Archive

Archive for the ‘ධර්ම සාකච්ඡා’ Category

කල්‍යාණ මිත්‍රයෝ

ජීවිත කාලය පුරාවටම අපට නොයෙක් අවස්ථාවල, නොයෙක් විදිහේ ගතිගුණ ඇති මිතුරන් හමුවෙනවා. මේ අතුරින් ආශ්‍රයට සුදුසු මිතුරන් තෝරා ගැනීම අපේ වගකීමක්. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් කල්‍යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් ගැන පැහැදිලිව දේශනා කලේත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ජීවිතයට ඉතා වැදගත් නිසයි. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නෙත් කල්‍යාණ මිත්‍රයන් ගැන බුද්ධ දේශනාවන්හි සඳහන් කරුණු පිළිබඳව කතිකා කරන්නටයි.

ගොඩක් වෙලාවට හොඳ වැඩක් කරද්දි වගේම නරක වැඩක් කරද්දිත් මුල් වෙන්නෙ යාළුවො. ඉතින් සමාජයක දුසිරිත් දුරාචාර එන්න එන්නම වැඩිවෙනවා කියන්නෙත්, පාප මිත්‍ර ඇසුර වැඩි වෙලා කියන එකයි. කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන් හඳුනාගැනීම වුවත් අද කාලයේ පහසු නැහැ. ඕනම ගේමකට ලෑස්ති, බුදු ෆිට් එක, බොක්ක කියලා හඳුන්වන හැම මිත්‍රයෙක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාණ මිත්‍රයොද කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් කෙනෙකුට තියෙන්න ඕනෙ. තමන් කියන කරන දේ හරි හෝ වැරදි, ඊට උපකාර කරන මිතුරා තමන්ගෙන් ඊට වඩා වාසියක් මතුවට බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට අද ඔබේ වැරදි වලට අනුබල දෙන මිතුරා, අනාගතේ තවත් අපායට පාර කැපෙන කටයුත්තකට ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. එහෙව් ලෝකෙක සැපේදි මෙන්ම දුකේදිත් ලඟින් ඉන්න මිතුරන් කව්ද කියලා වටහා ගන්න පුළුවන් වෙන්නෙ කෙනෙක් විපතකට පත් වුණ වෙලාවකටමයි.

සිඟාලෝවාද සූත්‍රයේ එන අන්දමට කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන්ද කොටස් හතර බැගින් වෙයි.

  • අඥ්ඥදත්තුහර – හැමවිටම මිතුරාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. සුළුවෙන් යමක් දී වටිනා යමක් බලාපොරොත්තු වෙයි. මිතුරාට බියක් ඇත්නම් ඔහුගේ කටයුතු කරන අතරම තම ලාභය, ප්‍රයෝජනය පමණක්ම සලකයි.
  • වචීපරම – වචනයෙන් පමණක් සංග්‍රහ කරමින් මිතුරාගෙන් ලාභ බලාපොරොත්තු වෙයි. ඉකුත් වූ දෙයින් සහ මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරන අතර කටයුත්තක් පැමිණි කල්හි තමාට වූ විපතක් දන්වා මඟහැර යයි.
  • අනුපියභාණි – තමන් ඉදිරිපිටදී පමණක් මිතුරාගේ ගුණ වයන, නැති තැනදී වැරදි කියන යහපත් අයහපත් සියළු දේ අනුමත කරන, රැවටිලි බස් කියන කෙනෙකි.
  • අපාය සහාය – මෙම පාප මිතුරා මත්පැන් පානය, නොකල්හි වීදි සංචාරය, නැටුම් ඇති තැන්හි රැඳීම සහ සූදුව යන අයහපත් සියළු කටයුතු වලට නැවත නැවතත් උර දෙමින් පරිහාණිය කරා රැගෙන යයි.

මෙවන් ගතිගුණ ඇති මිතුරන් හඳුනාගන්නටත් ඔවුන් ආශ්‍රයෙන් ඈත් වන්නටත් බුද්ධිමත් මිනිසා සමත් විය යුතුය.

කල්‍යාණ මිතුරන් ගැන දේශනා කිරීමේදී බුදුන් වහන්සේ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අනුකම්පක සහ අත්ථක්ඛායි යනුවෙන් කලණ මිතුරන්ද වර්ග හතරක් හඳුන්වා දී ඇත.

  • උපකාරක මිතුරා – තම මිතුරාත් ඔහුගේ ධනයත් රකිමින් මිතුරාට උපකාර කරන්නෙකි. ඔහු භයක් පැමිණි විට මිතුරාට උපකාර කරන අතර කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් වස්තුව දෙයි.
  • සමාන සුඛ දුක්ඛ මිතුරා – විපතේදීත් නොවෙනස්ව සිටින, තම රහස් මිතුරාට කියන සහ මිතුරාගේ රහස් ආරක්ෂා කරන පුද්ගලයෙකි. මිතුරාගේ යහපත සඳහා ජීවිතය වුව පිදීමට සමත් මිතුරෙකි.
  • අනුකම්පක කළණ මිතුරා – මිතුරාගේ පිරිහීමට නොසතුටු වන, දියුණුවට සතුටු වන, මිතුරාගේ නුගුණ කියන්නවුන් වළකන සහ ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරන මිතුරෙකි.
  • අත්ථක්ඛායි මිතුරා – සිය මිතුරා පවින් මුදවා කුසලයෙහි යොදවන කළණ මිතුරෙකි. නොඇසූ දෙය අසන්නට සලස්වන, දෙව්ලොවට මග කියන මිතුරෙකි.

අප අවට වෙසෙන මිතුරන් අතරින් මේ සිව්වැදෑරුම් මිතුරු ගුණ සහිත කල්‍යාණ මිත්‍රයන් කවුරුද යන්න නොපමාව හඳුනාගන්නට අප කටයුතු කළ යුතුයි. කරන හැම කටයුත්තකටම උදව් නොදී, හරි වැරැද්ද තෝරා බේරාගෙන, යහපත් දේට උපරිමයෙන් උදව් කරන මිතුරා, දුසිරිතෙන් ඔබව ගලවාගන්න අර අදින මිතුරා සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්. එවන් කල්‍යාණ මිත්‍රයෙකුගේ ගුණ හඳුනාගන්න නම් තමනුත් ඒ ගුණ පුරුදු පුහුණු කළ යුතුයි. තවත් කෙනෙකුට පාප මිත්‍රයෙක් වෙමින් තමන්ට කල්‍යාණ මිත්‍ර ඇසුර ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල දෙයක්. එබැවින් කල්‍යාණ මිතුරු ඇසුරට වැටෙන්න නම් අපිත් පළමුව කල්‍යාණ මිතුරෙකු සතු ගුණාංග අප තුල දියුණු කළ යුතුයි, අපත් අපේ මිතුරන්ට කලණ මිතුරන් විය යුතුයි. ඒ කළණ මිතුරන්ට ඉහත ගුණාංග වලින් සැලකීමට ඔබත් පුරුදු පුහුණු වෙයි නම් දුසිරිතෙන් ඈත්ව ධර්මයේ හැසිරෙන්නට එයම මහත් පිටිවහලක් වේවි.

මෛත්‍රී සිත

මහණෙනි, 

මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.

“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”

“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”

මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.

මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.

උපුටා ගැනීම: පොරවගම ඥාණසිරි තෙරුන් රචිත, බුදුහාමුදුරුවන්ගේ උපමා කතා 2

දහම් පද

උපාසක ඇත්තෝ

2010 සැප්තැම්බර් 5 ප්‍රතිචාර 2ක්

පෝයට සිල් ගන්න පන්සලට ගියහම තියෙන සීලෙත් කැඩෙනවා කියලා කතාවක් සමහර වෙලාවකට අහන්න ලැබෙනවා. මෙහෙම කියන්නෙ සිල් ගන්න යන්න කම්මැලි අය වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ කතාවෙ ඇත්ත නැත්ත බලන්න නම් පසලොස්වක පොහෝ දිනක, අටසිල් සමාදන් වෙන්න පන්සලකට යන්නම ඕනෙ. මිනිසුන්ගේ කාර්‍යබහුල ජීවිතත් එක්ක මෙවැනි සිත් නිවන කටයුත්තකට බොහෝවිට අවස්ථාව උදා වෙන්නෙ පොහොය දින වැනි නිවාඩු දිනකම තමයි. ඉතින් එලෙස ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් අප උපරිම ඵල නෙලා ගත යුතු නොවේද? නිතරම එහෙ මෙහෙ දුවන සිත එක තැනකට අරගෙන ධර්මයේ හැසිරෙන්නට ලද අවස්ථාව ඒ වෙනුවෙන්ම විතරක් කැප කරයි නම්, එදිනෙදා ජීවිතයේ සිදුවෙන, සිදුකරන දෑ මොහොතකට අමතක කර තුන් දොර සන්සුන් කර ගන්න හුරු වෙනවා නම්, සුළු දෙයටත් නොකිපී සැමට එක සේ මෛත්‍රී කරන්න අපිට පුළුවන් නම් … අපි හොයාගෙන යන නිවන වැඩි ඈතක නොවේවි.

පොහොය දිනට විහාරස්ථානයක් අද කොයි වගේද කියලා මෙනෙහි කරලා බලමු … උදෑසන සිල් සමාදන් වීමෙන් පසු ධර්ම සාකච්ඡා වල නියැලෙන කටයුතු ආරම්භ උනා. දහම් පාසලේ දරු දැරියනුත් විශාල සංඛ්‍යාවක් සිල් සමාදන් වී සිටිනු දැකීමත් සතුටට කරුණක්. උදේ වරුවෙ පොඩි උපාසක ඇත්තන්ටත් ගැලපෙන විදිහට විහාරස්ථනයේ පොඩි හාමුදුරුවො සරල ධර්ම දේශනයක් පැවැත්වුවා. බණ දේශනාවන් අතරතුර ලැබෙන ඉස්පාසුවේ උපාසක අම්මලගෙ ධර්ම සාකච්ඡා වලට සවන් දුන් පසු වියපත් කලට වැලඳෙන නවානූවක් රෝගාබාධ, ඒවාට ප්‍රතිකාර සහ ප්‍රතිකාර ලබා ගන්නට සුදුසු හොඳම වෛද්‍යවරුන් ගැනත් දැනගන්න ලැබුණා. එදින සිල් ගන්නට නොපැමිණි අය ගැනත්, එදින නොපැමිණිමට හේතුත් බොහෝ දෙනා අතර කතා බහ වුණා.

දහවල් දානය පිලිගන්වන්නට මොහොතකට පෙර එදින සිල් සමාදන් වූ දහම් පාසල් දරු දැරියන් ගේ නාම ලේඛණය ලකුණු කෙරීමේ කටයුත්ත යෙදුණා. ඒ ගැන අසල සිටි දහම් පාසල් අධ්‍යාපනය ලබන පුංචි උපාසක මහතාගෙන් ඇසූ විට දැනගන්න ලැබුණේ දහම් පාසලේ දරුවන්ට පෝදාට සිල් ගැනීම අනිවාර්‍ය කර ඇති බවත්, සිල් සමාදන් වෙන දරුවන්ගේ නම් ලකුණු කරන බවත්ය. එවන් නීති රීති හමුවේ වුවද බොහෝදෙනා සිල් සමාදන් නොවන බවත් ඔහුම පැවසීය. මෙවන් නීති රීති පැනවීමෙන් කිහිප දෙනෙකු හෝ යහමඟට පැමිණෙනවා නේදැයි සිල් සමාදන් වූ දරුවන් දෙස බලමින් තාවකාලිකව සතුටු වුණා.

සතුට තාවකාලික වුණේ දහවල් දානයෙන් පසුව එලැඹුණු ධර්ම දේශනාව වන විට ධර්ම ශාලාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් හිස්ව ගොස් ඇති බැව් දුටු විටයි. දහම් පාසල් සිසුන් බොහොමයක් ඒ වනවිටත් පෙනෙන්නට හිටියේ නැහැ. කලින් කතාබහ කල සිසුවාද පෙනෙන්නට නොවුණු බැවින් තවමත් රැඳී උන් සිසුවියකගෙන් විමසා සිටි විට ” ආ… ඒගොල්ලො නම් ලකුණු කලාට පස්සෙ පනිනවා” යැයි ඇඟට පතට නොදැනී පැවසුවේ මෙහි බරක් පතලක් නොදන්නා බැවින් විය යුතුය. දරුවන්ගේ කැමැත්තක් නැතිනම් හොද වැඩකට වුවද බලෙන් පෙළඹවීම අනතුරුදායක බව වැටහෙන්නෙ මෙවිටයි. සිල් පවාරණය කරන්නෙවත් නැතිව මේ දරුවන් පන්සලෙන් පැන යති. විටෙක එය නොදැනුවත් කමත්, ළමා වියේ දඟකාරකමත් යැයි කියා හිතහදා ගත හැක. එහෙත් ඔවුන් නොදැනුවත්කමින් කරන වරද පහදාදෙන්නට යමෙක් සිටිය යුතුය. යහපත් කටයුතු වලට දරුවන් ආයාසයෙන් පොළඹවනු, නීති රීති පනවනු වෙනුවට ඔවුනට සීලය ආරක්ෂා කිරීමේ වැදගත් කම හා එහි වටිනා කම පහදාදෙයි නම් දරුවන් අතින්  සිදුවන මේ වැරදි මගහරවාගත හැක.

සවස් යාමය වෙනතුරු විහාරස්ථානයේ තත්වය ඉතා සන්සුන්ය. සාමකාමී, සිත් නිවන සුළුය. ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලදී ඉතාමත් හරවත්, ගිහි බොදු ජීවිතයට ප්‍රයෝජනවත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන් විය. සිල් පවාරණයෙන් අනතුරුවත් බොහෝ දෙනා රැදී සිටින්නේ හවස බුද්ධ පූජාවටද සහභාගි වී රාත්‍රී ධර්ම දේශනයට සවන් දෙන අදහසිනි. බුද්ධ පූජාව සැකසීමේ වගකීම දහම් පාසල් දරු දැරියන්ගේය. ඔවුන් එය විනෝදයෙන්, සැහැල්ලුවෙන් වුවද පිලිවෙලකට කරගෙන යති. සිල් පවාරණය කල උපාසක අම්මලා කිහිප දෙනෙක් මෙතැනට පැමිණෙන්නේ එවිටය. ඔවුන් විහාරස්ථානයේ දායක සභාවේ ප්‍රබල සාමාජිකයන් බව හැසිරීම සහ කතාබහෙන් අපට පසක් කරවයි. උපාසක අම්මලාගේ පැමිණීම දරු දැරියන්ට රුස්සන්නේ නැත. ඒ එතෙක් වෙලා ඔවුන් කරගෙන ආ කටයුතු උපාසක අම්මලාගේ යටතට ගනිමින් හිටිහැටියේ ඔවුන් දරුවන්ට අණසක පතුරන්නට තබා ගත් බැවිනි. බුද්ධ පූජාව සැකසීම, දරුවන් සකස් කල පිරිකර නැවත සැකසීම, හැමදෙයකම අඩුපාඩු විවේචනය විනා එම අඩුපාඩු හදාගන්නට උපදෙස් නොදීම හමුවේ මැලවුණු මුහුණින් යුතුවූ දරුවන් එකා දෙන්නා බැගින් මල් ආසනය මගහැර යයි. ටික වේලාවකට පසු බුද්ධ පූජාව සකසන්නට වත් තරුණ පරපුර තුල උනන්දුවක් නොවන තරම කියමින් අද කාලයේ හැදෙන දරුවන්ට අවලාද නගන්නේ මීට පැයකට පමණ පෙර අෂ්ඨාංග ශීලයේ පිහිටි උපාසක ඇත්තන්මය.

බුද්ධ පූජාව අවසන් විය. රාත්‍රී ධර්ම දේශනය ඇරඹිණි. හැන්දෑවේ පන්සලට ගොඩවැදුනු ගිහි පිරිසෙන් බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණයට සූදානම්ය. ස්වාමින් වහන්සේ ධර්ම දේශනය අරඹයි. ගැහැණු දරුවන්ගේ ඇදුම් පැලදුම්, පිරිමි දරුවන්ගේ කොණ්ඩා මෝස්තර, මව්බස අමතක වීම, ජංගම දුරකථන උන්මාදය, දෙමාපියන්ගෙන් මීට ලැබෙන අනුබලයන්, මෙගා නාට්‍ය, රන් දෙපැය ආදී කලින් කලට සමාජයේ හටගන්නා නොයෙකුත් රැලි විවේචනය වෙද්දී රැල්ලට හසුවූ ගිහි පිරිස මුහුණු සගවා ගන්නට උත්සාහ කරති. එහෙත්  වත්මන් සමාජය දිනෙන් දින සංකර වීම සහ ඒ හරහා සමාජ සාරධර්මයන් අභාවයට යාම පිලිබද එතනින් එහාට ඔවුන් තැකීමක් කරනවාද යන්න සැකයක් ඇතිවේ. මේ අයුරින් ධර්ම දේශනය නිමා වෙයි. දහම් ඇසූ ගිහි ජනයා නිවෙස් බලා යන අතර රැල්ලට හසුවූ ගිහි පිරිසේ බොහෝ දෙනා වෙතින් අසන්නට ලැබෙන්නේ සමාන වචන පෙලකි …. “ශෝක් බණ ටික” ….? එහෙත් ඊලග පෝයට පන්සල් එද්දිත් ඔවුන් පෙර පරිදිමය.

යන්නන් වාලේ ධර්ම මාර්ගයේ යනු වෙනුවට අර්ථාන්විතව ධර්මයේ හැසිරී නිවන කරා ගමන් කිරීමට අපේ සැදැහැවතුන් යොමු කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණයි. පෝදා  විහාරස්ථානයක සිල් සමාදන් වනවිට අප වෙසෙන බාහිර ලෝකයෙන් මිදී අප ආරක්ෂා කරන සීලය කෙරෙහි සිත් පිහිටුවා ගැනීම නොකරයි නම් අපේ වෑයම අසාර්ථක වෙයි. මෙත්තා,  කැරුණා, උපේක්ෂා ආදී ගුණයන් හුරු පුරුදු නොකරයි නම් අපි දහමින් ඈතට යයි. තැනට සුදුසු ලෙස, ගැලපෙන ලෙස අදින්නට පලදින්නට, හැසිරෙන්නට නොදනී නම් සමාජයට ගිය තැන නානාප්‍රකාර ගැටළුද ඇතිවේ. ලද මිනිස් ජීවිතය අරුත්සුන් කටයුතු වලට යොමු කරයි නම් ඉන් අපටත්, අප වෙසෙන සමාජයටත් සෙතක් නොවෙයි.  එබැවින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන කුසල්හි නිරත වන අතරම සාරධර්මයන් පිරිපුණ් යහපත් මෙන්ම බුද්ධිමත් සමාජයක්  ගොඩනැගීමට අපි වෙහෙසිය යුතුය.

වඳිමු තෙරුවන අරුත දැනගෙන


බෞද්ධයෙකු වීමේ මුල් පියවර බුදුන්, දහම්, සඟුන් සරණ යාමයි. එසේ තෙරුවන් සරණ යන බෞද්ධයා සිතක උපදින නොසන්සුන් කම, ව්‍යාකූලත්වය,  බිය දුරු කරගනු වස් තෙරුවන් ගුණ සිහි කිරීම අතීතයේ සිට පුරුදු පුහුණු කරමින් පැමිණේ. බියටපත් මොහොතක ඉතිපිසෝ ගාථාව කීමට බොදුනුවන් ඉබේම පෙලඹෙන්නේ එකී පුරුද්ද නිසයි. එවන් අවස්ථාවක බුදු ගුණ මෙනෙහි කරමින් බුදු රුවක් සිත්හි මවා ගෙන, බුදුවරයෙකුගේ කරුණා, මෙත්තා ආදී ගුණයන් සිහි කිරීමෙන්ද  ස්වක්ඛාත, සුපටිපන්න ආදී දහම් සඟුන් ගුණ සිහි කිරීමෙන්ද  බිය, අසහනය ආදී චිත්ත පීඩා දුරු වේ.

වර්තමානයේ බහුතරයක් සැදැහැවතුන් විසින් තෙරුවන් ගුණ ගාථා සජ්ජායනයේදී කටපාඩමින් ගාථා කියවාගෙන යතත් එහි අන්තර්ගථය මෙනෙහි නොකෙරෙයි. බොහෝවිට මීට හේතුව වන්නේ කුඩා කල ඉගෙනගත් මෙම පාලි ගාථා වල අදහස අප මතකයේ නොරැඳීමයි. මෙවන් අවස්ථාවල අප අතින් ගාථා සජ්ජායනයක් මිස තෙරුවන් ගුණ මෙනෙහි කිරීමක් හරියාකාරව සිදු නොවේ. එබැවින් තෙරුවන් ගුණ ගැන හොඳින් දැනගෙන, අර්ථය වටහාගෙන සිටීම වටී. ගාථා කියන්නන් වලේ කියැවීම පසෙකලා තෙරුවන් ගුණ මෙනෙහි කරනු වස් මෙම ලිපි පෙලින් තෙරුවන් ගුණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් පාඨක සැදැහැවතුන් වෙත ගෙන එන්නට අප බලපොරොත්තු වෙමු.

පළමුව බුදු ගුණ බුදු ගුණ විමසා බලමු.

අරහං

– අප භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කල සේක.
– සසර පෙර පුරුදු සමගම සියලු කෙළෙසුන් නැසූ සේක.
– සියලු පාපයන්ගෙන් මිදුන හෙයින් ,රහසින්වත් පවු නොකළ සේක.
– සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන සේක

බුදුවරයෙකුටම  ආවේණික මෙම ගුණයන් හේතුවෙන් අරහං නම් වන සේක. මෙම අරහං ගුණය සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති, විමුක්ති ඥාන දස්සන ලෙස අංග පහකින් යුක්ත ය.

සම්මා සම්බුද්ධ

අප භාග්‍යවතුන් වහන්සේ, දුක, දුක හට ගැනීම,  දුක නැති කිරීම සහ දුක නැති කරන මගද යන පරම සත්‍ය හතර තමන් වහන්සේ විසින්ම, අවබෝධ කොරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක

විජ්ඡා චරණ

බුදුපියාණන් වහන්සේ විද්‍යා ඥාණ අට, පසලොස් සරණ ගුණයන්ගෙන් යුතුව, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සම්පන්නව අවිද්‍යාව නම් මෝහාන්ධකාරය දුරුකල බැවින් විජ්ජාචරණ නම් වන සේක.

සුගත

ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙතෙහි ගමන් කරමින් අමා මහ නිවනට සපැමිණි බැවින්ද, යථාවාදී තථාකාරී වන බැවින්ද, ප්‍රිය වචන දේශනා කල බැවින්ද, ප්‍රිය මනාප වූ බැවින්ද බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

ලෝකවිදූ

බුදුරජාණන් වහන්සේ තුන් ලෝකය පිළිබඳ සියලු දේ හොඳින් අවබෝධ කරන ලද බැවින් ලෝකවිදු නම් වන සේක.

අනුත්තර

බුදුන් වහන්සේට සමාන හෝ උසස් ජීවියෙකු ලොව පහල නොවන හෙයින් අනුත්තර නම් වන සේක.

පුරිසදම්ම සාරථි

දමනය කරන්නට අසිරු දෙව් බඹුන් ද, යකුන්ද දමනය කල බැවින් පුරිස ධම්ම සාරථී නම් විය.

සත්ථා දේව මනුස්සානං

දෙව් මිනිසුන් ආදී ලෝ වැසි සියළු සතුනට ශාස්තෲවරයාණන් වෙමින් සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන  බැවින් සත්ථා දේව මනුස්සානං නම් විය.

බුද්ධෝ

බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඒ අයුරින්ම අන්‍යන්ට දේශනා කර අවබෝධ කරදුන් සේක. බුද්ධ යන්නෙන් පසේ බුදුවරු සහ රහතන් වහන්සේ ද ගම්‍ය වන බැවින් සම්මා සම්බුද්ධ යන්නක්‌ වෙනම පවසද්දී අතිරේකව බුද්ධ යන්නක්‌ පැවසීම අනවශ්‍යය.

භගවා

අප භාග්‍යවතුන් වහන්සේ …
– සිව් වනක් පිරිසම ඇති කළහ
– සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසුය
–  අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන් යුතුය
–  කීර්තිමත්ය.
– පිරිවර සහිතය.
– අධිපතිය.
– පරාර්ථකාමීය.
– රාගාදි කෙළෙසුන් නැසූහ.
– භාවනාවෙන් නිවනට පැමිණිසේක ……. එවන් ගුණයන්ගෙන් යුතු බැවින් භගවා නම් විය.

මේ අයුරින් වන බුදුගුණ මෙනෙහි කිරීම තුලින්ම  බුද්ධානුස්සතිය වැඩීම ද සිදුවෙයි. සියළු කෙලෙස් නැසූ මහ කරුණා, මහා ප්‍රඥා ආදී ගුණයන්ගෙන් පිරිපුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ මෙනෙහි කිරීමෙන් සසල සිත් සන්සුන් ව ඉඳුරන් පවා දමනය වෙයි. එවන් බුදුගුණ මෙනෙහි කරමින් යහපත් සමාජයක් කරා පිය නඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් බිහි කරමු

තෙරුවන් සරණයි

ධර්මද්වීපයේ ලේ ගංගාව

පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා
සියො ළඟ වැළදී ගිනි දැල් නිරයෙ දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

(ලෝවැඩ සඟරාව)

දහම් පාසල් යන කාලෙ ඉගෙනගත්තු මේ කවිය නැවත නැවතත් සිහියට ආවෙ නොබෝදා සිදුවුණු සත්ව සංහාරයත් එක්ක. සතුන් බිල්ලට දී දේවාශිර්වාදය පතන මිලේච්ඡයන් විසින්  පසුගිය 25 වෙනිදා මුන්නේෂ්වරම්හි කාලි දේවාලයේ පැවති වාර්ෂික බිලි පූජාවේදී එළුවන් 500ක්, කුකුලන් ඇතුළු දහසකට අධික සතුන් සංඛ්‍යාවකගේ දිවි සැහැසි ලෙස තොර කලේය. මෙම බිලි පූජාව වාර්ෂිකව පැහැත්වෙන්නේ සුවහසක් බෞද්ධ ජනතාවගේ විරෝධතා මැදය. මෙම වසරේදීත් දැඩි විරෝධතා, සත්‍යග්‍රහ මැද වුවද මිලේච්ඡත්වය ජයග්‍රහණය කලේය. සැබැවින්ම එය ජයග්‍රහණයක් යැයි හැඳින්වීමද කල නොහැක..

සිරිලක ධර්මද්වීපයකි ….. බුදුන්ගේ දේශයයි යනුවෙන් බොදුනුවන් උදම් ඇනුවද මෙවැනි සාහසික ක්‍රියාද මේ ලංකාද්වීපය තුල සිදුවන බව හාංකවිසියක් නොදන්නා පිරිසක්ද මෙහි වෙති. අප බිලි පූජා වලට විරෝධය දක්වන විට ඇතැම් පණ්ඩිතයන් කීවේ දවසකට හරක්, එළුවො, කුකුල්ලු දහස් ගණනක් මස් වලට මරන එකේ ඕකට කෑ ගහලා පලක් නෑ කියායි. ඔවුන්ට දෙන්නට ඇති පිළිතුර නම්, මස් කන්නේ නැත්නම් මස් පිණිස කෙරෙනා ප්‍රාණඝාතද අවම කරගත හැකි බවයි. නමුත් දැනට උද්ගත වී ඇති ගැටළුව මාංශ පරිභෝජනයට වඩා සංකීර්ණය.

අහිංසක සතුන්ගේ ලෙයින් තුටු වන්නේ අමනුෂ්‍යයන් මිස දෙවි දේවතාවුන් නොවන බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එහෙව් අමනුෂ්‍යයන්ට දොල පිදේනි නුදුන් පලියට බුදු පා පහස ලද මේ පින්බිමට හනියක් කරන්නට ඔවුන්ට හැකියාවක් නැත. පන්සිල් රකින, තුන්දොර දමනය කල බෞද්ධයා යන මාර්ගය අවහිර කර ඔවුනට හිරිහැර පමුණුවන්නටද නොහැක. ඒ ටික තේරුම් නොගත්, මිසදිටු අදහස් කරපින්නාගත් පිරිසක් අහිංසක සතුන් බිල්ලට දෙමින් විමුක්තිය සොයා දුගතියට යති. මේ කල්ක්‍රියාව හේතුවෙන් එක් දෙයක් නම් පැහැදිලිය. එනම් මුන්නේෂ්වරම් දේවාල භූමියට ඇදගෙන ආ මරණ බියෙන් ගැහෙමින් හඬමින් උන් සතුන්ගේ දිවි තොර කරද්දී, තමන්ට ජීවත් වෙන්නට ඇති අයිතිය උදුරාගෙන වේදනාකාරී මරණයක් හිමිකරදුන් මේ සාහසිකයන්ට ඒ මියගිය සතුන් කී වරක් නම් සාප කරන්නට ඇත්ද? එම සතුන් මරණ බයෙන් අවසන් මොහොතේ කරනා ඒ සාපයම ඝාතකයින්ගේ ජීවිත අගාධයට ඇද දැමීමට ප්‍රමාණවත්ය. එබැවින් මේ භවයේදීම සදා දුකට පත් මිසදිටුවන් ඉන් මිදෙනු වස් තව තවත් ප්‍රාණඝාතයේ නියැලෙති. සතුන්ගේ ලෙයින් අමනුෂ්‍යයන් පුදති. අවසන මරණින් මතු දුගතියෙහිම ඉපිද කල්ප ගණනක් යනතුරු නිරා දුක් විඳිති. කණගාටුවට කරුණ නම් ඇතැම් බොදුනුවන්ද මිත්‍යා ඇදහිලි වලට වහල්ව ඉසුරු සොයා හෝ තමා සමඟ අමනාපව පසුවන්නෙකු විනාශ කරන අදහසින් මෙම දේවාල භූමියේ පිහිට පැතීමයි. ධර්මද්වීපයක බෞද්ධයෙක්ව ඉපදීමට තරම් පින් තිබුණු ඔවුන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන විනාශය කරා යන අයුරු බේදනීයයි.

බුදුන්ගේ දේශය තුල අවසන් බෞද්ධයාත් ජීවත්ව සිටින තුරු, මෙම බිලි පූජාවන් ආදී මිසදිටු ක්‍රියාවන්ට ඉඩ නොදිය යුතු බව අපගේ අදහසයි. බුදුන් වහන්සේගේ දන්ත ධාතූන්, ලලාට ධාතුව, ග්‍රීවා ධාතුව ආදී ධාතූන් වහන්සේලා රැසක් නිධන් කර රට පුරා වෙහෙර බැඳ ඇති පින්බිමක වාර්ෂිකව සිදුවන මෙවන් සත්ව සංහාර අනුමත කල හැකිද? වෙසක් දාට වීදි වල පිරෙන බෞද්ධයන් කෝ? ඇසළ පෙරහැර බලන්නට මහනුවර රැස් කන බොදුනුවන් කෝ? සැණකෙළි සමයට රැස්වෙන බෞද්ධයන් මෙවන් සාහසික ක්‍රියා මැඩලීමට පසු බසින්නේ කුමන හේතුවක් නිසාද යන්න අපටත් ගැටළුවකි. මෙම සත්ව ඝාතනයන්ට විරුද්ධව පෙල ගැසුණු බොදු බලය මෙවරත් ප්‍රමාණවත් නොවීම නිසාම එම සතුන්ගේ ජීවිත විනාශ වුණු බව අපේ හැඟීමයි. රට වෙනුවෙන්, ආගම වෙනුවෙන්, අවිහිංසාව වෙනුවෙන් නැගී සිටින අතලොස්සක් පිරිසට අතහිත දෙමින් ජාතිය, අගම වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙරමුණට යා යුතුම යුගය ආරම්භ වී ඇතැයි අපි සිතමු.

බුදු බණ ඇසුවට නිරන්තරේ ….

අද අපි සයිබර් අවකාශයේ හෙළ හඬ මගින් ආරම්භ කරන්න යන්නෙ වෙනස්ම වැඩක්. අළුත් දෙයක්.  අප මහ බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් ලෙස හඳුන්වා  “කාලේන ධම්ම සාකච්ඡා – ඒතං මංගල මුත්තමං” යනුවෙන් දේශනා කල,  සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙරදැරි කරගෙන අපි සූදානම් වෙන්නෙ අපේ පාඨක මිතුරු මිතුරියන් සමඟ ධර්ම සාකච්ඡාවකට අවතීර්ණ වෙන්නයි.  අපි පළමුවෙන්ම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ වත්මන් බෞද්ධයාගෙ නිර්වාණ මාර්ගය ගැනයි.  මේ සම්බන්ධ දහම් කරුණු හා තම අදහස් අප සමඟ බෙදා ගන්නට ආරාධනා කරමින් මේ ධර්ම සාකච්ඡාව සම්පූර්ණ කරන්න අපි භාරදෙනවා පාඨක ඔබට.

මාර්ගඵල වලට නොපැමිණි බෞද්ධයන් සංසාර‍යෙ ගමන් කරන්නේ නිවන් ලබා ගැනීමෙ අරමුණින් …… හැබෑටම අපි ජීවත් වෙන්නෙ, පින් දහම් කරන්නෙ ඒ අරමුණින්ද?  නිවන් දැකීම සදහා ඔබලා කටයුතු කරන ආකාරය ගැන දැන ගැනීමටත් අපි කැමතියි.

  • තමන් නිවන් දැකිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ( බුදු, පසේබුදු, අරහත්) අදහසක් තියෙනවාද?
  • ඒ පිළිබදව සිතා හෝ තිබෙනවාද?
  • ඒ සදහා කටයුතු කරනවාද?
  • එසේ නම් ඒ කෙසේද?
  • එසේ නොමැති නම් එය වචනයකට පමණක් සීමාවූවක්ද?

යනාදී කරුණු පිළිබඳව තම තමන්ගෙන්ම අසා දැනගෙන තිබීම නිවන් මාර්ගයෙහි ගමන් කරන සැදැහැවත් බෞද්ධයෙකුට වටිනවා.  අපි අපෙන්ම මෙවන් ප්‍රශ්න අසා දැනගෙන අපේ හිතට දැනෙන කරුණු මේ ධර්ම සාකච්ඡාව මගින් මිතුරන් සමඟ හුවමාරු කරගමු.

මේ භවයේ නම් අපට නිවන් දැකිය නොහැකියයි සිතා සිටින පිරිසකුත් අප අතර වේ.  නමුත් මෙම භවයේ  නිර්වාණාවබෝධ කරගත නොහැකියැයි සිතා එය ලබන ආත්මයකට කල් දැමීම නොකල යුත්තක් සේ පෙනේ. මේ ලැබූ දුර්ලභ මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගෙන මේ භවයේදීම නිර්වාණය අවබෝධ කරගැන්මට අධිෂ්ඨාන කරගැනීම වටී. නොඑසේනම් ඉදිරි භවයකදී හෝ අඩුම තරමින් මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයේදී  හෝ අර්හත් ඵලයට පැමිණ නිවන් අවබෝධ කරගැනීමට අධිෂ්ඨාන කරගෙන ඒ සඳහා කටයුතු කල හැක.  එබැවින් නිර්වාණය පිළිබඳ අප ඉහත ඇසූ පැනයන්ට පිළිතුරු සපයමින් මෙම කතිකාවතට උර දෙන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!