නිවස > ඉතිහාසය > මෑත යුගයේ අපේ විරුවෝ

මෑත යුගයේ අපේ විරුවෝ

මෑත යුගයේ අපේ විරුවෝ

පර සතුරන්ගෙන් ලංකාද්වීපය බේරගන්න, බුදු දහම, සිංහල සංස්කෘතිය සහ බෞද්ධ ජනතාවගෙ ස්වෛරී භාවය රැකගන්න එදා පටන් අපේ මුතුන් මිත්තො අනේක වාරයක් ආක්‍රමණිකයො එක්ක ගැටුණා. පෙර රජ දවස විසූ දසමහ යෝධයන්, වලගම්බා, පැරකුම්, දුටුගැමුණු ආදී නරනායකයින් නීල මහා යෝධයා වැනි විරුවන් අප සිහියට එන්නේ, නිර්භය මිනිසුන් විසූ එම සාඩම්බර යුගය සිහිපත් කරන විටයි.

නමුත්  බොහොම මෑත යුගයේදී ලක්දිව පහලව, ලක්වැසියන් කෙරෙහි කරුණාවෙන්, ආදරයෙන් වටිනා පාඩම්, හුරුපුරුදු දැයට තිළීණ කල නූතන යුගයේ අපේ විරුවන් ගැන අහන්නට ලැබෙන්නෙ කලාතුරකින්. බොහෝ විට නිදහස් දිනයෙහි හෝ ඔවුන්ගේ අනුස්මරණ දිනයන්හි පමණයි.  ඇයි අපි අමතක කරන්නෙ සිංහලයා මෙතෙක් ආ මාර්ගයේ වැදගත්ම මං සලකුණු? අපි අද කතා කරමු මෑත යුගයේ අපේ ඉතිහාසය තුල නොමැකෙන ලෙස තම නාමය සටහන් කල ඒ උතුම් චරිත ගැන.

වාරියපොල ශ්‍රී සුමංගල හිමි
වර්ෂ 1815 උඩරට ගිවිසුම අත්සන් කරමින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වන මොහොතෙහිදී අප ජාතික කොඩියට පෙරාතුව බ්‍රිතාන්‍ය ජාතික කොඩිය ඉහල නංවා තිබෙනු දුටු වරියපොල ශ්‍රී සුමංගල හිමියන් පිරිස මැදට පැන බ්‍රිතාන්‍ය ධජය බිම හෙලා ඊට විරෝධය පෑවේ පරදේසක්කාරයන් ගිවිසුම් මගින් මේ උතුම් දිවයින යටත් කරගත්තත් සිංහල ලේ ඊට යටත් නොවන බව විදහා දක්වමිනි.

අනගාරික ධර්මපාල තුමා
අදටත් ධර්මපාල තුමා විසින් සිංහලයා සහ ලංකාව ගැන පැවසූ අනාවැකි අප ඇස් ඉදිරියටම සත්‍යයේ වෙසින් පැමිණෙද්දී තවත් කවර කතාද? පරම විඥානාර්ථ සමාගම, පානදුරා වාදය, විද්‍යොදය පිරිවෙන, සරසවි සඳරැස වැනි පුවත්පත්, ආනන්ද, නාලන්ද ආදී බෞද්ධ පාසල් ගොඩනැගීම මෙන්ම බුද්ධගයාව බොදුනුවන් හට උරුම කර දීම දක්වා වූ බොහොමයක් අමිල මෙහෙවරයන් හා සබැඳුනු නාමයකි අනගාරික ධර්මපාල යනු.  එදා “සිංහලයනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” කී ධර්මපාලතුමා අද සිටියානම් “සිංහලයිනි නැගිටිව්, බුද්ධ ශාසනය බේරාගනිව්” කියා නොවැරදීම හඬ නගනු ඇත.

මොණරවිල දිසාව
මොණරවිල කැප්පෙටිපොල දිසාව යනු තම ආත්මය හෝ උපන් බිම පාවා නොදුන් වීරෝදාර  සිංහලයෙකි. හෙළ දීපයේ නිදහස වෙනුවෙන් 1818 කැරැල්ල දියත් කරනට උරදුන් කැප්පෙටිපොල නිළමේ යනු රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෙකි.

කිවුලේගෙදර මොහොට්ටාල
1818 කැප්පෙටිපොල දිසාව හා එක්ව සටනට සිංහලයන් රැස් කරමින් පෙරටම ගිය තවත් අභීත සිංහලයෙකි.

උතුවන්කන්දේ සරදියෙල්
හොරෙක් මංකොල්ල කාරයෙක් ලෙස හංවඩු ගැසුවද, හෙළේ අපට මොහු වීරයෙකි. යටත් විජිත සමයේ අප රට තුල වූ මුතු මැණික් ආදී ස්වභාවික සම්පත්ද, පුරාවිද්‍යා වටිනාකම්වලින් යුතු පුරාවස්තු, පුස්කොල පොත් මෙන්ම අපේ ඉපැරණි තාක්ෂණයද සූරා ගත් බ්‍රිතාන්‍ය රැජිණව මංකොල්ල කා ඒ ධනය දුප්පතුන්ට බෙදා දෙන්නට තරම් එඩිතර හිතක් තිබුණු සරදියෙල් බ්‍රිතාන්‍යට කෙසේ වෙතත් සිංහල අපට හැබෑම වීරයෙකි.

වීර පුරන් අප්පු
කොළඹ මොරටුවෙන් පැමිණ 1848 කැරැල්ල හරහා  නැවතත්  ලක්මව නිදහස් කරගැන්මට වෙරදැරූ අභීත සිංහල පුතෙකි. ලංකා ඉතිහාසය පුරාවට පිටරැටියන් අපට කල කෙණෙහිලිකම් වලදී ලක්මව වෙනුවෙන් කලින් කලට නැගී සිටින මෙවන් විරුවන් ලක්වැසි අප සැමගේ සිත්තුල සදා අමරණීය විය යුතුය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැගුණ අවසන් කැරැල්ල නිමාවට පත්වන්නේ පුරන් අප්පු බ්‍රිතාන්‍යයන් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුවයි.

එස්. මහින්ද හිමි
බුදුන්ගේ දේශයේ උන්නතිය වෙනුවෙන් තම පන්හිඳෙන් විස්කම් පෑ අපූරු බුද්ධ පුත්‍රයෙකි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ජාතික තොටිල්ල වැනි පද්‍ය සංග්‍රහයන්ගෙන් සිංහලයා දිරිගැන්වූ අයුරුත්, විටෙක යම් නිවට ක්‍රියාවන්ට පහර පිට පහර එල්ල කල අයුරුත් ප්‍රශංසනීය වේ.

ආතර් වී. දියෙස්
ලක්දිව ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය පසුබෑමකට ලක්වීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමයේදියි. විසිවන සියවසේ මුල් භාගයේදී අප රට නැවතත් වගා කටයුතු වලින් ඉහල තලයකට ගෙන ඒමට විශේෂයෙන්ම කොස් වගාව දියුණු කිරීමට කටයුතු කල ආතර් වී. දියෙස් මහතා හෙවත් පානදුරේ කොස් මාමා බෙහෙවින් ඇප කැප විය.

හෙළය ජයගත් මහා වීරයන් මෙන්ම මේ උදවියත් තමන් උපන් රට වෙනුවෙන් මෙහෙවරක් කල, උපන් බිමට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරන්නට අගනා වෙරක් දැරූ  ජාතික වීරයන් පිරිසකි. ඔවුන්ගෙන් වත්මන් පරපුරට උගත හැකි පාඩම් බොහෝය. එබැවින් අප ඔවුන් ගැන කතා කල යුතුමය. නිදහස් සටනට උරදුන්  කුඩාපොල හිමි, හඟුරන්කෙත ඩිංගිරාළ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඇතුළු මෑත යුගයේ ජාතික වීරයන් රැසක් සමඟ එන මෙම ලිපියෙහි දෙවන කොටසද නුදුරේම බලාපොරොත්තු වන්න.

ප්‍රවර්ග:ඉතිහාසය
  1. මහ රාවණා
    2010 අගෝස්තු 15 දින ප.ව. 3:53 ට

    ගිලුනු මතකය නැවත ගොඩ ගැනීමක්…. බොහොමත්ම ස්තූතියි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: