Archive

Posts Tagged ‘වෙසක් පොහොය’

වසර 125 සපිරුන බෞද්ධ කොඩිය

2010 අප්‍රේල් 28 ප්‍රතිචාර 5ක්


ක්‍රි.ව 2010 අප්‍රේල් මස 28 වෙසක් පුරපසළොස්වක පෝය දිනය වන අද දිනට බෞද්ධ කොඩියට වසර 125 සපිරේ. ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ  1885 අප්‍රේල් මස 28 වන දිනය.


මෙම කොඩිය, 1884 ජනවාරි  28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.


එම දස පුද්ගල කමුටුවේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති), පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා), විලියම් ද ආබෲ, චාර්ලිස් ඒ ද සිල්වා, පීටර් ද ආබෲ, එච්.විලියම් ප්‍රනාන්දු, එන්.එස්.ප්‍රනාන්දු සහ කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.

තවදුරටත් කියවන්න…

Advertisements

..:: අධි වෙසක් පොහොය ::..

මෙම වසරේ දී හෙළයෙ මහා මංගල්‍ය වන වෙසක් උළෙල “අධි වෙසක්”  හා “වෙසක්” ලෙසට පොහොයවල් දෙකක් අපට නුපුරුදු ආකාරයට යෙදී ඇති බව අප සැම දන්නා කරුණකි. මෙයට හේතුභූත වූ කාරණා කිහිපයක් ඇත. පළමුවෙන්ම සඳහන් කරන්නම් මා දන්නා ආකාරයට අධි පොහොයක් යනුවෙන් හදුන්වන්නෙ කුමන පොහොයකටද කියා.
යම් මාසයකට පොහොය දිනවල් දෙකක් යෙදේද ඒ යෙදෙන දෙවැනි පොහොය ඉදිරියෙන් “අධි(අමතර)” යන්නෙන් සඳහන්වෙයි”. (උදාහරණයක් ලෙස ගතහොත් “අධි වෙසක්, අධි පොසොන්” ලෙසින්.)
දැන් මා සඳහන් කරන්නම් මා දන්නා ආකාරයට මෙලෙස අධි පොහොයක් යෙදෙන්නෙ ඇයි කියා. වර්තමානයේ අප සැම භාවිතා කරනු ලබන දින දර්ශනය හදුන්වන්නේ “ග්‍රෙගෝරියන් දින දර්ශනය” යනුවෙනි. මෙම දින දර්ශනයෙහි අංකනයන් සිදු කරනු ලබන්නේ “ජේසුස්” වහන්සේගේ උපත සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර හා සූර්‍ය්යාගේ ගමන් මාර්ගය මගය. නමුත් අපගේ හෙළ මුතුන් මිත්තන්  අතීතයේ භාවිතා කළේ “චන්ද්‍ර මාස” ක්‍රමය එසේත් නොමැතිනම් “ලූනර් දින දර්ශනයයි”. මෙම චන්ද්‍ර මාස දින දර්ශනය අඩුපාඩු අතින් ඉතාමත් අවම හා  සෞරග්‍රහ මණ්ඩලය පිළිබදව මනා අවබෝධයකින් යුක්තව සාදන ලද්දකි. මේ ආකාරයෙන් චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව අපට මෙලෙස අධි පොහොය දිනයන් යෙදෙන්නෙ නැත. චන්ද්‍රමාස දින දර්ශනයට අනුව නිවැරදි වෙසක් දිනය රටින් රටට, සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වේ.
බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක උපෝශත දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස් වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.
බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්‍රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව)
මෙම ලිපිය සඳහා මා හට නොමසුරු දායකත්වය ලබාදුන් “චන්දිමා සොයුරියටත්, දුටුගැමුණු සොයුරාටත්, චේතියා සොයුරියටත්” මාගේ ස්තුතිය පුදමි. මේ ලිපියෙහි කුඩා හෝ අඩුපාඩුවක්, වැරැද්දක් වේනම් ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවායි පතමි. සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

වෙසක් උත්සවයට අප කෙසේ සූදානම් විය යුතුද?

වෙසක් උත්සවය ළඟ ළඟම එනවා. සසරින් නික්මීම නමැති පොතේ පාතේගම සුමනරතන හිමියන් විසින් දක්වා ඇති කරුණු කිහිපයක් බෙදා ගන්නට හිතුණේ එහි ඇති වැදගත්කම අදටත් ඔබින නිසයි.

ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. සමහරවිට ඒ ඒ උත්සවය සඳහා මැරිය යුතු සත්ත්ව වර්ගය, උත්සව දිනය එනතෙක් මහත් කරමින් ඇති කිරීමට පවා මිනිසුන් පෙළඹෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි.

වෙසක් උත්සවය සමරන අප සිහියට ගත යුත්තේ මේ අවිහිංසාව සත්ත්ව ඝාතනයට පමණක් සීමා නොකළ යුතු බවයි. අප අතින් සත්ත්ව හිංසනයට හේතු වන යම් ක්‍රියාවක් වීමට ඉඩ ඇද්ද, සිහියෙන් විමසා බලා, එවැනි ක්‍රියාවන් මග හරවා ගැනීම එහිදී වැදගත්. උදාහරණයක් හැටියට සැරසිලි සඳහා පොලිතින් වැනි ද්‍රව්‍ය යොදා ගැනීම දැක්විය හැකියි. එලෙසම වන්දනා චාරිකා පිණිස හෝ සිල් ගැනීම පිණිස යන පිරිස සිය ආහාර පොලිතින් කොළවල ඔතාගෙන ගොස්, ඉතිරි ආහාරත් සමග අර පොලිතින් කොළය විසි කිරීම බොහෝවිට කෙරෙනවා. එමගින් පරිසරයට හානි වනවා සේම, ඇතැම් සතුන් පොලිතින් ආහරයට ගැනීම නිසා රෝගවලට ගොදුරු වීමටත් මිය යාමටත් හැකියි.

වෙසක් තොරණ් සෑදීමේදි බොහෝවිට යොදා ගැනෙන්නේ පුවක් ශාක කඳන්. මෙහිදී යම් තරමකින් හෝ පරිසර හානියක් සිදුවන බව පිළිගත යුතු වෙනවා. නමුත් ඒ වෙන හානිය අවම කර ගැනීම පිණිස, එක්කෝ වසර කිහිපයක් එකම ලී දඬු භාවිතා කළ හැකියි. එමෙන්ම, ශ්‍රමදානයක් මගින් විනාශ කළ පුවක් ගස් වෙනුවෙන් නව ශාක රෝපණය කළ හැකියි. එය අනාගතයට ඉතා ප්‍රයෝජනවත්ද වෙනවා.

සිංහල බෞද්ධයන් දන් දීමට බෙහෙවින් හුරු පිරිසක්. මෙය අගය කළ යුතු කාරණයක්. මෙහිදීද සැළකිල්ල යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි දන් දෙන ආහාරපානවල පිරිසිදුකම. අප ගැනීමට කැමති යම් විදිහකින් පිරිසිදු දෙයක්ද, අනික් අය සඳහාත් එලෙසම ආහාරපාන සකස් කිරීමට උත්සුක වියයුතුයි. තවත් වැදගත් දෙයක් තමයි, ඇතැම් ප්‍රදේශවල බලෙන් වාහන නවතා, පාරේ යන මිනිසුන් නවතා ආහාරපාන පිළිගැන්වීම. මෙය ඒ අයට හිරිහැරයක් සේම අවශ්‍ය අයට දීමට හැකි ආහාර අපතේ යාමක්. එමෙන්ම සමහරු මග යන වාහන නැවැත්වීම පිණිස බෞද්ධ කොඩිය රැගෙන පාරට පනිනවා. මෙය ඉතා වැරදි ක්‍රියාවක්. බෞද්ධ කොඩිය යනු අපගේ ගෞරවයට ලක් විය යුතු දෙයක්. එය මෙවැනි ක්‍රියාවලට භාවිතය අනුමත කළ නොහැකියි.

වෙසක් කූඩු තරග, තොරණ් තරග වැනි නොයෙක් තරගද දැන් සමාජය තුළට රිංගාගෙන තිබෙනවා. නමුත් බුදුදහම යනු තරගකාරී මානසිකත්වය ප්‍රතික්ෂේප කරන දර්ශනයක්. මේ තරග  නිසා නොයෙකුත් ඇණ කොටා ගැනීම් මෙන්ම දුක් වේදනාද, සෑහීමකට පත් නොවීමද සිදු විය හැකියි. මෙවන් කටයුතු බුදුන් වහන්සේට කෙරෙන ආමිස පූජාවක් කොට සළකා, තරගකාරී මානසිකත්වයෙන් මිදී එහි නියැළීම ඉතා වැදගත්.

වෙසක් සමයේදී ගවයන් වැනි සතුන් නිදහස්  කිරීමද දැන් බහුලව සිදු කෙරෙන කටයුත්තක්. මෙය අගය කළ යුතු නමුත් එලෙස සතුන් නිදහස් කිරීමෙන් ඇත්ත වශයෙන්ම සත්ත්ව ඝාතනය නැවැත්විය හැකිද යන්න කල්පනා කර බැලීම වටී. ඔබ නිදහස් කරන සතා වෙනුවෙන් තවත් සතකු මැරීම මිස, දිනකට මරන සතුන් ගණන ඇත්ත වශයෙන්ම අඩු වේද? සත්ත්ව හිංසනයෙන් වැළකීම පිණිස එය ඉතා තාවකාලික පිළියමක් පමණි. දීර්ඝ කාලීන සහ ස්ථිරසාර විසඳුම කුමක්ද යන්න අපේ පැරැණ්ණෝ දැන සිටි බැවින් ඔවුහු මස් මාංශ භක්ෂණයෙන් වැළකුණහ.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනෙක් අයට හිරිහැර වන පරිදි , ශබ්ද දූෂණයක් ඇති වෙන පරිදි හැසිරෙන තැන් තියෙනවා. හොඳම උදාහරණය ඇතැම් දන්සැල්. අවශ්‍ය පමණට පමණක් ශබ්දය භාවිතය මෙන්ම ප්‍රචාරය කරන දෙය වෙසක් වැනි ආගමික දිනයකට සරිලන දෙයක් බවටද වග බලා ගැනීම අපගේ යුතුකමක්.

බුදු හිමියන්ගේ තෙමඟුල සිහි කරන පොහොය දිනවලට ආගමික කටයුතු කරනවා සේම, ඊට පෙර සමාජයේද චන්ද්‍රයාගේ/සූර්යයාගේ ගමන් මග අනුව, දින හඳුනාගෙන නොයෙක් සීල වෘත ආදිය සමාදන් වීම තිබුණා. එසේනම් බෞද්ධයන් පොහොය දිනයේදී තෙමඟුල සැමරීම ඉන් වෙනස් වන්නේ කෙසේද? සිදුහත් තවුසන් අවසන්වරට දන් වළඳා අධිෂ්ඨානපූර්වකව නේරංජන නදියට හෙළූ තලිය උඩුගම් බලා ගිය බව සඳහන්. බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේද එවන් උඩුගම් බලා යාමක්. පොදුවේ මුළු ලෝකයේම අවධානය තිබෙන්නේ කම් සැප සෙවීමටත් කම් සැප විඳීමටත්. එහි ඇති නිසරු බව තේරුම් ගෙන උපදින, මැරෙන ස්වභාවයෙන් මිදෙන මගක් බුදු හිමියන් සොයා ගත් සේක. ජීවිතය නමැති ගංගාවේ කෙළෙස් සැඩ පහරට හසු නොවී ප්‍රහාශ්වර මනසක් උපදවා ගන්නට හැකිනම් එයයි මේ පටිසෝතගාමී මාර්ගයේ ඉලක්කය.

බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්‍රබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා.  නමුත් බුදු හිමියන්ගේ ප්‍රහාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්‍යන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්‍යන්තර පරිසරයයි. අවුරුදු 2500ක සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්‍යාත්මික පරිසරය සැකසීම හෙවත් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්‍රඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි.

..:: වෙසක් පුන් ප්හොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ.  උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට  අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ.

චිනයෙ චන්ද්‍ර දිනදර්ශනය අනුව වෙසක් පොහොය යෙදෙන්නේ එහි හතරවන මාසයෙ අටවෙනි දිනය දායි. අපරදිග ජොර්ජියානු දින දර්ශනය අනුව අප්‍රේල් සහ මැයි මාසයන්හි වෙසක් දිනය යෙදෙන නමුත් එය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වේ.

තායි බුදුදහමේ ධම්මයුතිකා සහ මහායානික පාර්ශව වර්ෂ 2009 සඳහා වෙසක් දිනය සමරනු ලැබුවේ මැයි 08 වනදායි එදින ශ්‍රි ලංකවෙද වෙසක් දිනය සමරනු ලැබිය.මැයි 09 වන දින වර්ෂ 2009 සඳහා සින්ගප්පුරුවේ වෙසක් දිනය යෙදී තිබුණි.

  • සිදුහත් බෝසතානගේ උපතත්, ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුදු වීම හා පිරිණිවන් පෑමත් යන උතුම් තෙමඟුල සිදුවූයේ මෙම වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදීය. ලෝ වාසී බහුතර බෞද්ධ ජනතාව වෙසක් පොහොය දිනයේ දී කටයුතු කරන්නේ මෙම උතුම් තෙමඟුල මුල් කොටගෙනය.

  • ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් ලෙසකින් මෙම උතුම් පොහොය දිනය වැදගත් වේ.  ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ “කැළණියට” වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම “සුමන සමන්” දිව්‍යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන “සමනල” කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි.

    • තවද “විජය” කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, “දෙවන පෑ තිස්” රජුට “ධර්මාශෝක” රජු විසින් “යුව රජ” ලෙසට  දෙවන වරට අභිෂේක ලබා දීම හා “දුටුගැමුණු” රජතුමා “රුවන්වැලි” මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

    මෙම වෙසක් පුන් පොහොය දිනය ලෝක බුද්ධ ශාසනයේ ඉතා වැදගත් වූ පොහොය දිනයක් ලෙස හැදින් විය හැක.

    මාතින් ගිලිහුනු කරුණක් හෝ වැරදි අඩුපාඩුවක් වේනම් ඒ පිළිබදව මා දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.

    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි !!!