උනත් අතරමඟදි බොහෝ වෙලා නැවතිලා හිටියා මහන්සි වැඩි කමටම. නල්ලතන්නියට එනකොට හොඳටම එළිය වැටිලා. අතරමඟදි කළු දොදොල් මිලට ගන්න ගිහිල්ලත් අපේ අය හරි හරි වැඩ කලාලු (කළු දොදොල් කතාව නිසි බලධාරියා විසින් කපා හරින ලදී).

ඊට පස්සෙ නැවතුනේ නල්ලතන්නියෙ සමහන් කඩේ ලඟ. එතැන තියලා තිබුණ පුටු ටික දැක්කම ටිකක් වාඩි වෙලා ඉඳලා නොගියොත් හරි නැහැ කියලා අපේ කකුල් කිව්වා😉. ඔහොම වාඩිවෙලා ඉන්න අතරෙ අපේ කළු දොදොල් වීරයො දෙන්නත් සිත්සේ සමහන් කෝප්පයක් සප්පායම් වෙද්දි නඩේ අනික් අය එතනින් යන අය සහ සමහන් විකුණන තරුණයන් සමඟ කතාවට වැටුණා. එතනින් යන විදේශිකයන්ට ඉංග්‍රීසියෙන් සමහන් විකුණන හැටි අපි ඒ තරුණයන්ට කියාදෙන්න හදනකොටම එක් විදෙශිකයෙක්  සිංහලෙන්ම සමහන් එපා කියලා යන්න ගියා. (චික්, මාර සවුත්තුව) :S

නල්ලතන්නියෙන් බස් එකකට නැග්ගා හැටන් යන්න. හැටන් වලට එනකම් කට්ටියම හොදට නිදි. නින්ද අතරින් විටින් විට අපි අවදි වුණු අතරෙ දැක්කා ලස්සන ජලාශයක්. ජලාශය මැද ලස්සන දූපත් දෙකක්… මුළු පරිසරයම හරිත වර්ණයෙන් බැබළෙනවා ….. වාර්තාව ලියන අපටත් සාහිත්‍යමය සිතිවිළි පහළ වෙනවා. :D  කාසල්රි ජලාශයේ සහ ඒ අවට පරිසරයේ සුන්දරත්වයෙන් වශී  නොවුනා නම් කෙනෙක්, ඒ බොහොම කලාතුරකින් වෙන්න ඇති.

සිරිපා අඩවියෙන් ඈතට යද්දි ආයෙමත් අපි මෙහි පැමිණෙන්න ඕනෙ කියන හැඟීම තදින්ම දැනෙන්න පටන් ගත්තා. හෙළ බෞද්ධයෙකුගෙ ජීවිත කාලය තුල එක්වරක් හෝ සමනල අඩවිය තරණය කල යුතුමයැයි අපට හැඟුනා. ඒ නිසා මේ සටහන කියවන ඔබත් තවමත් සිරිපා වැදපුදාගෙන නැතිනම්, අවස්ථාවක් ලද විටක එය මඟ නොහැර මේ ගමන යන්නට අදිටන් කර ගත යුතුයි. හැටන් වලට එද්දි අපි යන්න සැලසුම් කරන් තිබුණ කෝච්චිය පිටත් වෙලා පැය ගාණක් වෙනවා. ඒ  නිසා කෝච්චි ගමන පැත්තකට දාලා නුවර යන බස් එකකට ගොඩ වෙලා ආයෙම ඉස්සරහ සීට් එකට ඔළුව ගහගෙන නිදාගත්තා.

~ මීලඟ චාරිකාව තෙක් සැරිසරට සුළු විරාමයක් ~

ප්‍රවර්ග:සැරිසර
  1. ශම්මි
    2010 අප්‍රේල් 2 දින ප.ව. 4:42 ට

    මට මතක් වුනා අපි කෙල්ලන් 5 දෙනෙක් කුරුවිට පාරෙ සිරිපා වඳින්න ගිය සුන්දර ගමන.ඒ වතාවෙ නම් අපට බොහෝ දෙනෙක් මඟදි හමුවුනා.සමහර තැන් ඉතා පාළුයි.හොඳ වෙලාවට ගමන පටන්ගෙන ටික වෙලාවකින් වැඩිහිටියන් කීප දෙනෙක් අපට එකතු වුනා.එසේ නොවුනා නම් අර වගේ තැන්වලදී ආපහු හැරෙන්න හොඳටම හේතු තිබුනා.අපි ගියේ උදේ 7ට ගමන පටන් ගන්න.එනිසා අර වැඩිහිටියන් සමඟ ඉතා විවේකව-පරිසරය රස විඳිමින් සවස7 වෙනකොට මහමළුවට යන්න ලැබුනා.අපි බැස්සෙ පහුවදා උදේ හැටන් පාරෙ.මතක් වෙනකොටත් පුදුම සතුටක්.මේ විස්තරය යළි ඒ සතුට නැවුම් කලා.බොහොම පිං.!
    (කරදරත් නොවුනම නෙවෙයි.ලොකුම දේ වුනේ ආරක්‍ෂාවට (සේරගෙම මුදල්)එක්කෙනක් අත තිබුන බැගය නැතිකරගත්තා නොසැළකිල්ල නිසා.හොඳ වෙලාවට ලෝකයේ දියුණුව නිසා ATM කාර්ඩ් තිබුනේ)

  2. 2010 අප්‍රේල් 2 දින ප.ව. 11:34 ට

    චේතියා පාර ලකුනු කරල තියෙනව වැරදි නේද?
    දෙපැත්ත මාරු වෙන්න ඕනා.
    රත්නපුරෙ පාරයි කුරුවිට පාරයි මාරු කරල ලකුණු කරල තියෙන්නෙ.

  3. චේතියා
    2010 අප්‍රේල් 3 දින පෙ.ව. 4:16 ට

    :O වැරදිලාද මට? …… මට නම් මතක ඔය විදිහට තමා😀

  4. 2010 අප්‍රේල් 3 දින ප.ව. 3:40 ට

    ඔයා ඔය කුරුවිට රත්නපුර දෙක පටලව ගෙන….

  5. නුවා
    2010 අප්‍රේල් 3 දින ප.ව. 6:03 ට

    ෂා…මරුනේ…මට නම් සිරිපාදෙ මතක් වෙද්දි ඉස්සල්ලාම සතුටක් හිතට දෙනුනත් දෙවනුව තියෙන්නෙ දාඩිය දාන මතකයක්…නගිද්දි තියන අමාරුව ඔක්කොම නෙතුව යනව උඩට ගියාම…ඈත්තටම හිතට පුදුමාකාර සතුටක් දෙනෙන්නෙ…දෙවෙනි කාරනේ නම් බයනකයි…ඒ මොකද ආපහු බහිද්දි මට අපේ නෙන්දව කරේ තියාගෙන එන්න උනානේ…:O
    (සමාවෙන්න ඔනා ස්පෙලින්ග් වෙරදි වලට…මේකත් ලියාගත්තේ හරිම අමරුවෙන්)

  6. Nuwan Buddhika
    2010 අප්‍රේල් 4 දින ප.ව. 2:28 ට

    🙂 තාම නම් මට යන්න ලැබිල නෑ සිරිපා වන්දනාවෙ. ගෙදර හැමෝමත් එක්ක යන්න තමයි ආසාවෙන් හිටියෙ. ඉතිං යාළුවොත් එක්ක යන්න තිබුන අවස්ථාවල මම මඟ ඇරල හිටිය. බලමු… අනිවාර්යයෙන් සිරිපා කරුණා කරනවමයි…🙂
    බොහොමත්ම ස්තුතියි විස්තරයට…🙂

  7. 2010 අප්‍රේල් 6 දින පෙ.ව. 9:00 ට

    ලබන සිරිපා කරුනා කොරන වාරෙට මම නම් අනිවාර්‍යෙන් සිරීපාදෙ කරුණා කොරන්න ඕනා

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: