නිවස > දුටුගැමුණු බළකාය, සැරිසර, සුන්දර ම්ව්බිම > පාහියන්ගල – සැරිසර වාර්තා

පාහියන්ගල – සැරිසර වාර්තා

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය ගම්මානයේ පිහිටි පාහියන්ගල ගල්ලෙන ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයකි. ක්‍රි‍.ව. 4 වැනි සියවසේ ලංකාවේ සංචාරය කල ෆාහියන් (Fa-Hein) නම් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් සිරිපා වන්දනාවේ වඩින අතර තුර මෙම ගල්ලෙනෙහි කලක් විසීම හේතුවෙන් උන්වහන්සේගේ නමින් අද වන විට මෙම පුදබිම හැඳින්වෙයි.

ලක්දිව විසූ ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක රැසක් ගෙන ආ ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි පාහියන්ගල ගල් ලෙන, මුහුදු මට්ටමේ සිට අඩි 400ක් පමණ උසින් පිහිටි, 3000ක් පමණ විශාල ජනකායකට රැඳෙන්නට තරම් ඉඩ පහසුකම් ඇති සුවිසල් ගල්ලෙනකි.

පාහියන්ගල නැරඹීමට අප කණ්ඩායම කොළඹින් පිටත් වුණේ පාන්දර 6.00ට පමණ. කොලඹ හොරණ මාර්ගයේ ගමන්කොට බුලත්සිංහල වෙත ලඟාවන්නට ගතවූයේ පැය දෙකකට ආසන්න කාලයක්.  බුලත්සිංහල පහුවෙනකොට අවට පරිසරය බෙහෙවින් වෙනස් වෙලා. අපට හුරු පුරුදු දූවිලි පිරුණු නාගරික පරිසරය වෙනුවට මෙහි බලන බලන අත දුටුවෙ හරිත වර්ණ ගස්වැල්, අස්වැන්න නෙලන්නට ආසන්න රන්වන් කුඹුරු යාය, තැනින් තැන දක්නට ලැබෙන විවිධ මල් වර්ග.  යටගම්පිටියට කිට්ටු වෙනකොට මිනිස් වාසයෙන් හුඟාක් ඈත් වුණ ගම්මානයේ යාන වාහන හඬ ඇසෙන්නෙත් කලාතුරකින්. මිනිස් හඬකට තිබුණෙ අප කණ්ඩායමේ පිරිස කතා කල හඬක් පමණයි. එතරම්ම නිස්කලංක, සිත් නිවාලන වටාපිටාවෙත් බැලු බැලු අත පෙනෙන්නෙ කොලපාට වනාන්තරයයි.

මේ සුන්දර පරිසරය මැදින් අපි පාහියන්ගල වෙතට ගමන් කලා. විහාර භූමියට ඇතුල් වෙලා දිය පොකුණ, ඉදිකෙරෙමින් පවතින චෛත්‍යය පසු කරගෙන ඉදිරියටම ගිය අපි ගල්ලෙන පාමුල මොහොතකට නැවතුණා. සුවිසල් ගල් පර්වතය දිගේ රූරා වැටෙන ජලය, කටාරම් නොකෙටූ ගුහා දොරටුව ඉදිරියෙන් බිමට පතිත වෙන්නෙ  පිණි වැස්සක්ද දොරටුවට පසෙකින්  කුඩා දිය ඇල්ලක්ද නිර්මාණය කරමිනි.

ගල් ලෙන තුල නරඹන්න දෑ බොහෝයි. අඩි 40ක් පමණ දිගින් යුතු සැතපෙන බුදු පිළිම වහන්සේ ගල් ලෙනේ මැදට වන්නට ඉදිකර ඇත. පාහියන්ගල විහාරය නිර්මාණය කරන සමයේ භාවිතා කරන ලද යකුලක් පිළිමය තුල නිදන් කර ඇති බවද අසන්නට ලැබිණි. ගොඩනගන ලද විහාර බිත්ති වල මහනුවර සම්ප්‍රදායට හුරු බිතු සිතුවම් ඇතත් ඒවා මහනුවර යුගයට පසුව, මෑත ඉතිහාසයේදී සිතුවම් කරන ලද බව පෙනී යයි.

මේ අතර පුරාවිද්‍යා කැණීම් කටයුතු තවමත් විහර භූමිය තුල කෙරෙමින් පවතී. මෙතෙක් සොයාගන්නා ලද ඇට කටු ආදියද තැනින් තැන ප්‍රදර්ශනයට තබා ඇත. පර්යේෂණ වලින් මෙම ආදිවාසීන් මීට වසර 30000 – 37 000 අතර ඈත අතීතයේ විසුවන් බව නිගමනය කර ඇත.

පාහියන්ගල පුදබිම පුරා සංචාරය කල අපට නික්ම යන්නට කාලය උදාවිය. එහි ගත කල හෝරා කිහිපය තුල අප සිත් වඩ වඩාත් ඇද බැඳ ගත්තේ නිස්කලංක, හරිත වර්ණ පරිසරයයි. එම වනගත පරිසරය පසු කරගෙන ආපසු එද්දී දිගින් දිගටම හිතට ආවේ සිත සැහැල්ලුවෙන්, සමාධි ගත කරගෙන මෙහිම වසන්නට ඇත්නම් යන හැඟීමයි.

සටහන – චේතියා
ඡායරූප – තරිඳු

  1. Hasitha
    2010 සැප්තැම්බර් 12 දින පෙ.ව. 8:14 ට

    වටිනා ලිපියක්. මාත් කරුණු කීපයක් එකතු කරන්න කැමතියි.

    පාහියන්ගල මෑතකාලීනව ඉදිකල සැතපෙන පිළිමය දකුණු පසින් මහනුවර යුගයේදී ඉදිකලා යැයි විශ්වාස කරන සමාධි ඉරියව්වෙන් වැඩ හිදින බුදු පිළිමයක්, හිටි බුදු පිළිමයක් මෙන්ම බිතු සිතුවම් කීපයක්ද දැකගන්න පුලුවන්.

    දැනට බුදු පිළිමය දෙපස දේවරූප එල්ලා ගෙන දේවාලයක් වැනි යමක් ඒ කොටසේ පවත්වා ගෙන යනවා. මෙන්න ඡායාරූපයකුත්

    http://www.facebook.com/home.php?#!/photo.php?pid=1435322&id=1470435034&ref=fbx_album

    පාහියන්ගලින් ගත් තවත් ඡායාරූප වගයක්

    http://www.facebook.com/album.php?aid=71514&id=1470435034&l=14cabff1cd

  2. 2010 සැප්තැම්බර් 12 දින ප.ව. 4:59 ට

    හසිත ඔබගේ මේ පිලිබඳව තිබෙන උනන්දුව ගැන අප සතුටට පතවන අතර ලබාදුන් කරුණු වලට ස්තූතියි.🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: