නිවස > දුටුගැමුණු බළකාය > විශ්මිත පොළොන්නරුව

විශ්මිත පොළොන්නරුව


කලකට ඉහත පොළොන්නරුවේ දින කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාව මට ලැබුණා. දිනපතා උදෑසන පුරාවිද්‍යා භූමියට ගිහින්, දහවලට නැවත නගරයේ මා නැවතී සිටින තැනට එනවා; දිවා අහරින් පසු නැවත සන්ධ්‍යාවේ පුරාවිද්‍යා භූමියට ගොස් හිරු බැස යන වෙලාවට පරාක්‍රම සමුද්‍රයට එනවා. දවසක් බද්ධ සීමා ප්‍රාසාදය අසල සිටියදී මී මැසි වළාවක් මෙන් තරුණ කැලක් පුරාවිද්‍යා භූමියට ඇතුලු වුණා. මී මැසි වළාවක් මෙන් කියල කිව්වෙ ඔවුන් ඒ තරම් වේගෙන් පුරාවස්තු බැලුව නිසයි. ‘බලාගෙන බලාගෙන’ පියඹා ආ ඔවුන් කෙළින්ම නැවතුණේ පොහොය කළ භික්ෂූන් වහන්සේ වැඩ සිටි පීඨිකාව උඩට නැගලා. ” මේ මොකක්ද අනේ?” ඒ අතර සිටි තරුණියක් ඇසුවා. ඒ ගැන නා නා ප්‍රකාර අදහස් ඉදිරිපත් කරමින්, ඔවුන් නැවත පියඹා ගියා. කලකට ඉහත යහලුවන් පිරිසක් සමග පොළොන්නරු ගිහින් මටත් අකමැත්තෙන් හෝ කරන්න වුණේ ඒ දේම තමයි: බලාගෙන බලාගෙන යන්න; බුදු පිළිමවලට පිටු පා පින්තූර ගන්න, පාවහන් පැළඳගෙන සෑ මලුවට ගොඩ වෙන මිතුරන් මුරකරුවන් සමග රන්ඩු කරනව බලන්න. ඒත් මේ සැරේ වෙනස්.


පොළොන්නරුව, අනුරාධපුරයටත් වඩා හොඳින් පුරාවස්තු සංරක්ෂණය කර, විස්තර පුවරු සවි කොට ඇති භූමියක්. සිත සන්සුන් කරවන බුද්ධ ප්‍රතිමා, සත් මහල් ප්‍රාසාද, සල්පිල්, ගඩොලින්ම බැඳි වහලවල් සහිත ගොඩනැගිලි, කලුගලින් බැඳි ගොඩනැගිලි, පොළොව තුළින් යන ජල නළ මගින් ක්‍රියා කෙරුණු වතුරමල් සහිත  ජල තටාක, වර්තමානයේ සුව සේවා සිහිගන්වන රෝහල් සහ වැසිකිළි පද්ධති, විශාල ජලධාරිතාවයක් සහිත සුවිසල් ජලාශ ආදිය දකිනවිට හිතෙන්නෙ දැනට වඩා කොයි තරම් දියුණු සභ්‍යත්වයක් එකල තිබුණද කියල. ඒ සියල්ලට වඩා විශ්මිත කාරණය වන්නෙ මේ සියල්ල වසර 219ක් තුළ ඉදි වුණ බව සිතනවිටයි; ඉනුත් සෑහෙන කලක් අවුල් වියවුල් මධ්‍යයේ….

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම පොළොන්නරුවේ ජනාවාස පැවති බවට සාධක හමු වී තිබෙනවා. ක්‍රි.පූ. 3වන සියවසට අයත් සෙල් ලිපි සහ කටාරම් කැපූ ලෙන්වලින් කියවෙන්නෙ එකලද මෙහි බුදු දහම ඇදහූ ජනයා විසූ බවයි. අනුරාධපුර රාජධානිය පැවති සමයේ තුන්වන අග්බෝ රජු පොළොන්නරුවෙහි විහාරයක් කරවූ බව සඳහන්. පළමුවන සේන රජු (ක්‍රි.ව. 833-853) පොළොන්නරුව තම රාජධානිය කරගත් අතර ඔහු සේනග්ග බෝධි නමින් ආරාමයක් සහ වෙදහලක්ද කරවූ බවත්, මහපාලි බත්හල වැඩි දියුණු කරවූ බවත් ඉතිහාසයේ දැක්වෙනවා.

එනමුත් ස්ථිර වශයෙන්ම පොළොන්නරුව අගනුවර බවට පත් කරගන්නෙ ක්‍රි.ව.1017දී. ඒ සොළීන් විසින්. අනුරාධපුරය වනසා දමා, සිංහල රජු පිටුවහල් කරන ඔවුන්ව පළමුවන විජයබාහු රජතුමා පරාජය කරනවා. අනතුරුව ක්‍රි.ව.1070 දී පමණ එතුමා දිය අගලක්, පවුරක් බඳවා ආරක්ෂා කරන ලද පොළොන්නරුව සිය අගනුවර කර ගන්නවා. පොළොන්නරුවේ ඇති පුරාවස්තු වැඩිහරියක් ඉදිව ඇත්තේ මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජුන් දවස.

මේ පුරාවස්තු දකිනවිට කැපී පෙනෙන දෙයක් තමයි බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම හින්දු සිද්ධස්ථානද එකිනෙකට ආසන්නයේ මෙන්ම, ඉතා හොද තත්ත්වයේ පැවතීම. අනුරාධපුරයේ ජන සංහාරයක් කොට, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළ සොළීන් විසින් පොළොන්නරුවේ ඉදි කරන ලද හින්දූ සිද්ධස්ථානවත් අපේ බෞද්ධ රජවරුන් විනාශ කළේ නැහැ. එයයි ඔවුන්ගේ හැදියාව.

නගරයක් විදිහට ගත්තොත් ‘නගර නිර්මාණය’ යන කටයුත්තෙදි ඔවුන් අපට වඩා ඉදිරියෙන් සිටියා. පාලන මූලස්ථානය, සල්පිල්, සිද්ධස්ථාන ආදිය ගොඩ නගා ඇත්තෙ ඒ ඒ කලාපවල.  අලංකාරය හා විවේකය සඳහා මනරම් උයන්ද, ඇඳුම් මාරු කිරීම සඳහා කුටි සහිත නාන පොකුණුද පිහිටවා තියෙනවා. පරාක්‍රම සමුද්‍රයේ සිට වාරි ඇළවල් මෙන්ම පොළොව තුළින් අතුරන ලද නළ ඔස්සේ ජලය සැපයුණා. වාරි කර්මාන්තයේදී බිසෝකොටුව සිංහලයන්ගේ විශිෂ්ට නිර්මාණයක්.  මේ සියල්ල  සඳහා අද භාවිතා කරන මිණුම් තාක්ෂණයත් විදු දැණුමත් ඔවුන් සතුව තිබෙන්නට ඇති. මේ භෞතික පහසුකම් වෙනුවෙන් අද වගේ අධික ලෙස ස්වභාව ධර්මය වැනසූ බවක් පෙනෙන්න නැහැ.

පොළොන්නරුවෙන් හමු වූ නොයෙක් පුරාවස්තූන් අතර චීන පිඟන්බඩු හා ඉන්දීය පබළු ආදියත් වෙනවා. විදේශීය මෙන්ම දේශීය කාසිත් ඒ අතර වීමෙන් පෙනෙන්නෙ හුදෙක් භාණ්ඩ හුවමාරු කිරීමක් නොව දියුණු වාණිජ ලක්ෂණ පැවති බවයි. සොළීන්ගෙන් රට මුදාගෙන වැඩි කලක් නොයවාම විදෙස් රටවල් සමග වූ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගත් බව ඉන් පෙනී යනවා.

පොළොන්නරු යුගයේ මංමාවත් තැනින් තැන දුර සළකුණු කරන ගල් කණුවලින්ද, වෙහෙස නිවා ගනු පිණිස වූ අම්බලම් හා පවස නිවා ගැනීමට පැන්තාලිවලින්ද යුත් වුණා. මේ සමාජයීය පහසුකම් අද හා සසඳා බලන්න. ඇත් අස් ගව ආදි සතුන් විසින් අදින ලද ගැල් තිබූ අතර, දැව ඇණ යොදා සකසන ලද නැව් සිංහලයන් සතු වුණා. මහවැලි ගඟ ඔස්සේ ඔරු පාරු මගින් ප්‍රවාහන කටයුතු කෙරුණා. ගංගා හරහා පාළම් තැනීමේ ක්‍රම කීපයක් ඔවුන් භාවිතා කළා. දෙපස ඉවුරුවල ශක්තිමත් බැමි තනා ඒ මත ශෛලමය පුවරු යෙදීමෙන්ද, ගඟ හරහා ගල් කණු තනා ඒ මත බාල්ක සවිකොට ගල් හෝ දැව පුවරු සවි කිරීමෙන්ද පාළම් සකස් කෙරුණා.

ගොඩනැගිලි සඳහා කළුගල් හා ගඩොල් යොදා ගත් අතර බාල්ක යොදා වහළ සවි කර තිබෙනවා. ඇතැම් තැනක සම්පූර්ණ ගඩොලින් ඉදි වූ වහළත් දැකිය හැකියි. බිත්තිවල සායම් ඇතැම් නටබුන් අතර තවමත් තිබෙනවා. ඉහළ මහල් බොහෝවිට දැවයෙන් නිමවා තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. දැව දඬු සවිකළ ඇණ  අද කාලෙ වගේමයි. නමුත් දොර අගුල් ආදියනම් අදට වඩා හොඳයි. නිවෙස තුළම ඇති වැසිකිළි, ජලය ගෙන ඒමටත්  පොකුණු ජලය බැහැර කිරීමටත් ඇති නළ පද්ධති ආදිය සුවපහසු බව මෙන්ම හොඳ සනීපාරක්ෂාව ගැනත් හිතූ බවට ලකුණු. රන්කොත් වෙහෙර අසල ඇති රෝහල නේවාසික රෝගීන්ට කාමර පවා වෙන් කොට සෑදූ එකක්. එහි තිබී හමු වූ සැත්කම් උපකරණ දියුණු වෛද්‍ය ක්‍රමයක් තිබූ බවට සාක්ෂි.

පොළොන්නරු යුගයේ භෞතික විද්‍යා දැණුම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි අපූර්ව නිර්මාණයක් තමයි මහා පරාක්‍රම බාහු රජ සමයට අයත් ලෝකඩ පහන. එල්ලා තැබිය හැකි පරිදි සකසා ඇති මෙහි තෙල් බහාලන තැටියක්ද ඒ මත සවි කළ තොරණක එල්ලන ලද ඇත් රුවක්ද වෙනවා. තැටියට මෙන්ම ඇත් රුව තුළටද තෙල් දැමිය හැකියි. තැටියේ ඇති තෙල් අඩු වනවිට ඇත් රුවෙහි ඉදිරි පාදයේ ඇති සිදුරක් හරහා එතුළ ඇති සිහින් නළයකට වාතය ඇතුළු වෙනවා. මේ වාතය ඇත් ගර්භය තුළට ගියවිට එහි පීඩනය හේතුකොටගෙන ගර්භයේ ඇති තෙල් බින්දුව බැගින් ඇතාගෙ රහසඟ ඔස්සේ තැටියට වැටෙනවා. තැටිය පිරෙනවිට තෙල් වැටීමත් නතර වෙනවා.

තාක්ෂණයත්, සෞන්දර්යයත් අතිනත බැඳ ගත් ශිෂ්ටාචාරයකට හිමිකම් කිවූ පොළොන්නරුවේ අවසාන කාලයේදී දුර්වල රාජ්‍යත්වය මෙන්ම සෙනෙවියන් විසින් රජවරු මරා දැමීම, රාජ්‍යත්වය කෙරෙහි නොයෙක් බලපෑම් ඇති කිරීම දක්නට ලැබෙනවා. එලෙස අස්ථාවර වූ සිංහල රාජධානිය කාලිංඝ මාඝ විසින් ආක්‍රමණය කරනු ලැබ, සුවිසල් ජන සංහාරයකින් සහ වස්තු විනාශ කිරීමෙන්/කොල්ල කෑමෙන් පරිහාණිය කරා යනවා.

පොළොන්නරුවේ නටබුන්වල ඇති විශේෂත්වය එයයි. විදෙස්වල සිට මෙහි පැමිණියවුන් කළ විනාශයන් මධ්‍යයේ, වසර 219ක් ඇතුළත හෙළයන් ගොඩනැගූ මේ විශ්මිත ශිෂ්ටාචාරය අප නිසි පරිදි  අගයන්නේද?

Advertisements
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: