Archive

Archive for the ‘සාහිත්‍ය පියස’ Category

ගිරග්ග සමජ්ජ

Giragga Samajja

සතුට පතා නතරවෙන්න

ගෝතම ගීතය

“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.” (පිටුව 126)

බෞද්ධ සංස්කෘතියේ සහ බෞද්ධ දර්ශනයේ ශ්‍රේෂ්ඨත්වය නිමිති කරගෙන නවකතා රචනයට ප්‍රසිද්ධියක් උසුලන ජයසේන ජයකොඩි නම් අපූර්ව ලේඛකයා අතින් අකුරු කෙරුණු තවත් නවකතාවක් ගෝතම ගීතය නම් වෙයි. අසමසම ලොව්තුරා බුදුවරයෙකුගේ ගුණ මහිමය ගැන විස්තර කෙරෙන මෙම නවකතාවට පාදක කොටගෙන ඇත්තේ බුදුන් වහන්සේව විවාහ කරගන්නට සිතා එය ඉටුනොවූ පසු උන්වහන්සේගෙන් පලිගන්නා අරමුණින් විවිධ අකුසලයන්හි යෙදුණු මාගන්ධි බැමිණියගේ කතාවයි. සියළු අපහාස, දෝෂාරෝපණ මධ්‍යයේ නොසෙල්වී සිටිමින්, උපේක්ෂාවෙන් විඳදරාගන්නා බුද්ධ චරිතය මෙම කතාව පුරාවටම අපූරුවට විස්තර කරන්නට ලේඛකයා සමත් වී ඇත.

“දරුව ඔබටත් උවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.”

“ස්වාමීනි… නිවන් අවබෝධ වුවහොත් යලි උපතක් නැතැයි අසා ඇත්තෙමි. මේ මහා වනයෙහි සිඟාලයෙකුව ඉපදීම එවන් නිර්වාණ සම්පත්තියකට වඩා මට වැඩදායකය ස්වාමීනි.”

“දරුව නාලක… මේ මනුෂ්‍ය ජීවිතය නිසා ඔබ ලබන තෘප්තිය කුමක්ද?”

“ස්වාමීනි මම මනෝ රාජ්‍යයක ජීවත් වන්නෙක්මි. මටම ආවේණික ලෝකයක් තනා ඒ තුල උදම් සිතින් පසුවන්නෙමි.”

” දරුව මම ඔබට සත්‍යය පසක් කිරීමට තව දුරටත් නොවෙහෙසෙමි… සතුටින් සොම්නසින් ජීවත් වන්න. කැමති කාලයක් භවයෙහි සැරිසරන්න.” (පිටු 99-102)

නිර්වාණාවබෝධයට පින් පුරා ඇති මිනිසුන් සොයා ගම් නියම් ගම්වල සැරිසැරුව සේම, නිවන් මඟට එන්නට පින් පුරා නැතිවුන් නිවන්මඟට ගැනීමට දිගින් දිගටම උත්සාහ නොකොට ඔවුනට සුදුසු ලෙස ජීවත් වීමට ආශිර්වාද කළ ගෝතම බුදුන් වහන්සේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කළ ආකාරය මෙන්ම, මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් බුද්ධ චරිතයට සහ ශාසනයට එල්ල වුණු ප්‍රහාර, දෝෂාරෝපණ ගැනද මෙම නවකතාවෙන් පැහැදිලි කෙරෙයි.

පිච්චමල නවකතා මාලාව ඇතුළුව සම්බුද්ධ ශාසනය, භික්ෂු චරිතය පිළිබඳව පහන් හැඟීම් පාඨකයා තුල ඇතිකරන නිර්මාණ රැසක් අපවෙත ගෙන ආ ජයසේන ජයකොඩි නම් වූ ලේඛකයා විසින් දැයට දායාද කළ තවත් සිත් පහන් කරවන කෘතියක් ලෙස “ගෝතම ගීතය” නම් කළ හැකිය.

කෙනෙකුගේ චිත්ත ශක්තිය අනුව නිවන සාක්ෂාත් කරගැනීම හෝ සසර දිගු කරගැනීම හඳුනා, කෙලෙස් වඩන්නන්ට අනුකම්පා කළ ගෝතම බුදුන් වහන්සේගේ විතරාගී ගුණය “ගෝතම ගීතය” පුරා ලියවී ඇත්තේය.

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය

සිංහල භාෂාවේදී අක්ෂර වින්‍යාසයට වැදගත් ස්ථානයක් හිමිවේ. ලිවීමේදී මෙන්ම කතා කිරීමේදීද වචන නිවැරදිව උච්චාරණය කිරීම සඳහා අක්ෂර වින්‍යාසය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම මිශ්‍ර සිංහල හෝඩිය පිළිබඳවද හොඳ අවබෝධයක් තිබීමද වැදගත් වේ. සිංහලයේ එකම වචනයට විවිධ අවස්ථා වල විවිධ අරුත් යෙදෙනු බහුලව දැකිය හැක (බහු අර්ථ පද).

උදා: දිය – වතුර, ලෝකය, ජය,
වත – කතාව, මුහුණ, වස්ත්‍ර, සිරිත

මෙවන් අවස්ථා වල වචනයක අක්ෂර වින්‍යාසය හා සිංහල භාෂාව යන දෙකම පිළිබඳ ඇති වැටහීම අල්ප නම් කෙනෙක් ප්‍රකාෂ කරන දෙයින් වෙනත් අර්ථ කියැවෙන්නට ඉඩ ඇත. එමෙන්ම රචනා හා ලේඛණ තේරුම් ගැනීමේදීද ගැටළු ඇතිවේ. අක්ෂර වින්‍යාසය පිළිබඳ වැරදි ඇතිවීමට හේතුවන කරුණු 13ක් පිළිබඳව ආරියවංශ මුතුගම මහතා තම ”අපට උරුම සිංහල” නම් කෘතියෙන් විස්තර කර ඇත. එනම්…

1. අල්පප්‍රාණ හා මහාප්‍රාණ අකුරු වල උච්චාරණය වැරදි අන්දමින් භාවිතයේ යෙදීමෙන්
2. ණ, න, ළ, ල භාවිතයේ වරදින්
3. ශ, ෂ, ස භාවිතයේ වරදින්
4. ඓ, ඖ යන ස්වර පිළිබඳ යෙදිය යුතු පිල්ලම් පිළිබඳ නොදැනීමෙන්
5. රකාරාංශය හා රේළුය පිළිබඳ භාවිතයේ වරදින්
6. යංශය භාවිතා කරන ආකාරයේ වරදින්
7. මූල නාමය, සමාසනාමය හා තද්ධිත නාමය පිළිබඳ නොදැනීමෙන්
8. තද්ධිත හා කෘදන්ත, ප්‍රත්‍ය නොදැනීමේ වරදින්
9. නාම හා ආඛ්‍යාත, විභක්ති ප්‍රත්‍ය භාවිතයේ වරදින්
10. උපසර්ග නොදැනීමෙන්
11. සන්ධි විධි නොදැනීමෙන්
12. නාම වරනැහීමේ රීති නොදැනීමෙන්
13. තද්ධිත ප්‍රත්‍යන්ගේ කාර්යය නොදැනීමෙන්


මෙම වැරදි මඟහරවා ගැනීම තුලින් අපට නිවැරදිව සිංහල භාෂාව භාවිතා කල හැකි වන අතර සිංහල වැනි වටිනා භාෂාවක ඉදිරි පැවැත්මටත් එය බෙහෙවින් ඉවහල් වෙනු ඇත.

ආශ්‍රිත – අපට උරුම සිංහල – ආරියවංශ මුතුගම

කුවේණි

අන්ධකාරෙන් දුරාතීතේ – අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක් – අන්ධකාරේ සිට කියන්නේ
බොහෝදේ සිදුවූ අතීතේ – වැළලිලා ඇත අන්ධකාරේ
පොලෝ පස් යට උනුන් කදුලැලි – ලෙයත් දහදිය එකට මුසුවී

දිවංගත හෙන්රි ජයසේනයන් රචනා කොට නිෂ්පාදිත, රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ‘කුවේණි’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය 2009 වසරේදී නැවතත් වේදිකාගත කිරීම ඇරඹුණා.  පසුගිය මාස කිහිපයේ එය සාර්ථකව දිවයින පුරා ශ්‍රවණාගාර වල වේදිකාගත කල වෙලේ අපිත් ගියා කුවේණි බලන්න.

ඉතිහාසය දෙස අමුතුම කෝණයකින් බලමින් ප්‍රේක්ෂක අපේ ඇස් විවර කරන්න දරපු උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකින්න පුළුවන්.  1963 වසරේ සැප්තැම්බර් මස 7 වෙනිදයි ‘කුවේණි’ ප්‍රථම වරට කොළඹ ලුම්බිණි රඟහලේදි වේදිකාගත කෙරෙන්නෙ. එම වසරේම සිංහල නාට්‍ය උත්සවයෙහි තරඟ වදිමින් සම්මාන රැසත් අත්පත් කරගන්නටත් ‘කුවේණි’ සමත් වෙනවා.  1969 වසර වෙන විට කුවේණි දෙවන නිෂපාදනයෙදි මුල් නිෂ්පාදනයෙ නළු නිළියන්ගේ චරිත රැසකටම අළුත් රංගධරයින් පැමිණෙනවා. ඒ අයුරින්ම 2009 වසරේදිත් ‘කුවේණි’ නැවතත් නිෂ්පාදනය කරන්නෙ සමුද්‍රා ජීවනී කරුණානන්ද විසින්. නව නිර්මාණය තුලත් පෙර නිෂ්පාදනයන් තරමටම ජවයක් තිබුණා කියලා හිතන එක සාධාරණ බවයි අපේ හැඟීම. අන්ධකාරයේ වැළලිලා යන්න හදන කතන්දරයක් සාර්ථක නිර්මාණයක් ලෙසින් ආයෙම කරළියට රැගෙන ඒම යුගයේ අවශ්‍යතාවයක් ලෙසයි අපි දැක්කෙ. ඊට විශේෂයෙන්ම හේතු වෙන්නෙ, නිර්මාණය නැරඹීමෙන් පසුව පැණ නැගී, තවමත් පිළිතුරු සොයමින් පවතින ගැටළු රැසක් අප වෙත ඉතිරිවී ඇති නිසයි.

හැබෑටම කුවේණි යක්ෂණියක්ද? හෙළ රජ පරපුර වනසා විජයට කිරුළ හිමි කර දීමේ වරදට දඬුවම හැටියට  විජය  පසුකළෙක ඇයව අතහැරීම සිදුවුණා කියමු, එතකොට තම බිරිඳ සහ දරුවන් අනාථ කල වරදට විජයට ලැබෙන දඬුවම කුමක් විය යුතුද? හෙළ රජ පවුල සංහාරය කරලා අපේ කිරුළ උදුරගත්තු විජයට, හෙළයො විසින් දෙන්න ඕන දඬුවම කුමක්ද? සිංහලයේ පළමුවෙනි රජු ලෙසින් රාජාවලියේ මුලටම, උපන් රටින් පිටුවහල් කල හොර දෙටුවෙක් වූ මේ චපල මිනිසාගේ නම රඳවා තබමින් අපි කුවේණිටත් වඩා පහත් තත්වෙකට වැටිලා නොවේද?

වේදිකා නාට්‍යය රඟදැක්වෙන අතරතුර මගේ මනසට ගලා ආ දහසකුත් එකක් ප්‍රශ්න වලින් කිහිපයකුයි ඒ. හැබෑවටම ඉතිහාසයේ කොතනකදි හරි අපට වැරදුනා නේද? කියන හැඟීම වඩ වඩාත් දැනෙන්නට වුණා ‘කුවේණි’ වේදිකා නාටයය නැරඹුවට පස්සෙ.

විජය සහ කුවේණි – ප්‍රථම නිෂ්පාදනයේ ජවනිකාවක්

කුවේණි පළමු නිෂ්පාදනය – මානෙල් ජයසේන (කුවේණි), චිත්‍රා අයිරාංගනී ජයසිංහ (දිසාලා) සහ සෝමපාල ධර්මප්‍රිය (ජීවහත්ථ) රංගනයේ නියැළෙමින්

” ‘කුවේණිය’ කුඩා කල සිට ම මා සමඟ ඇති දැඩි වූ චරිතයකි. මගේ සිත්-සතන් බොහෝ සේ සසළ කළ චරිතයකි. සාමාන්‍ය සමාජයේදී ගැහැනියකට මුහුණ පාන්න වෙන අසාධාරණය නිසා ඇති වුණු කම්පනය නිසයි කුවේණි මගේ අතින් නිර්මාණය වුණේ.”හෙන්රි ජයසේන ශූරීන්

ඡායාරූප උපුටා ගැනීම

රට රකිනට උර දෙන උන් බුදු වෙනවා

my country

ගම අවුලඥ්ඥං හබ පටලඥ්ඥං

මාස කිහිපයකට උඩදි ඉරිදා දවසක දුටුගැමුණු කණ්ඩායමේ අපි කිහිපදෙනෙක් වැඩ වගයකට කොළඹට ගියා. එදින හැන්දෑවෙ එල්ෆින්ස්ටන් රඟහලේ රන්වල පදනම විසින් රඟ දක්වන ”ගම අවුලඥ්ඥං” සංදර්ශනයක් පවත්වන බව  දැනගන්න ලැබුණ නිසා අපි කරන්න ආපු කටයුතු අහවර කරලා හැන්දෑවෙ රඟහලට ගොඩවුණේ අපේ ජන සංගීතයේ මිහිර විඳින්න හිතාගෙනයි.මඟුල් බෙර පදවලින් සංදර්ශනය පටන් ගත්තෙ ප්‍රේක්ෂකාගාරයේ හිටපු අපේ උනන්දුව දෙගුණ තෙගුණ කරගෙන. බෙර පදවල රිද්මය අපේ නහර වලට දැනෙන තරමටම තීව්‍රයි. සිංහල  ලේ යක් බෙරේට ඇවිස්සෙනවා කියලා පැරැන්නො කියන කතාවෙත් ඇත්තක් තියෙන බව අපට පැහැදිලි උනේ එදා තමයි.

බුදු දහම, සිංහල සංස්කෘතිය ගැන නිතර කතා කරන දුටුගැමුණු බලකාය, මේ අයුරින් සංගීත සංදර්ශනයක් ගැන කතා කරන්න හිතුවෙ ඇයි කියලත් ඔබට හිතෙනවා ඇති.  තුන් සරණේ කවි කියාගෙනම වේදිකාවට ආපු නළු නිළි කැල විසින් ප්‍රසංගය පැවැත්වූ පැය දෙකකට ආසන්න  කාලය අපි ගත කලේ අපේ සංස්කෘතියත් එක්ක, අපේ ජන සංගීතයත් එක්ක, අපේ සාඩම්බර නැටුම් කලාවත් එක්ක.  බෙර පද, සී පද, කස්තිරම් යන මේ සියල්ලත් සමඟ රන්වල පදනම  අප ඉදිරියේ ගෙනහැර පෑවෙ අපේ කම. දිවංගත ලයනල් රන්වලයන් විසින් ඇරඹි ජන සංගීතය පෙරටු කරගත් මේ නිර්මාණ රටාව අද වනවිට රන්වල පදනම විසින් රටපුරා රැගෙන යමින් අපේ ප්‍රේක්ෂක කැල දැනුවත් කරනවා. මෙහිදී අප දුටු තවත් විශේෂ දෙයක් තමයි ඔවුන් ගායනා කරන හැම ගීතයකටම, හැම කවියකටම පෙර ඒ ගැන අපූරු හැඳින්වීමක් කිරීම. ගීතය අඩංගු ජනකවි වර්ගය, අදාල නාද රටාව ආදිය ගැනත් ඔවුන් ප්‍රේක්ෂකයා දැනුවත් කරනවා. ඒ වගේම රංගනයේ යෙදෙන ජන ගී කණ්ඩායමේ  සෑම ශිල්පියෙක්ම, ශිල්පිණියක්ම ගායනය, නර්තනය, රංගනය ආදී විෂයන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු වේදිකාවට ගොඩවූ පරිණත ශිල්පීන් සතු ගුණාංග මනාව විදහා පෑමට සමත් වුණා. සැබැවින්ම අප විසින් මේ සේවය අගය කල යුතු යැයි හිතෙන්නෙ අන්න ඒ නිසයි.

වර්තමානයේ බහුලව අහන්න, දකින්න ලැබෙන භාෂා කිහිපයක වචන ටිකක් අමුණලා සිංහලටත් නැති, ඉංග්‍රීසියටත් නැති, දෙමළටත් නැති, පද වැලක් එක්ක දෙලොවටම නැති නැටුමක් එක්ක බටහිරින් අහුල ගත්තු ඇඳුමකින් සැරසිලා නිර්මාණ යැයි කියමින් කරන බහුරූ කෝළම් ඉදිරියේ මෙවන් නිර්මාණ නියඟෙට බට පොද වැස්සක් හා සමානයි. අපි මෙහෙම නව රැල්ල තදින් විවේචනය කරද්දි අපිත් අන්තවාදී යැයි කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ ඉවක් බවක් නැති බටහිර අනුකරණයන් දිගටම පැවතුනොත් අපි අද කියන්න හදන දේ හරියටම වැටහේවි තව දශක කිහිපයකින් අපෙයි කියලා කියන්න පුළුවන් සංස්කෘතිය, සංගීතය හා  නාදරටාවන් අපෙන් ගිලිහී ගිය දාට. හරවත් නිර්මාණයන් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂක කැල ක්ෂේත්‍රයට අහිමි උන දාට. අනාගතයේ එවන් දවසක් නොදකින්නයි අපි වර්තමානයේ ඉඳන් මෙහෙම කතා කරන්නෙ.  වත්මන් පරපුරේ අපේ දේ අගයන්න හැකි පිරිස අඩු වීම අපේම අවාසනාවක් හැටියටයි අපි ඒ අතින් දකින්නෙ. ජාත්‍යන්තරයට ගියහම අපෙයි කියලා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ දේශීය නැටුම් කලාව හා ජන සංගීතය පමණයි. අපේ දේවල් හැටියට අනාගත පරපුරට අප විසින් දායාද කල යුත්තේත් එයමයි. වර්තමානයේ බොහෝ දෙනා මෙන් අනාගත පරපුරත් අනුකාරකයන් බවට පත්වීමෙන් වලක්වාගන්නට නම් මේ දැනුම අප විසින් දැයට ලබා දිය යුතුම වෙනවා.

නිර්මාණකරුවන්, කලාකරුවන් හැටියට සමාජයට හරවත් දෙයක් දායාද කිරීමේ වගකීම කරට ගෙන කටයුතු කරන රන්වල පදනමට තුති පුදන්නට දුටුගැමුණු බලකාය තීරණය කලේ ඔවුන් අපේ කම නොයිඳුල්ව ලෝකෙට ගෙනියන්න දරන සාර්ථක උත්සාහය නිසයි. ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වන මෙවැනි අධ්‍යාපනික සංදර්ශනයක් නරඹන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත් එය මගහරින්න එපා.