නිවස > චිත්‍රපට/ ටෙලිනාටක/නාට්‍ය, සැරිසර > ගම අවුලඥ්ඥං හබ පටලඥ්ඥං

ගම අවුලඥ්ඥං හබ පටලඥ්ඥං

මාස කිහිපයකට උඩදි ඉරිදා දවසක දුටුගැමුණු කණ්ඩායමේ අපි කිහිපදෙනෙක් වැඩ වගයකට කොළඹට ගියා. එදින හැන්දෑවෙ එල්ෆින්ස්ටන් රඟහලේ රන්වල පදනම විසින් රඟ දක්වන ”ගම අවුලඥ්ඥං” සංදර්ශනයක් පවත්වන බව  දැනගන්න ලැබුණ නිසා අපි කරන්න ආපු කටයුතු අහවර කරලා හැන්දෑවෙ රඟහලට ගොඩවුණේ අපේ ජන සංගීතයේ මිහිර විඳින්න හිතාගෙනයි.මඟුල් බෙර පදවලින් සංදර්ශනය පටන් ගත්තෙ ප්‍රේක්ෂකාගාරයේ හිටපු අපේ උනන්දුව දෙගුණ තෙගුණ කරගෙන. බෙර පදවල රිද්මය අපේ නහර වලට දැනෙන තරමටම තීව්‍රයි. සිංහල  ලේ යක් බෙරේට ඇවිස්සෙනවා කියලා පැරැන්නො කියන කතාවෙත් ඇත්තක් තියෙන බව අපට පැහැදිලි උනේ එදා තමයි.

බුදු දහම, සිංහල සංස්කෘතිය ගැන නිතර කතා කරන දුටුගැමුණු බලකාය, මේ අයුරින් සංගීත සංදර්ශනයක් ගැන කතා කරන්න හිතුවෙ ඇයි කියලත් ඔබට හිතෙනවා ඇති.  තුන් සරණේ කවි කියාගෙනම වේදිකාවට ආපු නළු නිළි කැල විසින් ප්‍රසංගය පැවැත්වූ පැය දෙකකට ආසන්න  කාලය අපි ගත කලේ අපේ සංස්කෘතියත් එක්ක, අපේ ජන සංගීතයත් එක්ක, අපේ සාඩම්බර නැටුම් කලාවත් එක්ක.  බෙර පද, සී පද, කස්තිරම් යන මේ සියල්ලත් සමඟ රන්වල පදනම  අප ඉදිරියේ ගෙනහැර පෑවෙ අපේ කම. දිවංගත ලයනල් රන්වලයන් විසින් ඇරඹි ජන සංගීතය පෙරටු කරගත් මේ නිර්මාණ රටාව අද වනවිට රන්වල පදනම විසින් රටපුරා රැගෙන යමින් අපේ ප්‍රේක්ෂක කැල දැනුවත් කරනවා. මෙහිදී අප දුටු තවත් විශේෂ දෙයක් තමයි ඔවුන් ගායනා කරන හැම ගීතයකටම, හැම කවියකටම පෙර ඒ ගැන අපූරු හැඳින්වීමක් කිරීම. ගීතය අඩංගු ජනකවි වර්ගය, අදාල නාද රටාව ආදිය ගැනත් ඔවුන් ප්‍රේක්ෂකයා දැනුවත් කරනවා. ඒ වගේම රංගනයේ යෙදෙන ජන ගී කණ්ඩායමේ  සෑම ශිල්පියෙක්ම, ශිල්පිණියක්ම ගායනය, නර්තනය, රංගනය ආදී විෂයන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු වේදිකාවට ගොඩවූ පරිණත ශිල්පීන් සතු ගුණාංග මනාව විදහා පෑමට සමත් වුණා. සැබැවින්ම අප විසින් මේ සේවය අගය කල යුතු යැයි හිතෙන්නෙ අන්න ඒ නිසයි.

වර්තමානයේ බහුලව අහන්න, දකින්න ලැබෙන භාෂා කිහිපයක වචන ටිකක් අමුණලා සිංහලටත් නැති, ඉංග්‍රීසියටත් නැති, දෙමළටත් නැති, පද වැලක් එක්ක දෙලොවටම නැති නැටුමක් එක්ක බටහිරින් අහුල ගත්තු ඇඳුමකින් සැරසිලා නිර්මාණ යැයි කියමින් කරන බහුරූ කෝළම් ඉදිරියේ මෙවන් නිර්මාණ නියඟෙට බට පොද වැස්සක් හා සමානයි. අපි මෙහෙම නව රැල්ල තදින් විවේචනය කරද්දි අපිත් අන්තවාදී යැයි කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ ඉවක් බවක් නැති බටහිර අනුකරණයන් දිගටම පැවතුනොත් අපි අද කියන්න හදන දේ හරියටම වැටහේවි තව දශක කිහිපයකින් අපෙයි කියලා කියන්න පුළුවන් සංස්කෘතිය, සංගීතය හා  නාදරටාවන් අපෙන් ගිලිහී ගිය දාට. හරවත් නිර්මාණයන් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂක කැල ක්ෂේත්‍රයට අහිමි උන දාට. අනාගතයේ එවන් දවසක් නොදකින්නයි අපි වර්තමානයේ ඉඳන් මෙහෙම කතා කරන්නෙ.  වත්මන් පරපුරේ අපේ දේ අගයන්න හැකි පිරිස අඩු වීම අපේම අවාසනාවක් හැටියටයි අපි ඒ අතින් දකින්නෙ. ජාත්‍යන්තරයට ගියහම අපෙයි කියලා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ දේශීය නැටුම් කලාව හා ජන සංගීතය පමණයි. අපේ දේවල් හැටියට අනාගත පරපුරට අප විසින් දායාද කල යුත්තේත් එයමයි. වර්තමානයේ බොහෝ දෙනා මෙන් අනාගත පරපුරත් අනුකාරකයන් බවට පත්වීමෙන් වලක්වාගන්නට නම් මේ දැනුම අප විසින් දැයට ලබා දිය යුතුම වෙනවා.

නිර්මාණකරුවන්, කලාකරුවන් හැටියට සමාජයට හරවත් දෙයක් දායාද කිරීමේ වගකීම කරට ගෙන කටයුතු කරන රන්වල පදනමට තුති පුදන්නට දුටුගැමුණු බලකාය තීරණය කලේ ඔවුන් අපේ කම නොයිඳුල්ව ලෝකෙට ගෙනියන්න දරන සාර්ථක උත්සාහය නිසයි. ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වන මෙවැනි අධ්‍යාපනික සංදර්ශනයක් නරඹන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත් එය මගහරින්න එපා.

Advertisements
  1. 2010 ජූනි 21 දින ප.ව. 12:10 ට

    මට හිතෙන්නේ දිවන්ගත ලයනල් රන්වලයන්ට මේ පිනම අති නිවන් යන්න…ඒවගේ උග පූරුශයන් නොවෙන්නට මේ කලාව වැලලිලා ගිහින්…

  2. නුවන් බුද්ධික
    2010 ජූනි 21 දින ප.ව. 12:56 ට

    Ilandariya කියපු කතාව ඇත්ත. එතුමා නොසිටින්න අද අපිට මේ විදිහට අපේ කලාව රස විඳින්න නොලැබෙන්න ඉඩ තිබුන.
    ඒ වගේමයි ඔහුගේ පුත්‍රයා සහ රන්වල බළකායේ සිටින අනෙකුත් සියල්ලන්මත් තරුණයින් හැටියට අපේ කලාවට කරන සේවය ගොඩක් වටිනව.මොකද තරුණ පරපුර අපේ දේවල් වලින් ඈත් වෙමින් පවතින අද දවසේ මෙවන් තරුණ පිරිසක් සාමාජයට ලබා දෙන්නෙ ලොකු ආදර්ශයක්.
    සිංහල අවුරුදු සමය ආරම්භ වෙන්නෙ රන්වල පදනමේ ගීතයකින් කියන තත්වයට අද පත්වෙලා තියෙනව. ඒත් එක්කම ලොකු කණාාටුවක් දැනෙනව ඔවුන් විතරක් ගීතකලාවෙන් අපේකම ඉදිරියට ගෙන යාමට සිටීම පිළිබඳව.
    (ඇතැම් පිරිස් වන්නම් ආදිය නව සංගීතයත් සමඟ රීමික්ස් කර ගැයීම නම් මම අනුමත කරන්නෙ නැහැ.නව පරපුර කියන්නෙ අපේ දේවල් අපේ විදියටම පිළිගන්න බැරි අපේම පිරිසක්ද?)

    මෙවැනි වටිනා සටහනක් අප අතරට ගෙන ඒම පිළිබඳව ඔබට බොහොමත්ම ස්තුතියි. තව තවත් මෙවැනි සටහන් මඟින් අපේකම ගැන සමාජය දැනුවත් කිරීමට ඔබට දිරි ලැබේවා…!!!

  3. 2010 ජූනි 21 දින ප.ව. 1:33 ට

    මම රන්වල බලකායෙ දකින තවත් සුවිශේෂි ලක්ෂණයක් තමයි සෑම නිර්මාණයකටම පෙර ඔවුන් විසින් ඒ පිලිබඳ කරන්නාවූ හැඳින්වීම. එය අපට එම නිර්මාණය රසවිදීමට ඇති අවස්ථාව තවත් වැඩිකරනවා.
    හොඳ ලිපියක් චේතියාගෙන්, මේ ලිපිය කියවද්දි මම හිතින් එල්ෆින්ස්ටන් රඟහලට ගියා….
    ස්තූතියි…

  4. උපේන්ද්‍රමිණික
    2010 ජූනි 21 දින ප.ව. 7:47 ට

    මාත් ගියා නොවැ, හරිම අපූරු ප්‍රසංගයක්..100%

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: