නිවස > කාළීන සිදුවීම් > නෑකම් නොදත් සිංහලයෝ

නෑකම් නොදත් සිංහලයෝ

මඟුල් තුලාවක්, අවමංගල්‍යක්, දානයක්, පිරිතක් ආදී කටයුත්තකදී ඕනෑම නිවසකට රැස්වෙන පළමු පිරිස තමයි ඒ නිවැසියන්ගෙ ඥාතීන්. ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා, බෑනලා, ලේලිලා, නෑනලා, මස්සිනාලා ආදී වශයෙන් අපට නෑකම් ගොඩයි. අතීතයේ කෘෂි ආර්ථිකයත් එක්ක ඊනියා පුංචි පවුල රත්තරං කියන සංකල්පය ගැලපුණේ නෑනෙ. ඉතිං පවුලක සාමාජිකයන් ගණන හා සාපේක්ෂව නෑදෑ පිරිවර සංඛ්‍යාත්මකව ඉතාම ඉහළයි.  ඒ වගේම අඹු සැමියන් දූ පුතුන්ගෙන් ඇරැඹෙන හෙළ ඥාතී නාමාවලිය ඥාති තනතුරු පනස් හයක් දක්වා ව්‍යාප්ත වෙන බව පර්යේෂකයින් සොයාගෙන තියෙනවා. මඟුල් තුලාවක් ආවහම විටෙක මුළු ගමටම බුලත් දෙන්න වෙන්නෙ මුළු ගමේ හැම ගෙදරක් එක්කම මොකක් හරි නෑ කමක් තියෙන නිසයි. අවමංගල්‍යයකදි උනත් නෑයො රැස්වෙන්නෙ එහෙමයි. මඟුලකට, මරණයකට නැති නෑයන්ගෙන් වැඩක් නැහැ කියලා කතාවකුත් ව්‍යවහාරයේ එන්නෙ නෑයන්ගෙ මේ එකමුතු බව, බැඳීම දුකේදි මෙන්ම සැපේදිත් එකලෙස පැවතිය යුතුයි යන්න පෙර සමාජයේ සම්මතයක් ලෙස පැවතුන නිසයි.  එච්චර නෑයො ඉදලත් අපේ පැරැන්නො නිසියාකාරව නෑකම් පවත්වාගෙන ගියා. ඒ වගේම ගරු නම්බු දීලා නිසි අයුරින් නෑයන් ඇමතුවා.

මේ ලිපිය යන්නෙ කොයි අතටද කියලා පාඨක ඔබට දැන් හිතාගන්න පුළුවන් ඇති නේ? අද අපි  කතා කරන්න යන්නෙ වර්තමානයේ අපේ නෑකම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන ආකාරය ගැන. මෑතක් වෙනතුරුම කෙනෙක් තමන්ගෙ පියාගෙ සහෝදරයන්ට කතා කලේ මහප්පා, බාප්පා කියලා (මෙම ක්‍රමය අදටත් බොහෝ සිංහල පවුල් වල දක්නට ලැබෙන බවත් සඳහන් කරන්න ඕනෙ). මවගෙ සොයුරන් ඇමතුවේ මාමා කියලා. මවගේ සොයුරියන් ලොකු අම්මා හෝ පුංචි අම්මා වෙනකොට, පියාගේ සොයුරියන් නැන්දා උනා.   නමුත් අද අමුතුවෙන් ඊනියා ගෝලීයකරණය වෙන්න දඟලන, බටහිර කරණය වෙමින් නාගරීකරණය වූ  සමාජයේ පවුල්වලින් ඉහත කී නෑකම් සියල්ල ඉවත් වෙලා ඒ වෙනුවට ඇන්ටිලා අංකල්ලා පවුලට එකතු වෙලා.”මේ ඉන්නෙ මගෙ අංකල්” කිව්වම මේ කියන්නෙ කවුරු ගැනද කියලා කාටද හිතාගන්න පුළුවන්. නමුත් “මේ මගේ මහප්පා” කියල කිව්වොත් ඒ කියන්නෙ එම පුද්ගලයාගෙ පියාගෙ වැඩිමල් සහෝදරයා හෝ මවගේ වැඩිමල් සොයුරියගේ සැමියා ගැන බව අසන්නාට පහසුවෙන් වටහාගන්නට පුළුවන්. ඊලඟට ඥාති සොයුරන් ගත්තත් නෑනලා, මස්සිනාලා ලෙස ඔවුන්ව හඳුන්වනවා. ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර විවාහයන් පවා සම්මතයක් ලෙස සැලකුණා.

වර්තමානයේ එම චාරිත්‍ර විවිධ හේතු මත අපෙන් ගිලිහෙමින් පැවතුණත් ඥාති සොයුරන්ට තම සහෝදරයන්ට මෙන් සැලකීම අප පවුල් වල කවදත් පැවති දෙයක්. ඔවුන්ටත් තම සහෝදරයන්ට මෙන්ම අක්කෙ, අයියෙ, නංගියෙ, මල්ලියෙ කියලා අපි කතා කරන්න පුරුදු වෙන්නෙ ඒ නිසයි. අද බොහෝ දෙනාට නෑනලා මස්සිනාලා තබා අයියලා අක්කලා වත් නැහැ. ඉන්නෙ කසින්ස්ලා. බොහෝවිට ඥාති සහෝදරයන් හා තමන්ගෙම සහෝදරයන් පවා අමතන්නෙ ඔවුන්ගෙ නම් වලින් මිසක් නෑකමෙන් නෙමෙයි. ඒ වගේම නෑකමට නැන්ද හෝ මාමා කෙනෙක් වෙන, එහෙත් වයසින් එතරම් වැඩිමල් නොවන නෑයන්ට අක්කෙ, අයියෙ කියන්නත් ඇතැම් දරුවො පුරුදු වෙනවා. පෙලක් තරුණ නැන්දලා මාමලත් කැමති නැහැනෙ නිවැරදි නෑ කමින් කතා කරනවට. ඉතිං ඔවුනුත් තම ඥාති දරුවන්ට නංගි මල්ලි කියමින් ඊටම අනුබල දෙනවා. මීටත් වඩා භයානක තත්වය තමයි බටහිර පන්නයට තමන්ගෙම සහෝදර සහෝදරියන්ටත් නම කියලා කතා කරන එක. පවුලෙ දෙමව්පියන්ට පසුව ගෙදරක වගකීම මෙන්ම අනෙක් සහෝදරයන්ගෙ වගකීමද පැවරෙන්නෙ වැඩිමල් සොහොයුරාට හෝ සොහොයුරියට. බාල සහෝදරයන් වැඩිමල් සහෝදරයන්ට සැලකුවෙත් ඒ ගෞරවයත් එක්ක. සහෝදරයන් අතර තියෙන බැඳීම ඉහත සඳහන් හැම බැඳීමකටම වඩා වෙනස්, ශක්තිමත්. නමුත් ඒ අයටත් නම් වලින් අමතලා යාළුවන්ගෙ ගානට දැම්මොත් ඒ බැඳීම්, ගෞරවය, ආදරය නැතිවෙලා යනවා. ගෞරවය ගැන කියද්දි කතා කරන්න ඕන ප්‍රධානම කරුණක් තමයි දෙමාපියන් හා වැඩිහිටියන්ට කතා කිරීම. දෙමාපියන්ටත් ඔයා, මෙයා, හලෝ කියන දරුවන් අද අපි අතර ඉන්නවා.  හැබෑටම මොකද මේ අපේ සමාජෙට වෙන්න යන්නෙ? ගෙදර බුදුන් අම්මා කියලා ගරු සම්මාන දීපු මව දැන් ඔයා වෙලා, හලෝ කියලා කතා කරන්න පටන් අරං මදිවට තවත් සමහරු ඌ මූ කියා කතා කරන්නත් පටන් අරන්. දෙමව්පියන් විටෙක තරුණ වයසේ දරුවන්ට බොහොම සමීපව, යහළුවන් මෙන් ලෙංගතුව කටයුතු කරන්නේ ඒ වයසෙදි දරුවන් නොමඟ යන්න තියෙන ඉඩ වැඩි නිසයි. එහෙම කල පලියට ඔවුන් දරුවන්ගෙ තවත් යහළුවෙක් පමණක් ලෙස සලකා අගෞරව වන ලෙස කටයුතු කිරීම සුදුසු නැති බව දරුවො මතක තබා ගත යුතුයි. තමන්ට නෑ කෙනෙක් නොවන වැඩිහිටියන්ට ඇතැමුන් සලකන්නෙ බොහොම පහත් ආකාරයට. කිසි ගරු සරුවක් නැතිව වැඩිහිටියන්ට සැර වැර වෙන, විහිළු කරන දරුවන් සමාජයේ ඕනතරම් ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව පරෙ බැහැලා යන වයසක කෙනෙකුට පවා විහිළු කරන්න තරමට අද දරුවන් මනසින්, ගතිගුණෙන් පිරිහිලා. මේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නෙ අද සමාජය පිරිහිලා කියල සමාජෙට බැනලා නිකං ඉන්න එකයි.

ටිකක් හිතලා බලන්න. සිංහල ආරෙට අපේ නෑකම් කියනකොට කොයිතරම් පැහැදිලිද, ඒ තුලින් ඉස්මතු වෙන්නෙ අපේකම. හැමෝටම ඇන්ටි, අංකල්, කසින් කියනවට වඩා. නෑ කෙනෙකුට දිය යුතු ගෞරවය එම නෑකම් වල අපූරුවට ගැබ් වෙලා තියෙනවා. මේ දේවල් අපේ දරුවන්ට පුරුදු කල යුත්තේ පුංචි කාලෙ ඉඳලමයි. එය දෙමාපියන්ගෙ වගකීමක් ලෙසටයි අපි නම් දකින්නෙ. දරුවෙක් හදනවා කියන්නෙ ලෝකෙට බිහි කරලා, කවලා පොවලා, පාසල් අධ්‍යාපනය ලබා දීම පමණක් නෙමෙයි. ගුණදම්, සිරිත් විරිත් වලිනුත් දරුවන්ව හරියට පෝෂණය කලොත් තමයි සමාජයට යහපත් පුරවැසියන් බිහිවෙන්නෙ. සමාජය යහපත් වෙන්නෙ. එහෙම නැතුව සමාජය පිරිහිලා කියලා බැන බැන ඉදලා විතරක් හරියන්නෙ නැහැ.  සමාජයට යන්න ඉන්න දරුවන්ව ගෙදරදිම හරියට හදලා, සාරධර්ම පුරුදු කරලා සමාජයට යවපු දාට සමාජය යහපත් වෙයි.  බටහිරට ගැති වී කළු සුද්දන් ලෙස හැසිරෙන සිංහල නොදත් සිංහලයින් නොවී, නිවැරදි නෑකම් පවිච්චි කරලා සිංහල කම සහ සිංහල නෑකම් රැක ගන්න තමන්ගෙ පවුල තුලින්ම පටන් ගන්නව නම්  ඒක සිංහලයාගේ අනාගතයට ගොඩක් වටිනා ආයෝජනයක් වේවි. අප අතර එකමුතුකම හා අපේකමද වැඩිවේවි.

  1. 2010 ජූනි 27 දින පෙ.ව. 3:05 ට

    කමෙන්ට් කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ නෙව මස්සිනේ…. අපූරුවට ඉදිරිපත් කරල තියෙන්නෙ ඔය කරුණු…🙂

  2. 2010 ජූනි 27 දින පෙ.ව. 4:00 ට

    ඇදක් කුදක් නැ, නියමේට ලියලා තියෙනවා..ලමයින්ට පොඩි කාලේ ඉදලම හරියට කථා කරන විදිහ කියලා දුන්නෙ නැති උනාම වේන දේයක් ලේසයි ම්යියා ට තෙරෙන්නෙ..වැරැද්ද දෙමව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ

  3. විහඟ ගීතය
    2010 ජූනි 27 දින පෙ.ව. 4:52 ට

    හෙළ ගති හෙළ සිරිත් හා සිංහල කමට
    හිනැහී වින කළත් සිංහල අපි නිවට
    වෙන රටවලත් තමනගේ දේවල් කවට
    කමකට ගන්නවා දු‍ටුවෙක් කියනු මට

  4. 2010 ජූනි 27 දින පෙ.ව. 8:55 ට

    ඇත්ත, ඇත්ත අපේ කම ගැන අපි හිතන්නැත්තන් වෙන උන්දල හිතාවිද? අපේ එවුන් ඒටික තේරුම් ගන්නෙ නැහැ නොවැ. හිතට අමාරුයි තමයි මේ වෙන්න යන විනැහියට.

  5. රවා
    2010 ජූනි 27 දින පෙ.ව. 9:58 ට

    මොනවද මෙ කියන්නෙ… අද සමාජයෙ ඉන්න කිපදෙනෙකුට විතරයි සිංහලකම ගැන කැක්කුම තියන්නෙ. අපි ටිකක් පොශ් වුණු තැනක මෙහෙම කතා කරොත් අපෙන් අහයි ” කොහෙද ඔයාගෙ ගම කටුරොද ගම්මානයෙ ඉදන්ද ආවෙ කියලා.” කමක් නැහැ වු එහෙම අහලා නිකන් ඉන්නවා නම්, අනිත් බොහො ජාතින් ඉංග්‍රිසි භාවිතා කලෙ පිට තියන දැනුම ඇතුලට ගන්න විතරයි, නමුත් මෙ සුදු ජාතිකයින් ගෙන් ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගත්තු සිංහල මිනිස්සු සමාජයෙ තමුන්ට නැති තත්වයක් භාෂාව තුලින් ඇති කර ගත්තා. ඔහුන් එහෙම කරලා ගමෙ හිටපු සුන්දර සරල සිංහල මනුස්සයව ගොබ්බයාට ඇන්දුවා. බලන්න ජර්මනිය, රුසියාව, ජපානය වැනි රටවල් ගැන. ඇයි මෙ අපෙ ජාතියට මෙහෙම වෙලා තියන්නෙ, සුද්දන්ගෙ කටු කාලා හැදුනු වුන් අද සමාජයෙ ඉහල තැන් වල රිංගන් තමුන්ගෙ ඉන්න මොඩයින්ව එ තැන් ඇතුලට රිංගව ගන්නවා.

  6. නුවන් බුද්ධික
    2010 ජූනි 27 දින ප.ව. 12:02 ට

    ඉතාමත් වටින කාලෝචිත ලිපියක්.
    අද අපි දියුණුයි කිය කිය යන්නේ කොබටද කියන එක හිතාගන්නවත් බෑ.(බැරි කමකුත් නෑ වගේ හැබැයි.)
    මගේ පියාගේ ගම වැලිමඩ. වැලිමඩින් එහාට යන්න ඕනෙ. ලස්සන ගමක්. මුළු ගමම නෑදෑයො. ඉතින් එහෙ ගිය වෙලාවට නෑකම් වැරැද්දුවොත් ටොක්කක් ඇනගන්න වෙනව අනිවාර්යයෙන්. තරුණ වයසෙ අය නම් යන්තම් අයියෙ අක්කෙ කියලා බේරෙන්න පුළුවන්. ඒත් වැඩිහිටියන්ගෙ නෑකම් හොයා ගන්න එක තමයි අමාරු. මොකද අපි යන්නෙත් අවුරුද්දකට සැරයයිනෙ. ඒත් ඒ අත්දැකීම සුන්දරයි. ඒ නෑකම් සුන්දරයි. තමන්ගෙකම දැනෙනව අපේ සිංහල නෑකමින් කතාකරනකොට. එතකොටයි බැඳීම වැඩිවෙන්නෙ. ඒත් අද අංකල් ඇන්ටි මමී ඩැඩී කියලා කතාකරන කොට එහෙම තමන්ගෙකමක් හිතට දැනෙන්නෙ නෑ…
    බොහොමත්ම ස්තුතියි මේ වැදගත් සටහනට… කතා කල යුතුම මාතෘකාවක්…

  7. හෙළයා
    2010 ජූනි 27 දින ප.ව. 12:12 ට

    නියමෙට ලියලා තියනවා. ඇත්ත කතාව

  8. උපේන්ද්‍රමිණික
    2010 ජූනි 30 දින ප.ව. 2:22 ට

    ලියලා තියන සබ්බ සකළ මනාවම ඇත්ත

  9. google
    2011 නොවැම්බර් 26 දින ප.ව. 11:35 ට

    itama wedagath liyamak

  10. 2012 මැයි 2 දින පෙ.ව. 8:54 ට

    ඉතාමත් කාලීන මතෘකාවක් රසවත් ව ඉදිරිපත් කළ ඔබට තුති

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: