නිවස > දුටුගැමුණු බළකාය > ආදරය හා වෛරය හෙවත් තෘෂ්ණාව හා ද්වේශය.

ආදරය හා වෛරය හෙවත් තෘෂ්ණාව හා ද්වේශය.

ප්‍රේමය/ආදරය හේතුවෙන් වෛරය හටගැනීම පිළිබඳව ලිපියක් සකස් කිරීම ගැන, දුටුගැමුණු බළකායේ සංස්කාරක සහෘදයෙක් ඉදිරිපත් කල අදහසක් ඔස්සේ සිතිවිලි මෙහෙයවූ මට මතක් වන්නේ මීට වසර නවයකට පමණ ඉහතදී රත්නපුරයට නුදුරු ප්‍රදේශයේ පාසලක සිදුවූ ඝාතනයක් සම්බන්ධ පුවතයි. ඝාතකයා පාසල් සිසුවෙකි. ඝාතනයට ලක්වූයේ එම විදුහලේම සිසුවියක වූ අතර, ඔහු විසින් පාසල් භූමිය තුලදී පිහියෙන් ඇන ගෙල කපා ඇයව ඝාතනය කෙරෙන ලදී. මෙම අපරාධයට හේතුව වශයෙන් මාධ්‍යයෙන් ප්‍රචාරය වූයේ ඇගේ ප්‍රේමය ඔහුට නොලැබීම නිසා ඇතිවූ කෝපයෙන් සිදුකළ ඝාතනයක් බවටයි. මේ එක සිද්ධියක් පමණි. සතිපතා පුවත්පත්, දිනපතා පුවත්පත්, මාසික සඟරා ආදී ලක්දීපය තුල පලවෙන අනන්ත වූ පුවත්පත් වල, විවිධ සිරස්තල වලින් නිතරම අහන්නට ලැබෙන කතාවකි ආදරය නිසා සියදිවි නසාගන්නා හෝ, අනුන් නසනා පුවත. ඇතැම් මිනිසුන් ආදරය අහිමි වූ විටෙක හැරගිය පෙම්වතුන් ගැන නොහොබිනා කටකතා පතුරවයි, ඇතැමෙක් වශී ගුරුකම් පසුපස යන අවස්ථාද ඇත… ලක්දිව සියදිවි නසාගැනීම් බොහොමයකටම හේතුවද පෙම්හබ බව නොරහසකි. ප්‍රේමයෙන් පරාජිතව, එය දරාගන්නට නොහැකි වූ තැන මානසික රෝහල් වල කල් ගෙවන පෙම්වතුන්ද අඩු නැත. නම් ගම් ආදිය පමණක් වෙනස් වෙමින් අපි නිතරම අහන්නේ සිතට වහල් වුණු, සම්මා දිට්ඨියෙන් තොර මිනිසුන්ගේ කතාවයි. රූපය නිසා තණ්හාවත්, තණ්හාව නිසා යම්කිසි දෙයක ඇලීම හෙවත් උපාදානය හටගන්නා බවත් මීට වසර දෙදහස් හයසියයකට පමණ පෙර දේශනා කරන ලද්දේ  ගෞතම බුදුන් වහන්සේ විසිනි. එහෙත් තවමත් අපේ ඇත්තන් දැඩි තණ්හාව නිසා අවිද්‍යාවෙන් අකුසල කර්මයන්හි නියැළෙති.

ප්‍රේමය/ආදරය, රාගය, ලෝභය, ආශාව ආදී මේ සියල්ලක්ම තෘෂ්ණාව මූලික සිතිවිලිය. ආදරය යනු රාගයට සම්බන්ධ ක්ලේෂ සිතක් වන අතර, මමය, මාගේය යනුවෙන් ආත්මාර්ථය අරමුණු කරගත් සිතිවිලි වලට ආදරයේදී මුල්තැන ලැබෙයි. ඇතැමෙක් ආදරය යනු මෛත්‍රිය යැයි වරදවා ගනී. එහෙත් ආදරය අරමුණු වන්නේ ඒ ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වලට අනුව වන අතර මිනිසා මෛත්‍රී වැඩිය යුත්තේ, ඉහත කී රුචි අරුචි සීමාවන්ගෙන් තොරව සියළු ලෝ සත වෙතය. ආදරය බිඳ වැටුණු විට ද්වේෂ සිත් මුල් වන්නේත්, මෙත්‍රියේදී අසීමාන්තිකව මෙත් වඩන්නට හුරු වන්නේත් ඉහත කී වෙනස් කම් නිසාය. එබැවින් ආදරය හා මෛත්‍රිය  එකක් නොව දෙකක් බව පැහැදිලිය.

“පෙමතෝ ජායතී සෝකෝ – පෙමතෝ ජායතී භයං”…ශෝකය, බිය මෙන්ම, කණගාටුව, පසුතැවීම, ඊර්ෂ්‍යාව, පලිගැනීම සහ කැමති දෑ නොලැබීමෙන්ද, අකමැති දෑ ලැබීමෙන්ද හටගන්නා අසතුට ආදී සියළු සිතිවිලි ද්වේෂයේම විවිධ ස්වරූප වෙයි. ගැටුම්, ආක්‍රමණ හටගැනීමට මෙවන් සිතිවිලි මුල් වෙයි. ඔහු හෝ ඇය මාගේය, මට හිමිවිය යුතුය යන අදහස් පෙරදැරි වී නම් එහි තෘෂ්ණාවද ඇත. ක්ලේශයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන නොකල පෘතග්ජන සිතෙහි මෙවන් සිතිවිලි ඇතිවීම ස්වභාවිකය. එනිසා ආදරය කරන්නට එපා යැයි මේ ලිපිය හරහා අපි ඔබට නොකියමු. එදිනෙදා පුවත්පත් වල අප දකින පෙම්හබ මුල්වූ ඝාතන, අපරාධ උක්ත කරගෙන අප කතා කරන්නට සැරසෙන්නේ  තෘෂ්ණාව මර්දනය කල, ද්වේෂ සිතිවිලි දමනය  කල ප්‍රේමය ගැනයි. උදාහරණයක් ලෙස, අප දෙමාපියන් අපහට අසීමිත ආදරයක් දක්වති. අපව යහමගට ගන්නට උත්සාහ දක්වනු සේම, යම් හෙයකින් අප දෙමාපියන්ගේ බලාපොරොත්තු  වලට පිටින් කටයුතු කලද, ඔවුන් පැතූ ලෙසම ජීවත් නොවුණද, දෙමාපිය ආදරය වෙනස් නොවෙයි. නිසි වයසට එළැඹෙන දරුවන්ට සුදුසු ආවාහ විවාහ කරදී, සුදුසු ලෙස දේපල පවරාදී ඔවුනට ස්වාධීනව ජීවත් වෙන්නට සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ උපදෙස් දී ඇත. දෙමාපියන් අපට කොපමණ ආදරය කලත් නිසි කලට අපට ස්වාධීනව ජීවත් වන්නට කටයුතු සලසා දෙයි. අධික තෘෂ්ණාව හෝ දැඩි උපාදානය එහි නැත.

තමා ආදරය කරන පුද්ගලයා තමන්ට අවැසි ලෙසින්ම පාලනය නොකෙරේද, ආදරය කරන පුද්ගලයාට අවැසි ලෙසම තමාට වෙනස් වන්නට සිදු නොවේද, එකිනෙකාව දැඩි ලෙස අයිති කරගන්නට උත්සාහයක් හෝ පාලනයක් නොකෙරේද එහි සැබෑ ආදරය රැඳී පවතී. එමෙන්ම විශ්වාසය, විශ්වාසය සුරැකීම හා එකිනෙකා කෙරෙහි වන ගෞරවයත් ආදරයේ ගති ලක්ෂණ  අතර වෙයි. සිදුහත් යශෝදරා චරිත දෙකෙන්ද සැබෑ ආදරය ගැන උදාහරණ රැසක් ලබාගත හැක. බෝසතුන් තමාටම අයිතියැයි මතයක නොසිට, ලෝසතුන් වෙනුවෙන් සිදුහත් බෝසතුන් මහාභිනික්මන් කල විට එය ඉවසා සිටීමෙන් යශෝදරාව අධික තෘෂ්ණාවෙන් තොර ආදරය ගැන අපූරු උදාහරණයක් දෙයි. තම ස්වාමි පුරුෂයා තමන් හැර ගියාය යන සිතිවිල්ලේ සිටිමින් බෝසතුන් විනාශ කරන්නට ඇය නොපෙළෙඹෙයි. බුද්ධත්වය ලැබ කිඹුල්වත් නුවරට වැඩි බුදුන් වහන්සේත්, යශෝදරාව වෙතට ගොස් ඇය බැහැදැක දහම් දෙසීමෙන් ගෞරවය පිළිබඳ අපූරු පාඩමක් කියාදෙයි. නමුත් මෙහිදී, කිඹුල්වත් නුවරට වැඩි බුදුන් වහන්සේ රාගාදී සියළු ක්ලේෂයන් ප්‍රහීන කර සිටි බවත් අමතක නොකල යුතුය.

ආදරය යනු බෞද්ධ ධර්මයට පටහැනි දෙයක් නොව. නමුත් වර්තමානයේ ආදරයට දී ඇති අර්ථකථන ධර්මයට පටහැනිය. බොහොමයක් අරුත් සුන්, පුහු දේවල් වලට ආදරය යන වචනය ඈඳා ඇත. මෙවන් අරුත්සුන් දේ ඔස්සේ ආදරය සොයා යන තරුණ පරපුර නොදැනුවත්වම දැඩි තෘෂ්ණාව ආදරය යැයි පටලවා ගනිති. පෙම්වතුන්, පෙම්වතියන් නොලැබී ගිය කල, තමා හැර ගිය කල ද්වේෂ සිත් ඇති කර ගනී. ඇතැමෙක් තමන්ට රිසි පෙම්වතා හෝ පෙම්වතිය හිමිකරගත්තද, එතැන් පටන් ඔහු හෝ ඇයව පාලනය කරමින් සැකයෙන් යුතුව කල් ගෙවන්නට වීම නිසා ගිහි ජීවිතය අවුල් කරගනී.

විවාහයෙන් කෙළවර වන ප්‍රේමයන් අද සමාජයේ පැසසුමට ලක්වේ. එතැන් පටන් නොගැලපීම්, ප්‍රතිවිරුද්ධ අදහස්, පුරුෂාධිපත්‍යය, කාන්තා විමුක්තිය ආදී නානාප්‍රකාර නම් වලින් හැඳින්වෙන තෘෂ්ණාව, විචිකිච්ඡාව හා ක්‍රෝධය බොහෝ පවුල් වල ප්‍රධාන අංග බවට පත්වෙයි. බලාගෙන ගියහම සැබැවින්ම විවාහයත් සමඟ ප්‍රේමය නිමාවී ඇත. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ යැයි පවසන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ. කරන්න දෙයක් නැතිම තැන මේ සියල්ලම කරුමය පිට පටවා, හැලහැප්පීම් මැද දිවි ගෙවන ජීවිතද අප අතර අනේක වෙයි.

යම් අරමුණක් පිළිබඳ ද්වේශ සිතක් පහළ වූ විගස, ඒ මුල්වී අකුසල ක්‍රියාවක් කරන්නට ප්‍රථම, වහාම සතිය පිහිටුවා ගෙන එය හඳුනා ගැනීම හා ද්වේෂයෙන් බැහැර වීම හොඳම ක්‍රමය ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සේක.  එනමුත් ද්වේෂය හඳුනාගෙන ඉන් බැහැරවීම වෙනුවට, ඇතැමෙක් ආයුධ අතට ගනී. මේ අයුරින් අධික තෘෂ්ණාව මූලික වී, උපාදානයෙන් මිදෙන්නට නොහැකි වූ තැන තම ජීවිතයත් විනාස කරගෙන, අනුන්වත් විනාස කර, තමන්ට අපිරිමිතව ආදරය කරන දෙමාපියන්, සහෝදරයන් හා නෑ හිතවතුන්වත් දුකට පත් කරන මිනිසුන් අපට නිතරම පාහේ හමුවෙයි.

ධර්ම මාර්ගයෙන් බැහැරව, තාවකාලික සතුට සැනසුම සොයා ගොස් සුරංගනා ලෝක වල අතරමං වන බොහෝ දෙනාගේ අවසානය සතුටුදායක එකක් නොවන්නේ අධික තෘෂ්ණාව, රාගය, මෝහය හා යමක් කෙරෙහි දැඩි ඇලීම මුල් වන බැවිනි. අධික තෘෂ්ණාවෙන් පෙලෙන තැනැත්තා නිතරම ජීවිතය කෙරෙහි අතෘප්තිමත්ය. එබැවින් ඔහුට/ ඇයට ජීවිතය කරදරකාරී වෙයි, බරක් වෙයි. ඒ හේතුවෙන්ම ද්වේෂ සහගත සිතිවිලි හටගනී. එහිදී එම පුද්ගලයා ඇසුරු කරන්නන්ටද ඔහු/ ඇය කරදරයක් විය හැක. ප්‍රේමය ආදී තෘෂ්ණාවට සම්බන්ධ සිත්හි දැඩි සේ ඇළුණ පුද්ගලයාගේ ජීවිතයද මීට සමාන වේ. තම පෙම්වතා හෝ පෙම්වතිය දැඩි රැකවල් මැද පාලනය කෙරෙමින්, සැකයෙන් හා ක්‍රෝධයෙන් ජීවත් වන්නා තමාගේ සැනසීමත් අන් අයගේ සැනසීමත් විනාශ කර දමයි.

ආත්මාර්ථයෙන් හා තෘෂ්ණාවෙන් තොර ආදරය යනු එකිනෙකා කෙරෙහි වන විශ්වාසය හා ගෞරවය බව අප මීට පෙර සඳහන් කළෙමු. තමා පෙම් කරන කෙනෙක් තමන්ව හැර ගියේ නම්, ඔහු හෝ ඇය තමන්ට ආදරය නොකරනවා විය යුතුය. තමන්ට ආදරය නොකරන කෙනෙක් වෙනුවෙන් ආයුධ අතට ගෙන ජීවිත විනාශ කරගැනීමට තරම් මිනිසා මෝඩ විය යුතුද? එපමණක්ම නොව, තමන් ආදරය කරන පුද්ගලයා තමන්ට ඕනෑ හැටියට වෙනස් කරගන්නට උත්සාහ නොකරමින්, ඔවුන්ට ආදරය කිරීම, අවංක වීම ආදිය සැබෑ ආදරයේ ගති ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැක.

කෙසේ වෙතත් සියළු සංස්කාර ධර්මයන් නැසෙන ලොවක, ප්‍රේමය පමණක් අහිමි වී නොනවතින නිසා, ගිහි ජීවිතයේදීම තෘෂ්ණාව මර්දනය කරන්නටත්, ආශාවන්හි දැඩි ලෙස ඇලීමෙන් මිදෙන්නටත්, ද්වේෂය පාලනය කරනටත් හුරු වීම ප්‍රඥාවන්තය. එමෙන්ම බුදුන් වහන්සේගේ දේශනා වලට අනුව ගොස් සම්මා දිට්ඨියෙන්, සම්මා සතියෙන් යුතුව කල් ගෙවමින් අප්‍රමාදව කුසල් රැස් කර නිවන් සාක්ෂාත් කරගන්නට අප අධිෂ්ඨාන කරගත යුතුය.

ආශ්‍රිත :

http://www.divaina.com/2011/08/07/feature05.html

http://www.divaina.com/2011/07/10/feature05.html

http://www.divaina.com/2011/03/27/feature03.html

http://www.divaina.com/2010/09/12/feature02.html

  1. 2011 අගෝස්තු 17 දින පෙ.ව. 10:13 ට

    ඉතා අගනා ලිපියක්. කතා කරලා බැලුවාම ලංකාවේ වැඩි දෙනාට ධර්මය ගැන යම් අවබෝධයක් තියෙනවා.. ඒත් ධර්මයේ ප්‍රායෝගික පැත්ත වැරදි විදිහටයි වටහාගෙන ඉන්නේ… ඒ නිසයි මෙහෙම දේවල් වෙන්නේ….

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: