අන්දරේලා

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්න
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් අන්දරේලා වේදිකා නාට්‍යය රචනා කොට නිෂ්පාදනය කලේ 1993 වසරෙදි. දශක දෙකකට අසන්න කාලයක් ගතවුණත් මෙම නිර්මාණය අදටත් වලංගු වෙන හැටි ඉතාම අපූරුයි. අපේ රටේ දේශපාලනයෙ ඉතිහාසය, වර්තමානය මෙන්ම එළඹෙන්න නියමිත අනාගතය ගැනත් හිතලා බැළුවොත් අන්දරේලා බොහෝ දුරට සර්ව කාලීන නිර්මාණයක් වේවි.

බලතල අනිසි ලෙස පාවිච්චි කරන, තම තනතුරට පැවරුණ සේවාවන් හැර අනික් හැම එකටම ඇඟිලි ගහන, පුවත් මවන, රටම හිනස්සන අන්දරේලා දෙසිය ගාණක් එකට රඟන කරළියක් තමයි දියවන්නාව පැත්තෙත් තියෙන්නෙ. පසුගිය කාලය පුරාවටම දියවන්නා නාට්‍ය සංසදය ගෙනහැර පෑ නාටක බලපු ජනතාවත් විටෙක හිනාවුණා. විටෙක කම්පා වෙලා හැකි අයුරින් කතිරයක් ගහලා උදව් කලා. කාගෙ කාගෙත් රංග ප්‍රතිභාවන් උපේක්ෂාවෙන් බලා ඉන්න අපේ අදහස නම් කතිරෙත් මදි, ලබන පාර සරසවි සම්මානෙනුත් පිදිය යුතු බවයි.

මගේ මව්බිම, දේශද්‍රෝහියා, මාරාන්තික උපවාස, කලවැද්දෝ සහ රාජ්‍ය සේවය ඉබේ ගස් බැඳීම වැනි තේමාවන් රූපවාහිනී නාලිකාවන් විසින් උණු කැවුම් මෙන් විකුණද්දි, රටම හොල්ලපු සක්විත්තෙක් ගෞතම බුදුන් සමයේ උන් මහධන සිටුවරයා ගානට වැටුණේ ලෝකය තවමත් ධර්මයට නතුයි කියන එක පසක් කරවමින්. ඒත් ඉතිං අපේ පුංචි රටේ උදවිය බුදුන් වහන්සේගෙ ධර්මයත් විභාගෙට කටපාඩම් කලා මිසක් ජීවිතයට එකතු කරගන්නෙ නැති ගානයි. එහෙම කරනව නම් මේ බහුරූ කෝළම් වලට අපේ මිනිස්සු රැවටෙන එකක් නෑ. මේ අතර තවත් ව්‍යසනයක්. මෙච්චර කාලෙකට අපේ අල්ලපු රටේ උදවිය කරන කියන දේවල් අනුකරණය කලේ පෙළක් නළු නිළියන් සහ තරුණ පරපුර සමඟ ඉන්දියාවට ගැති ඉතිහාසඥයො පමණයි. ඒත් මේ භයානක රෝගය දැන් දේශපාලනයටත් බෝවෙලා. හොඳ දෙයක් නම් ආදර්ශයට ගත්තත් කමක් නෑ කියමු. පටු ආත්මාර්ථකාමී අදහස් හා තාවකාලික ලාභප්‍රයෝජන තකා රටක ජනතාව නොමඟ යැවීම කිසිසේත්ම පිළිගත නොහැකි වැඩක්. විදේශික බලවේග රටක් රවට්ටනවට වඩා භයානකයි රටක පාලකයන් විසින් ජනතාව රැවටීම. එහෙම තත්වයකදි ඒ ජනතාව කොයි තරම් අසරණ වෙනවද කියන එක අමුතුවෙන් පැහැදිලි කල යුතු නැහැ.


රජ්ජුරුවෝ උඩයි උඩයි අපි පොඩි උන් බිමයි බිමයි
අන්දරේලා මැද ඉදගෙන දැපැත්තටම විහිළු කරයි

අපිට විහිළු කරන්න කාටවත් බැරි වෙන විදිහට රටක් හැටියට, ජාතියක් හැටියට සිංහලයා ශක්තිමත් වෙන්න ඕනෙ කාලෙ උදාවුණේ 1948ටත් ගොඩක් කලින්. ඒත් තවමත් අපි ශක්තිමත් නෑ අපි ඉස්සරහට එන ව්‍යසන වලට සාර්ථකව මුහුණ දෙන්න තරම්. රට නිදහස් උනත් සිංහලයා නිවහල් නැහැ. බුදු හාමුදුරුවො උගන්වපු නිවහල් චින්තනයට මොකද උනේ? බටහිරට හෝ ඉන්දියාටව ගැති නොවී හිතන්න දැන්වත් පුරුදු වෙමු. අපි දැන්වත් හැදුනෙ නැත්නම් සමහරවිට අපිට ආයෙ හැදෙන්න කාලයක් එන එකකුත් නැහැ. හැමදාමත් අන්දරේලගෙ විහිළුවලට හිනා වෙවී කතිරෙ ගගහා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්ට පුළුවන්. අවුරුදු 5000ක් යන්න කලින් ගෞතම බුද්ධ ශාසනෙත් ඉවරයි. සිංහලයට එළුවත් රැවුල පායි.

ගීත – අන්දරේලා වේදිකා නාට්‍යයෙන්

පින්තූරය – http://www.colombovoice.lk/newsimages/andarela.jpg

  1. 2010 අගෝස්තු 13 දින පෙ.ව. 7:14 ට

    දැනටත් උන් රැවුල පානවා.
    තව කොච්චර කල් සිංහලයට මේ රටේ නිදහසේ ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. අපි අන්තිම සිංහල පරපුරද ?
    නියම සටහනක්.

  2. arunishapiro
    2010 අගෝස්තු 13 දින ප.ව. 5:17 ට

    හෙළයා කියන විදියටම නියම සටහනක්!

  3. 2010 ඔක්තෝබර් 16 දින පෙ.ව. 10:20 ට

    රටක් හැටියට, ජාතියක් හැටියට සිංහලයා ශක්තිමත් වෙන්න පුරුදු වෙමු

    http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html

    අපි දැන්වත් හැදුනෙ නැත්නම් සමහරවිට අපිට ආයෙ හැදෙන්න කාලයක් එන එකකුත් නැහැ

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න