කල්‍යාණ මිත්‍රයෝ

ජීවිත කාලය පුරාවටම අපට නොයෙක් අවස්ථාවල, නොයෙක් විදිහේ ගතිගුණ ඇති මිතුරන් හමුවෙනවා. මේ අතුරින් ආශ්‍රයට සුදුසු මිතුරන් තෝරා ගැනීම අපේ වගකීමක්. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් කල්‍යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් ගැන පැහැදිලිව දේශනා කලේත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ජීවිතයට ඉතා වැදගත් නිසයි. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නෙත් කල්‍යාණ මිත්‍රයන් ගැන බුද්ධ දේශනාවන්හි සඳහන් කරුණු පිළිබඳව කතිකා කරන්නටයි.

ගොඩක් වෙලාවට හොඳ වැඩක් කරද්දි වගේම නරක වැඩක් කරද්දිත් මුල් වෙන්නෙ යාළුවො. ඉතින් සමාජයක දුසිරිත් දුරාචාර එන්න එන්නම වැඩිවෙනවා කියන්නෙත්, පාප මිත්‍ර ඇසුර වැඩි වෙලා කියන එකයි. කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන් හඳුනාගැනීම වුවත් අද කාලයේ පහසු නැහැ. ඕනම ගේමකට ලෑස්ති, බුදු ෆිට් එක, බොක්ක කියලා හඳුන්වන හැම මිත්‍රයෙක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාණ මිත්‍රයොද කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් කෙනෙකුට තියෙන්න ඕනෙ. තමන් කියන කරන දේ හරි හෝ වැරදි, ඊට උපකාර කරන මිතුරා තමන්ගෙන් ඊට වඩා වාසියක් මතුවට බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට අද ඔබේ වැරදි වලට අනුබල දෙන මිතුරා, අනාගතේ තවත් අපායට පාර කැපෙන කටයුත්තකට ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. එහෙව් ලෝකෙක සැපේදි මෙන්ම දුකේදිත් ලඟින් ඉන්න මිතුරන් කව්ද කියලා වටහා ගන්න පුළුවන් වෙන්නෙ කෙනෙක් විපතකට පත් වුණ වෙලාවකටමයි.

සිඟාලෝවාද සූත්‍රයේ එන අන්දමට කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන්ද කොටස් හතර බැගින් වෙයි.

  • අඥ්ඥදත්තුහර – හැමවිටම මිතුරාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. සුළුවෙන් යමක් දී වටිනා යමක් බලාපොරොත්තු වෙයි. මිතුරාට බියක් ඇත්නම් ඔහුගේ කටයුතු කරන අතරම තම ලාභය, ප්‍රයෝජනය පමණක්ම සලකයි.
  • වචීපරම – වචනයෙන් පමණක් සංග්‍රහ කරමින් මිතුරාගෙන් ලාභ බලාපොරොත්තු වෙයි. ඉකුත් වූ දෙයින් සහ මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරන අතර කටයුත්තක් පැමිණි කල්හි තමාට වූ විපතක් දන්වා මඟහැර යයි.
  • අනුපියභාණි – තමන් ඉදිරිපිටදී පමණක් මිතුරාගේ ගුණ වයන, නැති තැනදී වැරදි කියන යහපත් අයහපත් සියළු දේ අනුමත කරන, රැවටිලි බස් කියන කෙනෙකි.
  • අපාය සහාය – මෙම පාප මිතුරා මත්පැන් පානය, නොකල්හි වීදි සංචාරය, නැටුම් ඇති තැන්හි රැඳීම සහ සූදුව යන අයහපත් සියළු කටයුතු වලට නැවත නැවතත් උර දෙමින් පරිහාණිය කරා රැගෙන යයි.

මෙවන් ගතිගුණ ඇති මිතුරන් හඳුනාගන්නටත් ඔවුන් ආශ්‍රයෙන් ඈත් වන්නටත් බුද්ධිමත් මිනිසා සමත් විය යුතුය.

කල්‍යාණ මිතුරන් ගැන දේශනා කිරීමේදී බුදුන් වහන්සේ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අනුකම්පක සහ අත්ථක්ඛායි යනුවෙන් කලණ මිතුරන්ද වර්ග හතරක් හඳුන්වා දී ඇත.

  • උපකාරක මිතුරා – තම මිතුරාත් ඔහුගේ ධනයත් රකිමින් මිතුරාට උපකාර කරන්නෙකි. ඔහු භයක් පැමිණි විට මිතුරාට උපකාර කරන අතර කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් වස්තුව දෙයි.
  • සමාන සුඛ දුක්ඛ මිතුරා – විපතේදීත් නොවෙනස්ව සිටින, තම රහස් මිතුරාට කියන සහ මිතුරාගේ රහස් ආරක්ෂා කරන පුද්ගලයෙකි. මිතුරාගේ යහපත සඳහා ජීවිතය වුව පිදීමට සමත් මිතුරෙකි.
  • අනුකම්පක කළණ මිතුරා – මිතුරාගේ පිරිහීමට නොසතුටු වන, දියුණුවට සතුටු වන, මිතුරාගේ නුගුණ කියන්නවුන් වළකන සහ ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරන මිතුරෙකි.
  • අත්ථක්ඛායි මිතුරා – සිය මිතුරා පවින් මුදවා කුසලයෙහි යොදවන කළණ මිතුරෙකි. නොඇසූ දෙය අසන්නට සලස්වන, දෙව්ලොවට මග කියන මිතුරෙකි.

අප අවට වෙසෙන මිතුරන් අතරින් මේ සිව්වැදෑරුම් මිතුරු ගුණ සහිත කල්‍යාණ මිත්‍රයන් කවුරුද යන්න නොපමාව හඳුනාගන්නට අප කටයුතු කළ යුතුයි. කරන හැම කටයුත්තකටම උදව් නොදී, හරි වැරැද්ද තෝරා බේරාගෙන, යහපත් දේට උපරිමයෙන් උදව් කරන මිතුරා, දුසිරිතෙන් ඔබව ගලවාගන්න අර අදින මිතුරා සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්. එවන් කල්‍යාණ මිත්‍රයෙකුගේ ගුණ හඳුනාගන්න නම් තමනුත් ඒ ගුණ පුරුදු පුහුණු කළ යුතුයි. තවත් කෙනෙකුට පාප මිත්‍රයෙක් වෙමින් තමන්ට කල්‍යාණ මිත්‍ර ඇසුර ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල දෙයක්. එබැවින් කල්‍යාණ මිතුරු ඇසුරට වැටෙන්න නම් අපිත් පළමුව කල්‍යාණ මිතුරෙකු සතු ගුණාංග අප තුල දියුණු කළ යුතුයි, අපත් අපේ මිතුරන්ට කලණ මිතුරන් විය යුතුයි. ඒ කළණ මිතුරන්ට ඉහත ගුණාංග වලින් සැලකීමට ඔබත් පුරුදු පුහුණු වෙයි නම් දුසිරිතෙන් ඈත්ව ධර්මයේ හැසිරෙන්නට එයම මහත් පිටිවහලක් වේවි.

Advertisements

නිවන් මඟ අවුරන භව තණ්හාව

මේ එළඹෙන්නෙ වෙසක් පුන් පෝ දිනයයි. ගණන් බලා ඇති අන්දමට සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලබා වසර 2601ක් පිරෙන්නෙ මේ වෙසක් මාසයටයි. දාන මාන, ආලෝක පූජා සහ ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන් දෙමින්, ලොවපුරා වෙසෙන බොදු සැදැහැවතුන් උත්සවාකාරයෙන් වෙසක් පොහොය සමරන්නට ලක ලැහැස්ති වෙන මේ මොහොතේ, අප තවමත් අඳුරේ අතපත ගාන නිර්වාණ මාර්ගය සොයා යාම පිළිබඳව කතා කරන්නටයි අපේ මේ සූදානම…

ලෝ සතුන්ට නිවන් මඟ විවර කරදුන් මහා කාරුණිකයාණෝ අපට කියාදුන් නිර්වාණ මාර්ගය සොයා යන්නට තවමත් අපවෙත ඉතිරිව ඇති බව පසක් කරවමින්, දන්සැල්, පින්කම් ආදී අනන්ත වූ වෙසක් සැමරුම් සමඟ තවත් වෙසක් පුන් පෝ දිනයක් මෙලෙසින් ගෙවී යාමට නියමිතයි. සෑම වසරකම මෙලෙසින් කුසල ක්‍රියාවන්හි නිරත වෙන අප කාටත්, සසර මඟ තව බොහෝ දුරක් යන්නට ඉතිරි බව අප සැමදෙනාගේම මතයයි. එය හැබෑවක්ද? නැතිනම් මේ සසර ගමන අප විහින්ම දික්කරගත්තක්ද? මොහොතක් නැවතී සිතා බලමු.

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?

අද වෙන විට බොහොමයක් බොදුනුවන් නිර්වාණ මාර්ගයෙන් ඈත් වෙලා යැයි අප පැවසුවොත් කී දෙනෙක් නම් ඊට එකඟ වේවිද? කී දෙනෙක් නම් විරුද්ධ වේවිද? කලකට ඉහත “බුදුබණ ඇසුවට නිරන්තරේ” යන මාතෘකාව යටතේ නිර්වාණය අපේක්ෂා කරන කෙනෙක් යායුතු ගමන කෙබඳුද යන්න පාඨක ඔබෙන් අපි ප්‍රශ්න කළෙමු. අදහස් දැක්වූ බොහෝ දෙනාගේ මතය වූයේ මිනිසත් බවක් ලැබේයැයි අවිනිශ්චිත ලබන ආත්මයකට කල් දැමීමට වඩා මෙම ආත්මයේ ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. එනම්, තෘෂ්ණාවෙන් මිදී නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම භවය තුලම සූදානම් වීම සුදුසු බවයි. එසේනම් තව තවත් කම් සැප සොයා සදෙව්ලොව සරන්නට හෝ දුකින් තොර මතු භවයක් ලබන්නට කරන ප්‍රාර්ථනා පසෙක ලා උතුම් වූ නිර්වාණය පසක් කරගැනීමේ චේතනාවෙන් කුසල් රැස් කරමු.

ඔබ සැමට සසර කෙළවර තථාගත ධර්මය පසක් වේවා!

කෝපි කාලෙ ඇත්තන්ගෙ දායාදය

2012 අප්‍රේල් 13 ප්‍රතිචාර 4ක්

උත්සව සමයට අපේ ඇත්තො ලක ලෑස්ති වෙන්නෙ හරිම උනන්දුවකින්. නිවෙස් පිරිසිඳු කරලා, වත්ත පිටිය එළි පෙහෙලි කරලා, පරණ කෝන්තර අමතක කරලා සමඟිවෙලා, අළුත් අවුරුද්දෙ කටයුතු සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා. වැඩිහිටියන්ට ගරු කරන්න, වැඳුම් පිදුම් කරන්න, තමන් අතින් සිදුවුණු වැරදි හදාගෙන අළුත් අවුරුද්ද යහපත් ලෙස අළුත් විදිහට ආරම්භ කරන්න අපේ ඇත්තො සිංහල අළුත් අවුරුද්ද යොදා ගත්තා. මේ සිංහල අවුරුද්ද පැවතෙන්නෙ කොයි කාලෙ ඉඳන්ද? මොකද්ද මේකෙ අරමුණු? කව්ද පටන්ගත්තෙ?…. සිංහල අළුත් අවුරුද්ද කියලා කියන නිසා පටන් ගන්න නම් ඇත්තෙ සිංහලයා වෙන්න ඕනෙ. සිංහල අළුත් අවුරුද්දට මහා සම්මත මනු යුගය තරම් ඈත ඉතිහාසයක් තියෙනවා කියලා තමයි අරිසෙන් අහුබුදු මහතා කියලා තිබුණෙ. අතීතයේ පටන්ම සූර්ය වන්දනයෙ යෙදුණෙ හෙළයො බව සම්මතයක්නෙ. පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න දින 365ක කාලයක් ගත වෙන බව, කාලාන්තරයක සිටම අපේ පැරැන්නො දැනගෙන හිටපු නිසා නේද හැම වසරකම එකම දිනට මේ සූර්ය සංක්‍රාන්තිය සමරන්න යොදාගත්තෙ? සූර්ය සංක්‍රාන්තිය සමරන්නෙත් සිරීපාදෙ වන්දනා කරලා හිමිදිරි පාන්දර ඉර සේවය නරඹමින් ඉරට බුහුමන් දක්වන සිංහලයාම තමයි. මේක අපේ මුතුන් මිත්තො අපිට දායාද කළ අපේ සංස්කෘතිය මිසක් වෙන කොහෙන්වත් ණයට දුන්නු උත්සවයක් කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදීමක්.

පාසල් යන කාලෙ නැටුම් ඉතිහාසය ඉගෙනගනිද්දි අපිට ඉගැන්නුවෙ කොහොඹා කන්කාරිය, දෙවොල් මඩුව වැනි ශාන්තිකර්ම අපිට ලැබුණෙ ඉන්දියාවෙන් කියලයි. ඒත් යක් බෙරයක, ගැටබෙරයක, දවුලක හඬක් ඉන්දියාවෙන් ඇහුණ වගක් මතකයේ අහලකවත් නැහැ. මහාවංශය කියන්නෙ මහින්දාගමනයත් එක්ක අපේ රටට ගෘහ නිර්මාණ ශිල්පය, සිතුවම් කලාව, කැටයම් කලාව ආදියත් දායාද ලෙස ලැබුණු බවයි. අනේ ඒත් රුවන්මැලි සෑය, ජේතවනාරාමය වැනි අහස සිඹින දාගැබ්, ලෝවාමහාපාය වැනි ගල්කණු ආශ්‍රයෙන් කල විශාල සංඝාරාම ආදී බොදු නිර්මාණ ඉන්දියාවෙන් දකින්න නොලැබෙන තරම්. නමුත් මේ හැම දෙයක්ම ආවෙ ඉන්දියාවෙන්ලු. සිංහලයගෙ නව වසරට වෙලා තියෙන්නෙත් අපේ දේශීය ශාන්තිකර්ම, ගෘහ නිර්මාණ ශිල්පයට වෙච්චි දේම නේද?

පෙලක් අයට ‘Made in India’ ලේබලය නැත්නම් අපේ අළුත් අවුරුද්ද වුවද වැඩක් නැහැලු. සමහරක් උදවිය ඒ ලේබලයම පෙන්නලා අවුරුද්ද සමරන්න එපා කියනවලු. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනෙලු. අසන්නා සිහිබුද්ධියෙන් නොසිටින බවක් පෙනෙන නිසා අපි මෙහෙම ලිපි ලියනවලු. සිංහලයාගෙ අළුත් අවුරුද්ද විටෙක ‘සිංහල හින්දු අළුත් අවුරුද්ද’ වුණ ආකාරයත් පසුව ‘සිංහල දෙමළ අළුත් අවුරුද්ද’ ලෙස නම් කෙරුණු ආකාරයත් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ පවා ඇති බැවින් නැවත මෙහි සඳහන් කිරීමක් අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. මෙරටට සංක්‍රමණය වූ (හෝ ආක්‍රමණය කරන්න ගොස් මෙහි ඉතුරු වූ) පිරිස් අළුත් අවුරුද්ද සමරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. එය ජාතික සමඟියට රුකුලක් මිස හානියක් ලෙස අපි දකින්නෙත් නැහැ. හානිය කරන්නේ අපේ උන්මයි. ඒ අපේ අළුත් අවුරුද්දේ අයිතිය අන් අය සමඟ බෙදාගන්නට ගොස් සම්පූර්ණෙන්ම පුදා දෙන නිසයි. වසර ගණනක් පුරාවට අපේ මිනිසුන් රැකගෙන එන සිරිත් විරිත්, අපේ කම, මනුස්සකම් පිරුණු සාරධර්ම අපි ඉදිරියට ගෙනියන්න ඕනෙ. අපේ ඊලඟ පරම්පරාවන්ට අපේ සංස්කෘතියෙ අගය කියලා දෙන්නත් වටිනාම කාලය මේ උත්සව සමය නොවෙයිද? තායිලන්තය, කාම්බෝජය මෙන්ම බංගලාදේශය වගේ රටවලත් අප්‍රේල් 14 වෙනිදාට නව වසර සමරනවා. ඒ වගේම ඒ හැම රටක්ම බුදුදහමෙන් පෝෂණය වුණු රටවල් (මෙහි සඳහන් බංගලාදේශය වගේ රටවලින් වර්තමානයේ බුදුදහම වියැකී ගිහින් තිබුණත් ඒත් අතීතයේ බෞද්ධ රාජ්‍යයන්) මිස හින්දු පසුබිමක් එම චාරිත්‍ර වල අහලකටත් නොඑයි.

බොහෝ දෙනෙක් තුල පවතින තවත් මතයක් තමයි කෝපි කාලෙ හණමිටි අදහස් කරපින්නාගෙන, තාක්ෂණයෙන් දියුණු වර්තමානයේ ඉදිරියට යා නොහැකි බව. ඒත් ඉතින් අදටත් වඩා දියුණු තාක්ෂණයක් තිබුණෙ අපේ පැරැන්නන් ලඟ නොවේද? ලෝකෙ පැවැත්ම ගැන, විද්‍යාව ගැන වගේම වැඩූ ප්‍රඥාවෙන් සංසාර චක්‍රය නවතා නිර්වාණයට ලඟා වෙන්න තරම් තාක්ෂණය, රට වගේම හිතත් දියුණු කල පිරිසක් නොවේද ඔය කියන කෝපි කාලෙ හිටියෙ? එවන් පිරිසකගෙන් පැවතෙන අපිට, දියුණු වෙන ලෝකෙත් එක්ක ඉදිරියට යන්නත් බැරි හණමිටි අදහස් නිසා නොව, අපේ මුතුන් මිත්තන් සතුවූ දැනුම අප සතු නොවන නිසා බව වටහාගන්න අපේ ජාතියට කොතෙක් කලක් ගතවේවිද? ඒ දියුණු මුතුන් මිත්තො බොහොම කල්පනාවෙන් තේරුමක් ඇතුව ගොඩනගපු මේ නැකැත් ශාස්ත්‍ර, අවුරුදු චාරිත්‍ර ආදිය, අද අප කරපින්නාගෙන සිටින බටහිර දැනුමට ගෝචර නොවෙන පලියට එය මිත්‍යා දෘෂ්ඨිය යැයි හංවඩු ගසා බැහැර කළ යුතුද? අපේ පැරැන්නන්ගෙන් අපට ලැබුණු මේ දායාදයන් තමයි ලෝකය තුළ සිංහලයා කියන අනන්‍යතාවය ගොඩනගාගන්න අපට ඉවහල් වෙන්නෙ. අපේ අනන්‍යතාවය හරිහැටි නොදන්නාතාක් කල් අපිත් ආතක් පාතක් නැති ජාතියක් වගේ හැසිරේවි, කොහෙන්හරි ඇවිත් මේ ලංකාවෙ පදිංචි වෙලා කියල හිතාගෙන පිටදේශවලට ආවඩාවි. ටිකක් හිතන්න…

එතෙක්, ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

සිතුවම –  ආසිරි කොඩිතුවක්කු , මහාචාර්‍ය ජේ. බී දිසානායකයන්ගේ  “සූර්ය මංගල්‍යය” පොතෙන්.

ඉස්කෝලෙදි කොන්ද කඩන හැටි

2012 පෙබරවාරි 27 ප්‍රතිචාර 2ක්

මේ කියන්න හදන්නෙ පාසල් සිසුන් හැමදාම කරගහගෙන යන පොත් බෑග් එකේ බරට ඔවුන්ගේ කශේරුකාවට හානි වෙන්න පුළුවන් කියන කතාව නෙමෙයි. හැබැයි ආයෙත් මේ මතක් කරල දෙන්න යන්නෙ පරණ කතාවක්ම තමයි. මේක ඉතිහාසය පිළිබඳ ගැටළුවක්. පාසල් වල ඉතිහාසය අනිවාර්ය විෂයක් හැටියට ඉගැන්වෙන්නෙ නැහැ. උසස් පෙළට කලා අංශයෙන් ඉතිහාසය ඉගෙනගන්න වරම් තිබුණත් සිසුවා උසස් පෙළ පංතිවලට එද්දි කොන්ද කඩාගෙන ඉවරයි. හැබැයි දැන් නම් ලෑස්ති වෙන්නෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නෙයි කියලයි ආරංචිය.

ජේ. ආර්. උන්නැහේගෙ කාලෙ විෂය මාලාවෙන් ඉවත් වුණ ඉතිහාසය විෂය වෙනුවට දැන් උගන්වනවයි කියන්නෙ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියල විෂයක්. සමාජ අධ්‍යයනය කෙසේ වෙතත්, විෂය මාලාවෙ ඉතිහාසය හා භූගෝලයට අදාල පාඩම් නම් තියෙනවා. පණ්ඩුකාභය වැනි රජවරුන්ගේ චරිත ගැන හත අට පංතිවලදි යන්තමට කියාදීලා සාමාන්‍ය පෙළ කරන කාලෙදි (ළමයින්ට තමන්ගෙකම ගැන උගන්වන්න හොඳම වයසෙදි) උගන්වන්නෙ 1505න් මෙහා ඉතිහාසය. දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසින්ට රැවටුණ හැටි, ධර්මපාල රජු පෘතුග්‍රීසින්ට කෝට්ටෙ ලියලා දුන්න හැටි, ඩොනමෝර්, කොඩ්‍රින්ටන්, නෝර්ත් වැන්නන්ගෙ ආණ්ඩුක්‍රම සහ ඒ හරහා ලංකාව දියුණු වෙන හැටි ආදිය විතරක් සිසුන්ගෙ ඔළුවට දාලා බටහිරට ගැති වෙන්න ඕන තරමට සිසුන්ගෙ ආකල්ප අදහස් වෙනස් කරනවා. මොන කුණුගොඩක් උණත් බටහිරින් එනව නම් ඒක හරි කියලා පිළිගන්න තැනට අනාගත පරපුරේ මනස මේ විදිහට සකස් කරනවා.

දුටුගැමුණු, වළගම්බා, පළවෙනි රාජසිංහ, විජයබාහු ආදී රජවරුන්ගෙ චරිත වලින් එඩිතර කම, ජාත්‍යාලය, බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම ආදී පාඩම් උගත හැකිව තියෙද්දී විජයාගමනය, පඬුවස්දෙව් රජු සහ පසුකාලීනව රට ආක්‍රමණය කල ඉන්දීය ආක්‍රමණිකයන් ගැන පමණක් විශේෂයෙන් උගන්වා අපි ඉන්දියානුවන්ගෙන් පැවතෙන බව ඒත්තු ගන්වමින් ඉන්දියාවට ගැති පිරිසක් ඉස්කෝලවලදි නිර්මාණය කරනවා.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉදිරියෙදි ඇතැම් සිංහලයන්ගෙ කොන්ද නැමෙන්නෙ ඉස්කෝලෙදි උගන්නපුව නිසා කියල නිකමටවත් හිතුණද? හිතුවද? ආර්ය චක්‍රවර්ති, දකුණෙන් ආපු චන්ද්‍රගුප්ත, මතකයි…. ඒත් යාපනය ගලවාගෙන පස්වෙනි බුවනෙකබාහු නමින් රජවුන සපුමල් කුමාරයා ගැන දන්නෙ කීයෙන් කී දෙනාද? එළාර යුක්තිය වෙනුවෙන් එල්ලගෙන හිටපු ඝණ්ඨාරෙ එළදෙනක් ඇවිත් ගහපු කතාව ඔක්කොම මතකයි. නමුත් දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ බිසව කව්ද කියලා ඇහුවොත් දන්නෙ නෑලු. ඒ වුණත් කිරිබත් කන්න ගිහින් කාවන්තිස්ස එක්ක රණ්ඩුවුණ ටිකයි, පැනලා ගිහින් තාත්තට කාන්තා ඇඳුම් එවපු එකයි නම් කාටත් මතකයි නේද?

සුද්දා ඇවිත් කෝච්චි පාරවල් හදපු ටිකයි, ඒවා හදපු අවුරුදුයි, ආණ්ඩු ක්‍රම ටිකයි ඉස්කෝලෙදි කට පඩම් කරවනවා… සිංහලයගෙ ශ්‍රමය හූරගෙන, අපේ ස්වභාවික සම්පත් ටිකත් සිය රටට පටවලා පොහොසත් වෙච්ච එකයි, කෞතුක භාණ්ඩ, පුස්කොළ පොත් නැව් පිටින් ඒ රටවලට අරන් ගිහින් අපේ මුතුන් මිත්තන් අපිට ඉතිරි කරපු පාරම්පරික දැනුමත් අපෙන් උදුරගත්ත බවයි බොහෝ දෙනාගෙ සිහියට එන්නෙ නෑ. ඒවා සිහියෙ තියාගෙන වැඩකරන්න ඉඩ දෙන්නෙත් නෑ. ඉන්දියාවෙනුත් කරපු තරමක් කළේ අපේ රට ආක්‍රමණය කළ එකයි. අපිත් ඉන්දියාවෙන් ආපු විජයගෙන් පැවතෙනව නම්, ලංකාව ඉන්දියාවෙ යටත් විජිතයක් වෙන්නෙ ඒ කාළෙමයි, ඇරත් අපි ඔක්කොටම තියෙන්නෙ එකම සම්භවයක් නම් මොන එහෙකටද මේ තරමට අපේ රට ආක්‍රමණය කළේ? අපි පැවතෙන්නෙ විජය සමඟ ආ පිරිසෙන් නෙමෙයිවත්ද? නිවී හැනහිල්ලෙ හිතලා බලනකොට මෙතෙක් කල් නොහිතුණු ගොඩක් කරුණු ප්‍රත්‍යක්ෂ වේවි. ඒත් පාසල් සිසුවෙකුට නිවී හැනහිල්ලෙ හිතලා බලන්න කෝ විරාමයක්? අධ්‍යාපනය තරඟයක් බවට පත් කරලා අපේ තරුණ පරපුර බුද්ධිය මෙහෙයවන්න ඕන පරාසය සීමා කරවලා කියලා නිකමටවත් හිතුණද අපි ඉස්කෝලෙ යන කාලෙදි?

ඒ අල්ල පනල්ලෙ නමට හරි තිබුණ ඉතිහාස විෂයත් ඔන්න ඉවත් කරන්න යනවයි කියන්නෙ. මෙච්චර කල් පොතපතින් අපිව පරගැතියන් කරන්න දරපු වෙර නවත්වලා දැන් ඉතිහාසය කියන වචනයත් මතු පරම්පරා වලින් අකා මකා දාන්නයි මේ සූදානම. ඒකයි අපි කලින් කිව්වෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නයි මේ ලෑස්තිය කියලා. ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක් නොදන්න සිංහල පරපුරක් නිර්මාණය කරන්න මේ තරම් වලි කන්නෙ ඇයි? අපේ ඉතිහාසයේ අමතක කළ යුතු භයානක දේවල් තියෙනවද? සිංහල බෞද්ධ අපිට නම් නෑ. අපේ ඉතිහාසය පුරාවටම තියෙන්නෙ බුදු දහම රැකගන්න සටන් කරපු රජවරු ගැන. ගමක් නගරයක් පාසා මහා වෙහෙර විහාර ගොඩනැගූ සිංහල බෞද්ධයො ගැන, චීවරෙන් ඉවත්වෙලා හමුදාවට බැඳිලා, ලක්මව දිනවලා අහවර උනාට පස්සෙ නිර්වාණය සොයා ගිය ථෙරපුත්තාභය වැනි රහතන් වහන්සේලා ගැන, රට වෙනුවෙන් ජීවිතයම කැපකළ වීරයො ගැන. මෙන්න මේ දැනුම අපේ පොඩිඋන්ට දුන්නොත් අපේ රට විනාශ කරන්න, ථෙරවාදී බුදුදහම ලංකාවෙන් අතුගාලා දාන්න බලා ඉන්න අයට යන එන මං නැතිවෙනවා. ඒත් ඉතින් මේ සේරම අපේ ඉතිහාසය දරාගන්න බැරි අයගෙ වැඩ බව හිතන්න අපිට වෙලාවක් ලැබෙනවද මේ ජීවන හරඹය අස්සෙ?

ඉතිහාසය අමතක කළොත්, මේ රටයි, බුදුදහමයි රැකගන්න අපේ වරිගෙ ජීවිත පූජා කළ හැටි අපේ දරුවන්ට අමතක වෙයි. මේ විදිහට පරම්පරා කිහිපයක සිසුන්ගෙ කොන්ද කැඩුවට පස්සෙ ඒ අයගෙන් පැවතෙන උන් කොන්දක් නැතුවම ඉපදෙයි. අන්න එදාට ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක්, උරුමයක් ගැන හැඟීමක් දැනීමක් නැති අපේ දරුවො කාගෙවත් රූකඩ වෙලා නටාවි. මේ ඇරඹෙන්නෙ අන්න එහෙම යුගයක් නම්… මෙච්චර කල් ගෙයි මුල්ලෙ තිබ්බ අසිපත් වල කොහොල්ලෑ සුද්ධ කරලා ලෑස්තිවෙයල්ලා කියල තමයි කියන්න තියෙන්නෙ. දරුවෙක්ගෙ මුල් ගුරුවරයො වෙන්නෙ දෙමාපියන්. ඉස්කෝලෙන් උගන්නන්නෙ නැති අපේ කම, අපේ වග අපි අපේ දරුවන්ට උගන්නන්න ලෑස්ති වෙමු. බැරි නෑ… පුළුවන්. ඉස්කෝලෙන් මඟහරවපු පාඩම් ඉගෙනගන්න අවශ්‍ය පොත පත, දැනුම අදටත් හිඟ නෑ. ඕන කෙනෙකුට ඉගෙනගන්න ඇහැකි මාර්ග තියෙනවා, ධර්ම ග්‍රන්ථ, ශාසන ඉතිහාසය අදටත් පන්සල ඇසුරෙන් ඉගෙනගන්න වරම් තියෙනවා. කැපවීමයි වෙලාවයි හොයාගෙන අපි මේ කටයුත්ත නොකළොත් රටටත්, ශාසනයටත්, අනාගත පරපුරටත් අපෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්.

මෛත්‍රී සිත

මහණෙනි, 

මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.

“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”

“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”

මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.

මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.

උපුටා ගැනීම: පොරවගම ඥාණසිරි තෙරුන් රචිත, බුදුහාමුදුරුවන්ගේ උපමා කතා 2

කැප්පෙටිපොළ සැමරුම

වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් අනන්නවත්, කඳුළු සලන්නවත් නෙමෙයි…  සිංහලේ පවතින තුරා ඔවුන්ව, ඔවුන් කළ මෙහෙවර මතක තියාගන්න.

එකක් නෑර හැමදෙයක්ම සිහියෙ තියාගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපේ විරුවො රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් වැදපු හැටි, ජීවිත පූජා කළ හැටි, විතරක් නෙමෙයි… කැප්පෙටිපොල නිළමෙ තුමාව ඉංග්‍රීසින්ට පාවා දුන්න හැටි සිහි වෙනකොට, අද ඉන්න අපේ සමහරුන්ගෙ කෙරුවාව ගැන අනේ අපොයි කියලා හිතෙනවා. රට වෙනුවෙන් දිවි දුන් පිනෙන් නිවන් දකිනාතෙක් අපේ වරිගෙ රැකගන්න මේ පින්බිමේම උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ජිනදාස, සරල බව උතුම් කොටගත් සැබෑ මිනිසෙකුගේ කතාව ….

2011 ඔක්තෝබර් 27 ප්‍රතිචාර 4ක්

අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව, තවත් අවුරුදු කීපයක් දුක්විඳ, බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි. මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.

නමුත් කිසිවෙකුටත් බරක් නොවී තමන්ගේ ශක්තියෙන් වසර 111 පුරා ජීවත් වූ මිනිසෙකු ගැන ඔබ දන්නවාද? කාත් කවුරුවත් නැතිව මෙපමණ කලක් කෙසේ ජීවත් වනවාද යන්න නම් හිතා ගැනීමට අපහසු කරුණකි. අඩුම තරමේ රජයෙන් හෝ කිසිම ආධාරයක් නොලබා මෙලෙස ජීවත් වීම යනු අද කාලයේ හැටියට පුදුමයට කරුණකි.

අසහාය කාය ශක්තියකට හිමිකම් කියූ මොහු, අප කවුරුත් නම කිවූ සැණින් දන්නා “යකඩයා” නමින් හැඳින් වූ සාංචිආරච්චිගේ ජිනදාසයි. කිසිදා නොසැලුණු මේ අසහාය මිනිසා පසුගිය දිනෙක මෙලොවින් සමුගත් පුවත අසන්නට ලැබුණි. රජයේ වියදමින් අවසන්  කටයුතු කළ බවත් දැන ගන්නට ලැබුණි.

මුළු රටක් දැන සිටි මේ මිනිසා කිසි දිනක අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ. තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම සපයා ගනිමින් ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ මිනිසෙකි. කිසිවක් තමා වෙනුවෙන් ඉතිරි කර නැති මොහු, තමාට ලැබෙන පරිත්‍යාගයන්ද ‍දුප්පතුන්ට පරිත්‍යාග කරමින් මහ මඟ ජීවත් විය. තමන්ට කියා නිවසක් හෝ කිසිම දෙයක් නොමැති මේ අපූරු පුද්ගලයා සිය ප්‍රථම ආදරය වෙනුවෙන් ජීවිත කාලයම කැප කර ඇති ආතර, තම ආදරවන්තිය කාපිරින් විසින් මරා දැමීමෙන් අනතුරුව තනිව ජීවත් වීමට තීරණය කර ඇත. තමාට යකඩයා යන නමින් ඇමතීම පිළිබඳ ඉතා නිහතමානි ආඩම්බර කමක් හිත රඳවාගෙන සිටි මොහු තමන්ගේ සැබෑ නම වන ජිනදාස යන නමට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ බුදු හිමියන්ට සේවය කරන අයෙකු ලෙස හැඳින්වීමටයි.

වරෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාදුන් රුපියල් 10,000 ක මුදල ජනාධිපති මන්දිරයෙන් පිටව යද්දීම ඒ අසල සිටි යාචකයන්ට බෙදා දී තිබුණි. “ ඉතින් දහදාහ එතන බෙදුවා හිඟන්නොන්ට. ඉතිං මට පොලිසියෙන් කිව්වා මොන පිස්සු වැඩක්ද ඕයි මේ කලේ?  මම කිව්වා මම තනි මිනිහෙක් කනවට වඩා ඔය සිය ගාණක් දුප්පත්තු කන එක කොයි තරම් පිනක්ද කියලා ඇහුවා. ඉතිං කොල්ලෝ ටික සේරම පිරිලා. ඉතිං දුන්නා. ඊට පස්සේ මට පිස්සු කියලා ඔක්කොම හිතා ගත්තා. පිස්සුවක් නෙමෙයි ඒක මගේ කරුණාව. ඒක ජනාධිපතිතුමාටත් පිං. එතුමා දීපු සල්ලිනේ. එතුමාට පින් අයිති වෙන්න ඕනේ.”  තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිව ඔහේ ඇවිද ඇවිද හිටපු සියවසක් ඉක්මවූ මේ මිනිසාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද.

කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මොහු මගෙන් එක් ඉල්ලීමක් පමණක් කළේය. “මහත්තයා මේ විස්තර පත්තරේට ලියන්න. අපේ අනාගත ළමයි මේවා දැන ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම මේ විදියට නිරෝගීව ජීවත් වෙන්නේ මස් මාංශ නොකාපු නිසා. ඒ වගේම අරක්කු සිගරැට් නොබීපු නිසා” මේ සාකච්ජාව  අන්තර්ජාලයට එක් කරන බව පැවසුවත් එය ඔහුට අවබෝධ කර දීමට නම් මට නොහැකි විය. අවාසනාවට ඔහු මිය යන තෙක්ම මෙම සාකච්ජාව පුවත් පතකට ලිවීමට මට අවස්ථාවක් නොලැබුණි.

මොහුට යකඩයා යන නම පට බැඳුණු ආකාරය ඉතාම රසවත් කතාවකි. මේ ඔහුගේම වචන වලින්… “ඉතිං අපි රේල් පාරේ යනකොට කංකානම යන්න දෙන්න බෑ කිව්වා. ඇයි කියලා අහුවා. අපට තාර පාරක් නෑනේ රේල් පාරෙනේ යන්න තියෙන්නේ කිව්වා. නෑ ඒ වුණාට යන්න දෙන්නේ නෑ කිව්වා. තමුසේ කොහොමද රජ්ජු‍රුවෝ වෙන්න හදනවාද කියලා ඌ ගැහුවා අර රේල් පීල්ල මනින ලෙවෙල් එකෙන් මට එකක්. ගහපුවාම යකඩ කූර අල්ලාගෙන ඇදලා ගත්තා. සීයා උගන්නපු චීනඩි සාස්තරෙන් දුන්නා බීජ කෝෂය, තැලිවල, බොටුව පහර තුන ගැහුවා දිව එළියට දාගෙන වැටුනා. මුගේ ඔළුව පලන්න නෑනේ පොල්ලක් කියලා හිටන් බලපුවාම අර අඩි 10 රේල් පීලි ගොඩක් තියෙනවා. ඉතිං මම ඇල්ලුවා එකක්. පුළුන් රොද වගේ ආවා. ආවාම අර රේල් පාර අස්සෙන දාලා නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕනේ කියලා. පස්සේ බෙල්ලට දාලා හිර කළා. පස්සේ උසාවි ගිහින් මට කියලා ගැලෙව්වේ. නඩුකාරයා ඇහුවා තව යකඩ පුත්තු ගෙදර නැද්ද කියලා. ඊට පස්සේ උසාවියෙන් එනකොට නඩුකාරයා කිව්වා ඔය ශක්තිය හොඳට යොදවන්න කිව්වා. නරකට යොදවන්න එපා කියලා. මම කිව්වා නිකරුනේ අලියෙක් ගැහුවොත් මම අලියටත් ගහනවා කිව්වා. එලියට එනකොට ආන් යකඩයා යනවා කියලා කට්ටිය කිව්වා.”

මේ සිදුවීමෙන් පසුව ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විදේශ රටවලින් පවා මොහුව රැගෙන යන්නට පැමිණි බවත් නමුත් ලංකාවේ සිටීමට සහ රටට සේවය කිරීමේ කැමැත්ත නිසා එසේ නොගිය බව මා සමග පැවසීය.

තම ජීවිත කථාව චිත්‍රපටයකට නැඟිම පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් සිටියත්, ගාමිණී ෆොන්සේකා මහතා යකඩයාගේ චරිතය රඟපෑ ආකාරය සම්පූර්ණයෙන්ම තම චරිතයට නිගා කිරීමක් ලෙස හෙලා දකියි. කිසිදිනෙක මත්පැන් සිගරැට් තොල නොගෑ මේ සැබෑ මිනිසා තම ජීවිත කතා පටයේදී මත්ලෝලියෙකු සේ හැඳින්වීමට එහි අධ්‍යක්ෂ මරවනාගොඩ සහ ගාමිණි ෆොන්සේකා ගත් උත්සහාය ගැන ඔහුගේ වදනින්… “ මම කීවා ගාමිණියට එන්න කියලා වත්තලට ගෙනාවා. මං අරක්කු බොනවා මස් මාලු කනවා දුම්බොනවා  දැකලා තියෙනවාද යකෝ කියලා ඇහුවා මං. පර බල්ලා…. ඒක මං පුරුද්දක් වශයෙන් කරන දෙයක් කියලා මගෙන් සමාව ගත්තා” මේ ආකාරයට එදා සිටම මේ මිනිසා අසාධාරණයට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන්ද තමා කිසිම මුදලක් ලබා නොගත් බව පැවසුවේ ඉතාම උජාරුවෙනි.

සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා මොහු ගතින් වයසට ගියද සිතින් තම තරුණ කල තිබූ ජවය මත ජීවත් වූ අයෙකි. ඔහුගේ අසාහාය කාය ශක්තිය පිළිබඳ මා විමසූ විට පැවසුවේ ඕනෙ වෙලාවට ශක්තිය තමාට ලැබෙන බවයි. මොහුගේ කායික ශක්තියේ හා මානසික ශක්තියේ නොගැලපීම අවසන් කාලයේදී මානසික රෝහලේගතකරන්නට හේතුවක් වන්ට ඇතැයි මට සිතේ. සිය වසකටත් වඩා වැඩි කලත් ජීවත් වූ මොහුගේ පෙනුම අවුරුදු 70 පමණ අයෙකුගේ වන අතර කටහඬද ඉතාම තියුණුය. සිය ජීවිතයේ අවසන් දශක කීපය ඉතා ධාර්මිකව ගෙවන්නට උත්සහා ගත් බවක පෙනෙන්නට තිබුණි. යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි ඉතා තදින් විශ්වාස කළ මොහු  නිතරම යමක් සඟාවාගෙන ආරක්ෂා කරන අයුරක් දිස්විය. තමන් සතුව තිබූ සියල්ල අන් අයට බෙදා දුන් ජිනදාසට ඉතිරිව තිබූ යකඩ යෂ්ඨියත් ත්‍රිකුණාමල රෝහලේදී මීට වසර ගණනාවකට කලින් කිසියම් කෙනෙකු පැහැර ගත් බව පැවසුවත්, ඔහුට එය ගැන එතරම් තැකීමක් තිබුණේ නැත.

සිය තරුණ කාලයේදී සිදුකළ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු අවස්ථාවක පසුතැවීමක් ඔහුට තිබුණේ නැත. බලාපොරොත්තුවක් ද තිබුණේ නැත. නමුත් නිදහස් තැනෙක සැඳෑ සමය ගත කිරීමේ ආශාවක් නම් හිතේ තිබුණු බව පැහැදිලිය. හැම විටම තමන් නිවැරදි දේ කළ බව ඔහුගේ විශ්වාසය විය. තමන්ට කාත් කවුරුවත් නොමැති බව පැහැදිලිව දැන සිටි ජිනදාස පිලිබඳව මුළු ලංකාවම දැන සිටියත්, ඔහු කිසිවෙකුගෙන් කිසිවක්ම ඉල්ලා සිටියේද නැත. සිය ජීවිතයේ අවසන් කාලය මොහුට මානසික රෝහලක ගත කරන්නට සිදුවුණේ මොහු මානසික රෝගියෙක් වූ නිසා නොවේ. තමන්ගේ කියා කිසිවෙකු නොමැතිවීමත්, ඔහු තුළ තිබූ අනුන්ට අවනත නොවන ගතිය නිසාත්, කකුලේ දිගුකලක් පැවති තුවාලය නිසාත් මානසික රෝහල ඔහුට තම දිවියේ අවසාන නවාතැන්පළ බවට පත්විය. ඔහුට  ලංකාවේ රොබින් හුඩ් යැයි කීවත් රොබින්හුඩ්ට ලැබුණු පිලිගැනීම පසුකාලයේදී ඔහුට ලැබී තිබුණේ නැත. බලාපොරොත්තු වූයේද නැත. එසේ බලාපොරොත්තුවක් නොමැතිව අනුන්ට හැකි පමණින් උදව් කළ ඒ අසාමාන්‍ය ශක්තිමත්  මිනිසාට අපි නිවන් සුව පතමු.

යකඩයා සමග 2010 දි කරන ලද සාකච්චාවෙන් කොටසක්…