Archive

Archive for the ‘චිත්‍රපට/ ටෙලිනාටක/නාට්‍ය’ Category

කුවේණි

අන්ධකාරෙන් දුරාතීතේ – අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක් – අන්ධකාරේ සිට කියන්නේ
බොහෝදේ සිදුවූ අතීතේ – වැළලිලා ඇත අන්ධකාරේ
පොලෝ පස් යට උනුන් කදුලැලි – ලෙයත් දහදිය එකට මුසුවී

දිවංගත හෙන්රි ජයසේනයන් රචනා කොට නිෂ්පාදිත, රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ‘කුවේණි’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය 2009 වසරේදී නැවතත් වේදිකාගත කිරීම ඇරඹුණා.  පසුගිය මාස කිහිපයේ එය සාර්ථකව දිවයින පුරා ශ්‍රවණාගාර වල වේදිකාගත කල වෙලේ අපිත් ගියා කුවේණි බලන්න.

ඉතිහාසය දෙස අමුතුම කෝණයකින් බලමින් ප්‍රේක්ෂක අපේ ඇස් විවර කරන්න දරපු උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකින්න පුළුවන්.  1963 වසරේ සැප්තැම්බර් මස 7 වෙනිදයි ‘කුවේණි’ ප්‍රථම වරට කොළඹ ලුම්බිණි රඟහලේදි වේදිකාගත කෙරෙන්නෙ. එම වසරේම සිංහල නාට්‍ය උත්සවයෙහි තරඟ වදිමින් සම්මාන රැසත් අත්පත් කරගන්නටත් ‘කුවේණි’ සමත් වෙනවා.  1969 වසර වෙන විට කුවේණි දෙවන නිෂපාදනයෙදි මුල් නිෂ්පාදනයෙ නළු නිළියන්ගේ චරිත රැසකටම අළුත් රංගධරයින් පැමිණෙනවා. ඒ අයුරින්ම 2009 වසරේදිත් ‘කුවේණි’ නැවතත් නිෂ්පාදනය කරන්නෙ සමුද්‍රා ජීවනී කරුණානන්ද විසින්. නව නිර්මාණය තුලත් පෙර නිෂ්පාදනයන් තරමටම ජවයක් තිබුණා කියලා හිතන එක සාධාරණ බවයි අපේ හැඟීම. අන්ධකාරයේ වැළලිලා යන්න හදන කතන්දරයක් සාර්ථක නිර්මාණයක් ලෙසින් ආයෙම කරළියට රැගෙන ඒම යුගයේ අවශ්‍යතාවයක් ලෙසයි අපි දැක්කෙ. ඊට විශේෂයෙන්ම හේතු වෙන්නෙ, නිර්මාණය නැරඹීමෙන් පසුව පැණ නැගී, තවමත් පිළිතුරු සොයමින් පවතින ගැටළු රැසක් අප වෙත ඉතිරිවී ඇති නිසයි.

හැබෑටම කුවේණි යක්ෂණියක්ද? හෙළ රජ පරපුර වනසා විජයට කිරුළ හිමි කර දීමේ වරදට දඬුවම හැටියට  විජය  පසුකළෙක ඇයව අතහැරීම සිදුවුණා කියමු, එතකොට තම බිරිඳ සහ දරුවන් අනාථ කල වරදට විජයට ලැබෙන දඬුවම කුමක් විය යුතුද? හෙළ රජ පවුල සංහාරය කරලා අපේ කිරුළ උදුරගත්තු විජයට, හෙළයො විසින් දෙන්න ඕන දඬුවම කුමක්ද? සිංහලයේ පළමුවෙනි රජු ලෙසින් රාජාවලියේ මුලටම, උපන් රටින් පිටුවහල් කල හොර දෙටුවෙක් වූ මේ චපල මිනිසාගේ නම රඳවා තබමින් අපි කුවේණිටත් වඩා පහත් තත්වෙකට වැටිලා නොවේද?

වේදිකා නාට්‍යය රඟදැක්වෙන අතරතුර මගේ මනසට ගලා ආ දහසකුත් එකක් ප්‍රශ්න වලින් කිහිපයකුයි ඒ. හැබෑවටම ඉතිහාසයේ කොතනකදි හරි අපට වැරදුනා නේද? කියන හැඟීම වඩ වඩාත් දැනෙන්නට වුණා ‘කුවේණි’ වේදිකා නාටයය නැරඹුවට පස්සෙ.

විජය සහ කුවේණි – ප්‍රථම නිෂ්පාදනයේ ජවනිකාවක්

කුවේණි පළමු නිෂ්පාදනය – මානෙල් ජයසේන (කුවේණි), චිත්‍රා අයිරාංගනී ජයසිංහ (දිසාලා) සහ සෝමපාල ධර්මප්‍රිය (ජීවහත්ථ) රංගනයේ නියැළෙමින්

” ‘කුවේණිය’ කුඩා කල සිට ම මා සමඟ ඇති දැඩි වූ චරිතයකි. මගේ සිත්-සතන් බොහෝ සේ සසළ කළ චරිතයකි. සාමාන්‍ය සමාජයේදී ගැහැනියකට මුහුණ පාන්න වෙන අසාධාරණය නිසා ඇති වුණු කම්පනය නිසයි කුවේණි මගේ අතින් නිර්මාණය වුණේ.”හෙන්රි ජයසේන ශූරීන්

ඡායාරූප උපුටා ගැනීම

ගම අවුලඥ්ඥං හබ පටලඥ්ඥං

මාස කිහිපයකට උඩදි ඉරිදා දවසක දුටුගැමුණු කණ්ඩායමේ අපි කිහිපදෙනෙක් වැඩ වගයකට කොළඹට ගියා. එදින හැන්දෑවෙ එල්ෆින්ස්ටන් රඟහලේ රන්වල පදනම විසින් රඟ දක්වන ”ගම අවුලඥ්ඥං” සංදර්ශනයක් පවත්වන බව  දැනගන්න ලැබුණ නිසා අපි කරන්න ආපු කටයුතු අහවර කරලා හැන්දෑවෙ රඟහලට ගොඩවුණේ අපේ ජන සංගීතයේ මිහිර විඳින්න හිතාගෙනයි.මඟුල් බෙර පදවලින් සංදර්ශනය පටන් ගත්තෙ ප්‍රේක්ෂකාගාරයේ හිටපු අපේ උනන්දුව දෙගුණ තෙගුණ කරගෙන. බෙර පදවල රිද්මය අපේ නහර වලට දැනෙන තරමටම තීව්‍රයි. සිංහල  ලේ යක් බෙරේට ඇවිස්සෙනවා කියලා පැරැන්නො කියන කතාවෙත් ඇත්තක් තියෙන බව අපට පැහැදිලි උනේ එදා තමයි.

බුදු දහම, සිංහල සංස්කෘතිය ගැන නිතර කතා කරන දුටුගැමුණු බලකාය, මේ අයුරින් සංගීත සංදර්ශනයක් ගැන කතා කරන්න හිතුවෙ ඇයි කියලත් ඔබට හිතෙනවා ඇති.  තුන් සරණේ කවි කියාගෙනම වේදිකාවට ආපු නළු නිළි කැල විසින් ප්‍රසංගය පැවැත්වූ පැය දෙකකට ආසන්න  කාලය අපි ගත කලේ අපේ සංස්කෘතියත් එක්ක, අපේ ජන සංගීතයත් එක්ක, අපේ සාඩම්බර නැටුම් කලාවත් එක්ක.  බෙර පද, සී පද, කස්තිරම් යන මේ සියල්ලත් සමඟ රන්වල පදනම  අප ඉදිරියේ ගෙනහැර පෑවෙ අපේ කම. දිවංගත ලයනල් රන්වලයන් විසින් ඇරඹි ජන සංගීතය පෙරටු කරගත් මේ නිර්මාණ රටාව අද වනවිට රන්වල පදනම විසින් රටපුරා රැගෙන යමින් අපේ ප්‍රේක්ෂක කැල දැනුවත් කරනවා. මෙහිදී අප දුටු තවත් විශේෂ දෙයක් තමයි ඔවුන් ගායනා කරන හැම ගීතයකටම, හැම කවියකටම පෙර ඒ ගැන අපූරු හැඳින්වීමක් කිරීම. ගීතය අඩංගු ජනකවි වර්ගය, අදාල නාද රටාව ආදිය ගැනත් ඔවුන් ප්‍රේක්ෂකයා දැනුවත් කරනවා. ඒ වගේම රංගනයේ යෙදෙන ජන ගී කණ්ඩායමේ  සෑම ශිල්පියෙක්ම, ශිල්පිණියක්ම ගායනය, නර්තනය, රංගනය ආදී විෂයන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු වේදිකාවට ගොඩවූ පරිණත ශිල්පීන් සතු ගුණාංග මනාව විදහා පෑමට සමත් වුණා. සැබැවින්ම අප විසින් මේ සේවය අගය කල යුතු යැයි හිතෙන්නෙ අන්න ඒ නිසයි.

වර්තමානයේ බහුලව අහන්න, දකින්න ලැබෙන භාෂා කිහිපයක වචන ටිකක් අමුණලා සිංහලටත් නැති, ඉංග්‍රීසියටත් නැති, දෙමළටත් නැති, පද වැලක් එක්ක දෙලොවටම නැති නැටුමක් එක්ක බටහිරින් අහුල ගත්තු ඇඳුමකින් සැරසිලා නිර්මාණ යැයි කියමින් කරන බහුරූ කෝළම් ඉදිරියේ මෙවන් නිර්මාණ නියඟෙට බට පොද වැස්සක් හා සමානයි. අපි මෙහෙම නව රැල්ල තදින් විවේචනය කරද්දි අපිත් අන්තවාදී යැයි කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ ඉවක් බවක් නැති බටහිර අනුකරණයන් දිගටම පැවතුනොත් අපි අද කියන්න හදන දේ හරියටම වැටහේවි තව දශක කිහිපයකින් අපෙයි කියලා කියන්න පුළුවන් සංස්කෘතිය, සංගීතය හා  නාදරටාවන් අපෙන් ගිලිහී ගිය දාට. හරවත් නිර්මාණයන් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂක කැල ක්ෂේත්‍රයට අහිමි උන දාට. අනාගතයේ එවන් දවසක් නොදකින්නයි අපි වර්තමානයේ ඉඳන් මෙහෙම කතා කරන්නෙ.  වත්මන් පරපුරේ අපේ දේ අගයන්න හැකි පිරිස අඩු වීම අපේම අවාසනාවක් හැටියටයි අපි ඒ අතින් දකින්නෙ. ජාත්‍යන්තරයට ගියහම අපෙයි කියලා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ දේශීය නැටුම් කලාව හා ජන සංගීතය පමණයි. අපේ දේවල් හැටියට අනාගත පරපුරට අප විසින් දායාද කල යුත්තේත් එයමයි. වර්තමානයේ බොහෝ දෙනා මෙන් අනාගත පරපුරත් අනුකාරකයන් බවට පත්වීමෙන් වලක්වාගන්නට නම් මේ දැනුම අප විසින් දැයට ලබා දිය යුතුම වෙනවා.

නිර්මාණකරුවන්, කලාකරුවන් හැටියට සමාජයට හරවත් දෙයක් දායාද කිරීමේ වගකීම කරට ගෙන කටයුතු කරන රන්වල පදනමට තුති පුදන්නට දුටුගැමුණු බලකාය තීරණය කලේ ඔවුන් අපේ කම නොයිඳුල්ව ලෝකෙට ගෙනියන්න දරන සාර්ථක උත්සාහය නිසයි. ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වන මෙවැනි අධ්‍යාපනික සංදර්ශනයක් නරඹන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත් එය මගහරින්න එපා.

සුදු රෙදි හොරු

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 3ක්

සුදු රෙදි හොරු

මෑතකදි ගියා ජයලත් මනෝරත්නයන්ගෙ සුදු රෙදි හොරු වේදිකා නාට්‍යය නරඹන්න. හැමදාමත් වගේ සිංහල සාහිත්‍යයේ ගුණ වැයෙන මෙම නිර්මාණයෙදි  මනෝරත්නයන්ගෙ සියුම් උපහාසයට ලක්වෙන්නෙ අප රටේ වත්මන් දේශපාලන ක්‍රමය. පුරා පැය දෙකකට ආසන්න කාලයක් ජයලත් මනෝරත්න, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය, චන්ද්‍රසෝම බිංදුහේවා වැනි ප්‍රවීණයන් රැසකගේ අපූරු රංගනයන්ගෙන් වර්ණවත් වන සුදු රෙදි හොරු අද කාලයට ගැලපෙන නිර්මාණයක් කියල කියන්න පුළුවන්.