Archive

Posts Tagged ‘බෝධි’

අෂ්ඨ ඵල බෝධි වෘක්ෂ

මීට ඉහත ලිපියකින් අපි අටවිසි බෝධීන් ගැන සඳහනක් කලා පාඨක ඔබට මතක ඇති. අද මෙම ලිපියෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නෙ මහමෙව්නා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ඨ ඵල බෝධීන් ගැන සහ එම බෝධින් වහන්සේලා රෝපණය කරන ලද පුදබිම් ගැනයි.

ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩමවීම –  කැළණි විහාරයේ සිතුවම

වංශකතා වල සඳහන් වන පරිදි මහමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය රෝපණය කල අවස්ථාවේ පළමුව ඵල පහක් හටගත් අතර ඉන් එකකින් පළමුව බෝ පැල අටක් හටගත් බව සදහන්ය. එම බෝ පැල අට දිවයිනේ විවිධ පලාත්වල රෝපණය කරන ලදී.  එම ස්ථාන නම්

1. දඹකොළපටුන (දඹුලුතොට)
2. තිවක්ක බමුණුගම (තන්තිරිමලේ)
3. ථූපාරාමය
4. ඉසුරුමුණි වෙහෙර (කසුන්ගිරි වෙහෙර)
5. මිහින්තලය (සෑගිරිය)
6. හඳුන්නරුව (සඳුන්ගම – යාල)
7. ප්‍රථමක චෙත්‍යය (නිවන්තක චේතිය – මල්වතු ඔය අසල)
8. කතරගම

තන්තිරිමලේ රෝපිත බෝධිය

මෙම බෝධීන් වහන්සේලාගේ ඓතිහාසික වැදගත්කම තවත් ඉහල යාමට හේතුවක් වන්නේ, ලේඛණගත ඉතිහාසයක් ඇති පැරණිම වෘක්ෂ ලෙස මෙම බෝධින් වහන්සේලා හඳුනාගෙන තිබීමයි. අෂ්ඨඵල බෝධීන් ඉහත කී ස්ථාන වල රෝපණය කිරීම අලලා රසවත් කතාන්දරද ජනප්‍රවදයේ එයි. ශ්‍රී මහා බෝධි ශාඛාව රැගත් නැව දඹකොළ පටුනින් ලංකාවට ගොඩබැසීම සිහිකරනු වස්, අෂ්ඨඵල බෝධින් වහන්සේලාගෙන් එක් බෝධියක් දඹකොළපටුනේද, ශ්‍රී මහා බෝධිය අනුරපුරයට වැඩමවන අතරමඟ නැවතී සිටි ස්ථනයක් වන තිවක්ක බමුණුගම සිහි කරනට එහි එක් බෝධියක්ද වශයෙන් බෝධීන් වහන්සේලා සිරිලක පුරා ව්‍යාප්ත වනසේ රෝපණය කිරීමෙන්, බුදුදහම ලක්දිව සිව්දෙස මුල්බැස ගත් බව සංකේතවත් වෙතැයි මතයක් පවතී.

~ අට විසි බෝධීන් වහන්සේලා ~

2010 ඔක්තෝබර් 11 ප්‍රතිචාර 3ක්

තණ්හංකර, මේධංකර, සරණංකර ආදී වශයෙන් අට විසි නමක් වන බුදු රජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වීමේදී පිටදුන් ශාක, එහෙමත් නැතිනම් ඒ ඒ බුදුන් වහන්සේලාගේ ශාසනයේදී බෝධි වෘක්ෂ ලෙසින් වන්දනයට පාත්‍ර වුණ අට විසි බෝධීන් වහන්සේලා ගැනයි මෙම ලිපියෙන් තොරතුරු හෙළි කරන්නෙ. අට විසි බෝධීන් ගැන සඳහන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස බෝධිවංශය සහ සූත්‍ර පිටකය හඳුන්වන්න පුළුවන්.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව සල්, නා වැනි වෘක්ෂ කිහිපවරකදීම බුදුන් වහන්සේලාට බුද්ධත්වයේදී සෙවනදී ඇති බැවින් බෝධීන් ලෙස සැලකෙන ශාක, ගණනින් 22 කි. මෙම ශාක විශේෂ 22, ශාක කුල 7කට අයත් අතර ඉන් දෙකක් (ඇටඹ, හොර) ශ්‍රී ලංකාවට ආවේණික ශාක වීමද විශේෂත්වයකි. මෙම බෝධි වෘක්ෂයන් අතරින් නුග, අට්ටික්කා වැනි ශාකයන් නියං කාලයන්හිදී වුවද පරිසරයේ සතුනට ආහාර සපයමින් පැවතීම වැදගත්ය. ලංකාවේ ඕනෑම පලාතක වැවෙන මෙම ශාක පවතින ප්‍රදේශ වල ඉහල ජෛව විවිධත්වයක්ද පවතී. එමෙන්ම මෙම බෝධි වෘක්ෂයන්ගෙන් බොහොමයක් රෝග පීඩා වලට ප්‍රතිකාර කිරීමටද යොදාගනු ලැබේ. මෙම ශාක විශේෂ බොහොමයක් ඉන්දියාවේ උතුරු කොටසේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තර වල දක්නට ලැබේ. අටවිසි බෝධින් වහන්සේලා රෝපණය කොට, බෝධිපූජා සඳහා විශේෂ අටවිසි බෝ මළුවක් රාගම ඉහළගම පිහිටි සුගතාරාමයේ නිර්මාණය කර ඇත.

ආශ්‍රිත: විදුසර පුවත්පත, 2010 ජූලි