Archive

Archive for the ‘කවි පියස’ Category

ගිරග්ග සමජ්ජ

Giragga Samajja

Advertisements

සතුට පතා නතරවෙන්න

සඳ කිඳුරු දා කව

සඳ කිඳුරු දා කව කුරුණෑගල යුගයට අයත්වන ඉතා අගනා කාව්‍යමය සාහිත්‍ය නිර්මාණයක්
වන අතරම එය විල්ගමුවේ සංඝරාජ හිමියන් විසින් රචනා කරන ලදැයි සදහන් වේ. මෙම
කාව්‍ය නිර්මාණය සිවුපද ආරය ජාතක කථා සදහා හදුන්වාදීම සදහා පෙරමුණ ගන්නා ලදැයි
යන්න විද්වත් මතය වී තිබේ. ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙය පද්‍ය
433කින් සමන්විත වේ. ස්වාමි භක්තිය හා එහි වටිනාකම පිළිබඳ කියවෙන මෙය බෝසත්
චරිතයේ සඳ කිඳුරු ජාතක කතාව සරළ බසින් උපමා උපමේය සහිතව ගැමි කාන්තාවන්
අරමුණු කොටගෙන ලියනා ලද්දක් බව මෙහි ඇති පඳ්‍ය දෙස බැලීමෙන් පසක් කරගත හැක.

සද කිඳුරු දා කවෙන් උපුටා ගන්නා ලද කවි කිහිපයක්.

ඇදගත් තදින් විදි සැර නොවැරදී                වැ ද
හියපත් මුවෙන් වැම්මෙන ලේ හැලි          නොම ඳ
බලවත් දුකින් වලපින හිමි නුඹ                  වැල  ඳ
මගෙ නෙත් දියෙන් සේදී ගෙනැ ගියේ       වෙ ද

මෙම කවියෙන් කිඳුරා හට වැදුනා වූ අනපේක්ෂිත හීසර පහරින් ගලනා වූ රුහිරු දහරාව දැක
බියෙන් මුසපත් වූ කිඳුරිය තම ආදරණීයයා වෙනුවෙන් වැලපෙන අන්දම කියාපායි.

සිප බඳ කොමළතින් මුව වී පොවා     පියා
සැප විඳ කලක් සමඟවැ මන පිනා      පියා
ලප සද ලෙසින් උන් මගෙ හිමි මරා    පියා
අප අද කුමට වෙන් කැරැපීද පා            පියා

මෙයින් කිඳුරා හා කිඳුරිය අතර තිබුනාවූ ආදර බැදීමෙහි වූ ශක්තිමත් බවත් රජුගේ අදහසට
විරුද්ධව තම හිමි කිඳුරා වෙත වූ අකලංක පති භක්තිය එලෙසින්ම පවත්වාගනිමින් ජීවත්
වන කිඳුරිය ගැන අපූරුවට විග්‍රහ කෙරේ.

දිසි ගඟුලැල්ලේය කෙළැ             සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ              පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති      තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන්            ළතැවූල්ලේයා

කිඳුරිය තම පෙම්බර සැමියා සමඟ ගතකල සුන්දර ජීවිතය පිළිබදවත් කිඳුරියගේ රුවට
ලොල් බැඳ කිඳුරාට හී සැර විදි රජුද කිඳුරියගේ පතිභක්තිය හමුවේ ළතැවෙන අන්දම මෙම
කවියෙන් මොනවට විස්තර කෙරේද.

උපුල් කඩා ගෙනැ කනලා        සුපුල්වන
ළකල් කුසුම් දම් කරැලා           එකල්වන
නිමල් මෙ නුඹ සහ විඳි සැප    විපුල්වන
සිහිල් සෙවණැ උන් මට මේ    තැවුල්වන

මෙම පද්‍ය නිර්මාණයෙන්ද කිඳුරා හා කිඳුරියගේ අතීත ජීවිතයේ සුන්දර බවද කිඳුරාගේ
නිසසල දේහය අභිමුව කිදුරියගේ වැලපිල්ලද අපූරුවට විස්තර කෙරේ.

නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ       සොඳිනේ
බසෙකින් විතර වෙනසක් නොවැ         ඉඳින දිනේ
දියෙකින් නැගුණු ගින්නක් මෙන්         වියැ මෙ දිනේ
ඉතිකින් කෙසේ වෑවෙම් දෝ හිමි          සඳිනේ

අවසානයේදී කිඳුරිය තම මියගිය ස්වාමියා වෙනුවෙන් කරන්නාවූ කන්නලවුව සඳහා මෙම
පැදිපෙළ වෙන්වී ඇති අතරම මුළු පද්‍ය පන්තිය පුරාවටම පැතිර පවත්නාවූ බිරිදක් කෙරෙන්
ස්වාමියා කෙරේ විද්‍යාමාන වන පතිභක්තියේ අපූර්වත්වය  ඉතාම සරළ බස් වහරකින්
විස්තර කර තිබීමෙන් ඕනෑම කාන්තාවක්, පෙම්වතියක් හෝ භාර්‍යාවක් මෙය තම ජීවිතයේ
ජීවන අත්පොතක් බවට පත්කර ගැනීමට ඇති හැකියාව ඉතාම අගනේය.

ප්‍රවර්ග:කවි පියස

ලෝකුරු නයිදේ

ශ්‍රී ජයවර්ධනපුර රාජ්‍ය සමයෙහි කොත්මලේ දිසාව වෙනුවෙන් රාජ්‍ය සේවයට ගිය වන්දිභට්ටයා ලෝකුරු නයිදේ නම් වූ බව කොත්මලේ ජනප්‍රවාද වල සදහන් වෙයි.  මෙම චරිතය අපට වැදගත් වන්නේ සිරිපා කරුණා කරන සැදැහැවතුන් සියල්ලක්ම පාහේ ගායනා කරන පුරාණ තුන් සරණේ කවි වල නිර්මාතෘ මෙම ලෝකුරු නයිදේ වන බැවිනි. ඔහු විසින් ගයන ලද කවි ඉතා රසවත් මෙන්ම හරවත් වීම නිසා ඔහු එවකට එහි විසූ ප්‍රසිද්ධ කවිකාරයෙක් විය. එමෙන්ම ලෝකුරු නයිදේ හා තරඟයට කවි කීමට තරම් හපනෙක් නොවුණු බවද තවදුරටත් සඳහන් වේ.

ලෝකුරු නයිදෙගේ බොරු හතේ කවිය

කිලි කුණු නැති වඳිගෙ පුතෙක් ඇඳගෙන නිල්වලා        කඩක්
මිරිඟු දියෙන් නානයකර පැලඳ දිඹුල්මල්                 වඩමක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින්             යොතක්
කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට                 උදක්

මෙවන් සාරවත් කවි රැසක් තවමත් කොත්මලය ප්‍රදේශයේ ජනතාව අතර මුඛපරම්පරාගතව ඉදිරියට පැමිණ ඉතිරිව පවතී.

ආශ්‍රිත – කොත්මලේ පුරාවෘත්ත, පී. බී. කෙහෙල්ගමුවේ

ප්‍රවර්ග:ඉතිහාසය, කවි පියස

කවි මඩුව | අපේ සිංහළ අලුත් අවුරුද්ද

කෙත් වතු සාර වී අද අටු කොටු              පිරිලා
කොවුලා හඩ නගයි නව අවුරුදු             කියලා
සැම සිත් සතුටුවී එහි සිරියෙන්               පිරිලා
අරඹමු කවි මඩුව අවුරුදු ගුණ                 වනලා

වැඩිහිටියන්ට ගරු සැලකිලි ලැබ         දෙන්ට
ඉපැරණි හොද සිරිත් ඇසුරට ලැබ          ගන්ට
තරහ මරහ අමතක කර                  හිනැහෙන්ට
සිංහල අවුරුද්ද එළඹෙනවා                     අපට

පින්බර අලුත් අවුරුද්දක් ලඟම                එතේ
පැහැබර තවත් දවසක් දැන් ගෙවී            යතේ
හරසර ඇතිව ඇරයුම් මේ සැමට             සබේ
හරබර කවි මඩුව අරඹනු මැනවි              අපේ

චිත්‍ර- මුතුහරිණි