නිවස > ඉතිහාසය, කාළීන සිදුවීම්, බුදු දහම > ඉස්කෝලෙදි කොන්ද කඩන හැටි

ඉස්කෝලෙදි කොන්ද කඩන හැටි

මේ කියන්න හදන්නෙ පාසල් සිසුන් හැමදාම කරගහගෙන යන පොත් බෑග් එකේ බරට ඔවුන්ගේ කශේරුකාවට හානි වෙන්න පුළුවන් කියන කතාව නෙමෙයි. හැබැයි ආයෙත් මේ මතක් කරල දෙන්න යන්නෙ පරණ කතාවක්ම තමයි. මේක ඉතිහාසය පිළිබඳ ගැටළුවක්. පාසල් වල ඉතිහාසය අනිවාර්ය විෂයක් හැටියට ඉගැන්වෙන්නෙ නැහැ. උසස් පෙළට කලා අංශයෙන් ඉතිහාසය ඉගෙනගන්න වරම් තිබුණත් සිසුවා උසස් පෙළ පංතිවලට එද්දි කොන්ද කඩාගෙන ඉවරයි. හැබැයි දැන් නම් ලෑස්ති වෙන්නෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නෙයි කියලයි ආරංචිය.

ජේ. ආර්. උන්නැහේගෙ කාලෙ විෂය මාලාවෙන් ඉවත් වුණ ඉතිහාසය විෂය වෙනුවට දැන් උගන්වනවයි කියන්නෙ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියල විෂයක්. සමාජ අධ්‍යයනය කෙසේ වෙතත්, විෂය මාලාවෙ ඉතිහාසය හා භූගෝලයට අදාල පාඩම් නම් තියෙනවා. පණ්ඩුකාභය වැනි රජවරුන්ගේ චරිත ගැන හත අට පංතිවලදි යන්තමට කියාදීලා සාමාන්‍ය පෙළ කරන කාලෙදි (ළමයින්ට තමන්ගෙකම ගැන උගන්වන්න හොඳම වයසෙදි) උගන්වන්නෙ 1505න් මෙහා ඉතිහාසය. දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසින්ට රැවටුණ හැටි, ධර්මපාල රජු පෘතුග්‍රීසින්ට කෝට්ටෙ ලියලා දුන්න හැටි, ඩොනමෝර්, කොඩ්‍රින්ටන්, නෝර්ත් වැන්නන්ගෙ ආණ්ඩුක්‍රම සහ ඒ හරහා ලංකාව දියුණු වෙන හැටි ආදිය විතරක් සිසුන්ගෙ ඔළුවට දාලා බටහිරට ගැති වෙන්න ඕන තරමට සිසුන්ගෙ ආකල්ප අදහස් වෙනස් කරනවා. මොන කුණුගොඩක් උණත් බටහිරින් එනව නම් ඒක හරි කියලා පිළිගන්න තැනට අනාගත පරපුරේ මනස මේ විදිහට සකස් කරනවා.

දුටුගැමුණු, වළගම්බා, පළවෙනි රාජසිංහ, විජයබාහු ආදී රජවරුන්ගෙ චරිත වලින් එඩිතර කම, ජාත්‍යාලය, බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම ආදී පාඩම් උගත හැකිව තියෙද්දී විජයාගමනය, පඬුවස්දෙව් රජු සහ පසුකාලීනව රට ආක්‍රමණය කල ඉන්දීය ආක්‍රමණිකයන් ගැන පමණක් විශේෂයෙන් උගන්වා අපි ඉන්දියානුවන්ගෙන් පැවතෙන බව ඒත්තු ගන්වමින් ඉන්දියාවට ගැති පිරිසක් ඉස්කෝලවලදි නිර්මාණය කරනවා.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉදිරියෙදි ඇතැම් සිංහලයන්ගෙ කොන්ද නැමෙන්නෙ ඉස්කෝලෙදි උගන්නපුව නිසා කියල නිකමටවත් හිතුණද? හිතුවද? ආර්ය චක්‍රවර්ති, දකුණෙන් ආපු චන්ද්‍රගුප්ත, මතකයි…. ඒත් යාපනය ගලවාගෙන පස්වෙනි බුවනෙකබාහු නමින් රජවුන සපුමල් කුමාරයා ගැන දන්නෙ කීයෙන් කී දෙනාද? එළාර යුක්තිය වෙනුවෙන් එල්ලගෙන හිටපු ඝණ්ඨාරෙ එළදෙනක් ඇවිත් ගහපු කතාව ඔක්කොම මතකයි. නමුත් දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ බිසව කව්ද කියලා ඇහුවොත් දන්නෙ නෑලු. ඒ වුණත් කිරිබත් කන්න ගිහින් කාවන්තිස්ස එක්ක රණ්ඩුවුණ ටිකයි, පැනලා ගිහින් තාත්තට කාන්තා ඇඳුම් එවපු එකයි නම් කාටත් මතකයි නේද?

සුද්දා ඇවිත් කෝච්චි පාරවල් හදපු ටිකයි, ඒවා හදපු අවුරුදුයි, ආණ්ඩු ක්‍රම ටිකයි ඉස්කෝලෙදි කට පඩම් කරවනවා… සිංහලයගෙ ශ්‍රමය හූරගෙන, අපේ ස්වභාවික සම්පත් ටිකත් සිය රටට පටවලා පොහොසත් වෙච්ච එකයි, කෞතුක භාණ්ඩ, පුස්කොළ පොත් නැව් පිටින් ඒ රටවලට අරන් ගිහින් අපේ මුතුන් මිත්තන් අපිට ඉතිරි කරපු පාරම්පරික දැනුමත් අපෙන් උදුරගත්ත බවයි බොහෝ දෙනාගෙ සිහියට එන්නෙ නෑ. ඒවා සිහියෙ තියාගෙන වැඩකරන්න ඉඩ දෙන්නෙත් නෑ. ඉන්දියාවෙනුත් කරපු තරමක් කළේ අපේ රට ආක්‍රමණය කළ එකයි. අපිත් ඉන්දියාවෙන් ආපු විජයගෙන් පැවතෙනව නම්, ලංකාව ඉන්දියාවෙ යටත් විජිතයක් වෙන්නෙ ඒ කාළෙමයි, ඇරත් අපි ඔක්කොටම තියෙන්නෙ එකම සම්භවයක් නම් මොන එහෙකටද මේ තරමට අපේ රට ආක්‍රමණය කළේ? අපි පැවතෙන්නෙ විජය සමඟ ආ පිරිසෙන් නෙමෙයිවත්ද? නිවී හැනහිල්ලෙ හිතලා බලනකොට මෙතෙක් කල් නොහිතුණු ගොඩක් කරුණු ප්‍රත්‍යක්ෂ වේවි. ඒත් පාසල් සිසුවෙකුට නිවී හැනහිල්ලෙ හිතලා බලන්න කෝ විරාමයක්? අධ්‍යාපනය තරඟයක් බවට පත් කරලා අපේ තරුණ පරපුර බුද්ධිය මෙහෙයවන්න ඕන පරාසය සීමා කරවලා කියලා නිකමටවත් හිතුණද අපි ඉස්කෝලෙ යන කාලෙදි?

ඒ අල්ල පනල්ලෙ නමට හරි තිබුණ ඉතිහාස විෂයත් ඔන්න ඉවත් කරන්න යනවයි කියන්නෙ. මෙච්චර කල් පොතපතින් අපිව පරගැතියන් කරන්න දරපු වෙර නවත්වලා දැන් ඉතිහාසය කියන වචනයත් මතු පරම්පරා වලින් අකා මකා දාන්නයි මේ සූදානම. ඒකයි අපි කලින් කිව්වෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නයි මේ ලෑස්තිය කියලා. ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක් නොදන්න සිංහල පරපුරක් නිර්මාණය කරන්න මේ තරම් වලි කන්නෙ ඇයි? අපේ ඉතිහාසයේ අමතක කළ යුතු භයානක දේවල් තියෙනවද? සිංහල බෞද්ධ අපිට නම් නෑ. අපේ ඉතිහාසය පුරාවටම තියෙන්නෙ බුදු දහම රැකගන්න සටන් කරපු රජවරු ගැන. ගමක් නගරයක් පාසා මහා වෙහෙර විහාර ගොඩනැගූ සිංහල බෞද්ධයො ගැන, චීවරෙන් ඉවත්වෙලා හමුදාවට බැඳිලා, ලක්මව දිනවලා අහවර උනාට පස්සෙ නිර්වාණය සොයා ගිය ථෙරපුත්තාභය වැනි රහතන් වහන්සේලා ගැන, රට වෙනුවෙන් ජීවිතයම කැපකළ වීරයො ගැන. මෙන්න මේ දැනුම අපේ පොඩිඋන්ට දුන්නොත් අපේ රට විනාශ කරන්න, ථෙරවාදී බුදුදහම ලංකාවෙන් අතුගාලා දාන්න බලා ඉන්න අයට යන එන මං නැතිවෙනවා. ඒත් ඉතින් මේ සේරම අපේ ඉතිහාසය දරාගන්න බැරි අයගෙ වැඩ බව හිතන්න අපිට වෙලාවක් ලැබෙනවද මේ ජීවන හරඹය අස්සෙ?

ඉතිහාසය අමතක කළොත්, මේ රටයි, බුදුදහමයි රැකගන්න අපේ වරිගෙ ජීවිත පූජා කළ හැටි අපේ දරුවන්ට අමතක වෙයි. මේ විදිහට පරම්පරා කිහිපයක සිසුන්ගෙ කොන්ද කැඩුවට පස්සෙ ඒ අයගෙන් පැවතෙන උන් කොන්දක් නැතුවම ඉපදෙයි. අන්න එදාට ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක්, උරුමයක් ගැන හැඟීමක් දැනීමක් නැති අපේ දරුවො කාගෙවත් රූකඩ වෙලා නටාවි. මේ ඇරඹෙන්නෙ අන්න එහෙම යුගයක් නම්… මෙච්චර කල් ගෙයි මුල්ලෙ තිබ්බ අසිපත් වල කොහොල්ලෑ සුද්ධ කරලා ලෑස්තිවෙයල්ලා කියල තමයි කියන්න තියෙන්නෙ. දරුවෙක්ගෙ මුල් ගුරුවරයො වෙන්නෙ දෙමාපියන්. ඉස්කෝලෙන් උගන්නන්නෙ නැති අපේ කම, අපේ වග අපි අපේ දරුවන්ට උගන්නන්න ලෑස්ති වෙමු. බැරි නෑ… පුළුවන්. ඉස්කෝලෙන් මඟහරවපු පාඩම් ඉගෙනගන්න අවශ්‍ය පොත පත, දැනුම අදටත් හිඟ නෑ. ඕන කෙනෙකුට ඉගෙනගන්න ඇහැකි මාර්ග තියෙනවා, ධර්ම ග්‍රන්ථ, ශාසන ඉතිහාසය අදටත් පන්සල ඇසුරෙන් ඉගෙනගන්න වරම් තියෙනවා. කැපවීමයි වෙලාවයි හොයාගෙන අපි මේ කටයුත්ත නොකළොත් රටටත්, ශාසනයටත්, අනාගත පරපුරටත් අපෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්.

  1. 2012 පෙබරවාරි 29 දින පෙ.ව. 1:07 ට

    ජේ.ආර්ගේ කාලයේ වුණු දෙයට සමාව දෙන්න පුලුවන්. මොකද ඒ යකාට තම්බි මුදියන්සේ කෑල්ලකුත් තිබුණනේ. අගුණවර්ධනට මොකද මෙහෙම තදවීමක් නේද?
    අපේ කාලයෙත් ඉතිහාසය කියලා අපට ඉගැන්නුවේ 1505 න් මෙහා පැත්තේ ඉතිහාසය තමයි. ඒ වුණාට පුරා විද්‍යාවෙනුත් මෙච්චර ඔප්පු වෙනකොට දුටුගැමුණුලාත් කට වහගෙන ඉන්න එකනේ පුදුමය.

  2. 2013 ඔක්තෝබර් 2 දින පෙ.ව. 6:27 ට

    පාසලකින් මූලිකවම කළ යුත්තේ රැකියාවක් කිරීම සදහා දරුවා සූදානම් කරවීම…ඉතිසාහඥයෙක් ලෙස හෝ පුරාවිද්‍යාඥයෙකු ලෙස රැකියාවක් කරනවා හැරුණුකොට සමාජයේ ඇති ප්‍රධාන වෘත්තීන් වන වෛද්‍ය ඉංජිනේරු නිතිඥ වැනි වෘත්තීන් සදහා ඉතිහාසය ඉගනගැනීම අවශ්‍ය නෑ…ඒක නිසා ඉතිහාසය විෂය අමතර විෂයක් ලෙස තියන එක හොදයි…ඉතිහාසය පිළිබද කුතුහලයක් තියන අයට ඉතිහාසය ඉගනගන්න පුලුවන්…කාටවත් ඉතිහාසය ඉගෙනගන්න බලකිරීමක් නෑ….අනික ඉතිං ඔය ඉතිහාසය උගන්නනවා කියලා කරන්නෙ ළමයිගෙ මොල සෝදන එකනෙ…සිංහලබෞද්ධ ගෝත්‍රයේ උජාරුව වර්ණනා කරමින් සිංහලබෞද්ධ ගෝත්‍රවාදය දරුවන්ගෙ ඔලුගෙඩි තුලට එන්නත් කරන එකනෙ ඉතිහාසය උගන්නනවා කියලා කරන්නෙ

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: