නිවස > කාළීන සිදුවීම් > අධ්‍යාපන තරඟයෙන් පරදින අපේකම.

අධ්‍යාපන තරඟයෙන් පරදින අපේකම.

අපි හැමෝම ටිකක් කල්පනා කර බැලිය යුතු දෑ අපේ අධ්‍යාපන ක්‍රමය තුල බොහොමයි. වර්තමානයේ දරුවෙකුට අධ්‍යාපනය තවත් තරඟයක් බවට පත්වී තිබේ යැයි අප කීවොත් විවාදයකින් තොරව එය පිලිගන්නට බොහෝ දෙනා සූදානම්ය. අධ්‍යාපනය තරඟයක් වනවිට තරඟකරුවන් හෙවත් සිසු පිරිස කෙරෙන් අපේ කම මෑත් වී  යන තත්වයක් මේ වනවිට උදා වී ඇත. මේ ව්‍යසනය දැන් කලක සිට රට පුරා පැතිරෙමින් පවතී.

අපේ කම ලෙස මෙහිදී අදහස් කෙරෙන්නේ රටක ජාතියක් හැටියට, එම රටේ ජනතාව විසින් රැකගත යුතු, අනාගතයට රැගෙන යායුතු සම්ප්‍රදාය, සිරිත් විරිත් හා සංස්කෘතික දැනුමයි. අධ්‍යාපනය යනු පොත පතේ විෂය දැනුමට පමණක් සීමා නොවිය යුතු දෙයක් වුවද අද බොහෝ තැන්වල සිදුවන්නේද ඒ නොවිය යුතු දෙයමයි. දරුවන් ඉපදුන දවසේ පටන්ම රටේ නැති දහංගැට, බදු ඔප්පු සූදානම් කරමින් ජනප්‍රිය පාසල් අවට තම පදිංචිය සනාථ කරනට මහන්සි වෙන දෙමාපියන් ගැන අප කොතෙකුත් අසා ඇත්තෙමු. එපමණක් නොවෙයි, දරුවා පාසලට ඇතුලත් කරගන්නා තුරු තම පදිංචිය ගැන බොරු කියන්නට දෙගුරුන් දරුවාටද උගන්වයි. එතැන් පටන් 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙල, පසුව උසස් පෙළ අවසන් කරන තුරුත් අපේ තරුණ පිරිස නියැලෙන්නෙ දීර්ඝ තරඟයකය. මේ තරඟය හමුවේ විෂය දැනුමට පරිබාහිරව දරුවන් ඉගෙන ගත යුතු අනෙකුත් බොහෝ දෑ ඔවුනට මගහැරෙනු ඇත. අපි පුංචි කාලෙ අම්මා, අත්තම්මගෙන් අසා දැනගත් ජනකතා, ජාතක කතා, ප්‍රස්ථා පිරුළු, කවි ආදිය අහගන්නට අද දරුවන්ට වෙලාවක් නොමැත. පාසල් ඇරී ගෙදර පැමිණ අහල පහල වෙසෙන සම වයසේ මිතුරන් සමඟ කෙලි දෙලෙන් ගත කරන කාලය වෙනුවට ඔවුන් ඒ කාලය ගත කරන්නේ අතිරේක පංති වල, තරඟයකට පුහුණු වෙමිනි. මේ නිසාම බහුතරයක් සිසුන් සාමාන්‍ය දැනීම අතින් දුර්වලය. බොහෝ විට අධ්‍යාපන ක්‍රමය ගැන අප අසන මැසිවිල්ලක් නම්, පොත පතටම සීමා වුණු ප්‍රායෝගික නොවුණු අධ්‍යාපන ක්‍රමයක් බවයි. අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ උගතෙක්, බුද්ධිමතෙක් බිහිකිරීම මිස පොත් පත් කටපාඩම් කර සහතික ලබාගත් පමණින් ඉහළ රැකියාවක් කරන ගිරවෙකු නිර්මාණය කිරීම නොවෙයි. නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමය හමුවේ සිසුන්ගේ එකම ප්‍රමාර්ථය වී ඇත්තේ කෙසේ හෝ විභාගයෙන් විශිෂ්ට සමාර්ථ ලබා ගැනීමයි. නොඑසේනම් මුළු අනාගතයම අඳුරේ බවට සමාජය විසින් ඔවුන් බියපත් කර හමාරය.

අධ්‍යාපනය ප්‍රායෝගික නොවීම ගැන හොඳම උදාහරණයක් දිය හැක. එනම් 2004 වසරේ පටන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්, සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ වලින් නිදහස් කිරීමයි. නර්තනය, ගායනය, සංගීතය උගත් සිසුන්, එම ප්‍රායෝගික විෂයන් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමෙන් සමත් විය. මෙහිදී විනාශයට පත්වන්නේ එකී විෂයන්හි ප්‍රායෝගික දැනුම පමණක් නොවෙයි. නර්තනය ආදී විෂයන්හි ගැබ්ව ඇති ලක්දිව පාරම්පරික දැනුම, සංස්කෘතිකාංග ආදී සියල්ලක් ගැනම සිසු පරපුරට දැනගන්නට තිබූ උරුමය මින් අහිමි කළේය. අධ්‍යාපන ක්‍රමයේ ඇති මෙවන් දුර්වලතා නිසා සිසු පරපුර අප සංස්කෘතියෙන් ඈත් වෙයි. ලක්දිව පවතින්නේ නිවන වටා ගොඩනැගුණු සංස්කෘතියකි. එබැවින් සිසු පරපුර සංස්කෘතියෙන් ඈත් වීම, බෞද්ධයන් ධර්ම මාර්ගයෙන් ඈත්ව අවසන නිවනින්ද ඈත් වීම හා සමාන වේ.

අපේ සිංහල ජනකතා, ඉතිහාසය, ජාතක කතා පිරුළු හා ආප්තෝපදේශ හුදෙක් සුරංගනා කතාන්දර නොවන බවත්, ජීවිතය ගොඩනගාගන්නට අවශ්‍ය දැනුම, ඔවදන් කොතෙකුත් ඒවායෙහි ගැබ්ව ඇති බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. වත්මන් තරුණ පරපුරේ දරුවන් තුලින් පැරණී ප්‍රස්ථා පිරුළු, ජනකතා ආදියෙහි දැනුම ඈත් වෙමින් පවතී. ගම, පන්සල ආශ්‍රයෙන් ලැබෙන දැනුම සීමා වෙමින් පවතී. විෂය දැනුමෙන් පෝෂණය වුනත් සමාජය, සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, වැටහීමක් අද තරුණ පරපුරට තිබේදැයි යන්න සැකයට තුඩු දෙන කරුණක් වෙලා. විෂය දැනුමින් පමණක් පෝෂණය වූ කෙනෙක් තුලින් නිර්මාණය වන්නේ එම විෂයෙහි කෙල පැමිණියෙක් පමණි. එහෙත් යහපත් පුරවැසියෙක්, මිනිසෙක් නිර්මාණය කරන්නට නම් අප ඉහත සඳහන් කල පාරම්පරික දැනුම, තම ජාතිය, ආගම ගැන, ඉතිහාසය ගැන දැනුම, මනා හික්මීම සහ සාරධර්ම වලට ගරු කිරීම ආදී සියල්ලකින්ම මිනිසා පරිපූර්ණ විය යුතුය. නමුත් වර්තමානයේ දරුවන්ට දහම් පාසල් යන්නට ඇති ඉරිදා උදයේත් අමතර පංති පැවැත්වේ. පසළොස්වක පොහෝ දාටත් පන්ති පැවැත්වේ. අධ්‍යාපන තරඟයෙන් පරාජය වීමට බිය සිසුවා සිය ආගම, සංස්කෘතිය පසෙකට කර අමතර පංතියට යන්නට පෙළඹේ. අද කාලයේ බොහෝ දරුවන් දෙමාපියන්ට පවා හරිහැටි කතා කරනට නොදන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් ගුණ දහම්, සාරධර්ම හා සංස්කෘතිය ඉවත් වීම නිසා නොවේද?

අධ්‍යාපන ක්‍රමයද රැල්ලට හසුව ගසාගෙන යන බවට බොහෝ මත ඇත. එහි සත්‍යතාවයක් අපිද දකිමු. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සතුටුදායක ප්‍රතිඵල ලබාගැනීමෙන් අනතුරුව බොහෝ සිසුන් රැල්ලට හසුව තමාට නොගැලපෙන විෂයන් උසස් පෙළ සඳහා තෝරා ගනී. විටෙක මෙමෙ තෝරා ගැනීමට දෙමාපිය බල කිරීමද පාදක වේ. නමුත් අවසානයේ තමා ඉගෙනගත් විෂය ධාරාවට අදාල රැකියාවන් ලැබෙන්නේ බොහොම අතලොස්සකට පමණි. බහුතරයක් සිසුන් වෙනත් පාඨමාලා සොයා ඇදෙන්නේ එබැවිනි. තමන් කරන්නට කැමති, සහජ දක්ෂතාවයක් ඇති විෂය පථයක් තෝරාගෙන ඒ මාර්ගයේ අධ්‍යාපනය ලැබීම රැල්ලකට හසුව ගසාගෙන යනවාට වඩා බෙහෙවින් අර්ථාන්විත බව අපේ හැඟීමයි. නමුත් අද වන විට නොනවතින අධ්‍යාපන තරඟයකට හසුව ඇති අප සිසු පරපුරේ තරුණ ජීවිත තරඟයක් මැදම වේගයෙන් ගෙවී යන අතර ජීවිතය විඳින්නට හෝ ජීවිතයේ හොඳම කාලය තුල තමන්ටත්, රටටත් වැඩදායී යමක් කරන්නට ඇති අවකාශ සීමා වෙමින් පවතී. වේගයෙන් ගෙවී යන ජීවිතයේ බොහෝ දෙනා සැනසිල්ලක් බලාපොරොත්තු වන්නේ විශ්‍රාම ගැනීමෙන් පසුවය. තරඟයට හසුව සිටින කාලය පුරාවට අතපසු කරන ධර්ම මාර්ගය වෙත පිය නගන්නට බලාපොරොත්තු වෙන්නේද නිවී සැනසිල්ලේ ඉන්නවා යැයි සිතාගත් කාලයටය. සැබැවින්ම ඒ කාලයටත් සැනසිල්ලක් ලැබේවිද? පිළිතුරු අවැසි නම් වැඩිහිටියෙකුගෙන්ම අසා බලන්න.

මේ සියල්ලම පාසල් අධ්‍යාපනයෙන් පමණක් ලබාදිය නොහැකි බවද අපි දනිමු. එහෙත් මතු පරපුරෙන් මඟහැරෙන අපේකම, ජාත්‍යාලය නැවත ගොඩනගාගන්නට නම් කෙසේ හෝ අපි ලද ළමා කාලය මතු පරපුරටත් ලබාදීමට පියවර ගත යුතුය. සාරධර්ම පිරි යහපත් සමාජයක් ගොඩනගන්නට අවැසි ගුණදම්, සිරිත් විරිත් සහ පාරම්පරික දැනුම අප විසින් අනාගත පරපුරටත් ලබා දිය යුතුය. එය අප විසින් කල යුතුමයැයි ප්‍රත්‍යක්ෂ වන්නේ වර්තමානයේ තරුණ පරපුර දරනා ආකල්ප සහ මාධ්‍ය විසින් ඊට ලබාදෙන රුකුල දකිනා විටයි. තවදුරටත් පොතේ දැනුමට පමණක් සීමා වූ පුරවැසියන් පිරිසක් නිර්මාණ කිරීම අප අනුමත නොකල යුතුය. සුන්දර ළමාවිය, යෞවනය, වෙහෙසකර තරඟයකට කොටු කර තැබීම සාධාරණද? අප විසින් අපේකම සහ පාරම්පරිකව අප රැගෙන එන දැනුම ඉදිරියටත් රැකගනිමින් මතු පරපුරට ලබාදීම සඳහා කල යුත්තේ කුමක්ද? ඔබේ අදහස් අපි බලාපොරොත්තු වෙමු.

  1. 2011 ජූනි 4 දින පෙ.ව. 10:06 ට

    ඉතා වැදගත් ලිපියක්..! අප අධ්‍යාපනය බෞද්ධ මුලික රටාවක් අනුව සැකසිය යුතුය.අධිරාජ්‍යවාදීන් විසින් පැටවූ “අපට නොගැලපෙන ” දැනුම සහ දත්ත හඹා යන වර්ථමාන අධ්‍යාපනයේ හිස් බව තවමත් සෙසු ලෝකයා හමුවේ අප අසරනවීමෙන්ම ඔප්පු වී හමාරය.කුඩා කල සිටම දරුවන් ප්‍රයෝගික කටයුතු වලට සහභාගී කර ගැනීමෙන් ක්‍රියාශීලී තරුණ පරපුරක් සාදා ගත හැකිය.ජපානය අද සිටින තත්වයට පත්වුයේ අධ්‍යාපනයේ ඇති මේ වෙනස් කම නිසාය.රටක් ජාතියක් ලෙස එකට සිටීමේ වැදගත් කම ,තම රට ජාතිය පිළිබද ඇල්ම දරු පරපුරට කා වැද්දිය යුතුය…ප්‍රෞඩ ඉතිහාස නිවැරදි ලෙස හදවත් තුලට වරගැන්විය යුතුය,අද ඇති අධිරාජ්‍යවාදී ගැති පිරිසක් බිහි කිරීමේ ඉතිහාස පාඩම් විසිකර දමා සිංහලේ උපතේ සිට ලොව මවිත කල වාරි තාක්‍ෂණය,කලා නිර්මාණ වල ශ්‍රී විභූතිය දායාද කල යුතුය.ආගමික හැදියාවෙන් හා කලාත්මක හැකියාවෙන් අනුන ශ්‍රීලාංකිකයන් පවත්වාගෙන ආ සුපැහැදිලි ගමන තණ්හාවෙන් හා බල ලෝබයෙන් උමතුව වියරු උන විදේශිකයන් සුනු විසුනු කල අයුරු වටහා දිය යුතුය.එතැන් සිට දීන ගැති ඕතෑනි පරපුරක් බවට අප පත වුනේ අප අභිමානය පොඩිකර දමා පාගා දමා ඇති නිසාවෙනි .සාහිත්‍යය කලාව තුලින් හදවත් රසවින්දනයට පුරුදු කල යුතුය.මෙලෙක් කල යුතුය. වෙනස ඇති විය යුත්තේ අධ්‍යාපනයේ සිටමය.දැනුම සහ දත්ත එකතු කිරීම සමග ශිල්පීය දැනුම ,බහුශ්‍රුත භාවය අධ්‍යාපනය සැකසීමේදී ගුරු කර ගත යුතුය.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: