නිවස > කාළීන සිදුවීම්, දුටුගැමුණු බළකාය > මේ සිංහල බැරි අපගෙ රටයි

මේ සිංහල බැරි අපගෙ රටයි

ස්වර 16ක් ව්‍යංජන 43ක්  සහිතව එන අපේ හෝඩිය, එහෙමත් නැත්නම් සිංහල හෝඩිය ගැනයි අද බළකායෙ අවධානය යොමු වෙන්නෙ. අපි කතා කරන්නට යන මාතෘකාව පොඩ්ඩක් පැත්තකින් තියලා අපේ සිංහල හෝඩිය ගැන ටිකක් විපරම් කරලා ඉමු.

පටන් ගනිද්දිම කිව්වා වගේ සිංහල හෝඩියට පණකුරු, එහෙමත් නැත්නම් ස්වර 16කුත් ගතකුරු හෙවත් ව්‍යංජනාක්ෂර 43කුත් අන්තර්ගත වෙනවා. ස්වර, ව්‍යංජන දෙකම ඇතුලත් හෝඩිය හඳුන්වන්නෙ මිශ්‍ර සිංහල හෝඩිය කියලයි (ශුද්ධ සිංහල හෝඩිය කියන්නෙ මහප්‍රාණ අකුරු රහිත හෝඩියට, මෙහි සම්පූර්ණ අකුරු ගණන 32යි).

අපි හදිස්සියේම සිංහල හෝඩියේ අක්මුල් හොයන්නට පටන් ගත්තෙ ඇයි කියලා හිතාගන්න පුළුවන්ද? සැරිසර චාරිකා තරමටම (සමහර විට ඊටත් වඩා) අන්තර්ජාලයේ වෙබ් පිටු, බ්ලොග් අතර සැරිසරන අපේ කණ්ඩායම නිතර දකින දෙයක් බවට මේ ව්‍යාකරණ  දෝෂ පත්වෙලා. බොහොමයක් වෙබ් අඩවි, බ්ලොග් පමණක් නෙමෙයි, එදිනෙදා ව්‍යවහාරයෙත් විව්ධ වෙනස්කම් දකින්නට පුළුවන්. භාෂාවකට කලින් කලට විවිධ වචන එකතු වීම සාමාන්‍ය දෙයක්. භාෂාවකට වචන එකතු විය යුත්තෙ එම බස රැකෙන, එය තවත් දියුණුවන ආකාරයට මිස එය නැසෙන ආකරයට නොවෙයි. භාෂාවක විකෘති වීමක් සිදුවෙනවා නම් එම භාෂාව භාවිතා කරන්නන් විසින් බස නැසෙන්නට පෙර රැකගත යුතු වෙනවා.

අප බොහෝවිට ලිඛිත සිංහල වල දකින්නෙ මහාප්‍රාණ, අල්පප්‍රාණ අකුරු වැරදි ලෙස යොදාගැනීම්. සරලව කිව්වොත් න ණ ල ළ දෝෂ.  ඒ වගේම හරසුන් කෙටි යෙදුම් පවා සිංහලට එක් වෙමින් පවතිනවා. උදා: ලොල් …… මෙහි ඉංග්‍රීසි යෙදුම “Laugh Out Loud” වුවත්, මෙලෙස සිංහලෙන් “ලොල්” (lol) යනුවෙන් භාවිතා කිරීම අරුත් සුන් වේ ( සිංහල භාෂාවේදී යම්කිසි දෙයකට ඇලීම, තෘෂ්ණාව යන තේරුම ගෙනදීමට “ලොල්” වචනය යොදා ගනී). මීට අමතරව විහිළුවට සිංහල වචන විකෘති කිරීමත් දැන් ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී (පික්ශු, අෆි, ෆල …. ආදී වශයෙන්). මෙහිදී  ඉහත කී කරුණු දෙක ගැනම අපට අවධානය යොමු කරන්න වෙනවා.

සිංහල ව්‍යාකරණ අපේ ඈයොන්ට මෙච්චරටම වරදින්නෙ ඇයි?  සිංහල භාෂාව, අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයක්ව තිබියදීත් අපේ සිංහල දැනුම දිනෙන් දින මොට වෙන්නෙ ඇයි? විශේෂයෙන්ම අප රටේ උගත් පරපුර තුල මෙම තත්වය වැඩිපුරම දකින්නට ලැබීම කණගාටුවට කරුණක්.  ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරන සිසුන් බහුතරයකගේ සිංහල දැනුම දුර්වල මට්ටමක පවතී. හොඳින් කතා බහ කලත් ලියන්න කියන්න අපහසුයි. නමුත් අපට සිංහල බැරිවීමට සම්පූර්ණ හේතුවත් ඉංග්‍රීසි භාෂාව කියලා කියන්න බැහැ මෙතනදි.  මොකද භාෂා දෙකම නිවැරදිව භාවිතා කරන පිරිසකුත් අප අතර නැතුව නෙවෙයි. මෙතන ප්‍රධාන ගැටළු ලෙස අපි දකින්නෙ නොසැලකිලිමත් කම, සාමාන්‍ය පෙළ පන්තියේදි උගත් දෑ අමතක කරලා ඉහලට යන කොට සිංහල භාවිතයෙන් දුරස් වීම, දරුවන්ට ඉංග්‍රීසි හුරු වෙන්න කියලා නිවෙස් වල මව්බස වෙනුවට ඉංග්‍රීසි කතා කිරීම, සිංහල කතා කිරීම මදිකමක් ලෙස සලකන උගත් මෝඩයන් රැලකුත් ජාතියේ අවාසනාවට බිහිවීම. මෙන්න මේ වගේ හේතු නිසා වර්තමාන පරපුර සිංහල වෙනුවට අමුතුම භාෂාවක් කතා කරයි. එම භාෂාවේ සිංහලට වඩා ඇත්තේ කෙටි යෙදුම්, විකෘති කල වචන සහ ඉංග්‍රීසි වචනයි. මෙතනදි පැහැදිලිවම සිදුවන්නේ එක භාෂාවක්වත් වත් හරියට කතා නොකිරීමයි. අවසානයේ බලද්දි මේ වගේ උදවියට එක භාෂාවක් වත් හරියට බැහැ. අතීතයෙදි සිංහල මිනිස්සු අකුරු කරන්න ගියේ පන්සලට.  සිංහල භාෂාව වගේම සාහිත්‍ය, බුද්ධ ධර්මය පිළිබඳ එතනදි උසස් මට්ටමේ අධ්‍යාපනයක් ඔවුන්ට ලැබුණා. වර්තමානය වනවිට මේ තත්වය අපෙන් ගිලිහිලා ගිහින් මදිවට සිංහල ඉගෙන ගැනීමටත් වැඩිදෙනාගෙ නැඹුරුවක් නැහැ. මේ අතර දකින්නට පුළුවන් හාස්‍යජනකම දේ තමයි සමහරුන්ට ඉංග්‍රීසි කතා කරන්නට යාමේදී වැරදුනොත් එය මදිකමක් ලෙස සැලකුවද සිංහල වැරදුනාට ගානක්වත් නැති වීමයි. හරියට සිංහල කතා කරනවට වඩා මෙහෙම කතා කරලා ආඩම්බර වෙන්නෙ අහවල් එකක් ගැනද?

මෙම අභියෝගයන්ට මුහුණ දෙමින් සිංහල බස අපූරුවට භාවිතා කරන පිරිසකුත් අප අතර නැතුවාම නෙමෙයි, ඉන්නවා. නමුත් ඔවුන් අතරම ඉන්නවා පිරිසක්, හොඳට සිංහල දැනගෙනත් විහිළුවට වචන විකෘති කරන. මේ කෙරුවාව හුදු විහිළුවක් නෙ කියලා අහක දාන්න බැරි කමකුත් නැහැ.  නමුත් එකම විහිළුව දිගින් දිගටම කරන්න ගියොත් ඒක විහිළුව කරන කෙනා ඇතුළු අවට ඉන්න කාට කාටත් පුරුද්දට යනවා. අමුතු අමුතු වචන අපේ ශබ්ද කෝෂයට එකතු වෙන්නෙ අන්න එහෙමයි. මේ ව්‍යසනයට විද්‍යුත් මාධ්‍ය පවා වගකිව යුතුයි. භාෂා දෙක තුනක් එකට එකතු කර කතා කිරීම (සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ විටෙක දෙමළ) ගුවන් විදුලි නිවේදකයන්ගේ අළුත් නිවේදන රටාවක් බවට පත්වුණේ මීට වසර කිහිපයකට උඩදි. මේ වෙද්දි එය රූපවාහිනියත් ආක්‍රමණය කරල හමාරයි. මිලියන 15.6ක් වන සිංහල ජනගහණයෙන් සිංහල භාෂාව කතා කරන පිරිස සංඛ්‍යාත්මකව ඊට වඩා හුඟාක් අඩුයි. අපි කියන්නෙ සැබෑවක් බව වැටහේවි සුපිරි වෙලඳසැල්, සිනමාශාලා අවට ටික වෙලාවක් ගැවසුණොත්. මේ මාතෘකාව ගැන කතා කරද්දි ගමෙන් නගරෙට එන, විදේශගත වෙන පවුල් ගැනත් කියන්නම ඕනෙ. ගමෙන් නගරෙට ඇවිත් ඒ ජීවන රටාවට හුරුවෙන්නට යන තරුණ තරුණියන් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා එදිනෙදා බස් වහරට ඉංග්‍රීසි වචන ඈඳා ගන්න නැඹුරු වෙනවා. මේ තුලින් තමාගෙ සමාජ තත්වය ඉහළට යනු ඇතැයි ඇතැමෙක් මුලා වීම තුලිනුයි හුදෙක්ම මෙය සිදුවන්නේ (වත්මන් ව්‍යවහාර භාශාවෙන් කියනව නම් ටිකක් ‘පොශ්’ වෙන්න හිතාගෙන සාදයකදි මද්‍යසාර පානය හා සමාන වැඩක් තමයි මේකත්). විදෙස්ගත වෙන සිංහල පවුල් ගැන කීවොත් කියන්නට තියෙන කණගාටුදායකම සිද්ධිය තමයි එහෙ හැදෙන වැඩෙන අපේ දරුවන්ට මව්බස බැරිවීම. ලෝකේ අනික් හැම රටකින්ම වගේ, බටහිර රටවලට සංක්‍රමණය වූ විවිධ ජාතීන්ගෙ දරුවන් (උදා: ඉන්දියාව, චීනය, තායිලන්තය, ස්පාඥ්ඥය …ආදී රටවල්) අපූරුවට තමන්ගෙ මව් බසින් කතා කරද්දි අපේ දෙමව්පියො “බබාලට සිංහල බෑ” කියන්නෙ හරිම ආඩම්බරයෙන්. ටිකෙන් ටික අපේ භාෂාව අපෙන් ඈත් වෙන්නෙ අපටත් නොදැනීමයි.

සිංහල භාෂාව කියන්නෙ ලෝකෙ තියෙන පොහොසත්ම භාෂාවලින් එකක්. ඒ වගේම අපට අගයක් නැති උනාට වඳවී යන භාෂාවලිනුත් එකක්.  සිංහල දිවට හුරු අපි ඉංග්‍රීසි, හින්දි ආදී අනෙක් භාෂාවල් පහසුවෙන් ග්‍රහණය කරගත්තත් එම ජාතීන්ට අපේ භාෂාවට එහෙම ලේසියෙන් හුරු වෙන්න බැරි බව ඔබ දන්නවාද? මේ තරම් සාරවත් භාෂාවක් නිකරුනේ අපෙන් ගිලිහී යන්නට ඉඩ තියමුද? සිංහල කතා කිරීම අපට නම් ආඩම්බරයක්. මගේ මව් බස කියලා කියන්න තියෙන්නෙ සිංහල. වෙන කිසිම භාෂාවකට ගන්න බැරි, දෙන්න බැරි තැනක් ඒක. සිංහල භාෂාව රැක ගැනීමේ වගකීම පැවරෙන්නෙ සිංහල කතා කරන අපටමයි. සිංහල භාෂාව රැකගත යුත්තේ සිංහලයන්ම වන අතර සුද්දන් පැමිණ එය රැක දෙන්නෙ නැහැ. අද සිටවත් ඔබ සිංහල භාෂාව භාවිතයේදී පෙරට වඩා සැලකිලිමත්වී අපගේ භාෂාව රැක ගැනීමට කටයුතු කරන්න, නැතහොත් වඳ වෙමින් පවතින භාෂා ගොන්නෙන් වඳවූ භාෂා ගොන්නට නුදුරේදීම සිංහල භාෂාවත් එකතුවීම නොවැලැක්විය හැකි වෙයි. ඒ බව සිහි තියාගෙන අපි කටයුතු කරමු. එහෙම කියන ගමන් මේ සටහන අවසන් කරන්නට හිතුවා ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගෙ ගුරු තරුව වේදිකා නාට්‍යයේ එන මෙන්න මේ ගීතයත් සමඟින්.

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ

අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත
ඈතින් ඈතට
ඉහමොල මද නැති
ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ හැටි

ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ

ගීතය ලබාගත්තේ – අවකාශයේ නූර්ති නාඩගම් ගී එකතුවෙන්

  1. මහා සිංහල
    2010 ජූනි 10 දින පෙ.ව. 10:07 ට

    සිංහල භාෂාව ඔබ කියු ලෙස වද වීමක් වූවත් එය වර්තමානයේ සංරක්ෂිත/ඉතා පොහොසත් භාෂාවක් ලෙස විදේශ විශ්ව විද්‍යාල වල අර්ථනය කර ඉගැන්වෙනු ලබයි. රුසියාවේ භාෂා සාහිත්‍ය විශයයන් හි සිංහල යනු වැදගත්මකොට ඉගැන්වෙන භාෂාවයි. ලිපිය කාලෝචිතයි

  2. 2010 ජූනි 10 දින පෙ.ව. 10:11 ට

    මචෝ,
    මමත් සිංහල ගැන ලියල තියෙනවා. ඒත් මට හිතෙන්නෙ දැන් අපේ මිනිස්සුන්ට සිංහල ඕනෙ නෑ. අපේ උන්ට කන්න, බොන්න, ජොලි කරන්න තියෙනවා නම් උන් සිංහල විතරක් නෙවෙයි තමන්ගෙ අම්මටත් පයින් ගහයි.

    අනිත් එක අපි මතක තියා ගන්න ඕනෙ සිංහල වලට නැතුවට ඉංග්‍රීසි වලට අති විශාල දේශපාලන හා ආර්ථික පසුබිමක් තියෙනවා කියලා. සල්ලි, බලය, සමාජයේ පිළිගැනීම හම්බෙනවානම් අපේ මිනිස්සු එක පයින් කැමතියි සිංහල අතෑරලා ඉංග්‍රීසියට මාරු වෙන්න.

    මෙන්න මේකත් බලන්නකෝ: http://trueorcrazy.blogspot.com/2010/06/blog-post_10.html

  3. චතුර විජේකෝන්
    2010 ජූනි 10 දින පෙ.ව. 11:33 ට

    කාලෝචිත හොඳ ලිපියක් සහෝ… හැබැයි මටත් ඔය ණනලළ ප්‍රශ්ණය නම් තියෙනවා. තියෙන වැඩ සමුදායත් එක්ක නිවැරදිම සිංහල ඉගෙන ගන්න තියෙන ඉඩකඩ සීමිතයි. ඒත් ඔබ කියන බොහෝ කරුණු සමඟ මං එකඟයි. සිංග්ලිෂ් කතා කරන එක අද විලාසිතාවක් වෙලා… මේක සිංහල බසට විතරක් වුණු දෙයක් නෙවෙයි. දමිළ බස දැන් හසුරුවන්නෙත් එහෙමනේ… මේකට තදින්ම වග කියන්න ඕනි එක කොට්ඨාශයක් තමයි, විද්‍යුත් මාධ්‍ය. ඔවුන් බොහෝ දෙනා කතා කරන විදිහ මට නම් අහගෙන ඉන්න හරිම අමාරුයි….හරවත් දෙයක් කතා කළාට ස්තුතියි.

    @ජීවන්ත
    ඔයාගෙ ලිපිය ඉතාම හරවත්. මගේ ආචාරය!

  4. මහා සිංහල
    2010 ජූනි 10 දින පෙ.ව. 11:43 ට

    ඔව් ඔබ හරි ඔය රූපවාහිනිය ෙම්කට හුගක් වගකියන්න ඔන දැන් බලන්න ඔය නාලිකා වල යන සිංහල ප්‍රවෘත්ති විකාශ එ්වා පටන් ගන්ෙන්ම භාෙග්ට ඉංග්‍රිසි වලින්. සිරස බලන්න සිංහල ප්‍රවෘත්ති විකාශය පටන් ගන්නේ NEWS 1st කියලා කොහේ සිංහලක්ද? එතකොට ස්වර්ණවාහිනිය ලයිව් ඇට් එයිට්. බලන්න ඉතින් මුන්ගේ දැනුම මේ අයට කිසිම භාෂාවක් හසුරුවන්න බෑ

  5. Indu
    2010 ජූනි 10 දින පෙ.ව. 11:56 ට

    කතාව ඇත්ත.
    සමහර වෙලාවට අපි ගොඩදෙනෙක්ට න,ණ, ල, ළ වැරදි වෙනව, ඒ නොදන්න කමට. මොකද සාමාන්ය පෙළ සිංහල උසස් ලෙස සමත් වෙන්න න,ණ, ල, ළ නැති උනාට එච්චරම අවුලක් නැති නිසා. අනික් හේතුව සමහර අය මේ යතුරු පුවරුවට අලුත්.
    හැබැයි ඔය දෙකටම නැති “හෆොයි” ලට නං සමාවක් දෙන්න බෑ තමයි.

  6. 2010 ජූනි 10 දින ප.ව. 4:36 ට

    අක්ෂර වින්‍යාසය වරද්දන අති බහුතරය ආසාව‍ට වරද්දන අය නෙවෙයි. පරිගණක භාවිතා කරද්දිනම් ඕකට හරිම සරළ විසඳුමක් ‍තියෙන්නේ. ලියපු දේ publish කරන්න කලින් spell checker එකකින් පරික්ෂා කලානම් හරි. ඒත් ඉතින් මගේ පරිගණකයෙත් එහෙම පහසුකමක් නෑ. (කලින් වැඩ කල තැනකනම් තිබුණා.) ඒ නිසා මේ වාක්‍ය කීපයෙත් වැරදි ඇති සමහර විට…

    ජොලියට මේ වගේ informal තැන්වල ෆන් වචන ලිවුවට වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නේ.

  7. 2010 ජූනි 10 දින ප.ව. 8:19 ට

    (මේ කමෙන්ටුව බලා මකා දමන්න)

    මේ අඩවියේ දකුණු පැත්තෙ තියෙන පැති තීරුවේ(sidebar) තියෙන සමහර ඒවායේ අක්ෂර වින්‍යාසය වැරදියි. ඒ වගේම උඩ තියෙන තීරුවෙ “සාහිත්‍ය පියස” කියන එකෙත් අක්ෂර වින්‍යාසය වැරදියි. තව තව ඒවලත් වරදි තියෙනවා. ඒවා පොඩ්ඩක් බලල හැදුවනම් අගෙයි.

    • 2010 ජූනි 10 දින ප.ව. 9:46 ට

      ජීවන්ත :

      (මේ කමෙන්ටුව බලා මකා දමන්න)

      මේ අඩවියේ දකුණු පැත්තෙ තියෙන පැති තීරුවේ(sidebar) තියෙන සමහර ඒවායේ අක්ෂර වින්‍යාසය වැරදියි. ඒ වගේම උඩ තියෙන තීරුවෙ “සාහිත්‍ය පියස” කියන එකෙත් අක්ෂර වින්‍යාසය වැරදියි. තව තව ඒවලත් වරදි තියෙනවා. ඒවා පොඩ්ඩක් බලල හැදුවනම් අගෙයි.

      ප්‍රතිචාරය මකන්න අවශ්‍ය වන්නේ නැහැ. මක් නිසාදයත් මේ ලිපිය අපටත් අදාලයි. මෙම බ්ලොග් අඩවියේ උනත් වැරදි තියෙන්න පුළුවන්. අපට වුවමනා කර තිබෙන්නෙ ඒ වැරදි හදාගෙන අනික් අයටත් ආදර්ශයක් දෙන්න. සිංහල “WordPress” පරිවර්ථන වලත් ගැටළු තිබෙන තැන් නැතුවා නොවේ. මේ කාරණය නිසාමයි අප සිංහල භාෂාව පිලිබද හොඳ දැනුමක් තිබෙන සංස්කාරක මණ්ඩලයක් පත්කරගත්තේ. ඔවුන් මෙහි වැරදි දුටු විට වහා එය නිවැරදි කරනවා (ඔවුන්ටත් මගහැරුණු වැරදි තිබිල වගේ). වැරදි පෙන්වාදුන් ඔබට අපගේ ස්තූතිය.

      තෙරුවන් සරණයි!

    • Dilantha
      2011 ජූනි 12 දින පෙ.ව. 12:03 ට

      මෙතැනදී අක්ෂර වින්‍යාසය කොහොමත් පරික්ෂා කිරීම අමාරු කාර්යයක්, පරිගණක ක්‍රමවේදයේදී ඉංග්‍රීසි වගේ සරල බසා පරික්ෂා කිරීමාදී පවා ගැටළු තියෙනවා.. අදහස පැහැදිලි නම් එකයි වැදගත් වෙන්නේ මොකද මේක අපි අතින් පෑනක් අරගෙන ලිවීමක් නොවන නිසා, සමහර අකුරු මගහැරන්න පුළුවන් පරිගණක පුවරුව ඉංග්‍රීසි නිසාවෙන්, අපට බැස දෙකකින් සිතීමට සිදුවන නිසාවෙන් කියලයි මගේ අදහස.

  8. 2010 ජූනි 11 දින පෙ.ව. 2:28 ට

    මිත්‍රයා… මා දන්නා එකම කරුණ මා කිසිවක් නොදන්නා බවයි. උත්සහා කරනවා හැමවිටම නිවැරදිව ලියන්න කියන්න.. එත් ඉතින් වරදිනවා. මගෙ භාෂාවට මම ආදරෙ කරන්න ඔනා නැද්ද.. එක මමයි රැකගන්න ඔනා.. එක පිට එකෙක් රකින්නෙ නැහැ.. බලමු අපි පුලුවන් විදියට මෙක කරමු.. වැදගත් යමක්.. අපිත් දකින් දෙ තමයි ඉස්සරහට ගෙනියන්නෙ…

    ස්තුති ලිපියට..

  9. 2010 ජූනි 11 දින පෙ.ව. 11:41 ට

    MPTalks :

    අක්ෂර වින්‍යාසය වරද්දන අති බහුතරය ආසාව‍ට වරද්දන අය නෙවෙයි. පරිගණක භාවිතා කරද්දිනම් ඕකට හරිම සරළ විසඳුමක් ‍තියෙන්නේ. ලියපු දේ publish කරන්න කලින් spell checker එකකින් පරික්ෂා කලානම් හරි. ඒත් ඉතින් මගේ පරිගණකයෙත් එහෙම පහසුකමක් නෑ. (කලින් වැඩ කල තැනකනම් තිබුණා.) ඒ නිසා මේ වාක්‍ය කීපයෙත් වැරදි ඇති සමහර විට…

    ජොලියට මේ වගේ informal තැන්වල ෆන් වචන ලිවුවට වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නේ.

    ඔබගේ මෙම ප්‍රතිචාරයෙන් ඔබ මෙම ලිපියවත් හරියට නොකියවා ඇති සැටි පෙනෙයි. ඒ කෙසේ වෙතත් ඔබ පවසන ආකරයේ සිංහල අක්ෂර වින්‍යාස පරික්‍ෂාකරණයක් (spell checker) තිබේ නම් ( අප දැනුවත්ව නම් සැමට භාවිතා කල හැකි එවැනි මෘදුකාංගයක් නොමැත) එය සිංහලෙන් පරිගණකයෙහි වැඩ කටයුතු කරන්නන් හට පහසුවක් වනු ඇත. එහෙත් එවැනි දෙයකින් එදිනෙදා කටයුතු වලදී සිදුකරන වැරදි නිවරදි කරගත නොහැකිය. මෙම ලිපිය ලියා ඇත්තේ අන්තර්ජාලය තුල සිංහල භාවිතය ගැන පමණක් නොවන අතර වර්තමානයේ සිංහල භාෂාවට සිදුවී ඇති ව්‍යසනය ගැන දැනුවත් කීරීමටය.

    ඔබගේ ප්‍රතිචාරයේ අවසාන වැකියට මම පිළිතුරු දීමට අදහස් නොකරන අතර එයට පිළිතුරු මෙම ලිපියේද ඇතුලත් වේ. ඔබ සිංහලයෙක් නම් ඔබේ ඇති දීන කමද ඉන් මනාවට පැහැදිලි වේ.

    මෙම ලිපියත් කියවන්නේ නම් මැනවි http://trueorcrazy.blogspot.com/2010/06/blog-post_10.html

    තෙරුවන් සරණයි!

  10. Indika
    2010 ජූනි 11 දින ප.ව. 4:12 ට

    ලිපියෙහි ඇති කරුනු පිළිබඳව එකඟ වෙමි. සින්හල ව්‍යාකරණ හා නණලළ භේදය ඉගැන්වෙන ලිපි අන්තර්ජාලයෙහි සුලභ කිරීමට හැකි නම් මෙම විනාශයට කොමාවක් තැබීමට හැකි වෙතැයි සිතමි.මෙම ගැටලුවට තිත තැබීමට නම් පර ගැති ගති හිස් වලින් ඉවත් කර ගත යුතුම වේ.

  11. උපේන්ද්‍රමිණික
    2010 ජූනි 12 දින ප.ව. 2:10 ට

    මා දන්නා පරිදි අන්තර්ජාලයේ ප්‍රතිපත්තියක් විදිහට ව්‍යංජනාක්‍ෂර පමණක් භාවිතා කරනා ලියුම්කරුවන් ඇත.කුමන හේතුවක් නිසාදයැයි නොදනිමි.මූර්ථජ අක්‍ෂර අමතක කිරීම ගැන මම නම් සතුටු නැත.

    • 2010 ජූනි 14 දින ප.ව. 10:06 ට

      උපේන්ද්‍රමිණික :

      මා දන්නා පරිදි අන්තර්ජාලයේ ප්‍රතිපත්තියක් විදිහට ව්‍යංජනාක්‍ෂර පමණක් භාවිතා කරනා ලියුම්කරුවන් ඇත.කුමන හේතුවක් නිසාදයැයි නොදනිමි.මූර්ථජ අක්‍ෂර අමතක කිරීම ගැන මම නම් සතුටු නැත.

      එලෙස ප්‍රතිපත්තියක් කියා භාෂාව විකෘති කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. අනෙක ව්‍යංජනාක්ෂර වලින්ම පමණක් කෙනෙක් ලිපි ලියන්නේ කෙසේදැයි මට වටහා ගන්නට නොහැකිය.

  12. 2010 ජූනි 15 දින ප.ව. 1:50 ට

    ඔබේ ලිපිය කාලෝචිතයි.
    ඇත්තටම තමන්ගේ බස රැක ගැනුම අයිති බස කථා කරන්නන්නට මිස පිටස්තරයන්ට නොවන බව අවබෝධ කර නොගන්නා තෙක්..සිංහල භාෂාවට ඇති මේ අනතුර පහව නොයනු ඇති.
    ඔබට හැකිනම් අකුරු භාවිතාව පිළිබඳව ලිපි පෙලක් පල කරන්නට නොදන්නා අයට බොහෝ වැදගත් වේ යැයි මම සිතමි
    බොහෝම ස්තූතියි …!!ඔබට

  13. නුවන් බුද්ධික
    2010 ජූනි 15 දින ප.ව. 9:36 ට

    ගොඩක් වැදගත් ලිපියක්. බොහොමත්ම ස්තුතියි ඔබට.
    දුර දිග නොබලා ලියන්න ගිහින් මගෙ අතිනුත් මේ වගේ වැරදි සිද්ද උනා කියල හිතෙනකොට ලැජ්ජ හිතෙනව. දැන් නම් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනෙ මේ ගැන.
    නැවතත් බොහොම ස්තුතියි ඔබට මෙසේ අපව දැනුවත් කිරීම ගැන…

  14. lakshanj
    2010 ජූනි 24 දින පෙ.ව. 1:42 ට

    වැදගත් ලිපියක්…

  15. නිශ්ශංක
    2010 ජූලි 1 දින ප.ව. 4:51 ට

    මේ ලිපිය දැම්මෙ කවුරු වුනත් නියම විදියට ඒ දේ කියලා තියෙනවා. ඔව් ඔබ කියන්නේ අනන්තයක්% ඇත්ත. මමත් මගේ මව් බස රැක ගන්න ගොඩක් උත්සාහ දරනවා. ඒ වගේම තවත් සමහර මී ගව රෑනක් අපි අතරෙ ඉන්නවා. උන්ට සිංහල කතා කරන එක ලොකු මදිකමක්. හොඳට සිංහල පුළුවන්. ඒත් කතා කරද්දි ඉංග්‍රීසි හුරුවකට සිංහල බෑ වගේ තමයි කතා කරන්නෙ. උන් නියම විහිළුකාරයෝ. ඒ වගේම සම(හරක් ) ඉන්නවා සුද්දගෙ භාෂාව ඉහළ පැළැන්තියේ ආභරණයක් කරගෙන. වැදගත් උත්සවවල ඉන්න හැම එකාටම සිංහල පුළුවන් වුනත් කතා කරන්නෙ සුද්දගෙ භාෂාවෙන්. උන්ට ඒ මුල අමතක වෙලා. මෙන්න මේ වගේ අමන බූරු තීරණ නිසා තමයි අද මගේ සිංහල භාෂාව වෙනුවෙන් මළ බෙර ගහන්න වෙලා තියෙන්නෙ. මිත්‍රයා ඔබට දහස් වතාවක් ස්තූතියි මේ වගේ කාලෝචිත දැඩි අර්ථවත් ලිපියක් දැමීම සම්බන්ධයෙන්.

  16. Dasun Sameera
    2010 ජූලි 29 දින ප.ව. 6:40 ට

    සමාවෙන්න ඕන මේ ප්‍රතිචාරයේත් වැරදි තියෙනවනම්. මටනම් ගොඩක් වෙලාවට වරදින්නෙ හදිස්සියට ටයිප් කරන නිසයි. අනිකුත් විදේශ භාෂා එක්ක ගත්තම සිංහල භාෂාව තවමත් විවිධ බාධක හමුවේ නොසැලී සිටිනව කියන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයේ හින්දි වෙබ් අඩවි කීයක් සොයාගත හැකිද? දැනට ඉන්දියානුවන් වැඩිදෙනෙක් ලිවීම කියවීමට භාවිතා කරන්නේ ඉංග්‍රීසි භෂාවයි. සජීවී භාෂාවක් වෙනස් වීම බලෙන් නවත්තනවට මම නම් ටිකක් විරුද්ධයි ඒ ‍වගේම බලෙන් වචන ගෙනත්දාල විකෘති කරන එක මහ අපරාධයක්. භාෂාව තුළ ගැබ්වෙලා තියෙන ඉතිහාසයත් ඒ එක්කම වැළලෙන්න පුළුවන්.

  17. 2011 ජූනි 2 දින ප.ව. 4:32 ට

    බාසව කියන්නෙ සජීවි දෙයක් ඒක වෙන් වෙනවා ඒ විදිහට අපිටත් වෙනස් වෙන්න බැරි නම් පරිනාමයේ නියමයට අනුව අපි විනාශ වෙනවා. අද තියෙන්නෙ සුද්ද සිංහල නෙවෙයි සුද්දාගේ සිංහලයි.

    නමුත් වෙනස් වන දේ එක්කවෙනස් වෙන්න. මාත් අත්දැකීමෙන් කියන්නෙ

    • 2011 ජූනි 2 දින ප.ව. 11:32 ට

      maleesha :

      බාසව කියන්නෙ සජීවි දෙයක් ඒක වෙන් වෙනවා ඒ විදිහට අපිටත් වෙනස් වෙන්න බැරි නම් පරිනාමයේ නියමයට අනුව අපි විනාශ වෙනවා. අද තියෙන්නෙ සුද්ද සිංහල නෙවෙයි සුද්දාගේ සිංහලයි.

      නමුත් වෙනස් වන දේ එක්කවෙනස් වෙන්න. මාත් අත්දැකීමෙන් කියන්නෙ

      භාෂාව සජීවී දෙයක් යනුවෙන් ඔබ අදහස් කරේ මොකද්ද?
      භාෂාව වෙනස් කරන්නෙ ඒක භාවිතා කරන මිනිස්සුමයි. භාවිතා කරන අය නිවැරදිව භාවිතා කරනවනම් ඒ භාෂාව රැකෙනවා. නමුත් මෙතන වෙලා තියෙන්නෙ භාෂා භාවිතයේ වරදයි. ඔබ කියන විදිහට වෙනස් වෙන්න ගියොත් දැනට සිංග්ලිශ් වෙලා තියෙන භාෂාව නුදුරේදී තනිකරම ඉංග්ලිශ් වෙයි.

    • 2013 අගෝස්තු 17 දින පෙ.ව. 9:04 ට

      වෙනස් වෙන දේ කිව්වේ මොකද්ද? ඔයා අදහස් කරන්නේ නවීන ( යැයි කියාගන්නා ) ගුවන්විදුලි හා රුපවාහිනී වල භාවිතා වෙන භාෂාවට අපි හුරු නොවුනොත් ගොඩයෙක් කියයි කියලද ? ඔය මඩට බහිනවට වඩා හොඳයි ගොඩයෙක් වෙලා ඉන්න එක. අත්දැකීමෙන් කියන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා කියන්නෙයි , දේසේ හැටියට වාසෙයි කියන්නේ සම්පුර්ණ වෙනස් කතා දෙකක් 🙂

  18. Dilantha
    2011 ජූනි 11 දින ප.ව. 11:18 ට

    බුදුන් ගේ බාසාව සිංහලට බොහෝ සමානයි, එක මාගදි වගේ බශාවක් කියල බෂාම් “අසිරිමත් ඉන්දියාව” පොතේ නොකිය කියනවා, බුද්ධ භාෂාව විය යුත්තේ පිට කොන්දක් තියෙන උතුම් බාසාවක්, එහෙනම් ඒ සිංහල වෙන්න ඕනේ.. පාලි ලියන්නේ සිංහලෙන්, පාලි අකුරු අදටත් හොයාගෙන නැහැ, ඉන්දියාවේ කිසි කෙනෙක් පාලි කතා කරන්නේවත් දන්නේ වත් නෑ.. ගාථා පාඨ, නරසිහ ගාථා ඔක්කොම සිංහලට බොහෝ සමානයි.. මේක මට මහා ලොකු ප්‍රශ්නයක්, අපේ අටුවා පොත් පටන් ගන්නෙත් හෙළ අටුවාචරින්ට මගේ තුතිය පුද කරමි කියල, එහෙනං ඒ හෙළ අටුවා කෝ ?? අපේ සිවු හෙළයට මොකද උනේ ?? එහෙනං ඒ හෙළ අටුවාව පාලි වලට හැරවුවට පස්සේ ඇත්තු හත් දෙනෙක් ගේ උසට ගොඩ ගහල ගිනි තිබ්බ කතාව ඇත්තක් ද ?

  19. මාතලේ කැලුම්
    2011 අගෝස්තු 22 දින පෙ.ව. 1:43 ට

    නිවැරැදි ෙහළ බස ඉෙගනගන්න තිෙයන ෙහාද ම විධිය තමයි ෙහළ හවුෙල් වියතුන් ෙග් ෙපාත් කියවිම. ඒවිට ඉෙබ් ම අකුරු සහ වියරණය ගැන තමාටත් ෙනාදැනීම ෙහාද දැනුමක් ලැෙබයි. කුමරතුගු මුනිදස් පඩිතුමා ෙග් ඉදලා අරීෙසන් අහුබුදු පඩිතුමා දක්වා ෙපාත් ටිකක් කියවලා බලන්නකෝ මා කියන්ෙන් ෙබාරු ද කියලා.

  20. D. S. D. Kannangara
    2012 මැයි 7 දින ප.ව. 5:21 ට

    අනේ මහත්තයෝ, මේ ලිපියෙත් වැරැදි තියෙනවා නේ. අනුන් හදන්න කලින් තමන් හැදිලා හිටියා නම් හොඳයි නේද?

  21. inesh
    2012 ඔක්තෝබර් 2 දින ප.ව. 12:12 ට

    nuthana sinhala akshara malawe swara 18 wenjana 42

  22. Dilantha Perera
    2012 ඔක්තෝබර් 2 දින ප.ව. 4:59 ට

    පොත් වලින් උපුටාගෙන පමණක් ම නොදා පොඩ්ඩක් පර්යේෂණාත්මකව හෙළ බස, ඉතිහාසය, ජාතිය සහ බුද්ධ ධර්මය ගැන ලිවුවොත් හොදයි… මොකද සුද්දාගේ ඉංගිරිස් වගේ නෙමේ අපේ දේවල් ගොඩක් සංකීර්ණයි…

  23. 2013 අගෝස්තු 17 දින පෙ.ව. 8:59 ට

    කාට රිදුනත් ඇත්ත කතාවක්..

  24. 2013 අගෝස්තු 17 දින පෙ.ව. 9:11 ට

    කා ගාව හරි තියෙනවනම් “හෙල බසපේ…” ගීතය මෙතන දාන්නකො….. මතයකයි පොඩි කාලෙ නම් කට පාඩමින් ගැයුවා….
    “සුකොමල අකුරින්, බඳ ලො ලැ මිහිරින්… නොපහල රුසිරින්.. හෙල බසපේ….
    හෙල බසපේ….// හෙල බසපේ….රකිමු ඔබේ…”

  25. කෝකිල
    2013 ඔක්තෝබර් 20 දින පෙ.ව. 8:33 ට

    http://subasa.ambitiouslemon.com/spellerweb.py
    අක්ෂර වින්‍යාසය නිවැරදි කරගතහැකි අවස්ථා තියෙනව. භාවිත නොකරන එක තමයි ප්‍රශ්නෙ.

  26. 2015 පෙබරවාරි 21 දින ප.ව. 12:07 ට

    බුදිනවා යන්නෙහි අතීත කාල පදය කුමක් ද?

  27. 2015 මැයි 6 දින ප.ව. 10:06 ට

    දැන් ඇති ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්වල පවා බොහෝඅ සිංහල වැරදි ඇත.

  1. 2010 අගෝස්තු 15 දින පෙ.ව. 12:14 ට

Dasun Sameera වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න