නිවස > දුටුගැමුණු බළකාය > විශ්මිත පොළොන්නරුව – 2

විශ්මිත පොළොන්නරුව – 2

පොළොන්නරුව පැරණි නගරය ඇතුලු නුවර හා පිට නුවර ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. ඇතුළු නුවර දිය අගලකින් හා ප්‍රාකාරයකින් ආරක්ෂිත කර  තිබෙනවා. ඇතුළු නුවරට රජ මැදුරු, රාජ සභාව සහ නන්දන උයන අයත්. මහා පරාකක්‍රමබාහු රජුගේ සත් මහල් මාළිගය වන වෛජයන්ති ප්‍රාසාදයේ මහල් තුනකට අයත් නෂ්ඨාවශේෂ අදත් දැකිය හැකියි. සුවිසල් බාල්ක සඳහා වූ සිදුරු, ඉහළට නගින සෝපාන පංතියෙන් කොටසක් සහ කැටයම් සහිත අත්තිවාරමද හඳුනා ගත හැකියි. ඒ අසලම ඇති රාජ සභා මණ්ඩපය හෙවත් රාජ වේශ්‍යාභුජංග මණ්ඩපය අලංකාර කොරවක්ගලින්ද, සඳකඩ පහනකින්ද යුක්තයි. මෙම රාජ සභා මණ්ඩපයේ වැසිකිළියද ඒ අසළම තිබෙනවා. එවක මේ අසළ නන්දන උයන නමින් ඉතා අලංකාර උද්‍යානයක් කරවා තිබෙනවා. එහි තිබූ නොයෙක් විසිතුරු අතරින් ගල් පොකුණ, එහෙම නැත්නම් කුමාර පොකුණ අදටත් දැකිය හැකියි.

පොකුණු.

ආදි හෙළයන් වඩාත්ම දක්ෂතාවයක් දැක්වූයේ වාරි කර්මාන්තයන්ට කියල මට හිතෙනවා. පොළොන්නරුවෙහි ඇති මනරම් පොකුණු ඊට කදිම උදාහරණයක්. කුමාර පොකුණ වැනි පොකුණු ජලය අඩු වනවිට පහළට බැස පරිහරණය කළ හැකි පරිදි ක්‍රමයෙන් කුඩා වේගෙන යන බැමි සහිතයි. එයට ජලය සපයන්නෙ පොළොව යටින් යන ජල නළ මගින්. ජලය ලබා ගන්න ඇත්තෙ දිය අගලෙන් හෝ තෝපා වැවෙන් විය හැකියි. පොකුණේ ඇති ජලය බැහැර කිරීම සඳහා එහි පතුළේ සිට දිගටි කවුලුවක් ඈතට විහිදී තිබෙනවා. ස්නානය සදහා පැමිණෙන්නන්ට ඇඳුම් මාරු කිරීම සදහා වූ අලංකාර ගොඩනැගිල්ලක නටබුන් මේ අසලම තියෙනවා. තාක්ෂණය අතින් මෙහෙමනම්, සෞන්දර්යය අතිනුත් නිපුණත්වය මෙලෙසමයි. පොකුණට බැසීම සඳහා වන පඩි පෙළ දෙපස අලංකාර සිංහ රූපද, පොකුණ පතුළේ හරිමැද ගලින් නෙලූ නෙළුම් මලක්ද වනවා. එමෙන්ම, පොළොව යටින් ආ ජලය පොකුණට හැළෙන පීලිද අලංකාර මකර රූ වලින් යුක්තයි.

පොකුණු ගැන කියනකොට මට අමතක කරන්න බැරි සිද්දියක් තියෙනවා. එක දවසක් හැන්දෑවෙ මමත් මගේ යෙහෙළියත් ආලාහන පිරිවෙන් භූමියේ ගැවසෙමින් සිටියා. වෙලාව පහමාරට හයට පමණ ඇති. අඳුර පැතිරීගෙන යනවා. අහලක කවුරුත් නැති නිසාම අපට හිතේ හැටියට, නිශ්ශබ්දතාවයේ ගිලී අතීතයේ සැරිසරන්න අවස්ථාවක් ලැබිලා.  මේ පුරාණ නගරය අතහැර යන්න හිතෙන්නෙ නෑ. අන්තිමට අපි හිත හදාගෙන වෙදහලේ නටබුන් ඇති පැත්තට ගොඩ වුණා. මේ වෙලාවෙ කොහෙන් ආවද මන්දා සරමක් කමිසයක් ඇඳි පුද්ගලයෙක් එතනට ආවා.

“මම පුරාවිද්‍යා එකේ” ඔහු කිව්වා. ටිකක් කතාවට වැටුණා. “මේ ළඟ තියෙනව විසාල පොකුණක්; තාම සංරක්ෂණය කරල නෑ; ඒ පැත්තට යන පාර සුද්ද කරලත් නෑ. කවුරුත් දන්නෙ නැහැ, හරි අපරාධයක්” ඔහු කිව්වා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් අපි ඔහු පසුපසින් ඇදුණෙ ඒ පුරාණ පොකුණ බලන්න යන්න. ටික දුරක් යනකොටම තවත් ඒ වගේම කෙනෙක් ඇවිත් ගමනට එකතු වුණා. දැන් ඉතින් අපි කැලේ මැදින් යනවා. යනවා, යනවා, යනවා. තැන් තැන්වල පුරාණ ගොඩනැගිලිවල සුන්බුන්. ඔය විදිහට විනාඩි 15-20ක් ගියා. දැන්නම් අපි දෙන්නගෙ හිතේ චකිතය, පොකුණ දැකීමේ කුතුහලය පරයා යන තරම්. මම අහුලා ගත්තා ගඩොල් කැටයක්- අවුරුදු 1000ක් පරණ ගඩොලක්- හදිසියක් වුණොත් කියල. මගෙ යෙහෙළිය ඇගෙ කොළඹ වෙසෙන සොහොයුරාට දුරකතන ඇමතුමක් ගත්තා- වෙන දෙයකට නොවෙයි, අපි දෙන්න අතුරුදහන් වුණොත් අන්තිමට මොකද වුණේ කියල දැණුම් දීල තියන්න. නැත්නම් මිණී හොයන්න ඕනෙ කොහෙද කියලවත් දන්නෙ නෑනෙ.

අන්තිමට අපි ආව ඒ සුවිසල් පොකුණ ළඟට. ඇත්තටම එය සුන්දර නිර්මාණයක්. ඈත සිට එයට ජලය ගෙන ආ ජල මාර්ග පද්ධතියේ නටබුන් තැන් තැන්වල තිබුණා. බයෙන් බයෙන් හරි ආව එක ගැන අපට ඇති වුණේ විශාල සතුටක්.

පරාක්‍රමබාහු මාළිගයෙන් ඉක්බිති පිට නුවරට පිවිසෙනවිට ශිව දේවාල කිහිපයක්ද, දළදා මළුව ඇතුළු අනෙකුත් පූජ්‍ය ස්ථාන හමු වෙනවා. නොයෙක් ප්‍රමාණවලින් යුත් කලුගල් එකිනෙක මත තබා තැණුනු ශිව දේවාල ඉන්දීය ගෘහනිර්මාණ ශිල්ප ලක්ෂණ පෙන්නුම් කරනවා. මග දෙපස සල්පිල් ආදියෙහි නටබුන්ද, පුරාණ ප්‍රාකාරවල කොටස්ද දක්නට පුලුවන්.

දළදා මළුව පිහිටා ඇත්තේ උස් බිමක. ඒ අසල ත්‍රස්තවාදී රිලා රංචුවක් ගැවසෙනවා.

දළදා මළුවේ ඇති සුන්දරම අංගය වටදාගෙයයි. ඉතා අලංකාර කොරවක්ගල්, සඳකඩ පහනක් සහ මුරගලින් හැඩව ඇති එහි මැද වූ බුදුපිළිමවලින් එක් පිළිමයක් සෑහෙන පමණ හොඳින් ආරක්ෂා වී තිබෙනවා. ඊට සතර පැත්තෙන්ම දොරටු තිබෙනවා. ඉන් උතුරු දොරටුවේ ඇති සඳකඩ පහණ සහ මුරගල්, කොරවක්ගල් මෙන්ම සෝපානයේ කොටා ඇති කැටයම්ද ඉතා උසස් කලාත්මක ලක්ෂණ පෙන්වනවා. අනුරාධපුරයේ සදකඩ පහණින් මෙම සඳකඩපහණ වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් තියෙනවා. අනුරාධපුරයේ ඇති ගවරූපය මින් ඉවත් වෙලා. අනුරාධපුරයේ එකා පසුපස එකා යන ආකාරයට ඇත්, අස්, ගව, සිංහ රූප තිබුණත් මෙහි එක් එක් සත්ත්ව වර්ගය වෙන වෙනම පෙළවල ගමන් කරනවා. වටදාගෙයි උඩ මළුවේ එකතුවන වැසි ජලය ඉන් පිටතට ගෙන යාම සඳහා ශෛලමය ගල්පීලිද වනවා. (මං කිව්වෙ මොකද? ජලය කළමනාකරණය ගැනනම් ආදි හෙළයන්ට ගහන්න කෙනෙක් මේ මිහිපිට නෑ.)

දළදා මළුවේ බෝධිසත්ත්ව ප්‍රතිමාවක්ද දක්නට ලැබෙනවා. අනුරාධපුර යුගයේදී පවා බෝධි සත්ත්ව වන්දනාව පැවත තිබෙනවා. අභයගිරි විහාරය වෙනත් බෞද්ධ රටවල අමුත්තන් සාදරයෙන් පිළිගැනීමේ ප්‍රතිඵලයක් වෙන්න ඇති.

වටදාගෙය නවීකරණය කළ නිශ්ශංකමල්ල රජතුමා විසින් ඊට ආසන්නයෙන්ම හැටදාගෙය ඉදි කරවනු ලැබුවා. එය දෙමහල් දළදා මැදුරක්. බුදු පිළිම වහන්සේලා මෙන්ම ශිලා ලිපි තුනක්ද එහි දක්නට පුළුවන්. ඉන් එකක දැක්වෙන පරිදි නිශ්ශංක මල්ල රජු ලංකාව පුරා චාරිකා කොට තිබෙනවා; සමණොළ කන්දත් වැඳ තිබෙනවා. ලංකාවට අයත් තුන් රජයෙහි ටැ ම් පිහිටවා රට වැසියාට බොහෝ සම්පත් පරිත්‍යාග කළ බවත්, අයබදු ගැනීම වසර පහකට අත්හිටවූ බවත්, හේන් ගොවියන්ගෙන් බදු ගැනීම නවතා දැමූ බවත් සඳහන්. එමෙන්ම නවරත්න කරඬුවක් ගෙන ගමන් කරන ගැහැනියකගෙන් ඒ කුමක්ද යයි නොවිමසීමට තරම් ජනයා සංවර බවත් රජු මෙහි පවසනවා. (දැනුත් එහෙම අහන්නෙනම් නැහැ; උදුරගෙන දුවනව මිස) තවද වනාන්තරවල, වැව්වල වෙසෙන හැම සතකුටම අභය දුන් බව දැක්වෙනවා.

මේ මළුවේ ඇති අටදා ගේ මහා විජයබාහු රජතුමා විසින් නිමවන ලද දෙමහල් දළදා මැදුරක්. එය පොළොන්නරුවේ පළවන දළදා මැදුර වන අතර, කලාත්මක ලක්ෂණ අනුව මෙයට අයත් ගල්කණු ආදිය අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවලින් මෙහි ගෙන එන ලද බව අනුමාන කෙරෙනවා.

අටදාගෙයට ආසන්නයේ ඇති තවත් වැදගත් දෙයක් තමයි වේලයික්කාර සෙල්ලිපිය. ද්‍රවිඩ බසින් රචිත එය විජයබාහු රජුගේ අභාවයෙන් පසු දළදා මැදුර ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු ද්‍රවිඩ  කුලී සොල්දාදුවන් විසින් රචිතයි.  එහි ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පුවත තමයි අභයගිරි මහා විහාරයේ උත්තර මූලයේ ප්‍රධානත්වය හෙබවූ මොග්ගල්ලාන හිමියන් විසින් ඔවුන් මෙම සේවයේ යෙදවූ බව. මහා විහාරයට සාපේක්ෂව අභයගිරියට තිබුණ විශේෂ තැනත්, දළදා වහන්සේ ගේ භාරකාරීත්වය අභයගිරිය සතුව පැවති බවත් ඉන් හෙළි වෙනවා.

මේ අසල ඇති නිශ්ශංක ලතා මණ්ඩපය නිශ්ශංකමල්ල රජු පිරිත් දේශනාවලට සවන් දීමේදී හිඳ සිටි ස්ථානයයි. මේ ගොඩනැගිල්ල ඉතා කලාත්මක ලෙස නිමවී තිබෙනවා.

දළදා මළුවේ කෙළවරකට වෙන්නට ඇති ථූපාරාමය පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මනාව විදහා දක්වන නිමැවුමක්. එහි අර්ධ ගෝලාකාර වහළ දැව භාවිතා නොකර ගඩොලින්ම නිමවා තිබෙනවා. බිත්ති කැටයම් සහිතයි.

සත්මහල් ප්‍රාසාදය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල චෛත්‍යයක් බවට විශ්වාස කෙරෙනවා. මේ හා සමාන චෛත්‍යයක් සියමේද, අනුරාධපුර නකා වෙහෙර යන ස්ථානයේද තිබෙනවා.

සත්මහල් ප්‍රාසාදය අසල ඇති ගල්පොත නම් සුවිසල් ශිලා ලේඛනය නිශ්ශංකමල්ල රජු විසින් තමන් සසුනටත් රටටත් කළ කීදෑ සටහන් කිරීම සඳහා කරවන ලද්දකි. ( ඒ කාලෙ මනාප චන්ද ක්‍රමයක් තිබුණෙත් නැතිව මොකට මෙච්චර තමන්ව වර්ණනා කෙරෙන ලේඛන පිහිටෙව්වද මන්ද. මතයක් තියෙනවා වෙනත් අයගෙ නිර්මාණවලට නිශ්ශංකමල්ල රජු තම නම ඈඳා ගත් බවටත්.)

දළදා මැදුරෙන් පහළට බැස එනවිට ප්‍රධාන මාවතෙන් මදක් ඈත්ව පබළු වෙහෙර හා ශිව දේවාලයක් තිබෙනවා. මේ හරිය ටිකක් පාලු නිසා මම තනියම ගියෙ නෑ. දවසක් හැන්දෑවක මගෙ යෙහෙළියත් සමග වාහනයෙ ගියා. ගිහින් ආපහු එන්න හදනකොට කිලිටි, ඉරුණු කමිසයක් ඇදගත්තු සුදු ජාතිකයෙක් දාඩිය පෙරාගෙන, මූණ රතු කරගෙන, මල්ලකුත් එල්ලගෙන යනවා පබළු වෙහෙර බලන්න. සවස් යාමය නිසා අපට මේ මනුස්සයා ගැන දුක හිතුණා. ඒ නිසා අපි ඔහුවත් රථයේ නංවාගත්තා. ඔහු ප්‍රංශ ජාතිකයෙක්. මාස 6ක් නිවාඩු අරගෙන, ලෝකෙ වටේ යනවා. ඔහු අනුරාධපුරය බලල, පොළොන්නරුවට ඇවිත් තියෙන්නෙ එදා.

පොළොන්නරුවෙ ඇති අනෙක් චෛත්‍යයන් අතර මැණික් වෙහෙර, රන්කොත් වෙහෙර, කිරි වෙහෙර සහ දෙමළ මහ සෑය ආදිය වඩාත් වැදගත්. මේ විහාර අවට භික්ෂූන්වහන්සේ වැඩ සිටි ආවාස විශාල ගණනක් දැකිය හැකියි. එමෙන්ම පොළොව යටින් විහිදෙන නළ මාර්ග, නොයෙක් ආකාරයේ අලංකාර මැටි පහන්, ටැම් ලිපි, විහාර එකිනෙක යා කෙරෙන මාවත් ආදියද මේ අවට කැණීම් වලින් සොයාගෙන තිබෙනවා.

රන්කොත් වෙහෙර සිට ඉදිරියට යනවිට පැරණි රෝහලක් හමු වෙනවා. එහි වූ ශෛලමය බෙහෙත් ඔරුව සහ එහි තිබී හමු වූ ශල්‍ය උපකරණ (මේවා දැන් කාලෙ ශල්‍ය උපකරණවලට බෙහෙවින් සමානයි), බෙහෙත් බහාලීම පිණිස භාවිතා කරන චීන මැටි බඳුන් එය රෝහලක් බවට කදිම සාක්ෂි. එහි මෙන්ම, ආලාහන පිරිවෙනද ඇතුළුව අනෙක් වාසස්ථාන ගොඩනැගිලිවල වඩාත්ම සිත් ගත් අංගය තමා වැසිකිළි. හ්ම්. වැසිකිළි. අපේ තරමක් මෑත අතීතයේ වූ ගම්වල වැසිකිළි ගෙවල්වලින් ඈත්ව තිබුණත් මේ ගොඩනැගිලිවල වැසිකිළි තියෙන්නෙ ගොඩනැගිලි තුළමයි. ගොඩනැගිල්ලෙන් පිට ඇති වැසිකිළි වලට යාමට වැසිකිළි පෝච්චියේ සිට නළ තිබෙනවා. ඒ කාලෙත් දැන් වගේමයි. පොළොන්නරු බිමේ ඇවිදිනකොට දකින දකින හැම වැසිකිළියටම මම එබි එබී බැලුවා.

රෝහල ගැන: මේ රෝහල පරාක්‍රමබාහු යුගයට අයත් එකක්යයි සැළකෙනවා. චූල වංශයේ දැක්වෙන පරිදි මහා පරාක්‍රමබාහු රජතුමා සියගණන් රෝගීන් උදෙසා වෙදහලක් කරවා, ඊට අවශ්‍ය සියලු උපකරණ සැපයුවා. (ආණ්ඩුවෙ ඉස්පිරිතාලයක්) එහි එක් එක් රෝගියාට රෑ දාවල් දෙකෙහි බෙහෙත් හා කැඳ බත් ආදිය දෙමින් උපස්ථාන කරනු පිණිස සේවකයකු සහ සේවිකාවක බැගින් පත් කළා. (පෞද්ගලික රෝහලකවත් නැති පහසුකම්) එමෙන්ම දිවා රාත්‍රී දෙකෙහිම සේවය පිණිස වැටුප් පිට වෛද්‍යවරුන් පත් කළා. හෙළ වෛද්‍ය ක්‍රමයෙහි විශාරදයකු වූ රජතුමාත් ඇතැම්විට රෝගීන්ට ප්‍රතිකාර කළා. (ඔන්න රජවරු)

ක්‍රි.පූ. 3-2 සියවස්වලට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල්ලිපි සහිත කටාරම් කැපූ ගල්ලෙනක් වන ගෝපාල පබ්බතය ඇත්තේද මේ අසලයි. ඒ වනවිටත් ලංකාවේ බුදු සසුන පැවති බවට සාක්ෂි සපයමින් මේ ලිපිය දක්වන්නේ මඩලය නමැත්තකු විසින් මේ ලෙන භික්ෂූන් වහන්සේට පූජා කළ බවයි.

විශාල පෙදෙසක පැතිර ඇති ආලාහන පිරිවෙන ආදාහන භූමියක් මත ඉදිකරන ලද සංකීර්ණයක්. පරාක්‍රමබාහු රජතුමා විසින් මෙහි තෙමහල් ප්‍රාසාදයක්ද, දීර්ඝ ප්‍රාසාද 40ක්ද, වැසිකිළි 40ක්ද, සුලු ප්‍රාසාද 8ක්ද, දොරකොටු 6ක්ද, ගිනිහල් ගෙවල් 34ක්ද, මහා ප්‍රාසාද 2ක්ද, චෛත්‍ය දෙකක්ද, පස්මහල් ලංකාතිලකය නම් පිළිම ගෙයක්ද ඉදි කළ බව චූල වංශයේ සඳහන්. පොහොය ගෙය හෙවත් බද්ධ සීමා ප්‍රාසාදය දොළොස් මහල් මන්දිරයක් වූ බවත් එහි සඳහන්.

හිතා ගත්තැහැකිද තරම?

මේ සංකීරණය ආශ්‍රිතව සුවිසල් පොකුණු කිහිපයක්ද දැකිය හැකියි. (සහ වැසිකිළි. 🙂 ) මේ බිමේ ඇති කිරි වෙහෙර වැදගත් වන්නේ එහි පැරණි බදාම පවා තවමත් ශේෂව පවත්නා නිසායි.  බද්ධසීමා ප්‍රාසාදයට ආසන්නයෙන් පුංචි ගල් විහාරය නමින් හඳුන්වන ස්වභාවික ගල්ලෙනක් තිබෙනවා. එය අසම්පූර්ණ ප්‍රතිමා ගෘහයක්.

ඉතිරි නටබුන් ඇත්තේ මින් තරමක් ඈත්වයි.

Advertisements
  1. රවා
    2010 අප්‍රේල් 24 දින ප.ව. 11:39 ට

    දුවන අයට වතුර ගහන්න එද්දිත් මාර දැනිමක් නෙ හම්බ වෙන්නෙ … මෙවා දකිද්දි පිස්සු හැදෙනවා අපෙ කස්ටිය කරලා තියන වැඩදකිද්දි

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 12:53 ට

    මමත් ලබන නිවාඩුවට යන්න තොරගෙන තියෙන්නේ පොලොන්නරුව. ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරිම් වලට.

  3. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 2:32 ට

    මම පුලුවන් විධියට අදාල තැන් කිහිපයක් මැප් වල් ලකුණු කලා. හෙට වැඩට යන්නත් එපාය.මම යනවා නිදාගන්න.ස්තුතියි ලිපි පෙලට.

    http://www.4shared.com/file/3UGO46fQ/ps_online.html

    • චන්දිමා
      2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:44 ට

      බොහොම ස්තුතියි. DIlan. පොළොන්නරුවෙ යන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි මේ සිතියම්. බොහොම පින් ඔබට.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: