නිවස > සැරිසර > සුන්දර කන්නෙලිය

සුන්දර කන්නෙලිය

කන්නෙලිය ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අතලොස්සක් වූ වැසි වනාන්තරවලින් එකක්. ගාල්ලේ සිට මාතර පාරේ කිලෝමීටර දෙකක් පමණ ගියවිට හමුවන උඩුගම පාරේ තවත් කිලෝමීටර 35ක් පමණ ගියවිට පාරේ දකුණු පැත්තෙන් කන්නෙලියට යන අතුරු පාර හමුවෙනවා. සංරක්ෂිත වන උයනට ඇතුල්වන ස්ථානයෙන් දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයෙක් ලබා දෙනවා. වනය තුළ ප්‍රධාන මංපෙත් දෙකක් තිබෙනවා- කිලෝමීටර 6ක් පමණ වන කෙටි මග සහ කිලෝමීටර 12ක් පමණ වන දිගු මග. කෙටි මග සඳහා පැය 3-4ක්ද, දිගු මග සඳහා පැය 5-6ක් පමණද ගත වෙනවා. වනය තුළ තැන් තැන්වල ඇති දිය කඩිතිවලින් මෙන්ම දිය ඇලිවලින්ද දිය බීම ආරක්ෂා සහිතයි; විනෝදජනකයි.

හෙක්ටෙයාර පන්දහස්තුන්සීයකටත් අධික කන්නෙලිය සිංහරාජයටත් අභියෝග කළ හැකි තරම් ඉතා විශාල ජෛව විවිධත්වයකින් යුත් වනපෙතක්. සුද්දන් විසින් කළ වන විනාශයට අමතරව දැව සඳහා විශාල පරිමාණයෙන් කැලය කපා දැමීමත් අසූව දශකය වනතෙක්ම සිදු කෙරුණා. නමුත් දැන් කන්නෙලියෙහි අගය ජාත්‍යන්තරව පිළිගෙන සංරක්ෂණය කෙරෙනවා. වනයේ ඇතැම් පෙදෙස්වලට සංචාරකයන්ට ඇතුල් වීමට ඉඩ නොදෙන්නෙත් ඒ නිසයි. මේ වනය නිල්වලා හා ගිං ගංගාවලටත්, තවත් දිය පහරවල් රාශියකටත් පෝෂණය ලබා දෙනවා.  අනගි මළ ඇල්ල සහ තවත් කුඩා දිය ඇලිද දක්නට පුලුවන්. ශාක වර්ග 319ක් මෙහි හඳුනාගෙන ඇති අතර ඉන් 52%ක් ආවේණික වර්ග; 22%ක් වඳ වී යන තර්ජනයට ලක් වූ ශාක; 45%ක් ඉතා දුර්ලහ වර්ග. ආවේණික සත්ත්ව විශේෂ 41ක් ඇතුලුව සත්ත්ව විශේෂ 220ක් පමණ මෙහි වසනවා. ඉන් 59ක් කුරුලු විශේෂ; 32ක් සමණළ විශේෂ. 14ක් උරග විශේෂ. 7ක් ගොළුබෙලි වර්ග.

කිලෝමීටර ගණනක් පුරා විහිදෙන යෝධ පුස් වැලත්, මැදින් රිංගා යා හැකි වවුල් ගුහාවත් කන්නෙලියට යන සංචාරකයන් විශේෂයෙන් නරඹන අංග. වනය තුළ ඇති මාවත ඇතැම් විටෙක වැටෙන්නෙ දියකඩිති හරහා. එමෙන්ම වසර පුරා වැසි ලබන කන්නෙලිය තුළ කූඩැල්ලනුත් හිඟ නැහැ. මේ සියල්ලටම වඩා සොඳුරු අත්දැකීම වනය තුළ ඇති නිශ්ශබ්දතාවය. හැබැයි මේ දේවල් රස විඳින්නනම් සෙනග නැති දවසක, මේ දේවල් අගය කරන කෙනෙක් සමග යන්න ඕනෙ. (අපට ලැබුණ මාර්ගෝපදේශක මහතා දිගින් දිගට ශාකවල දැවමය වටිනාකම ගැනත්, ලෝකයේ විද්‍යාත්මක දියුණුව පිළිබඳවත් විග්‍රහ කිරීම පුදුම ඇණයක් වුණා.) කන්නෙලියට යාමට සුදුසුම කාල වකවානු හැටියට දැක්වෙන්නෙ දෙසැම්බර්-මාර්තු කාලයත්, ජූනි-අගෝස්තු කාලයත්.

මේ නිසල වනය ආශ්‍රිතව නුගගල නම් ආරණ්‍යයක් ඇතිමුත් අපට එහි යාමට නොහැකි වුණා.

Advertisements
  1. 2010 අප්‍රේල් 16 දින පෙ.ව. 9:45 ට

    ස්තුති ඔයාට මෙවගෙ දෙයක් එකතු කලාට..මමත් අදයි දැන ගත්තෙ මෙගැන..

  2. මහ රාවණා
    2010 අප්‍රේල් 16 දින ප.ව. 1:20 ට

    මේ ස්ථානය පිළිබඳව අසා ඇතිමුත් පැමිණ නරඹා නෑ. ස්තූතියි ඔබගේ ලිපියට.

    බුදු සරණයි !!!

  3. ```Outsider```
    2010 අප්‍රේල් 16 දින ප.ව. 2:52 ට

    ඇත්තටම හොඳ ලිපියක් ඔයා දාල තියෙන්නෙ. කන්නෙලිය ගැන මීට පෙර එතරම් විස්තරයක් අහල තිබුණෙ නෑ. ගොඩක් ස්තූතියි වැඩේට

  4. 2010 අප්‍රේල් 16 දින ප.ව. 4:02 ට

    සුන්දර වනාන්තරයක්..මමත් යාලුවොත් එක්ක ගිය අවුරුද්දේ ගියා..මේ තැන වැඩිය කවුරුවත් දන්නේ නැ..මමත් ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා…ඒකෙත් වැඩි විස්තර තියනවා 🙂
    http://bit.ly/a5q9Ew

    • 2010 අප්‍රේල් 16 දින ප.ව. 6:06 ට

      ඔයාගෙ ගොඩක් ෆොටෝස් තියෙනව නේ? තව කොයි කාලයක් මේ දේවල් තියෙයිද දන්නෙ නෑ අපට. ජෛව විවිධත්වය අතින් ලංකාව හුඟක් ඉහළයි. අපි මේ ගැන දැනුවත් වෙන එක, දැක බලා ගන්න එක, ඉදිරි පරපුරටත් රස විඳින්න සංරක්ෂණය කරන එක ගොඩක් වැදගත්.

  5. 2010 අප්‍රේල් 16 දින ප.ව. 7:31 ට

    සමනලී නම් මෙතැනට ගිහින් තියෙනවා….. හරිම ලස්සන සොබාදහමේ සොඳුරු නිමැවුමක්…..

  6. Hasiya
    2010 අප්‍රේල් 16 දින ප.ව. 9:01 ට

    නියමායි

  7. නන්දිමිත්‍ර
    2010 අප්‍රේල් 16 දින ප.ව. 10:32 ට

    සොබා දහමේ ඉතාමත් සුන්දර කරුණූ අඩංගු ලිපියක්..මාත් මෙය පෙර අසා තිබුනත් ගිහින් දැකල නෑ..

    මේ ලිපිය නිසාම එතැනට ගිහින් නරඹන්න හිතක් පහල වුනා…කියවලා ගොඩක් රස වින්ඳා..

  8. 2010 අප්‍රේල් 16 දින ප.ව. 11:01 ට

    මට මතක් වුනේ අපි කන්නෙලියෙ ගිය හැටි. හරිම ලස්සන පරිසරයක්. අපි නම් ගියෙ පොඩි පාරෙ ලස්සන දිය ඇළි කිහිපයක්ම බැලුවා. අමතක වෙන්නෙ න හිටිය කුඩැල්ලො ටික නම්.:) අපි කලින්ම සූදානම් වෙලා ගියෙ කූඩැල්ලන්ට, හුනු, ගම්මිරිස්, ලුනු එක්ක තවත් දේවල් කවලම් කරපු පොට්ටනියක් හැම කෙනාම ගෙනිච්ච නිසා කූඩැල්ලන්ගෙන් ලේසියෙන් බේරෙන්න පුළුවන් උනා. ආයෙමත් ලගදි යන්න ඕනා…
    ස්තූති චන්දිමා ලිපියට..:D

  9. නුවා
    2010 අප්‍රේල් 16 දින ප.ව. 11:03 ට

    ලියල තියන විදියට නම් ගිහිල්ලම බලන්න වෙනවා. අපිත් කලින් යන්න ලෑස්ති උන එත් කොහෙද මේ කීපදෙනෙක්ගේ kudellanta තියන අසීමිත බය නිසා ගමන වෙනස් උනා.

  10. 2010 අප්‍රේල් 17 දින පෙ.ව. 7:51 ට

    කූඩැල්ලන්ගෙන් වැළකීම පිණිස පහත ක්‍රමය මම සොයා ගත්තෙ lakdasun.com එකෙන්.
    කූඩැල්ලා සාමාන්‍ය මේස් තුළින් ගමන් කළත් කපු වැනි ඝනකම රෙදි හරහා යන්න බැහැ. ඒ නිසා පහත දැක්වෙන විදිහට “විශේෂ කූඩලු මේස්” හදා ගන්න පුලුවන් කැලේ යන්න ආස අයට:
    පරණ කපු කලිසමක් හොයාගෙන, පහළ සිට අඩි දෙකක පමණ දිගකින් යුතු වන පරිදි එහි කකුල් කපා ගන්න. පළල කෙළවර මසා දමන්න. අනික් කෙළවරෙහි ඉලාස්ටික් පටියක් හෝ රෙදි පටියක් එතුළින් යැවිය හැකි පරිදි වාටියක් මසා ගන්න.
    කැලේ රිංගීමට පෙර, සාමාන්‍ය මේස් සහ කපු කලිසමක් ඇඳ, ඊට උඩින් මේ කූඩලු මේස් අඳින්න; කූඩලු මේස් සිර වෙන පරිදි පටිය ගැට ගසන්න. මේ මේස් දණහිස ළඟට විතර තිබිය යුතුයි. සමහර අය මේස් උඩින් සිද්ධාලේප වගේ දේවල් ආලේප කරනවා.

  11. 2010 අප්‍රේල් 17 දින පෙ.ව. 7:55 ට

    කන්නෙලිය ගැන කියෙව්වම මට ගොඩාක් සුන්දර මතකයන් අවදි උනා….කන්නෙලියත් එක්ක ගොඩාක් ලස්සන මතකයක් මට තියෙනවා 🙂

  12. චේතියා
    2010 අප්‍රේල් 17 දින පෙ.ව. 8:09 ට

    හොඳ විස්තරයක්, මමත් ගිහිං නැහැ, යන්න ආසා හිතුනා මේක කියෙව්වම
    ස්තුතියි තොරතුරු වලට 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: