Archive

Posts Tagged ‘පොහෝ දින’

..:: නිකිණි පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

නිකිණි පුන් පොහොය දිනය බෞද්ධ අප කාටත් කිහිප ආකාරයකින් වැදගත් වේ.  අප බුද්ධ ශාසනයේ, ශාසනික ප්‍රතිපත්තිවලට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට “වස්” එළඹීමට දින දෙකක් ඇත. එනම් “පෙර වස් හා පසු වස්” යනුවෙනි. මෙයින් පසු වස් එළඹෙනුයේ නිකිණි පොහොයටයි.

  • කොසොල් නුවර “උදේනි” නම් වැසියකු වස් කල කළ ඇරයුමකට භික්ෂූන් නොවැඩිය වග රජගහ නුවර වැඩසිටි අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේට සැළවිය. භික්ෂූන් වහන්සේ නමක් වස් එළඹ සිටියද සතියක් ඇතුලත ආපසු පැමිණෙන අදිටනින් වස් සීමාවෙන් පිටතට යා හැකි බවට සැළෙන “සත්තා හකරණය” නම් වූ පනත අප බුදු පියාණන් විසින් දේශනා කරන ලද්දේ මෙම නිකිණි පොහොය දිනකදීය.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.
  • මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.
  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය තැනීම ඇරඹුනේද නිකිණි පොහෝ දිනකයි.

මෙලෙස නිකිණි පොහොය දින සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස යහපත පිණිස සිදුවූ සිදුවීම් මෙසේය. මෙම ලිපියෙහි යම් වැරදි අඩුපාඩු වෙතොත් ඒ පිළිබදව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.
(සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ)

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

Advertisements

වසර 125 සපිරුන බෞද්ධ කොඩිය

2010 අප්‍රේල් 28 ප්‍රතිචාර 5ක්


ක්‍රි.ව 2010 අප්‍රේල් මස 28 වෙසක් පුරපසළොස්වක පෝය දිනය වන අද දිනට බෞද්ධ කොඩියට වසර 125 සපිරේ. ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ  1885 අප්‍රේල් මස 28 වන දිනය.


මෙම කොඩිය, 1884 ජනවාරි  28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.


එම දස පුද්ගල කමුටුවේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති), පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා), විලියම් ද ආබෲ, චාර්ලිස් ඒ ද සිල්වා, පීටර් ද ආබෲ, එච්.විලියම් ප්‍රනාන්දු, එන්.එස්.ප්‍රනාන්දු සහ කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.

තවදුරටත් කියවන්න…

..:: බක් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

අද දින මා ලිපියෙහි මතෘකාව කරගනු ලබන්නේ “බක් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” යන්නයි. මෙම බක් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකික අප කාටත් වැදගත් උතුම් පොහොය දිනයකි. අප ලොව්තුරා බුදු පියාණන් විසින් කරුණා ගුණයෙන් සාමය උදාකල උතුම් දිනයක් ලෙසටද මෙම පොහොය දිනය හැදින්විය හැක.

  • “මහෝදර” යනු යොදුන් පන්සියයක් වූ නාග රාජ්‍යයක අධිපතිය. ඔහු ඉතා බලසම්පන්න වූ අතර ඔහුගේ බෑන නුවන් එනම් නැගණියගේ පුත්‍ර රත්නය වූයේ “චූලෝදර”ය. “කන්වඩම්” පර්වතයේ නා රජු චූලොදරගේ පියා විය. මහෝදර නා රජුගේ පියාණන් හට ඉතා අගනා මැණික් ඔබ්බවූ පුටුවක් විය. ඔහු මිය යනවිට එම මැණික් ඔබ්බවූ පුටුව තම පුතුවූ මහෝදර හට නොදී තම දුව(මහෝදර රජුගේ නැඟනිය වූ චුලෝදරගේ මෑණියන්) හට එය පැවරීය. මෙය නාරජවරු දෙදෙනාගේ විරසකයට හේතු විය. මෙම විරසකය වර්ධනය වී කෝළාහලයකටත්, පසුව එය විශාල යුද්ධයක් දක්වාද වර්ධනය විය. සිදුවන්නට යන මහත් ව්‍යවසනය දිවැසින් දුටු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “දෙව්රම් වෙහෙර” දොරටුව අසල වූ කිරිපළු රුක අරක්ගෙන සිටි “සුමිද්ධ සුමන” දිව්‍ය පුත්‍රයාද කැදවාගෙන ලක්දිව නාගදීපයට වැඩම කලෝය. ගමනාරම්භයේදී සුමිද්ධ සුමන දිව්‍ය රාජ්‍යයා තමා අරක්ගෙන සිටි කිරිපළු රුක උගුල්ලා එය ඡත්‍රයක් සේ බුදු පියාණන් වෙත අල්ලාගෙන තමා පෙර ජාතියකදී විසූ නාග දීපයට පැමිණියේය. එසේ වැඩම කල උන් වහන්සේ යුධ භූමියේ සිටි නාග සේනාව වෙත අහසේ වැඩ හිදිමින් ඝණාදුරක් මවා පේවෝය. ඉන් බියට පත් නාග සේනාවෝ උන් වහන්සේට පසඟ පිහිටුවා වැද නමස්කාර කළෝය. ඉන් පසු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උඬගුකමේ ආදීනව පෙන්වාදෙන හා සාමයේ වැදගත්කම කියැවෙන “කකොලුක, ලටුකික, වට්ටක හා එන්දන” යන ජාතක කථා අළෙලා ධර්මය දේශනා කලේය (පන්සිය පනස් ජාතක පොතෙහි මෙම ජාතක කථා පිළිවෙලින් 269, 352, 388 හා 467 යන ජාතකයන්හී දැක්වේ). ඉන් පසු නාග රජ දෙපල ඇතුලු අනෙකුත් පිරිවර බුදුන් සරණෙහි යමින් මැණික් ඔබ්බවූ පුටුව බුදු පියාණන් හට පූජා කරන ලදි. අවසානයේ දී නා රජුන් බුදු පියාණන් සිහිවනු වස් උන්වහන්සේගේ පූජා වස්තුවක් ඉල්ලූ විට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උන් වහන්සේට පූජා කල මැණික් පුටුව හා කිරිපළු රුක පූජා වස්තූන් ලෙස නා රජ දෙපලට පවරා දෙන ලදි. ඉන් පසු එම මැණික් පුටුව නිදන් කොට නාගදීපයේ ස්තූපයක් කරවූ අතර එය “රාජායතන” ස්තූපය ලෙස හැදින්වීය. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයත් (බුද්ධත්වයෙන් පස් වසරකට පසු), නා රජුන් දමනයත් සිදුවූයේ මෙම උතුම් බක් පුන් පොහොය දින්යේදීය.

  • තවද මෙම දිනයේදීම සිදුවූ තවත් වැදගත් සුදුවීම වන්නෙ මහෝදර නා රජුගේ සහයට පැමිණි ඔහුගේ මයිලනුවන් වන “මණි අක්ඛිත” නා රජු විසින් බුදු පියාණන් හට තම අණසක පැතිරුනු “කැළණිය” වෙත වඩින මෙන් ආරාධනා කලේද මෙම උතුම් පුන් පොහොය දිනයේදීය.

මෙම උතුම් බක් පොහොය දිනයේදී සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා මෙසේ විය. මා අතින් ගිලිහුනු යම්කරණුක් හෝ වැරදි අඩුපාඩුවක් වෙතොත් ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන කුසලින් පිරි නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.

සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

..:: දුරුතු පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

මෙවර ලිපි පෙලෙන් මා පොහොය දිනයන් වල සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා පිළිබදව ඔබ සැමව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා මා පිලිවෙලින් දුරුතු පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා පිළිබදව මෙම ලිපියෙන් ඔබ සැමව දැනුවත් කරන්නමි.


  • මෙම පුන් පොහොය දිනය ශ්‍රී ලංකා වාසී අපට විශේෂ පොහෝ දිනයක් වේ. ඒ මන්ද අප මහ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කිරීම මෙම පොහොය දිනයේ සිදු වූ බැවිනි.

  • යක්ෂ හා නාග ගෝත්‍රිකයින්ගේ ආරවුල සමථකයට පත් කිරීම හා යක්ෂ ගෝත්‍රිකයන් ගිරි දිවයිනට යැවීම.

  • සුමන සමන් දෙවියන් හට කේෂධාතු පිළිගැන්වීම.

  • තුන් බෑ ජටිලයන් ප්‍රමුඛකොට ගෙන දහසක් ජටිලයන් හට “අනන්ත ලක්ඛන සූත්‍රය” දේශනා කිරීම. ඉන් පසු ඔවුන් සියලුදෙනා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වීම.

  • බිම්බිසාර රජතුමාගේ ආරාධනය පිළිගෙන උරුවෙල් දනව්වේ සිට රජගහ නුවර දක්වා දහසක් වූ ජටිල මහ රහතන් වහන්සේලා සමඟ වැඩම කිරීම.

  • බිම්බිසාර රජතුමා තුළ  ඇතිවූ සැකය දුරු කිරීමට උරුවෙල් කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙළහර පෑම.

  • ඉන් පසුව බිම්බිසාර රජු ඇතිවූ සැකය දුරුකර ගත් පසු බුදුරජාණන් වහන්සේ රජතුමා ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කල අතර, ඉන් පසුව දොළොස් නනූනයන් සමඟ පිරිස තිසරණයෙහි පිහිටා රජු බුදු දහම පිළිගැනීම.

  • ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා නියම කිරීම යන සිදුවීම් හා අවස්ථා දුරුතු පොහොය දිනයේ දී සිදුවිය.

  • එසේම සිරිසඟබෝ කුමරුගේ මාමණ්ඩිය වූ නන්ද හාමුදුරුවන් කුමරුට අවවාද අනුශාසන ලබා දී රාජ්‍යයට සුදුස්සෙකු කිරීම (එය සිදු කරන ලද්දේ මහියංගන චෛත්‍ය අසල පිහිටි ශ්‍රී මහා බෝධිය අභියසදීය).

මා අතින් මගහැරුනු තව කරුණු කාරණා වෙතොත් ඒ පිළිබදව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අන්කුත් පොහොය දිනයන් හී සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා සමඟින් නැවත හමු වෙමු.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී දළඳා සමිදු පිහිටයි !