නිවස > කවි පියස > සඳ කිඳුරු දා කව

සඳ කිඳුරු දා කව

සඳ කිඳුරු දා කව කුරුණෑගල යුගයට අයත්වන ඉතා අගනා කාව්‍යමය සාහිත්‍ය නිර්මාණයක්
වන අතරම එය විල්ගමුවේ සංඝරාජ හිමියන් විසින් රචනා කරන ලදැයි සදහන් වේ. මෙම
කාව්‍ය නිර්මාණය සිවුපද ආරය ජාතක කථා සදහා හදුන්වාදීම සදහා පෙරමුණ ගන්නා ලදැයි
යන්න විද්වත් මතය වී තිබේ. ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙය පද්‍ය
433කින් සමන්විත වේ. ස්වාමි භක්තිය හා එහි වටිනාකම පිළිබඳ කියවෙන මෙය බෝසත්
චරිතයේ සඳ කිඳුරු ජාතක කතාව සරළ බසින් උපමා උපමේය සහිතව ගැමි කාන්තාවන්
අරමුණු කොටගෙන ලියනා ලද්දක් බව මෙහි ඇති පඳ්‍ය දෙස බැලීමෙන් පසක් කරගත හැක.

සද කිඳුරු දා කවෙන් උපුටා ගන්නා ලද කවි කිහිපයක්.

ඇදගත් තදින් විදි සැර නොවැරදී                වැ ද
හියපත් මුවෙන් වැම්මෙන ලේ හැලි          නොම ඳ
බලවත් දුකින් වලපින හිමි නුඹ                  වැල  ඳ
මගෙ නෙත් දියෙන් සේදී ගෙනැ ගියේ       වෙ ද

මෙම කවියෙන් කිඳුරා හට වැදුනා වූ අනපේක්ෂිත හීසර පහරින් ගලනා වූ රුහිරු දහරාව දැක
බියෙන් මුසපත් වූ කිඳුරිය තම ආදරණීයයා වෙනුවෙන් වැලපෙන අන්දම කියාපායි.

සිප බඳ කොමළතින් මුව වී පොවා     පියා
සැප විඳ කලක් සමඟවැ මන පිනා      පියා
ලප සද ලෙසින් උන් මගෙ හිමි මරා    පියා
අප අද කුමට වෙන් කැරැපීද පා            පියා

මෙයින් කිඳුරා හා කිඳුරිය අතර තිබුනාවූ ආදර බැදීමෙහි වූ ශක්තිමත් බවත් රජුගේ අදහසට
විරුද්ධව තම හිමි කිඳුරා වෙත වූ අකලංක පති භක්තිය එලෙසින්ම පවත්වාගනිමින් ජීවත්
වන කිඳුරිය ගැන අපූරුවට විග්‍රහ කෙරේ.

දිසි ගඟුලැල්ලේය කෙළැ             සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ              පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති      තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන්            ළතැවූල්ලේයා

කිඳුරිය තම පෙම්බර සැමියා සමඟ ගතකල සුන්දර ජීවිතය පිළිබදවත් කිඳුරියගේ රුවට
ලොල් බැඳ කිඳුරාට හී සැර විදි රජුද කිඳුරියගේ පතිභක්තිය හමුවේ ළතැවෙන අන්දම මෙම
කවියෙන් මොනවට විස්තර කෙරේද.

උපුල් කඩා ගෙනැ කනලා        සුපුල්වන
ළකල් කුසුම් දම් කරැලා           එකල්වන
නිමල් මෙ නුඹ සහ විඳි සැප    විපුල්වන
සිහිල් සෙවණැ උන් මට මේ    තැවුල්වන

මෙම පද්‍ය නිර්මාණයෙන්ද කිඳුරා හා කිඳුරියගේ අතීත ජීවිතයේ සුන්දර බවද කිඳුරාගේ
නිසසල දේහය අභිමුව කිදුරියගේ වැලපිල්ලද අපූරුවට විස්තර කෙරේ.

නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ       සොඳිනේ
බසෙකින් විතර වෙනසක් නොවැ         ඉඳින දිනේ
දියෙකින් නැගුණු ගින්නක් මෙන්         වියැ මෙ දිනේ
ඉතිකින් කෙසේ වෑවෙම් දෝ හිමි          සඳිනේ

අවසානයේදී කිඳුරිය තම මියගිය ස්වාමියා වෙනුවෙන් කරන්නාවූ කන්නලවුව සඳහා මෙම
පැදිපෙළ වෙන්වී ඇති අතරම මුළු පද්‍ය පන්තිය පුරාවටම පැතිර පවත්නාවූ බිරිදක් කෙරෙන්
ස්වාමියා කෙරේ විද්‍යාමාන වන පතිභක්තියේ අපූර්වත්වය  ඉතාම සරළ බස් වහරකින්
විස්තර කර තිබීමෙන් ඕනෑම කාන්තාවක්, පෙම්වතියක් හෝ භාර්‍යාවක් මෙය තම ජීවිතයේ
ජීවන අත්පොතක් බවට පත්කර ගැනීමට ඇති හැකියාව ඉතාම අගනේය.

Advertisements
ප්‍රවර්ග:කවි පියස
  1. සිංහල කූවණ්ණා
    2011 ජූලි 27 දින ප.ව. 8:54 ට

    ඇත්ටම අපේ බුදු හාමුදුරුවෝ සද කිදුරු ජාතකය දේශනා කළ සේක්ද? ඒ කියන්නේ අරිය පරියේෂණ සුතර, චංකි සුතර යනාදියෙන් කියවෙනවා නේද බෝසතුන් වහන්සේ ගිහි ගෙය හැරදා ගියේ සියඵ ඥාති මිත‍්‍රයන්ට කියලා වැද සමුගෙන ඒ අය හඬද්දී පිටවෙලා ගියා කියා. එසේ නම් අහවල් දේකටද යශෝධරාගේ පතිවතක් ගැන කියන්නේ.
    අනිත් එක ඔය ජාතකයෙන් පතිවතකට වඩා කියැවෙන්නේ බ‍්‍රහ්මදත්ත රජුගේ විකෘති කාමාශාවක් ගැන නේද? සද කිදුරන් කියන්නේ සත්‍ව කොටසක්. ඉනෙන් ඉහළ මනුෂ්‍ය, ඉනෙන් පහළ අශ්ව. ඉතින් මේ ගැහැණු සතාට පෙම් බදින මිනිසා ගැන සිතන්න. මීට වඩා වෙස්සන්තර ජාතකයේ පතිවත ගැන කියැවෙනවා. සදමහ රජු වනයට යන්න නියෝග දුන්නේ වෙස්සන්තර යුව රජුට. මන්තී‍්‍ර දේවිට සැපට මාළිගයට වී ඉන්න තිබුණත් එයත් ගියා.

  2. chandrawansha
    2011 ඔක්තෝබර් 14 දින පෙ.ව. 8:41 ට

    කරුණාකර හැකිනම් තව දුරටත් මෙය යාවත්කාලීන කරගෙන යන්න. එය අගයකොට සලකමි.

  3. හංස
    2012 පෙබරවාරි 2 දින පෙ.ව. 9:35 ට

    @ සිංහල කුවණ්ණා – ජාතක කතාව හරියට අධ්‍යයන කරලා බලන්න අනික බුදුන් වහන්සේ ගිහි සැප සේරම අත් හැරලා තමයි බුදු බව පතාගෙන යන්නේ එහෙත් චන්ද කින්නර ජාතකේ කියන්නේ යසෝදරාවගේ පති භක්තිය පෙන්වන්න.. මෙසමයේ විතරක් නෙමෙයි ඉහත ආත්ම වලත් යසෝධරා තමන්ට බුදු බව ලබා ගන්න උදව් උපකාර කල කාන්තාවක් කියලා දේශානා කලා මිසක ඇය ගැන ආල සිතක් පහල වෙලා නෙමෙයි. ලේන කුලයේ ඉදලා ශාක්‍යය කුලයට එනකම් බුදුන් වහන්සේට සහය දැක්වු පතිනියක් බව කියන්නයි බුදුන් වහන්සේ චන්නකින්නර ජාතකේ දේශනා කලේ වෙස්සරන්තර ජාතකෙන් කියවෙන්නේ ධාන පාරමිතාව ජාතක කතාවේ මුඛ්‍ය පරමාර්තයක් තියෙනවා දේශනා කරන්න හේතුවක් තියෙනවා මුල මැද අග නිසියාකාරව අධ්‍යයනය කරන්න එත කොට තේරුම් ගන්න පුළුවන් කතාවක් දේශනා කරන්නේ කුමන හේතුවක් අරබයාද කියලා.. වෙස්සන්තර ජාතකෙත් පතිවෘතාව ගැන කිය වෙනවා එත් එකේ මුඛ්‍ය අර්ථය වෙන්නේ දාන පරමිතාව එත් යසෝධරවා ලේන කුලේ ඉදලා ශාක්‍යය කුලය වෙනකම් බුදුන් වහන්සේගේ පතිනිය වෙන්න ප්‍රර්ථනා කල අතරතුර තවත් එක් ආත්මයක වෙස්සන්තර රජ්ජුරුවන්ගේ පතිනියක් වෙලා උදව් උපකාර දැක්වුවේ නැත්තම් බුදු බව ලබා ගන්න බැහැ. ධාන පාරමිතාව පුරන්නත් බැහැ. එත් වෙස්සන්තර ජාතකේ ධාන පාරමිතාව මුල් තැන දිලා තියෙන්නේ එකේ මුඛ්‍ය අර්ථය ධාන පරමිතාව නිසා. මෙන්න චන්ද කින්නර ජාතකය දේශනා කරන්න හේතුව කියවලා බලන්න

    බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

  4. 2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:43 ට

    ඇත්තටම කූවන්නාගේ කතාව මමද අනුමත කරමි. ඔය ජාතකයෙන් පතිවතක් ගැන කියවෙන්නේම නැත. අනිත් එක ඔය තරම් පේවිලා හිටිය යශෝදරා බුදුහිමි මුණ ගැසීමට තම යහන ගබඩාවෙන් එළියට ආවේ නෑ.
    අද මුහුදු ගිහින් අතරමං වුණු තම සැමියා හත් මාසයකින් ගෙදර ආවත් බිරිඳ පෙරමගට දුවන්නේ නැද්ද? මට නම් හිතෙන්නේ යශෝදරා ශුද්ධෝදන රාජ නියමයෙන් නිවාස අඩස්සියේ හිටියා කියලයි. යශෝදරාගේ පියා සුප‍්‍රබුද්ධ රජ බුදුහිමිට වරක් බැණ වැදුණේ ඇයි? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයිලු.
    ජාතක කතා කිසි විටක බුදුන් වහන්සේ වදාළේ නැත. එය කනිෂ්ක රජ දවස සාමාන්‍ය ජනතාව බුද්ධාගමට ඇඳ බැඳ තැබීමට කළ දෙයකි.
    අනිත් අතට මොහොතක් සිතන්න. පිං පව් මොනවාද? කුසල් අකුසල් මොනවාද කියා. දානය යනු පිං කි‍්‍රයාවකි. මෙමගින් කිසි විටක නිවන් දැකිය නොහැක. සිව්පසයට ලොබ බැඳගත් අපේ ස්වාමීන් වහන්සේලා තමයි මෙම ජාතක කතා ආල වට්ටම් දාලා ලියලා තියෙන්නේ.
    බලන්න කුස ජාතකය දිහා. ගැහැණු සො`ඩාට පබා වෙනුවෙන් පබාගේ මාළිගයේ දර දිය අදින්නත් පුලුවන් වුණා. ඒ වුණාට වෙස්සන්තර ජාතකයේ දරුවන් දන් දෙනවා වාල් වැඩට. ඇයි වෙස්සන්තරට යෝජනාවක් ගෙනෙන්න බැරි වුණේ බමුණ, දරුවන් වෙනුවට නුඹේ ගෙදර වාල් වැඩට මම එන්නම් කියා? බමුණා කැැමති වෙයිද නැද්ද කියන එක වෙනම කතාවක්.
    බලන්න ගුත්තිල ජාතකය දිහා. ගුරුවරයකු සතුවිය යුතු ගුණාංග තියෙනවාද එහි? මා නම් මගෙන් ඉගෙන ගත් කෙනකු මට වඩා ඉහළ තත්ත්‍වයක ඉන්නවා නම් ලොකු සතුටක්. ශක‍්‍රයාගෙන් උදව්වෙන් කපටිකමෙන් ලද ජයග‍්‍රණයක් ගැන බෝධිසත්‍වයකුට උදන් ඇනිය හැකිද?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: