Archive

Posts Tagged ‘පෝය දින’

..:: උඳුවප් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

2010 දෙසැම්බර් 22 ප්‍රතිචාර 3ක්

උඳුවප් පොහොයත් සමග තවත් වසරක අවසානය ලඟාවේ. මෙම උතුම් පොහොය දිනයේදීද පෙර පොහොය දිනයන් මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවිය.

  • ශාසනික වශයෙන් උඳුවප් පොහොය දින සිංහල බෞද්ධයන් හට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට භික්ෂුණී ශාසනය පිහිටවීමද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ දඹදිව සිට මෙරටට වැඩමවීම මෙම පොහොය දිනයත් සමඟ කෙරුන ඓතිහාසික හා ශාසනික සිදුවීම්ය. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල නැවත බුදු සසුන පිහිටුවීමට මුල් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය ඇතුලුව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සිදුවිය.

  • සම්බුද්ධ ශාසනික වශයෙන් මෙන්ම මෙරට කෘෂිකාර්මික වශයෙන්ද මෙම උඳුවප් මාසය  මෙරට ජනතාවට වැදගත් වේ. ඒ කෙසේද යත් මෝසම් වැසි වලින් කෙත්වතු සාරවත් වී අලුත් හේන් වල බව භෝග සිටුවන්නේද, මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය. විශේෂයෙන්ම උඳු වපුරන මෙම මාසය උඳුවප් මාසය ලෙස හැදින්වීමෙන්ම එම වැදගත් කම මනාව පිළිඹිබු වේ.

මෙම ලිපියත් සමඟම “පෝ දා තතු” ලිපි පෙල අවසන්වේ. මෙතෙක් මාත් සමඟ මෙම කර්තව්‍යට අත හිත දුන්, වැරදි පෙන්වා එය නිවැරදි කරගැනීමට උදව් කල සියළු දෙනා හටම උතුම් වූ නිවනින්ම සැනසීම උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. එසේම මෙම ලිපියේද යම් කිසි වැරදි අඩුපාඩුවක් වෙතොත් එයද නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! අයියනායක දෙවි පිහිටයි !!!

Advertisements

..:: ඉල් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

පෙර පොහොය දිනයන් මෙන්ම ඉල් පුන් පොහොය දිනයේ දීද සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල බෞද්ධ අපට වැදගත් වන කරුණු රාශියක් සිදුවී ඇත. ඒවා පහත පරිදිය,

  • සම්බුද්ධ ශාසනයේ හි ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවියේ මෙම ඉල්  පුන් පොහොය දිනයේදීය. මෙම ධර්ම දූත හැටනමේ මූලිකත්වය දරා ඇත්තේ “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” මහ රහතන් වහන්සේ ඇතුළු “පස්වග” ශ්‍රාවකයන්ය.

  • “තුන් බෑ ජටිලයන්” දමනය කිරීම සඳහා අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “උරුවෙල් දනව්ව” කරා වැඩමවීම.

  • අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අගසව් “සැරියුත්” මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම.

  • “පසුවස්” පවාරණය හා කඨින චීවරය පූජා කළහැකි අවසන් දිනය යන ශාසනික කරුණු කාරනා හේතු කොටගෙන මෙම ඉල් පොහොය දිනය මුළු මහත් ලෝක වාසී බෞද්ධයින් හට වැදගත් වේ.

  • එසේම මෙම උතුම් පොහොය දිනය තුල සියළුම බෞද්ධයින් හට වැදගත් වන තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එනම් මතු බුදුවන “මෛත්‍රී” බෝධි සත්වයන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වෙත විත් පැවදි වූයේ ඉල් පුර පසලොස්වක පොහොය දිනයකදීය. මෙසේ පැවදිවූ මෙම තෙරණුවන් උපසම්පදා ලැබ බුද්ධ ධර්මය මැනවින් හදාරා විශාල භික්ෂූ පිරිසකට අචාර්ය වරයා වූහ. වස් කාලයක් තුල වස් වැසූ මෙම තෙරණුවන් වහන්සේ වස් අවසන තම දායකයන් ගෙන් ඉතාමත් වටිනා උසස් තත්වයකින් යුත් වස්ත්‍ර යුගලයක් වස් වාසික චීවරය ලෙස ලැබූහ. ඉන් පසු මෙම තෙරුන් එම චීවර දෙකෙන් එකක් ගෙන බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ගඳ කිලියෙහි වියනක් කොට පූජා කළහ. අනෙක් චීවරය ගෙන තීරු වශයෙන් ඉරා මහ වියන් කෙලවර වටකොට එයද බුදුපියාණන් වහන්සේට පූජා කළහ. මහා සංඝයා වහන්සේ මැද සිටි මහ තෙරුන් ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහණ, ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නේය ” යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතුනට නියත විවරන ලබාදුන් සේක.

එසේ නම් ඉල් පුන් පසලොස්වක පොහොයදින දී බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් මෙලෙසය. මෙහි යම් යම් අඩුපාඩු, වැරදීම් වෙතොත් එවා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

වසර 125 සපිරුන බෞද්ධ කොඩිය

2010 අප්‍රේල් 28 ප්‍රතිචාර 5ක්


ක්‍රි.ව 2010 අප්‍රේල් මස 28 වෙසක් පුරපසළොස්වක පෝය දිනය වන අද දිනට බෞද්ධ කොඩියට වසර 125 සපිරේ. ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ  1885 අප්‍රේල් මස 28 වන දිනය.


මෙම කොඩිය, 1884 ජනවාරි  28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.


එම දස පුද්ගල කමුටුවේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති), පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා), විලියම් ද ආබෲ, චාර්ලිස් ඒ ද සිල්වා, පීටර් ද ආබෲ, එච්.විලියම් ප්‍රනාන්දු, එන්.එස්.ප්‍රනාන්දු සහ කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.

තවදුරටත් කියවන්න…

..:: වෙසක් පුන් ප්හොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ.  උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට  අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ.

චිනයෙ චන්ද්‍ර දිනදර්ශනය අනුව වෙසක් පොහොය යෙදෙන්නේ එහි හතරවන මාසයෙ අටවෙනි දිනය දායි. අපරදිග ජොර්ජියානු දින දර්ශනය අනුව අප්‍රේල් සහ මැයි මාසයන්හි වෙසක් දිනය යෙදෙන නමුත් එය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වේ.

තායි බුදුදහමේ ධම්මයුතිකා සහ මහායානික පාර්ශව වර්ෂ 2009 සඳහා වෙසක් දිනය සමරනු ලැබුවේ මැයි 08 වනදායි එදින ශ්‍රි ලංකවෙද වෙසක් දිනය සමරනු ලැබිය.මැයි 09 වන දින වර්ෂ 2009 සඳහා සින්ගප්පුරුවේ වෙසක් දිනය යෙදී තිබුණි.

  • සිදුහත් බෝසතානගේ උපතත්, ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුදු වීම හා පිරිණිවන් පෑමත් යන උතුම් තෙමඟුල සිදුවූයේ මෙම වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදීය. ලෝ වාසී බහුතර බෞද්ධ ජනතාව වෙසක් පොහොය දිනයේ දී කටයුතු කරන්නේ මෙම උතුම් තෙමඟුල මුල් කොටගෙනය.

  • ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් ලෙසකින් මෙම උතුම් පොහොය දිනය වැදගත් වේ.  ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ “කැළණියට” වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම “සුමන සමන්” දිව්‍යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන “සමනල” කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි.

    • තවද “විජය” කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, “දෙවන පෑ තිස්” රජුට “ධර්මාශෝක” රජු විසින් “යුව රජ” ලෙසට  දෙවන වරට අභිෂේක ලබා දීම හා “දුටුගැමුණු” රජතුමා “රුවන්වැලි” මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

    මෙම වෙසක් පුන් පොහොය දිනය ලෝක බුද්ධ ශාසනයේ ඉතා වැදගත් වූ පොහොය දිනයක් ලෙස හැදින් විය හැක.

    මාතින් ගිලිහුනු කරුණක් හෝ වැරදි අඩුපාඩුවක් වේනම් ඒ පිළිබදව මා දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.

    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි !!!

    ..:: මැදින් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

    මා අද දින ලිපියෙහි පල කිරීමට උත්සුක වන්නේ “මැදින් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” පිළිබදවයි. මෙම උතුම් පොහොය දිනයේ යම් සුවිශේෂ වූ විශේෂත්වයක් බෞද්ධ අප කාටත් පෙනී යයි. ඒ කුමක්ද යත් මෙම උතුම් පොහොය දිනයේ සිදු වූ විශේෂ සිදුවීම් හා අවස්ථා වෙන් වෙන් වශයෙන් ගත් විට පැහැදිලිව පෙනී යන්නේ අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් තම නෑදෑ හිත මිතුරන්ට හා තම උපන් ගමට කෘතගුණ දැක්වීම සඳහා යොදාගත් ඓතිහාසික උතුම් මංගල පොහොය දිනයක් ලෙසටය. අප ඒ මොනවාදැයි වෙන් වෙන් වශයෙන් රැගෙන බලමු.


    • සුද්ධෝදන රජතුමා තම පුතණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් “කාළුදායි ඇමති” පිටත් කොට උන් වහන්සේව “ශාක්‍ය දේශය”(වර්ථමානයේ නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.

    • අනෙකුත් ශාක්‍ය වංශික රජවරු, කුමාරවරු ඉතාමත් මාන්නාදික පිරිස් වූහ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වුවද තමන්ට වඩා වයසින් බාල නිසා උන් වහන්සේට වැද නමස් කාර කිරීමට පසුබට විය. මෙය තේරුම් ගත් අප බුදු පියාණන් වහන්සේ ඔව්න්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට  නැග “යමා මහ පෙළහර” පෑ සේක.එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියණන් වහන්සේ හට) තෙවන වරට වදින ලද්දේ මැදින් පුන් පොහොය දිනයේය.

    • බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියළු සුඛ විහරන අත් හැර අල්පේච්ච ජීවිතයක් ගත කළ “යසෝදරා” දේවිය බැහැ දැකීමට “කිඹුල්වත් නුවරට” වැඩම කල බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට “සඳ කිඳුරු” ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් මාසයේදීය.

    • අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “කිඹුල්වතට” වැඩම කර පිළිවලින් තෙවන හා සත් වන දිනයන්හීදී “නන්ද” කුමරුන් වත් “රාහුල” කුමරුන්වත් පැවදි කළ සේක. යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන් හට “නරසීහ ගාථා” හා පිය ගුණ කියා දී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන් වහන්සේ සතුව ඇති වස්තුව, තම උරුමය ලබා ගන්න යැයි පවසමින් රාහුල කුමරුන් එමගට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසු පස විහාරයට වැඩම කලේය. ඉන් පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවදි කරන මෙන් සැරියුත් තෙරුණ් හට වඳාල සේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමව්පියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිදෙන සම්බන්ධය පිළිබදව බුදුන් වහන්සේ හට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහණ නොකරන මෙන්  ඉල්ලා සිටියේය. එ හේතුවෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසිදිනක දී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවදි කරනොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහොය දිනයකදීය.

    • පසුව අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩම කර දානය වළදා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට “ධර්මපාල ජාතකය” වදාල සේක. ඉන් පසු සුද්ධෝදන රජු “අනාගාමී ඵලය” ලබාගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දිනය ඇසුරින් සිදුවිය.

    • වර්ථමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇති “ශ්‍රී පාද” වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි.

    මේ ආකාරයෙන් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ තම නෑසිය හිතමිත්‍ර ආදීන්ට කෘතගුණ දැක්වීම සඳහා විශේෂ වූ පොහොය දින සිදුවීම් හා අවස්ථා මා ඔබ වෙත හුවා දැක්විමි. පෙර සේම ඔබගෙන් මා කාරුණිකව අපේක්ෂා කරනුයේ මෙහි සුළුවෙන් හෝ අඩුපාඩුවක් අතපසු වීමක් සිදුවී ඇත්නම් එය පෙන්වා දෙන ලෙසටය.

    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ! ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් මෙන්ම කුසල් දහමින් පිරි සුභ නව වසරක් වේවා ! යැයි එකසිතින් මා පතමි.

    ..:: නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

    මෙවර ලිපියෙන් “නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” පිළිබදව ඔබ සැමව දැනුවත් කිරීමට මා බලපොරොත්තු වෙමි. සම්මා සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධීන් කිහිපයක්ම මේ උතුම් පොහොය දිනයේ දී සිදුවිය. එම නිසා සියළු ලෝකවාසි බෞද්ධයන් හට මෙම උතුම් පොහොය දිනය අනුස්මරණීය දිනයක් බව නොඅනුමානය.

    • ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ භික්ෂූ සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම මෙම උතුම් පොහොය දිනයේදී සිදුවිය. මෙම සංඝ සම්මේලනය “රජගහ නුවර වේළුවනාරාමයේදී” පැවැත්විය.

    ප්‍රථම සංඝ සම්මේලනය

    • නවම් පුන් පොහොය දිනයේ දී සිදුවූ තවත් වීශේෂ සිදුවීමක් වනුයේ බුද්ධ ශාසනය තුල අගසව් තනතුරු පිරිනැමීමයි. මේ සඳහා “ධර්ම සෙනවි සැරියුත් තෙරුණ්” බුදු පියාණන්ගේ දකුණත් සව් ලෙසටද, “මහා ඎදි ලාභී මුගලන් තෙරුණ් ” බුදු පියාණන්ගේ වමත් සව් ලෙසටද පත්විය.

    අගසව් තනතුරු පිරිනැමීම

    • සම්බුද්ධ ධර්මයෙහි මූලික දේශනා දෙකකි. එනම් “ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හා  ආනා දේශනාවයි”, මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” යනුවෙන් හැදින්වෙන්නේ යම් කිසි අවවාදයක් කිරීමත්, ස්වයං හික්මීමත්, ඉවසීම උතුම් සැපත බව හා සියළු අකුසල් නොකලයුතු බවත් යන්නයි. එසේම “ආනා දේශනාව” යනුවෙන් හැදින්වෙන්නේ අණ කිරීමත්, ශික්ෂාපද පැනවීමත් යන්නය. මෙම දේශනාවන් විනය රැකගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” දේශනාව නවම් පුන් පොහොය දින “රජගහ නුවර වේළුවනාරාමයේ පැවති සංඝ සම්මේලනයේදී” දේශනා කරන ලද්දේය.

    ප්‍රථම ධර්ම සංගායනාව

    • අප මහා ලොව්තුරා බුදු පියණන් වහන්සේ “ගිජ්ජකූට පර්වතය” අසල පිහිටි “සුඛරකථලෙන” නම් ස්ථානයේ වැඩසිටිද්දී “දීඝනක” නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය” දේශනා කොට වදාලේද නවම් පුන් පොහොය දිනයකදී ය.

    • අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ “ආයු සංස්කාරය” අත්හළේද නවම් පුන් පොහොය දිනයකදීය. සැරියුත්, මුගලන් අගසව් දෙනම පිරිනිවන් පෑමෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ “රජගහ නුවරින්” පිටත්ව, “චාපාල චෛත්‍යය” වෙත වැඩම කළ සේක. “සතර ඍද්ධිපාදලාභියෙකුට” කල්පයක් ජීවත්විය හැකි බව ලොව්තුරා තථාගත බුදු රජාණන් වහන්සේ විසින්, “ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට” තෙවරක්ම ප්‍රකාශ කළ ද එය, අනද හිමියනට තේරුම් ගත නොහැකි විය. ඉන් ප්‍රයෝජනගත් මාරයා, තථාගත බුදු පියාණන්ට පිරිනිවන් පාන්නට ආරාධනා කළේය.

    මේසේ  නවම් පුන් පොහොය දිනයන් තුළ සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් මෙන්ම විශේෂ සිදුවීම් සිදුවිය. මා අතින් සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පෙන්වා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැවත තවත් උතුම් පොහොය දිනයක සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා සමගින් හමුවෙමු.

    ඔබ සැමට ලබන්නා වූ නව වසර කුසලින් පිරි, අකුසලයෙන් තොර වූ නව වසරක් වේවායි ! මා එක සිතින් පතමි. සැමට සම්මා සම්බුදු සරණයි ! දළඳා සමිදු පිහිටයි !