නිවස > දුටුගැමුණු බළකාය > විශ්මිත පොළොන්නරුව 3

විශ්මිත පොළොන්නරුව 3

රන්කොත් වෙහෙර වැඳ ගන්නා ඇතැම් බැතිමතුන් තමුන් ආවෙ වාහනයකින්නම් බොහෝ විට නැවත වාහනයට නැගී, ආළාහන පිරිවෙන් භූමිය “බලාගෙන” ගල් විහාරය පැත්තට යනවා. මේ පුරාණ නගරය තුළ ජීවත් වෙන්න කැමති මං වගේ අය හැම ගඩොලක්ම බලමින් හෙමින් හෙමින් පයින්ම යනවා. දවසක් උදේ රන්කොත් වෙහෙර ළඟදි මට මුණ ගැහුණා පින්තූර වැනි සැමරුම් විකුණන තරුණයන් කීප දෙනෙක්. තනියම රස්තියාදු වෙන කාන්තාවන් ලංකාවෙ අඩු නිසාද කොහෙද, ඔවුන් හිතුවෙ මම විදේශීය සංචාරකයෙක් කියල. මම කොහොමත් සැමරුම් ගන්න ජාතියෙ නොවන නිසා මමත් පනාව දාගෙන මුකුත් නොකියා මග ඇරල යන්න හැදුවා. ඒත් එක්කෙනෙක් පස්සෙන් පන්න පන්න භාෂා කීපයක්ම කතා කර කර බැලුව මට ඉන් එකක්වත් තේරෙනවද කියල. සිංහල ඇර! බැරිම තැන මම කිව්ව මට සැමරුම් භාණ්ඩ අවශ්‍ය නෑ කියල. නමුත් අපේ මිනිස්සු කොහොමත් විදේශිකයන්ට හරි සැලකිල්ලයිනෙ. ඉතින් මේ තරුණයා කියනවා රන්කොත් වෙහෙර බලල එන්න; අව්ව ගොඩක් සැර හින්ද, දුර යන්නත් තියෙන හින්ද එයාගෙ බයිසිකලේ මාව ගෙනියන්නම් ඉතිරි පුරාවස්තු තියෙන තැන්වලට කියල! පුරාවිද්‍යා භූමියේ ඉඳන් පොළොන්නරුව නගරයට පයින් යන එන මට මේක ඇතුළෙ පයින් යන එක මොකක්ද?

අර මම කලින් කිව්ව ප්‍රංශ ජාතිකයා හමු වුණේ එදාම හවස. මගේ යෙහෙළිය වාහනය හෙවනකට කරල එනතුරු ඔහුත් මමත් රන්කොත් වෙහෙරට පිටත් වුණා. අර පින්තූර විකුණන තරුණයා දුවගෙන ඇවිත් හිනා වෙලා කතා කළා- නෝනා, මාව උදේ හමු වුණා; මතකද, මම බයිසිකලේ එක්ක යන්න හැදුවෙ; මහත්මයා, මට උදෙත් මේ නෝනව මුණ ගැහිලා උදව් කළා…ඒත් ඉතින් ප්‍රංශුවා මටත් වඩා අල්පේච්ඡ; මිනිහා හිනා වෙන්නවත් වෙළෙන්දන් ළඟ නතර වුණේ නෑ. තව ටිකකින් මගේ යෙහෙළිය එනවා දුටු වෙළඳ තරුණයා ඇයටත් කියන්න වුණා- අර නෝනට මම උදේ ගොඩක් උදව් කළා, අව්වෙ යන්න හදනකොට….

ආළාහන පිරිවෙනට උතුරින් ඇති ගල් විහාරය මහ පැරකුම්බා නිරිඳුන් විසින් කරවන ලද උත්තරාරාමයයි. චූල වංශයේ සඳහන් වන්නේ මෙහි විජ්ජාධර ගුහාවද, හිඳි පිළිමයක් සහිත ගුහාවද සහ හොත් පිළිමය සහිත ගුහාවද කරවූ බවයි. මෙහි ඇති වඩාත්ම සිත් ගන්නා සුළු නිර්මාණය වූ හිටි පිළිමය පිළිබඳව එහි සඳහන් වන්නේ නැහැ. කලකට පෙර මේ පිළිමය බුද්ධ පරිනිර්වාණය නිසා දුක් වන අනඳ හිමියන්ගේයයි මතයක් තිබුණද එය තව දුරටත් පිළිගැනෙන්නේ නැහැ. ඊට හේතු කීපයක් තියෙනවා: එකක්, මේ ප්‍රතිමාව පද්මයක් මත නිර්මාණය වීම- එහෙම නිමවන්නෙ බුදු පිළිම පමණයි. මෙතන ඇති ඔත් පිළිමය සැතපෙන බුදුරුවක් මිස පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටින රුවක් නොවෙන නිසා හිටි පිළිමය දුක් වන අනද හිමියන්ගේ කියන තර්කය බිඳෙනවා. එමෙන්ම හිඳි පිළිමයකුත් මේ අසලම වීමෙන් ඉරියව් තුනෙන්ම නිරූපණය වන්නේ බුදු හිමියන්ම බව පිළිගැනීම වඩාත් සාධාරනයි. එමෙන්ම මේ සියළු පිළිමවලට වෙන වෙනම ප්‍රතිමාඝර(පිළිම ගෙවල්) තිබූ බවට නටබුන් වූ ගඩොල් බිත්ති සාක්ෂි සපයනවා.

මේ හිටි පිළිමය බැලීමට පමණක් වුණත් පොළොන්නරු යන එක වටිනවා.

ඒ කාලෙ මෙච්චර අපූරුවට නිමවු බුදු පිළිමවලට ඉහළින් දැන් කාලෙ ටකරම් වහලයක් අටෝලා තියෙන නිසා එහි ඇති සුන්දරත්වයට හානි පැමිණ ඇති බවනම් නොකියාම බැහැ.

පරාක්‍රමබාහු රජතුමා විසින් දකුණු ඉන්දියාව ආක්‍රමණය කර, එහි ද්‍රවිඩ ජනයා සිරකරුවන් වශයෙන් මෙරටට ගෙනවුත් ඔවුන් ලවා බඳවන ලද ස්ථූපය දෙමළ මහා සෑය නමින් හඳුන්වනවා. කොත් කැරැල්ල, හතරැස් කොටුව, දේවතා කොටුව ආදී චෛත්‍ය ලක්ෂණවලින් තොර එය වෙහෙර නමින් හඳුන්වන දාගැබ් වර්ගයට අයත්. (හිරකරුවන් ගෙනාව එක හොඳයි කියනව නෙවෙයි; නමුත් ඒ කාලෙ සොළීන්ගෙන් රට මුදාගෙන, රට එකසේසත් කරල, තුන් නිකායම එක නිකායක් කරල ශාසන සංශෝධනයක් කරල, මෙතරම් ගොඩක් සුවිසල් ගොඩ නැගිලි හදල, ධාන්‍යයෙන් රට ස්වයංපෝෂිත කරල, වෙන රටවල් ආක්‍රමණය කරන ගානටත් යන්න ගිහින් තියෙන්නෙ කොයි තරම් කෙටි කාලයක්ද? සුද්දො එළවලා ගතවුණු අවුරුදු 60 අපි මොකද කළේ? උස ගොඩනැගිලිනම් හැදුවා; හිඳෙන්න හරි ජලාශ හැදුවා; ලෝකෙට ණය වුණා; පිටරටින් කෑම ගෙනාවා; ආක්‍රමණය වුණා; ශාසනය??)

ප්‍රධාන පුරාවිද්‍යා බිමේ දක්නට ලැබෙන අනෙක් වැදගත් ස්ථාන දෙකනම් තිවංක පිළිම ගෙය සහ කළුගලින්ම තැණුනු නෙළුම් පොකුණයි. මමනම් මේ පැත්තට තනියම ගියෙ නෑ ටිකක් පාළු හින්ද. (ටිකාක් විතර බයයිලු) ප්‍රංශුවා එක්ක ගිය නිසා අපි යනවිට වෙලාව පහුවෙලා වසා තිබුණු තිවංක පිළිම ගෙය විවෘත කර පෙන්නීමටත් එහි බිත්තියේ ඇති විසිතුරු බිතුසිතුවම් පෙන්වීමටත් එහි මුරකාර මහතා කාරුණික වුණා.

ප්‍රධාන පුරාවිද්‍යා බිමින් එළියට ඇවිත් මාර්ගය ඔස්සේ පොළොන්නරුව දෙසට යනවිට පාරේ දකුණු පසින් ඇති නටබුන් අයිති වන්නේ නයිපෙන විහාරයටයි. එය විෂ්ණු දෙවියන් උදෙසා පූජා පැවැත්වූ ස්ථානයක් වන අතර දැනට මෙහි හමු වී තිබෙන විශාලතම හින්දු දේවාලයද වෙනවා.

පරාක්‍රමබාහු රජතුමා නගර මධ්‍යයේ සිය මාළිගය ඉදි කළත් නිශ්ශංක මල්ල රජු සිය මාළිගය ගොඩ නැගුවේ පරාක්‍රම සමුද්‍රය අසළ වූ දීප උයනෙහියි. පරාක්‍රමබාහු රජතුමා නොයෙක් මණ්ඩප හා පොකුණු සාදා අලංකාර කළ මෙය දීප උයන ලෙස නම් කළත් නිශ්ශංක මල්ල රජු එය හැඳින්වූයේ කාලිංග උද්‍යානය ලෙසයි. වාච්‍යාර්ථයෙන්ම සිංහාසනයක් සහිත ඔහුගේ රාජසභාවෙහි එක් එක් නිලධරයා සඳහා අසුන් පැනවු තැන්වල ඇති ටැම්ලිපිවල ඒ ඒ නිලධරයාගේ වගකීම්ද සඳහන් වෙනවා. (අපේ පාර්ලිමේන්තුවෙත් එහෙම කළොත් මොකද?) මේ රාජසභාවේ නිලධාරීන් අතර සෙනෙවිරදුන්ට, එහෙම නැත්නම් යුද හමුදාවේ ප්‍රධානියාටත් ආසනයක් වෙන්ව තිබෙනවා. මේ හරියෙත් මට ඒ තරම්ම ගැවසෙන්නට වුනේ නෑ ප්‍රදේශය පාළු නිසා. එක දවසක් මම මේ රාජ සභාව බලමින් ඉන්නවිට තරමක් ඈතින් මිනිස්සු දෙතුන් දෙනෙක් හිටියා. මේ මිනිස්සු හෙමීට හෙමීට වටින් වටින් මං ඉන්න දිසාවට කිට්ටු කරන බව දැක්ක මම වහාම පසු බැහැලා නාන පොකුණු පැත්තෙන් දුවල දුවලා ගිහින් නතර වුණේ කටු ගේ ළඟ! බයකට නෙවෙයි, නිකම් වැඩි හොඳට…

පොළොන්නරුවේ අනෙක් සුවිශේෂී පිළිමය තමයි පොත්ගුල් වෙහෙර ළඟ ඇති වයෝවෘද්ධ, නැණවත් මෙන්ම තේජවන්ත පෙණුමක් සහිත පුද්ගලයකු දැක්වෙන රුව. එය පරාක්‍රමබාහු රජුගේ බවටත්, සෘෂි වරයකුගේ බවටත් විවිධ මත ඉදිරිපත්ව තිබෙනවා. ඇතැමෙක් කියන පරිදි පොළොන්නරුවට එම නාමය ලැබීමට මුල් වූ පුලස්ති සෘෂිවරයාගේ රුවයි මේ. නමුත් මේ අසල ඇති පොත්ගුල් විහාරය නම් මන්දිරය පරාක්‍රමබාහු රජතුමා සහ ඔහුගේ දෙවන බිසව වන චන්ද්‍රවතී දේවිය විසින් තනවන ලද්දක්; එය හා පිළිමය අතර ඇති ආදාහන භූමියෙන් භෂ්මාවශේෂ සහිත බඳුන් ලැබී ඇති අතර ඒවා පරාක්‍රමබාහු රජුගේයයි සැක කෙරෙනවා. එහෙමනම් මේ පිළිමය එතැන ඉදි වූ ස්මාරකයක් විය හැකියි.

පොළොන්නරුව ගැන කියනවිට පරාක්‍රම සමුද්‍රය ගැනත් නොකියාම බැහැ. අප එහි යන කාලයේ තරමක් වතුර මට්ටම අඩුව තිබුණු නිසා අපට පැත්තකින් වැවට බැසීමට හැකි වුණා. එතන අමුතුම ලෝකයක්. අනන්ත අහස යට මේ සුවිසල් ජලකඳත්, එයට ගලා එන දිය පහරවලුත්, සිය ගණන් පක්ෂීනුත්, අපිත්….තවත් දවසක අපි ගියෙ උදේ පාන්දර; මීදුමෙන් මුලු ලෝකයම වැහිලා; අහසත් සමුදුරත් වෙන් කර හඳුනාගන්න බැහැ. කෙමෙන් හිරු නැගෙද්දී මේ මිහිදුම් තිරයට පිටුපසින් කුරුලු නාද ඇසෙන්නට වුණා. අපට කිට්ටුවෙන් ගොඩ බහින ඇතැම් කුරුල්ලෙක්ගෙ ඡායාව මීදුම් මැද්දෙන් පෙනී නොපෙනී යනවා. හරිම සුන්දර අත්දැකීමක්.

මොන තරම් අපූරු රටකද අපි ජීවත් වෙන්නෙ?

Advertisements
  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 12:59 ට

    මිලග ලිපිය එනතුරු බලන් ඉන්නවා.

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 1:43 ට

    ගුගල් මැප් එකේ මේ ලිපි වල තියෙන සමහර එවා පැහැදිලිව පෙන්නලා තියෙනවා. නැති ඒවා ලකුණු කරලා මැප් එකකුත් දාන්න පුලුවන් නම් අගෙයි.

  3. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 2:09 ට

    බොහොම ස්තුතියි යෝජනාවට. මම උත්සාහ කරන්නම් සිතියමක් ඇතුළත් කරන්න.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: