නිවස > දුටුගැමුණු බළකාය, සුන්දර ම්ව්බිම > සැරිසර – කළුගල ආරණ්‍ය සේනාසනය

සැරිසර – කළුගල ආරණ්‍ය සේනාසනය

බක් මාසෙ සිංහල අළුත් අවුරුද්දෙන් පස්සෙ, අපේ කණ්ඩායම ආයෙත් එකතු වුණේ බක් මහේ පසලොස්වක පෝයට. කාලෙකින් සැරිසරක යෙදෙන්න බැරිවුණු අඩුව පිරිමහගන්නත් එක්ක අපි ගියා කළුගල ආරණ්‍ය සේනාසනයට. අගලවත්ත, බදුරලිය හි ගුරුළුබැද්ද ගම්මානයේ පිහිටි කළුගල ආරණ්‍ය සේනාසනයට ගම්මානයේ සිටම යන්න වෙන්නෙ පයින්. ඒත් ස්වභාව චමත්කාරයෙන් පරිපූර්ණ ඒ නිස්කලංක පරිසරයේ ගමන් කිරීම ගතටත් සිතටත් සහනයක් මිස මහන්සියක් ගෙන දෙන්නෙ නැහැ.

ආරණ්‍යයට ඇතුළු වෙන විටම වගේ අපට හමුවෙන දොළපාර, ආරණ්‍යය වෙත යන මාර්ගය දිගට අපිත් එක්ක බොහෝ දුරක් එනවා. ආරණ්‍ය භූමියට ඇතුළුවෙලා ටික දුරක් ඉදිරියට ඇදුන අපිට මුලින්ම හමුවෙන්නෙ දානය සකස් කරන ශාලාව. දුරබැහැර සිට පැමිණෙන සැදැහැවතුනට එහි නැවතී දානය පිලියෙල කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි සලසා තිබුණා. දානශාලාව පසුකරගෙන මාර්ගය දිගේ ඉදිරියටම ගිය පසු අපට ගල් විහාරය හමුවූණා. එයින් පසු  අප නැවතුනේ විහාරස්ථානයේ දාගැබ අසල. කලුගල් චෛත්‍යය නමිනුත් හැඳින්වෙන මෙම දාගැබ, සම්පූර්ණයෙන්ම කලුගලින් නිමවන ලද්දක් බව දැනගන්නට ලැබුණා. දාගැබ පිහිටි මළුව වටේට කුඩා භාවනා කුටි සකස් කර ඇති අතර අප එහි යනවිටත් සිල්වතුන් කිහිපදෙනෙක් එම කුටි තුල භාවනාවේ යෙදී සිටිනු දක්නට ලැබුණා.


දගැබ අසලින් මෑත්ව අප ඊලඟට ගියේ බෝධියටයි. බෝ සෙවණේදී මල් පහන් පුදා, පන්සිල් ගෙන අහවර වීමෙන් පසු නැවතත් අපි සැරිසරට යොමුවුණේ විහාරස්ථානයේ ඉතිහාසය විපරම් කරමින්. 1940 වසරේදී ගොඩනැගුණු මෙම කළුගල ආරණ්‍යයේ නිර්මාතෘ, බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර නමැත්තෙක්. ශ්‍රී ධර්මද්වීප ශිලා ලේඛනය, කළුගල කතිකාවත ඇතුළු මෑත යුගයේ කරන ලද සෙල්ලිපි රැසක්  විහාරස්ථානයේ යම් තැනෙක දක්නට ලැබුණා. විහාරස්ථානයේ වැඩසිට අපවත් වූ නායක ස්වාමින් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදිකල සොහොනක් සහ ධාතු කරඬුවක් නිධන්කර ගොඩනැගූ ගල්ටැඹක්ද විහාර භූමිය තුල වෙනවා. මේ සියල්ලටම වඩා විශේෂිත දේ ලෙස අප දුටුවේ විහාර භූමියේ තැනින් තැන ගල් මත ඇඳ තිබුණු ඔවදන්ය. විහාර භූමියට එන සැදැහැවතුන් වෙනුවෙන් පනවන ලද දැන්වීම් මෙන්ම මරණානුස්සති භාවනාවේ පියවර පවා ගල් මත සටහන් කර තිබෙන අයුරු විහාරයට යන ඕනෑම කෙනෙකුට දැකගත හැකියි.

ශ්‍රී ධර්මද්වීප ශිලා ලේඛනය

භාවනාකුටි පරිශ්‍රයක් මැදින් වැටුණු පියගැටපෙල දිගේ අපි කළුගල ආරණ්‍යයේ මුදුනට පැමිණියා. පියගැටපෙල අවසාන2යේ හමුවෙන්නෙ බුදුගෙය. එම ස්ථානයේ ඉඳන් පහල බලන විට, මෙතෙක් අප පසුකරගෙන ආ ධර්මශාලාව, භාවනාකුටි, දාගැබ ආදී මේ සියල්ල මනාව දිස්වුණා. කළුගල ආරණ්‍යය වෙත යන්නට අපට බෙහෙවින්ම උවමනා වුණේ අප අසා තිබුණු, මෙහි පවතින සුන්දර නිස්කලංක පරිසරයේ අසිරිය විඳගැනීමේ අරමුණ නිසයි. නමුත් එහි ගිය අපි දැනුමින් මෙන්ම අපූරු අත්දැකීම් වලින්ද පෝෂණය වුණා.

කළුගල නිර්මාතෘ – බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර රාලහාමි

භාවනා කුටි

ධාතු නිදන් කල ගල් ටැඹ

අප විහාරස්ථානයට යන විටත් දහවල් දොළහ පහුවී තිබුණා. එබැවින් ආරණ්‍යයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලා බැහැදැකීමේ අවස්ථාව අපට මඟහැරුණා. විහාර භූමිය පුරාම තැනින් තැන ඇති දැන්වීම් පුවරු වලින් ඉල්ලා සිටියේත් භාවනාවේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලාට බාධා නොකරන ලෙසයි. එබැවින් භික්ෂුන් වහන්සේලා වාසය කරන භාවනා කුටි සොයා ආරණ්‍යයේ තවත් ඇතුලටම යන අදහස වෙනස් කල අපි, සැරිසර එතෙකින් නිමා කරන්නට තීරණය කලා. ආපසු එන මාර්ගයේ අප පැමිණියේ පිච්චමල් වැටකට මායිම් වූ නා ගස් සෙවණක් යටින්.  එමෙන්ම අපට කලිනුත් විටින් විට හමුවුණු කුඩා දොළපාරෙ ජලයෙන් විහාර භූමියට විදුලිය ලබාගන්නට ඉදිකල ජල විදුලි බලාගාරයකුත් අපට දක්නට ලැබුණා.

බුදුගෙය ඉදිරිපිටට පහත මළුව පෙනෙන අයුරු

නා සෙවණ සහ පිච්ච මල් වැට

කලිනුත් කිව්වා වගේ මේ ගමනේ මූලික පරමාර්ථය වුණේ ආරණ්‍යය පිහිටි භූමියේ පවතින ස්වභාව සෞන්දර්‍ය සමඟ වරුවක් ගත කිරීම. ඒ වගේම මේ අසිරිමත් පරිසරය ගැන අපේ පාඨක සහෘදයන්වත් දැනුවත් කිරීම. අළුත් අවුරුද්දෙ හා හා පුරා කියල සැරිසරකින්ම බ්ලොග් එකේ කටයුතු ආරම්භ කලෙත් මෙම පරිසරයේ මෙන්ම ආරණ්‍යයේ ඇති වටිනාකම ගැන කතිකා කල යුතු යැයි අපට හැඟුන නිසයි. මෙම විහාරස්ථානයේ නවාතැන්ගෙන භාවනාවේ යෙදෙන්නට ගිහි සැදැහැවතුන්ටත් අවකාශ තියෙනවා. ආරණ්‍යයේ භාවනානුයෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන්නට අවකාශ නොලැබුණත්, ලෞකික සැප සම්පතින් මෙන්ම කෙලෙස් පිරි සමාජයෙන් ඈත්ව බවුන් වඩන ඒ බුද්ධ පුත්‍රයන් පතනා යම් බෝධියක් වේද, එය ඔවුන් විසින් සාක්ෂාත් කරගනිත්වා යැයි අපිද ප්‍රාර්ථනා කරමු.

සටහන – චේතියා

ඡායාරූප – තරිඳු

Advertisements
  1. 2011 මැයි 6 දින පෙ.ව. 1:11 ට

    එලම පෝස්ට් එකක්…….

  2. නුවන් බුද්ධික
    2011 මැයි 6 දින පෙ.ව. 9:57 ට

    කාලෙක ඉඳලා යන්න හිතන් ඉන්න තැනක්.තාම යන්න බැරි උනා.බොහොමත්ම ස්තුතියි ලිපියට.ගොඩක් කරුණු දැනගත්ත වගේම ඒ ස්වභාව සෞන්දර්ය සමඟ කාලය ගතකරන්න තිබුන උවමනාව වැඩි වුනා.
    අවසානයේ ඔබේ ප්‍රාර්ථනාවට අපිත් හවුල් වෙන්නම්.
    ඔබ දෙදෙනාටම ස්තුතියි සටහනට හා ඡායාරූප වලට.
    සැමට තෙරුවන් සරණයි…!!!

  3. dhanitha
    2011 මැයි 11 දින පෙ.ව. 8:19 ට

    a good artical,thanks

  4. 2014 ජනවාරි 31 දින පෙ.ව. 10:27 ට

    Me aranyayata yana parai adress ekai mata email ekak daannakoo.. godak pin

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: