Archive

Posts Tagged ‘බුදුදහම’

උන්වහන්සෙ පෙරුම් පිරුවෙ අපි වෙනුවෙන්

Dutugemunu Balakaya

බුදුරැස් විහිදෙන, ධාතුන් වහන්සේලා පෙලහර පාන, අනුහස් තියෙන පුදබිම් වලට අපේ උපාසක ඇත්තො ඇදී යන්නෙ වැල නොකැඩි.  බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව හේතුවෙන් එසේ යන බැතිමතුන්, ඒ හේතුවෙන්ම  බුදුරජාණන් වහහ්න්සේ කියාදුන් මාර්ගයෙන් ඈතට ඇදෙන බව බොහෝ දෙනෙකුට කල්පනා නොවෙන හැඩයි.

වාසි තකා ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම භික්ෂුන් වහන්සේලාට තහනම් කළ  බුදුරජාණන් වහන්සේ, බොහෝවිට පෙළහර පෑවේ මිසදුටුවන් දමනයටයි. දමනය කළ පිරිස හැමවිටම ධර්ම මාර්ගයට ගෙන ඒමට උන්වහන්සේ කටයුතු කලා. නමුත් අද වෙනවිට සැදැහැවත් බැතිමතුන් පෙළහර, අනුහස් ආදිය කෙරෙහි යොමු කරන බැති සිත සත්‍ය ගවේෂණයට යොමු කරන්නේ කලාතුරකින්. අපට අමතක වෙලා  බුදුරජාණන් වහන්සේ කියන්නෙ පෙළහර පාන්නෙකුට වඩා වටිනා අසම සම මනුෂ්‍යයෙක් බව.

බුදුරජාණන් වහන්සේ උපක ආජීවකට තමන් වහන්සේව හඳුන්වා දුන්නේ, තමන් මිනිසුන් අතර උපන්, මිනිසුන් අතර දිවි ගෙවන, එහෙත් මිනිසුන් තුළ වන කෙලෙස් නමැති මඩ ගොහොරුවෙන් මිදුනු අසමසම බුදුවරයෙකු යනුවෙනුයි. බෞද්ධ අපට බොහෝවිට, බුදුවරයෙක් කියන්නෙ අප අතරින්ම බිහිවෙන මනුෂ්‍යයෙක් බව අමතක වෙන බවක් පෙනෙයි. ශ්‍රද්ධාව නිසා බුදුරැස්, පෙළහර වලට වන්දනා කරමින් ගෙවන ජීවිතයෙන් ඉඩක්, සත්‍ය සොයා යාමටත් වෙන් කරනවා නම් ඒක බුදු වරයෙකුට කරන වටිනාම පූජාවක් වේවි.

මොකද…
මනුස්සයෙකුට ලඟා කරගත හැකි ශ්‍රේෂ්ඨතම තත්වයට හෙවත් බුද්ධත්වයට පත්වෙන්න බෝසත්වරයෙක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්.

සත්‍ය සොයා යන ගමනෙදි සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල වලට පැමිණ නිර්වාණය ලඟාකරගත හැකි අවස්ථා තිබියදීත්, ඒ අවස්ථා සියල්ල මඟහැර බුද්ධත්වයට පත්වෙන්න යම් මිනිසෙක් කල්ප ගණනක් පෙරුම් පුරනවා නම්, ඒ අපි වගේ සුවහසක් මිනිසුන් කෙරෙහි වන මෛත්‍රිය සහ මහා කරුණාව නිසයි. අපිටත් සසරින් එතෙර වන්නට මාර්ගය විවර කරන්නටයි. මිහිමත පහලවෙන හැම බෝසත් වරයෙක්ම කල්ප ලක්ෂ ගණනාවක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්. ඒත් ඔවුන් මහා කැපවීමක් කරලා අපි වෙනුවෙන් විවර කරන ධර්ම මාර්ගය, මෝහයෙන් අන්ධ වෙලා අපි විසින්ම වසා දමනවානම් ඒක අපරාධයක්.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං

Advertisements

ඉස්කෝලෙදි කොන්ද කඩන හැටි

2012 පෙබරවාරි 27 ප්‍රතිචාර 2ක්

මේ කියන්න හදන්නෙ පාසල් සිසුන් හැමදාම කරගහගෙන යන පොත් බෑග් එකේ බරට ඔවුන්ගේ කශේරුකාවට හානි වෙන්න පුළුවන් කියන කතාව නෙමෙයි. හැබැයි ආයෙත් මේ මතක් කරල දෙන්න යන්නෙ පරණ කතාවක්ම තමයි. මේක ඉතිහාසය පිළිබඳ ගැටළුවක්. පාසල් වල ඉතිහාසය අනිවාර්ය විෂයක් හැටියට ඉගැන්වෙන්නෙ නැහැ. උසස් පෙළට කලා අංශයෙන් ඉතිහාසය ඉගෙනගන්න වරම් තිබුණත් සිසුවා උසස් පෙළ පංතිවලට එද්දි කොන්ද කඩාගෙන ඉවරයි. හැබැයි දැන් නම් ලෑස්ති වෙන්නෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නෙයි කියලයි ආරංචිය.

ජේ. ආර්. උන්නැහේගෙ කාලෙ විෂය මාලාවෙන් ඉවත් වුණ ඉතිහාසය විෂය වෙනුවට දැන් උගන්වනවයි කියන්නෙ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියල විෂයක්. සමාජ අධ්‍යයනය කෙසේ වෙතත්, විෂය මාලාවෙ ඉතිහාසය හා භූගෝලයට අදාල පාඩම් නම් තියෙනවා. පණ්ඩුකාභය වැනි රජවරුන්ගේ චරිත ගැන හත අට පංතිවලදි යන්තමට කියාදීලා සාමාන්‍ය පෙළ කරන කාලෙදි (ළමයින්ට තමන්ගෙකම ගැන උගන්වන්න හොඳම වයසෙදි) උගන්වන්නෙ 1505න් මෙහා ඉතිහාසය. දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසින්ට රැවටුණ හැටි, ධර්මපාල රජු පෘතුග්‍රීසින්ට කෝට්ටෙ ලියලා දුන්න හැටි, ඩොනමෝර්, කොඩ්‍රින්ටන්, නෝර්ත් වැන්නන්ගෙ ආණ්ඩුක්‍රම සහ ඒ හරහා ලංකාව දියුණු වෙන හැටි ආදිය විතරක් සිසුන්ගෙ ඔළුවට දාලා බටහිරට ගැති වෙන්න ඕන තරමට සිසුන්ගෙ ආකල්ප අදහස් වෙනස් කරනවා. මොන කුණුගොඩක් උණත් බටහිරින් එනව නම් ඒක හරි කියලා පිළිගන්න තැනට අනාගත පරපුරේ මනස මේ විදිහට සකස් කරනවා.

දුටුගැමුණු, වළගම්බා, පළවෙනි රාජසිංහ, විජයබාහු ආදී රජවරුන්ගෙ චරිත වලින් එඩිතර කම, ජාත්‍යාලය, බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම ආදී පාඩම් උගත හැකිව තියෙද්දී විජයාගමනය, පඬුවස්දෙව් රජු සහ පසුකාලීනව රට ආක්‍රමණය කල ඉන්දීය ආක්‍රමණිකයන් ගැන පමණක් විශේෂයෙන් උගන්වා අපි ඉන්දියානුවන්ගෙන් පැවතෙන බව ඒත්තු ගන්වමින් ඉන්දියාවට ගැති පිරිසක් ඉස්කෝලවලදි නිර්මාණය කරනවා.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉදිරියෙදි ඇතැම් සිංහලයන්ගෙ කොන්ද නැමෙන්නෙ ඉස්කෝලෙදි උගන්නපුව නිසා කියල නිකමටවත් හිතුණද? හිතුවද? ආර්ය චක්‍රවර්ති, දකුණෙන් ආපු චන්ද්‍රගුප්ත, මතකයි…. ඒත් යාපනය ගලවාගෙන පස්වෙනි බුවනෙකබාහු නමින් රජවුන සපුමල් කුමාරයා ගැන දන්නෙ කීයෙන් කී දෙනාද? එළාර යුක්තිය වෙනුවෙන් එල්ලගෙන හිටපු ඝණ්ඨාරෙ එළදෙනක් ඇවිත් ගහපු කතාව ඔක්කොම මතකයි. නමුත් දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ බිසව කව්ද කියලා ඇහුවොත් දන්නෙ නෑලු. ඒ වුණත් කිරිබත් කන්න ගිහින් කාවන්තිස්ස එක්ක රණ්ඩුවුණ ටිකයි, පැනලා ගිහින් තාත්තට කාන්තා ඇඳුම් එවපු එකයි නම් කාටත් මතකයි නේද?

සුද්දා ඇවිත් කෝච්චි පාරවල් හදපු ටිකයි, ඒවා හදපු අවුරුදුයි, ආණ්ඩු ක්‍රම ටිකයි ඉස්කෝලෙදි කට පඩම් කරවනවා… සිංහලයගෙ ශ්‍රමය හූරගෙන, අපේ ස්වභාවික සම්පත් ටිකත් සිය රටට පටවලා පොහොසත් වෙච්ච එකයි, කෞතුක භාණ්ඩ, පුස්කොළ පොත් නැව් පිටින් ඒ රටවලට අරන් ගිහින් අපේ මුතුන් මිත්තන් අපිට ඉතිරි කරපු පාරම්පරික දැනුමත් අපෙන් උදුරගත්ත බවයි බොහෝ දෙනාගෙ සිහියට එන්නෙ නෑ. ඒවා සිහියෙ තියාගෙන වැඩකරන්න ඉඩ දෙන්නෙත් නෑ. ඉන්දියාවෙනුත් කරපු තරමක් කළේ අපේ රට ආක්‍රමණය කළ එකයි. අපිත් ඉන්දියාවෙන් ආපු විජයගෙන් පැවතෙනව නම්, ලංකාව ඉන්දියාවෙ යටත් විජිතයක් වෙන්නෙ ඒ කාළෙමයි, ඇරත් අපි ඔක්කොටම තියෙන්නෙ එකම සම්භවයක් නම් මොන එහෙකටද මේ තරමට අපේ රට ආක්‍රමණය කළේ? අපි පැවතෙන්නෙ විජය සමඟ ආ පිරිසෙන් නෙමෙයිවත්ද? නිවී හැනහිල්ලෙ හිතලා බලනකොට මෙතෙක් කල් නොහිතුණු ගොඩක් කරුණු ප්‍රත්‍යක්ෂ වේවි. ඒත් පාසල් සිසුවෙකුට නිවී හැනහිල්ලෙ හිතලා බලන්න කෝ විරාමයක්? අධ්‍යාපනය තරඟයක් බවට පත් කරලා අපේ තරුණ පරපුර බුද්ධිය මෙහෙයවන්න ඕන පරාසය සීමා කරවලා කියලා නිකමටවත් හිතුණද අපි ඉස්කෝලෙ යන කාලෙදි?

ඒ අල්ල පනල්ලෙ නමට හරි තිබුණ ඉතිහාස විෂයත් ඔන්න ඉවත් කරන්න යනවයි කියන්නෙ. මෙච්චර කල් පොතපතින් අපිව පරගැතියන් කරන්න දරපු වෙර නවත්වලා දැන් ඉතිහාසය කියන වචනයත් මතු පරම්පරා වලින් අකා මකා දාන්නයි මේ සූදානම. ඒකයි අපි කලින් කිව්වෙ කොන්ද ගලවලා පැත්තකින්ම තියන්නයි මේ ලෑස්තිය කියලා. ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක් නොදන්න සිංහල පරපුරක් නිර්මාණය කරන්න මේ තරම් වලි කන්නෙ ඇයි? අපේ ඉතිහාසයේ අමතක කළ යුතු භයානක දේවල් තියෙනවද? සිංහල බෞද්ධ අපිට නම් නෑ. අපේ ඉතිහාසය පුරාවටම තියෙන්නෙ බුදු දහම රැකගන්න සටන් කරපු රජවරු ගැන. ගමක් නගරයක් පාසා මහා වෙහෙර විහාර ගොඩනැගූ සිංහල බෞද්ධයො ගැන, චීවරෙන් ඉවත්වෙලා හමුදාවට බැඳිලා, ලක්මව දිනවලා අහවර උනාට පස්සෙ නිර්වාණය සොයා ගිය ථෙරපුත්තාභය වැනි රහතන් වහන්සේලා ගැන, රට වෙනුවෙන් ජීවිතයම කැපකළ වීරයො ගැන. මෙන්න මේ දැනුම අපේ පොඩිඋන්ට දුන්නොත් අපේ රට විනාශ කරන්න, ථෙරවාදී බුදුදහම ලංකාවෙන් අතුගාලා දාන්න බලා ඉන්න අයට යන එන මං නැතිවෙනවා. ඒත් ඉතින් මේ සේරම අපේ ඉතිහාසය දරාගන්න බැරි අයගෙ වැඩ බව හිතන්න අපිට වෙලාවක් ලැබෙනවද මේ ජීවන හරඹය අස්සෙ?

ඉතිහාසය අමතක කළොත්, මේ රටයි, බුදුදහමයි රැකගන්න අපේ වරිගෙ ජීවිත පූජා කළ හැටි අපේ දරුවන්ට අමතක වෙයි. මේ විදිහට පරම්පරා කිහිපයක සිසුන්ගෙ කොන්ද කැඩුවට පස්සෙ ඒ අයගෙන් පැවතෙන උන් කොන්දක් නැතුවම ඉපදෙයි. අන්න එදාට ජාතියක්, ජම්මයක්, ඉතිහාසයක්, උරුමයක් ගැන හැඟීමක් දැනීමක් නැති අපේ දරුවො කාගෙවත් රූකඩ වෙලා නටාවි. මේ ඇරඹෙන්නෙ අන්න එහෙම යුගයක් නම්… මෙච්චර කල් ගෙයි මුල්ලෙ තිබ්බ අසිපත් වල කොහොල්ලෑ සුද්ධ කරලා ලෑස්තිවෙයල්ලා කියල තමයි කියන්න තියෙන්නෙ. දරුවෙක්ගෙ මුල් ගුරුවරයො වෙන්නෙ දෙමාපියන්. ඉස්කෝලෙන් උගන්නන්නෙ නැති අපේ කම, අපේ වග අපි අපේ දරුවන්ට උගන්නන්න ලෑස්ති වෙමු. බැරි නෑ… පුළුවන්. ඉස්කෝලෙන් මඟහරවපු පාඩම් ඉගෙනගන්න අවශ්‍ය පොත පත, දැනුම අදටත් හිඟ නෑ. ඕන කෙනෙකුට ඉගෙනගන්න ඇහැකි මාර්ග තියෙනවා, ධර්ම ග්‍රන්ථ, ශාසන ඉතිහාසය අදටත් පන්සල ඇසුරෙන් ඉගෙනගන්න වරම් තියෙනවා. කැපවීමයි වෙලාවයි හොයාගෙන අපි මේ කටයුත්ත නොකළොත් රටටත්, ශාසනයටත්, අනාගත පරපුරටත් අපෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්.

බුදුන්ගේ දේශයේ අවසානයද….?

“අනුරපුර පල්ලිය ඉවත් කිරීමට නියෝග කල නිළධාරිණියට ස්ථාන මාරුවක්”…

යන සිරස්තලයෙන් පුවත්පත්වල සහ අන්තර්ජාලයෙත් පලවූ පුවතත් සමඟ, අප කණ්ඩායම විසින් මෙම අනවසර ඉදිකිරීම් ගැන වැඩි කතා බහකින් තොරව සිටීමේ පිළිවෙත වෙනස් කිරීමට තීරණය කළෙමු. මේ සිද්ධිය ගැන මුලදිත් ලිපියක් පල නොකිරීමට ප්‍රධානම හේතුව වූයේ, මෙවන් ලිපි කියවා එවෙලෙට කුපිත වන සිංහල බෞද්ධ මෙන්ම, අන්‍යාගමික හෝ අන්‍යාගමික හිතැති පිරිස් විසින් සයිබර් අවකාශයේ ඵල රහිත වාග් සංග්‍රාම වලට පැටලී තාවකාලික වීරයන් වීම විනා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් කිසිදිනක නොගන්නා බැවිනි. මෙම විහිළු දැකීමෙන් කලකිරී සිටි අප කණ්ඩායම මෙවන් පුවත් ගැන බ්ලොග් අඩවියෙන් සාකච්ඡා කිරීම සීමා කළෙමු.

නමුත් ඉහත සඳහන් සිදුවීමත් සමඟ තවදුරටත් මේ ගැන මුනිවත රැකීම නොකළයුත්තක් බව හැඟේ. ඒ අතරම, බෞද්ධයාගේ රටේ, සිය උරුමය වෙනුවෙන් කටයුතු කරන්නන්ට සිදුවන මෙවන් අසාධාරණ හමුවේ මේ දේවල් ගැන කතා කිරීමද එක අතකට නිශ්ඵල යැයි සිතේ. අනුරපුර පූජා භූමිය තුලම හොරෙන්ම පල්ලියක් අටවාගන්නට මෙම අන්‍ය ආගමිකයන් ක්‍රියා කලේ ඔවුන්ට පල්ලියක් අටවා ගන්නට වෙන ඉඩමක් නොතිබුණු නිසාමද?…. නැත. මේ සිද්ධ වෙන්නෙ ආක්‍රමණයකි. එළිපිටම කරන මේ නින්දිත ආක්‍රමණයට විරුද්ධව බුද්ධිමත්ව පෙළ ගැහෙන්නට සිංහල බෞද්ධයා සූදානම් විය යුතුමයි.

ලංකාව බුදුන්ගේ දේශය වුණේ අතීතයේ විසූ රජ කෙනෙක් අපේ රට බුදුන් වහන්සේට පූජා කල නිසා පමණක්ම නොවෙයි. වසර දහස් ගණනක් පුරාවට, රටේ ගමක් නගරයක් නෑර වෙහෙර විහාර ඉදිකරමින්, ආක්‍රමණිකයන් හා දිවිහිමියෙන් සටන් වදිමින් බුදු සසුන මෙලොවින් වියැකෙන්නට නොදී රැකගත් එකම ජාතිය වෙසෙන්නේ ලංකාවේ බැවිනි. ඒ ජාතිය සිංහල බෞද්ධයායි. අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලත් නවගුණ වැල මෙන්ම, සසුන රැකගැන්මට අවැසි තැනදී ආයුධයක් අතට ගන්නට පවා මැලිනොවුණු ජාතියකට අද උරුම වී ඇති ඉරණම ඉතාම කණගාටුදායකය.

අනුරපුර පල්ලිය ඉවත් කල පුවතත් සමඟ තවමත් කොන්ද පණ තියෙන බෞද්ධයන් ලංකාවේ සිටීම පිළිබඳව අප සතුටු වුණත්, ඔවුන්ට මේ අත්වෙන ඉරණම හමුවේ තවදුරටත් ලංකාද්වීපය බුදුන්ගේ දේශය නොවේදැයි අපට සැක පහළ වෙයි. මේ පිළිලයට සිත්සේ වැඩෙන්නට ඉඩහැර මානව අයිතිවාසිකම් ගැන පණ්ඩිතකම් දොඩමින් සිටියොත් අපේ අනාගත දරු පරපුරට වෙසෙන්නට නිවහල් රටක් ඉතුරු නොවෙනු ඇත. අතීතයේ අපේ රට ජාතිය ආක්‍රමණ වලින් බේරාගත් අපේ මුතුන් මිත්තන් ගැන අපි අදටත් ආඩම්බරයෙන් කතා කලත්, මෙහෙම ගියොත් අපේ අනාගත පරපුර නම් අපට දෙස් දෙවොල් තබනු නොඅනුමානය.

දහම් පද