Archive

Archive for the ‘හෙළ උත්සව’ Category

නිවන් මඟ අවුරන භව තණ්හාව

මේ එළඹෙන්නෙ වෙසක් පුන් පෝ දිනයයි. ගණන් බලා ඇති අන්දමට සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලබා වසර 2601ක් පිරෙන්නෙ මේ වෙසක් මාසයටයි. දාන මාන, ආලෝක පූජා සහ ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන් දෙමින්, ලොවපුරා වෙසෙන බොදු සැදැහැවතුන් උත්සවාකාරයෙන් වෙසක් පොහොය සමරන්නට ලක ලැහැස්ති වෙන මේ මොහොතේ, අප තවමත් අඳුරේ අතපත ගාන නිර්වාණ මාර්ගය සොයා යාම පිළිබඳව කතා කරන්නටයි අපේ මේ සූදානම…

ලෝ සතුන්ට නිවන් මඟ විවර කරදුන් මහා කාරුණිකයාණෝ අපට කියාදුන් නිර්වාණ මාර්ගය සොයා යන්නට තවමත් අපවෙත ඉතිරිව ඇති බව පසක් කරවමින්, දන්සැල්, පින්කම් ආදී අනන්ත වූ වෙසක් සැමරුම් සමඟ තවත් වෙසක් පුන් පෝ දිනයක් මෙලෙසින් ගෙවී යාමට නියමිතයි. සෑම වසරකම මෙලෙසින් කුසල ක්‍රියාවන්හි නිරත වෙන අප කාටත්, සසර මඟ තව බොහෝ දුරක් යන්නට ඉතිරි බව අප සැමදෙනාගේම මතයයි. එය හැබෑවක්ද? නැතිනම් මේ සසර ගමන අප විහින්ම දික්කරගත්තක්ද? මොහොතක් නැවතී සිතා බලමු.

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?

අද වෙන විට බොහොමයක් බොදුනුවන් නිර්වාණ මාර්ගයෙන් ඈත් වෙලා යැයි අප පැවසුවොත් කී දෙනෙක් නම් ඊට එකඟ වේවිද? කී දෙනෙක් නම් විරුද්ධ වේවිද? කලකට ඉහත “බුදුබණ ඇසුවට නිරන්තරේ” යන මාතෘකාව යටතේ නිර්වාණය අපේක්ෂා කරන කෙනෙක් යායුතු ගමන කෙබඳුද යන්න පාඨක ඔබෙන් අපි ප්‍රශ්න කළෙමු. අදහස් දැක්වූ බොහෝ දෙනාගේ මතය වූයේ මිනිසත් බවක් ලැබේයැයි අවිනිශ්චිත ලබන ආත්මයකට කල් දැමීමට වඩා මෙම ආත්මයේ ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. එනම්, තෘෂ්ණාවෙන් මිදී නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම භවය තුලම සූදානම් වීම සුදුසු බවයි. එසේනම් තව තවත් කම් සැප සොයා සදෙව්ලොව සරන්නට හෝ දුකින් තොර මතු භවයක් ලබන්නට කරන ප්‍රාර්ථනා පසෙක ලා උතුම් වූ නිර්වාණය පසක් කරගැනීමේ චේතනාවෙන් කුසල් රැස් කරමු.

ඔබ සැමට සසර කෙළවර තථාගත ධර්මය පසක් වේවා!

Advertisements

කෝපි කාලෙ ඇත්තන්ගෙ දායාදය

2012 අප්‍රේල් 13 ප්‍රතිචාර 4ක්

උත්සව සමයට අපේ ඇත්තො ලක ලෑස්ති වෙන්නෙ හරිම උනන්දුවකින්. නිවෙස් පිරිසිඳු කරලා, වත්ත පිටිය එළි පෙහෙලි කරලා, පරණ කෝන්තර අමතක කරලා සමඟිවෙලා, අළුත් අවුරුද්දෙ කටයුතු සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා. වැඩිහිටියන්ට ගරු කරන්න, වැඳුම් පිදුම් කරන්න, තමන් අතින් සිදුවුණු වැරදි හදාගෙන අළුත් අවුරුද්ද යහපත් ලෙස අළුත් විදිහට ආරම්භ කරන්න අපේ ඇත්තො සිංහල අළුත් අවුරුද්ද යොදා ගත්තා. මේ සිංහල අවුරුද්ද පැවතෙන්නෙ කොයි කාලෙ ඉඳන්ද? මොකද්ද මේකෙ අරමුණු? කව්ද පටන්ගත්තෙ?…. සිංහල අළුත් අවුරුද්ද කියලා කියන නිසා පටන් ගන්න නම් ඇත්තෙ සිංහලයා වෙන්න ඕනෙ. සිංහල අළුත් අවුරුද්දට මහා සම්මත මනු යුගය තරම් ඈත ඉතිහාසයක් තියෙනවා කියලා තමයි අරිසෙන් අහුබුදු මහතා කියලා තිබුණෙ. අතීතයේ පටන්ම සූර්ය වන්දනයෙ යෙදුණෙ හෙළයො බව සම්මතයක්නෙ. පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න දින 365ක කාලයක් ගත වෙන බව, කාලාන්තරයක සිටම අපේ පැරැන්නො දැනගෙන හිටපු නිසා නේද හැම වසරකම එකම දිනට මේ සූර්ය සංක්‍රාන්තිය සමරන්න යොදාගත්තෙ? සූර්ය සංක්‍රාන්තිය සමරන්නෙත් සිරීපාදෙ වන්දනා කරලා හිමිදිරි පාන්දර ඉර සේවය නරඹමින් ඉරට බුහුමන් දක්වන සිංහලයාම තමයි. මේක අපේ මුතුන් මිත්තො අපිට දායාද කළ අපේ සංස්කෘතිය මිසක් වෙන කොහෙන්වත් ණයට දුන්නු උත්සවයක් කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදීමක්.

පාසල් යන කාලෙ නැටුම් ඉතිහාසය ඉගෙනගනිද්දි අපිට ඉගැන්නුවෙ කොහොඹා කන්කාරිය, දෙවොල් මඩුව වැනි ශාන්තිකර්ම අපිට ලැබුණෙ ඉන්දියාවෙන් කියලයි. ඒත් යක් බෙරයක, ගැටබෙරයක, දවුලක හඬක් ඉන්දියාවෙන් ඇහුණ වගක් මතකයේ අහලකවත් නැහැ. මහාවංශය කියන්නෙ මහින්දාගමනයත් එක්ක අපේ රටට ගෘහ නිර්මාණ ශිල්පය, සිතුවම් කලාව, කැටයම් කලාව ආදියත් දායාද ලෙස ලැබුණු බවයි. අනේ ඒත් රුවන්මැලි සෑය, ජේතවනාරාමය වැනි අහස සිඹින දාගැබ්, ලෝවාමහාපාය වැනි ගල්කණු ආශ්‍රයෙන් කල විශාල සංඝාරාම ආදී බොදු නිර්මාණ ඉන්දියාවෙන් දකින්න නොලැබෙන තරම්. නමුත් මේ හැම දෙයක්ම ආවෙ ඉන්දියාවෙන්ලු. සිංහලයගෙ නව වසරට වෙලා තියෙන්නෙත් අපේ දේශීය ශාන්තිකර්ම, ගෘහ නිර්මාණ ශිල්පයට වෙච්චි දේම නේද?

පෙලක් අයට ‘Made in India’ ලේබලය නැත්නම් අපේ අළුත් අවුරුද්ද වුවද වැඩක් නැහැලු. සමහරක් උදවිය ඒ ලේබලයම පෙන්නලා අවුරුද්ද සමරන්න එපා කියනවලු. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනෙලු. අසන්නා සිහිබුද්ධියෙන් නොසිටින බවක් පෙනෙන නිසා අපි මෙහෙම ලිපි ලියනවලු. සිංහලයාගෙ අළුත් අවුරුද්ද විටෙක ‘සිංහල හින්දු අළුත් අවුරුද්ද’ වුණ ආකාරයත් පසුව ‘සිංහල දෙමළ අළුත් අවුරුද්ද’ ලෙස නම් කෙරුණු ආකාරයත් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ පවා ඇති බැවින් නැවත මෙහි සඳහන් කිරීමක් අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. මෙරටට සංක්‍රමණය වූ (හෝ ආක්‍රමණය කරන්න ගොස් මෙහි ඉතුරු වූ) පිරිස් අළුත් අවුරුද්ද සමරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. එය ජාතික සමඟියට රුකුලක් මිස හානියක් ලෙස අපි දකින්නෙත් නැහැ. හානිය කරන්නේ අපේ උන්මයි. ඒ අපේ අළුත් අවුරුද්දේ අයිතිය අන් අය සමඟ බෙදාගන්නට ගොස් සම්පූර්ණෙන්ම පුදා දෙන නිසයි. වසර ගණනක් පුරාවට අපේ මිනිසුන් රැකගෙන එන සිරිත් විරිත්, අපේ කම, මනුස්සකම් පිරුණු සාරධර්ම අපි ඉදිරියට ගෙනියන්න ඕනෙ. අපේ ඊලඟ පරම්පරාවන්ට අපේ සංස්කෘතියෙ අගය කියලා දෙන්නත් වටිනාම කාලය මේ උත්සව සමය නොවෙයිද? තායිලන්තය, කාම්බෝජය මෙන්ම බංගලාදේශය වගේ රටවලත් අප්‍රේල් 14 වෙනිදාට නව වසර සමරනවා. ඒ වගේම ඒ හැම රටක්ම බුදුදහමෙන් පෝෂණය වුණු රටවල් (මෙහි සඳහන් බංගලාදේශය වගේ රටවලින් වර්තමානයේ බුදුදහම වියැකී ගිහින් තිබුණත් ඒත් අතීතයේ බෞද්ධ රාජ්‍යයන්) මිස හින්දු පසුබිමක් එම චාරිත්‍ර වල අහලකටත් නොඑයි.

බොහෝ දෙනෙක් තුල පවතින තවත් මතයක් තමයි කෝපි කාලෙ හණමිටි අදහස් කරපින්නාගෙන, තාක්ෂණයෙන් දියුණු වර්තමානයේ ඉදිරියට යා නොහැකි බව. ඒත් ඉතින් අදටත් වඩා දියුණු තාක්ෂණයක් තිබුණෙ අපේ පැරැන්නන් ලඟ නොවේද? ලෝකෙ පැවැත්ම ගැන, විද්‍යාව ගැන වගේම වැඩූ ප්‍රඥාවෙන් සංසාර චක්‍රය නවතා නිර්වාණයට ලඟා වෙන්න තරම් තාක්ෂණය, රට වගේම හිතත් දියුණු කල පිරිසක් නොවේද ඔය කියන කෝපි කාලෙ හිටියෙ? එවන් පිරිසකගෙන් පැවතෙන අපිට, දියුණු වෙන ලෝකෙත් එක්ක ඉදිරියට යන්නත් බැරි හණමිටි අදහස් නිසා නොව, අපේ මුතුන් මිත්තන් සතුවූ දැනුම අප සතු නොවන නිසා බව වටහාගන්න අපේ ජාතියට කොතෙක් කලක් ගතවේවිද? ඒ දියුණු මුතුන් මිත්තො බොහොම කල්පනාවෙන් තේරුමක් ඇතුව ගොඩනගපු මේ නැකැත් ශාස්ත්‍ර, අවුරුදු චාරිත්‍ර ආදිය, අද අප කරපින්නාගෙන සිටින බටහිර දැනුමට ගෝචර නොවෙන පලියට එය මිත්‍යා දෘෂ්ඨිය යැයි හංවඩු ගසා බැහැර කළ යුතුද? අපේ පැරැන්නන්ගෙන් අපට ලැබුණු මේ දායාදයන් තමයි ලෝකය තුළ සිංහලයා කියන අනන්‍යතාවය ගොඩනගාගන්න අපට ඉවහල් වෙන්නෙ. අපේ අනන්‍යතාවය හරිහැටි නොදන්නාතාක් කල් අපිත් ආතක් පාතක් නැති ජාතියක් වගේ හැසිරේවි, කොහෙන්හරි ඇවිත් මේ ලංකාවෙ පදිංචි වෙලා කියල හිතාගෙන පිටදේශවලට ආවඩාවි. ටිකක් හිතන්න…

එතෙක්, ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

සිතුවම –  ආසිරි කොඩිතුවක්කු , මහාචාර්‍ය ජේ. බී දිසානායකයන්ගේ  “සූර්ය මංගල්‍යය” පොතෙන්.

සිංහල අවුරුදු චරිත්‍ර

අටමඟල

අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්‍රදීප
* ඡත්‍ර
* දර්පණ
* ශංඛ සහ
* ශ්‍රී වත්ස යන සලකුණුයි

අෂ්ඨ මංගල සංකේත – අභයගිරි කෞතුකාගාරය

අටමඟල සලකුණු ගල් පුවරුවක කොටා ඇති අයුරු – තන්තිරිමලේ කෞතුකාගරය


සෙත් ශාන්ති ලඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්‍ර පැලඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.

මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්‍යවහාරයට එකතු වුණේ කොයි කාලෙද?  කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්‍රශ්න ගොඩයි.  හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ඨ මංගල වස්තු වලට අපිම ගරහනව නේද?

අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්‍යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ?  බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්‍රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය  ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංග වලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු.

වෙසක් සමරමින් සසර දික් කරගැනීම

බුද්ධ වර්ෂ 2554, බුදු තෙමඟුල මහ ඉහළින් සමරන්නට මාධ්‍ය ලක ලැහැස්ති උනේ බක්මහ ගෙවෙන්නටත් කලින්.  හැබෑටම මොකද්ද මේ වෙසක් මංගල්‍යය කියලා කාගෙන් හරි ඇහුවොත්, සිදුහත් බෝසතුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිණිර්වාණය යන උතුම් මංගල සිදුවීම් තුනම සිදුවූ වෙසක් මස පුර පසලොස්වක දිනයේ බුදුන්වහන්සේගේ මෙම තෙමඟුල සිහිකිරීම තමයි වෙසක් මංගල්‍යය කියලා පොඩි දරුවෙක් උනත් කටපාඩමෙන් උත්තර දේවි.

වෙසක් එකට සැදැහැවතුන් ලක  ලැහැස්ති වෙන්නෙ දින ගණනක ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන්. ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙනුත් සම්බුදු රදුන් පුදන මේ වෙසක් මංගල්‍යයේදි ඉහත කී සැදැහැවතුන් අතර වෙසක් සමරමින් සසර දික් කරගන්නා පිරිසක්ද සිටිනවා. අපි මේ කතා කරන්න යන්නෙ ඔවුන් ගැන, ක්‍රෝධයෙන් නෙමෙයි ඔවුන් කෙරේ උපන් අනුකම්පාවෙන් අපේ මේ පුන්චි වෑයම තුලින් කිහිප දෙනෙකු හෝ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම පසක් කරගනීවි යන යහපත් චේතනාවෙන්.

වෙසක් දිනට පෙහෙවස් සමාදන් වීම ඇතුළු ප්‍රතිපත්ති පූජාවන් දෙස හා නිවෙස් වෙසක් කූඩු වලින් ආලෝකමත් කර ආලෝක පූජාවෙන් බුදුන් පිදීම, ජනතාවගේ සිත් තුල ශ්‍රද්ධාව වර්ධනය කරන ජාතක කතා ඇතුලත් තොරණ් හා පහන් කූඩු නිර්මාණය කිරීම හා දානමය කටයුතු වල නිරත වීම ආදී ආමිස පූජාවන් දෙස අපි බලන්නෙ පහන් සිතින් සමාජයක විය යුතු දේවල් හැටියට. බුදුන්ගෙ දේශයේ නැතුව මීට වඩා හොඳින් බුදු තෙමඟුල සමරන්න ඉන්නෙ වෙන කව්ද? ඒත් අද වෙසක් දවසට පාරට බැස්සහම අපි දකින්නෙ මොනවද? ඊයෙ පෙරේදා පාරෙදි දැකපු දේවල් ආයෙත් මෙනෙහි කරලා බලන්න.

වීදි පුරා වෙසක් බලන්න යන මිනිසුන් අතරෙ මේ බුදුන්වහන්සේගෙ තෙමඟුල සිහි කරන වෙසක් දිනය බව සිහි තබාගෙන පාරට බැහැලා තියෙන්නෙ කීයෙන් කී දෙනාද? වීදි පුරා කෑකෝ ගසමින්, සංගීත භාණ්ඩ වයමින්, ඒ ශබ්ද පරයන හඬින් ගී ගයමින් පාරතොටේ හැසිරෙන තරුණ කැල දැක්කහම, අපොයි ගෞතම බුද්ධ රාජ්‍යයේ අනාගතය කියලා හිතුණා. විවිධ විකාර මෝස්තර වල ඇඳුමින් සැරසී වෙස් මුහුණු පැලඳ ගෙන තරුණයින් පාරට බහින්නෙ බටහිර පන්නයට හැලොවින් සමරන ආකාරයට මිස වෙසඟක් ගැන සිහියකින්වත් නොවන බවයි දකින අපට හිතුණෙ.  ඒ අතර බහුතරයක් පාරට බහින්නෙ ගෑණු ළමයි බලන්න. බොහෝ ගෑණු දරුවන්ද පනින රිලවුන්ට ඉනිමං බඳින ගානට වෙසක් බලන්න එන්නෙ සංකර ඇඳුමින්. ඉතිං තරුණයන් මුළු රැයම ගෙවන්නෙ තරුණියන්ට උසුලු විසුළු, හිරිහැර කරමින්. ඇවිදින වෙසක් කූඩු බැලීමේ චාරිත්‍රයක් වෙසක් මංගල්‍යයට එකතු වෙන තරමටම වෙසක් දාට මේ සංකර හැසිරීම් වැඩිවෙලා. මේ හේතුවෙන් සංවරව හැසිරෙන පිරිස් පවා විවිධ අපහසුතාවන්ට පත්වෙන බව අමතක කරන්න එපා. මහ මාර්ග අසල දන්සැල් දෙන ස්ථාන වල දැන් දැන් වැඩිපුර අහන්න ලැබෙන්නෙ බුදු ගුණ ගී නෙවෙයි. ඒ වෙනුවට වෙනත් ජනප්‍රිය ගී වාදනය කරමින් දන්සැල අවසානයේ සැදැහැවත් බෞද්ධයො නර්තනයේ යෙදෙන්නත් පටන් අරන්. ඒ වගේම මහා ජනකායක් රැස් වෙන වීදි වල සොර සතුරන්ද බහුලව ගැවසෙමින් අන්සතු දේ සොරාගන්නෙ බුදුන්ගේ දේශයේ, උන්වහන්සේගෙ උපන්දිනයෙදිම උන්වහන්සේගේ ඉගැන්වීම් අමතක කරමින්. ඒ වගේම මෙවන් ස්ථාන වලට වටිනා ආභරණ පැලඳ පැමිණීමෙනුත් ජනතාව සොරකම් වලට අනුබල දෙනවා. වෙසක් බලන්න යන්න පවුම් දෙක තුනක රන්මාලයක් අවැසි නොවන බව තේරුම් ගත්තනම් රන්බඩු වල ආරක්ෂාව ගැන නොහිතා නිදහසේ වෙසක් සිරි නරඹන්න තිබ්බා. සෙනඟ රැස්වෙන තැන්වල කෑ ගසමින්, අනුන්ට හිරිහැරයක් වෙන ලෙසින් හැසිරෙමින් මේ අයත් පතන්නෙ නිර්වාණයමද?

වෙසක් කියන්නෙ විනෝද වෙන උත්සවයක් බවට වරදවා වටහාගෙන තියෙන්නෙ අපිමයි. මාධය සහ වෙළෙන්දන් විසින් වෙසක් මංගල්‍යයත් විකුණාගෙන කන්නට යෙදූ උපායන්ට හසුවුණ ඇතැම් උදවිය තමන් විසින්ම දුගතියට පාර කපා ගැනීමක් තමයි වෙසක් දාට දැන් දැන් බහුලව දකින්නට ලැබෙන්නෙ.  වෙසක් සමයට වෙලඳසැල් වල විකුණන විරූපී වෙස්මුහුණු සහ වෙසක් මංගල්‍යය අතර ඇති සබැඳියාව කුමක්දැයි තවමත් අපහට පැහැදිලිව වටහාගන්නට බැහැ. වෙසක් සමයට මෙවන් දෑ විකිණිමත් ඒවා මිලදී ගනිමින් ඊට අනුබල දීමත් වෙසක් මංගල්‍යට නොගැලපෙන බව පෙන්වා දෙන්නට කැමතියි. අඩුගානෙ වසරේ ඉතිරි දවස් 364ම නටන නාඩගං මේ එක දවසෙ විතරක්වත් නවත්වලා ධර්ම මාර්ගයේ හැසිරෙනවා වෙනුවට වෙනදාටත් වඩා පස් පවෙහි ඇලෙන්නට වෙසක් පොහොය දිනය ඇතැමුන් විසින් යොදාගෙන නැහැයි කියලා කියන්න පුළුවන් කාටද?

වෙසක් දවසෙ අප සිහිකරන්නෙ බුදුන් වහන්සේගෙ තෙමඟුල විතරක්මද? එතකොට උන්වහන්සේගෙ ඉගැන්වීම් ….. ඒවා වෙසක් දාට අදාල නැද්ද? ධර්මයේ හැසිර බුදුන් වහන්සේ ගිය මඟ යමින් අටසිල් මෙන්ම පන්සිල්හිද පිහිටමින් ප්‍රතිපත්තියෙන් බුදුන් පිදුමට වඩා වටිනා තවත් පූජාවක් කොයින්ද? වෙසක් සැරසිලි මගින් ආමිස පූජාවෙන් බුදුන් පුදන අතරම පන්සිල් සමාදන්ව ප්‍රතිපත්ති පූජාවෙන්ද බුදුන් පුදන්නේනම් බුදුන් වහන්සේද ආමිස පූජාවටත් වඩා අගේ කොට සැලකූ ප්‍රතිපත්ති පූජාවද අප අතින් ඉටු වන්නේය. එහෙත් අද වනවිට බොහෝදෙනා උන්වහන්සේගේ සියළු ඉගැන්වීම් අමතක කරගෙන වෙසක් පොහොය කියලා සිහි කරන්නේ කුමක්ද? සසර කෙටිකරගෙන අනන්ත වූ දුක් සමුදයේ කෙලවරක් දකින්නට අපට මග පෙන්වූ බුදුන් වහන්සේ සමරමින් ඇතැමෙක් සසර දික් කරගන්නා අයුරු අප බලා සිටියේ වේදනාවෙනි.  අද වගේ දවසක මෙවන් හැසිරීමක් බුදුන් වහන්සේට, උන්වහන්සේගේ ඉගැන්වීමට නිගා දෙන සුළු බව අමතක වෙලාද?

මේ සියල්ල දැකීමෙන් අපට පසක් වූයේ වර්තමානය වන විට වෙසක් මංගල්‍යයට අදාල සියල්ල එලෙසම තිබියදී මිනිසුන් වෙතින් බෞද්ධ කම ගිලිහී ගොස් ඇති බවකි.

2010/05/23 දින “බුදුන් දකින්නට කොළඹ ආවෙමි” යන ශිර්ෂයෙන් දිවයින පුවත් පතේ පලවූ ලිපිය අප අවධානයට ලක් වීම හරහා වෙසක් දින අප කණ්ඩායම වීදි බැස රැස් කල තොරතුරු අනුසාරයෙන් මෙම ලිපිය සකස් විය.

සටහන – චේතියා

ඡායාරූප – තරිඳු


සුභ අලුත් අවුරුද්දක් වේවා!!

ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්ය සපිරි නිරෝගිමත් නව වසරක් වේවා.

අළුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි බදාදා පු.භා. 06:58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 සිට 14 වෙනි බදාදා පස්වරු 01.22 දක්වා පුණ්‍ය බැවින් අප්‍රේල් 13 වෙනි දින අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට පළමු ව ආහාර අනුභව කොට  සියලු  වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව ආදී චාරිත්‍ර  ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අපේල් මස 14 වැනි බදාදා පු.භා. 07:01 ට පළාවන් පැහැති වස්ත්‍රාභ්‍රණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද කිරි බතක්ද පිලියෙල කර ගැනීම මැනවි.

ප්‍රවර්ග:හෙළ අවුරුද්ද

මෙවර සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර යෙදී ඇති වෙලාවන්

2010 අප්‍රේල් 4 ප්‍රතිචාර 2ක්

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර


පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 12 වෙනි සඳුදා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොර ඉශ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අළුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි බදාදා පු.භා. 06:58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 සිට 14 වෙනි බදාදා පස්වරු 01.22 දක්වා පුණ්‍ය බැවින් අප්‍රේල් 13 වෙනි දින අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට පළමු ව ආහාර අනුභව කොට  සියලු  වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව ආදී චාරිත්‍ර  ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අපේල් මස 14 වැනි බදාදා පු.භා. 07:01 ට පළාවන් පැහැති වස්ත්‍රාභ්‍රණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද කිරි බතක්ද පිලියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම. ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේල් මස 14 වෙනි බදාදා පු.භා 09:07 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට අහාර අනුභවය මැනවි

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි බ්‍රහස්පතින්දා පු.භා 10:06 ට උතුරු දිශාව බලා හිසට බෝපත ද , පයට කොහොඹපත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙන් හා බෝපත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිඊම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත් වී යෑම

අප්‍රේල් මස 19 වෙනි සඳුදා පූ.භා 06:42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උඳු මිශ කැවිලි වර්ගයක් හා කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

සේවා අවශ්‍යතාවය සඳහා

අප්‍රේල් මස 16 වෙනි සිකුරාදා පූ.භා 06:08 ට සුදු මිශ්‍ර නිල් පැහැති වස්ත්‍රාරනයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.