Archive

Posts Tagged ‘පොසොන් පොහොය’

..:: පොසොන් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

දිගු විරාමයකින් අනතුරුව මා මෙවර ලිපියෙන් ඉදිරිපත් කරනුයේ “පොසොන් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම හා අවස්ථා” යි. මුළුමහත් ශ්‍රී ලංකා වාසී ජනයා හට ඉතාමත් වැදගත් ආගමික හා සංස්කෘතික දිනයක් ලෙස මෙම දිනය හැදින් විය හැක.

  • අප මුළු මහත් මාතෘ භූමියම පැහැදිලි අවබෝධයකින් යුතුව බුදු දහම වැළදගත් දිනය ලෙස අපට මෙම  “පොසොන්” පුන් පොහොය දිනය හැදින්විය හැක.  හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි “දේවානම් පියතිස්ස” රජු හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම උතුම් පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි. මෙහි වටිනා කම පිළිබදව සැලකුවහොත් එය “දම්සක් පැවතුම්” සුත්‍රය තරමටම වටින්නේය. ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

  • චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි.
  • මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන්  “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා  සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා  ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි.
  • තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,  ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු සුදුවූ ආගමික හා සංස්කෘතික විපර්යාස පිළිබදව වෙනමම ලිපියකින් කථා කලයුතු තරමටම  කරුණු කාරණා ඇත. එහෙයි අප එම ලිපිය “දුටුගැමුණු” බළකායේ සොයුරු සොයුරියන් සමග එකතුව පාඨක ඔබට ඉතා වටිනා දැනුම් සම්භාරයක් අඩංගු ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සිදුවිය යුතු සංශෝධනයන් වෙතොත් ඒ පිළිබදව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළදා සමිදු පිහිටයි !!! අයියනායක දෙවියන්ගේ ආරක්ෂාවයි !!!

Advertisements