නිවස > ඉතිහාසය > සෝමනුවර සෝමාවතිය

සෝමනුවර සෝමාවතිය


බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කෙරුණ සෝමාවතී චෛත්‍යරාජයා වැඩ වසන සෝමාවති පුදබිම හෙළ බෞද්ධයාට සුවිශේෂී සිද්ධස්ථානයක්  . ඉතා රසවත් සෝමාවතියේ ඉතිහාස කතාව අපේ සමහර ඉතිහාසඥයන් පවා පටලව ගත්තු තැනක්.ඒ වළගම්ම්බා රජුගේ සෝමාදේවි නම් බිසව හා සෝමාවතිය ඈදන්න යාමෙන්. අන්තර්ජාලයේ පුවත්පත් පිරික්සන කොට මේ සතියේ සිළුමිණ පුන්කලසේ තිබී මට හමු වූ මේ ලිපිය රසවත් වගේම ඉතිහාස කරුණු බොහෝදුරට යථාරූපිව විග්‍රහ කෙරුනක් නිසා හෙළයන්ට බොහෝ සෙයින් වැදගත් වෙයි…


සෝමාවතිය ගොඩනඟන්නේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ කාවන්තිස්ස රජුගේ කාලයේ යි. ඒ කාවන්තිස්ට රජුගේ නැගණියගේ ඉල්ලීම පරිදි ඇගේ ස්වාමියා වූ ගිරිඅභය යි. කාවන්තිස්ස රජුට පුතුන් දෙදෙනෙක් සිටියා දුටුගැමුණු හා සද්ධාතිස්ස කියලා. සද්ධාතිස්සට පුතුන් හත්දෙනෙක් සිටියා. ථුල්ලතිස්ස, ලජ්ජිතිස්ස, ලලාටනාග සහ වළගම්බා කියලා. හත්වැනි පුතා තමයි වළගම්බා. සෝමාවතිය ඉදි කරලා වසර 130 කුත් ඉක්ම ගියායින් පසුවයි වළගම්බා ඉපදෙන්නේත්.

ඒ වගේ ම ධාතුවංශයේත් ජිනකාලමාලියේත් සෝමාවතිය ඉදිකරන කතාව සමඟ සම්බන්ධ වන්නේ ගැමුණු කුමරු පමණයි. සද්ධාතිස්ස ගැන සඳහනක්වත් නෑ. මට සැකයක් තියනවා මේ කාලය වනවිට සද්ධාතිස්ස ඉපදී සිටිය ද කියලත්. ඉපදී සිටියා නම් ඔහු ඉතා ළාබාල වියේ පසුවෙන්න ඇති. ඒ කියන්නේ වළගම්බා රජුගේ පියාගේ ළදරු කාලයේ හෝ ඉපදෙන්න පෙර කාලයේ තමයි බුදුන්වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර සෝමාවතී චෛත්‍යය ඉදිවෙන්නේ.

සෝමාවතී චෛත්‍යයේ ඉදිවීම හා සම්බන්ධ ඓතිහාසික පසුබිම ගොඩනැඟෙන්නේ කෙසේද?

මේක ආකස්මික සිදුවීමක් නෙවෙයි. මේ කාලය වනවිට ලංකාවේ දේශපාලනික එක්සේසත් භාවයක් තිබුණේ නැහැ. උතුරින් මහවැලි ගඟෙන් එහා එළාරගේ පාලනයක් තිබුණේ. මේ අතරතුර සෝම නුවර, සේරු නුවර, ගිරි නුවර, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් රට පුරා තිබුණා. එවකට කැලණියේ සිටි ශිව රජතුමාගේ බෑණා වන අභය සමඟ කාවන්තිස්ස රජුගේ නැගණිය විවාහ වී ගිරි ප්‍රදේශයට යනවා. මේ විවාහය රට එකමුතු කිරීම සඳහා කාවන්තිස්ස රජු විසින් ගත් දූරදර්ශී පියවරක් විදියටත් නම්කරන්න පුළුවන්. ඔවුන් වාසයට යන ගිරි නගරය ටොලමි විසින් හඳුන්වන ලද මලයිය රට්ඨ කියන කඳුකරය කියලයි පිළිගන්නේ.

පසුකාලීන ව කාවන්තිස්ස විසින් ආවා කියන ඇමතියාත් සමඟ ගැමුණු කුමාරයා ගිරි ප්‍රදේශයට පිටත්කර හරින බව ධාතුවංශයේ සහ ජිනකාල මාලියේ සඳහන් වෙනවා. ඇතැම්විට ගිරි නගරයේ රුහුණට පටහැනි යමක් සිදුවේදෝ බියක් කාවන්තිස්ස තුළ තිබෙන්නට ඇති. කෙසේ වෙතත් මහාවංශය හා දීපවංශය මෙය සඳහන් කරන්නේ ගැමුණු කුමාරයා පියාට ස්ත්‍රී වස්ත්‍රාභරණ තෑගි දී පලා ගිය බවයි. පසුකාලීන ව ගිරි අභය කියන තමන්ගේ මාමාත් සමඟ ගැමුණු කුමාරයා ගැටුමක් ඇති කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගිරි අභය සහ සෝමාදේවිය සේරුනුවර වාසය කළ ශිව කියන මිත්‍ර පාලකයා වෙත ගොස් සේරු නුවරට නැඟෙනහිරින් සෝම කියන නුවර ඉදිකරගෙන ජීවත්වෙනවා.

සෝමා දේවියගේ ඉල්ලීම පිට සෝමාවතී ස්තූපය ඉදිවෙන්නේ මේ සෝම නුවර යි. වංශ කතාවල සඳහන් වන පරිදි වරාහන සන්ධි නම් විල කෙළවර තමයි සෝම නුවර ඉදිවන්නේ. එය සේරු නුවරට කි.මී. 30 හෝ කි.මී. 40 පමණ දුරින් පිහිටා තිබෙන්නේ. සෝමාදේවිය තමන්ට වන්දනා කිරීම සඳහා ස්තූපයක් ඉදිකරවා දෙන ලෙස ගිරි අභයගෙන් ඉල්ලීමක් කරනවා. මේ කාලයේ මිහිඳු මාහිමි ළඟ මුල්වරට පැවිදි වූ ලාංකික භික්ෂුව වන අරිට්ඨ හාමුදුරුවන්ගේ පරපුරේ මහින්ද කියලා හිමි නමක් මේ ප්‍රදේශයේ බණ භාවනා කරමින් ඉඳලා තියනවා.

උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තබාගෙන තිබූ දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතී ස්තූපයේ තැන්පත් කර තිබෙන්නේ. මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ කාල වකාවනුවක් පිළිබඳ ව සඳහන් වෙන්නේ නෑ. මෙය අශෝක අධිරාජයාගේ රාජතාන්ත්‍රික මිත්‍රත්වය මත ලංකාවට ලැබෙන්න ඇති බවට අනුමාන කළ හැකියි. ජනප්‍රවාදයන්ට අනුව මේ දළදාව නාගලෝකයේ නාරජු විසින් පූජා පැවැත්වූ දළදාව යි.

ඉදිරියට කියවන්න  බක් මාසේ 18 වෙනිදා  සිළුමිණ පුන්කළස

Advertisements
ප්‍රවර්ග:ඉතිහාසය
  1. 2010 අප්‍රේල් 19 දින පෙ.ව. 5:51 ට

    ලිපිය ඉදිරියට කියවනකොට එහි වර්ථමාන තත්වය හා පුදබිම පත්ව ඇති අවදානම ගැන වැටහෙයි. නැගෙනර පළාතේ මුස්ලිම් ව්‍යාප්තියත් සමඟ සිංහල බෞද්ධ උරුමය විනාස වීම කණගාටුවට කරුණක්.

  2. චේතියා
    2010 අප්‍රේල් 19 දින පෙ.ව. 8:19 ට

    සම්පූර්ණ ලිපියම කියෙව්වා. සිංහල බෞද්ධ උරුමයන් රැකගන්න ඉක්මන් සාර්ථක වැඩපිළිවෙලක අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙනවා දැන් :S

  3. මහ රාවණා
    2010 අප්‍රේල් 19 දින ප.ව. 7:58 ට

    ඉතාමත් හොද ලිපියක්. ස්තූතියි ඔබට

    බුදු සරණයි !!!

  4. Narendrasinghe
    2010 අප්‍රේල් 19 දින ප.ව. 9:02 ට

    බොහොම ස්තූතියි

    • 2010 අප්‍රේල් 19 දින ප.ව. 11:48 ට

      චේතියා :

      සම්පූර්ණ ලිපියම කියෙව්වා. සිංහල බෞද්ධ උරුමයන් රැකගන්න ඉක්මන් සාර්ථක වැඩපිළිවෙලක අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙනවා දැන් :S

      දැනටත් අපි ගොඩක් පරක්කුයි

      Narendrasinghe :

      බොහොම ස්තූතියි

      මහ රාවණා :

      ඉතාමත් හොද ලිපියක්. ස්තූතියි ඔබට

      බුදු සරණයි !!!

      එකම බොරුව කීප පාරක් කීවම ඇත්ත වෙනවා …ඒවගේ එකක් සෝමවතියට වෙන එක වැළකූණානම් සතුටක්..දන්න අයටත් කියන්න මේ කතාව

  5. 2010 අප්‍රේල් 20 දින ප.ව. 5:12 ට

    සෝමාවතිය ගැන කාගෙ කාගෙත් අවධානය යොමුව ඇති මෙවන් සමයක එහි ඉතිහාසය මෙලෙස නිරවුල් කර ගැනීම ඉතා වටිනවා. ඔය ගැන අධ්‍යයනය කළ ස්වාමීන්වහන්සේ වැනි අය අපේ රටට බොහොමත්ම අවශ්‍ය කාලයකයි අප ඉන්නෙ. බොහොම ස්තුතියි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: