Archive

Posts Tagged ‘සූර්‍ය මංගල්‍යය’

සූර්‍ය මංගල්‍යය හා සිව්හෙළය

අදටත් හිරුදෙවි නමදින සිව්හෙළය

සූර්‍ය නමස්කාරය යනු හෙළදිව විසූ යක්ශ, නාග, රාක්ෂ, අසුර ආදී හෙළ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ඇදහීම් ක්‍රමයක් බව ඉතිහාසයේ මෙන්ම ජනප්‍රවාදයේද සඳහන් වේ. යක්ශ ගෝත්‍රය, සූර්‍ය වංශය නමින්ද හැඳින්වූ බවද මෙහිම සඳහන්ය.

අප්‍රේල් 13-14 දිනවලට අද‍ටත් අපි උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද කියලා සමරන්නෙ සූර්‍යා මීන රාශියෙන් මේශ රාෂියට සංක්‍රමණය වීමයි. සිව් හෙළයට සූර්යා මුදුන් වන මේ දින සූර්ය වන්දනයට සුදුසු බව තෝරා ගත්තේ පුලස්ථි ඍෂිවරයා බව ‘සූර්‍ය නමස්කාරය’ නම් පැරණි පුස්කොලපොතේ සදහන්ය. ඒ අනුව ගත් කල වසර 5000කට අධික අඛණ්ඩ කාලයක් පුරා ලක්වැසියා සූර්‍ය වන්දනයේ යෙදෙයි.
එදා අසුර නායකයින් බලංගොඩ කූරගල ආශ්‍රිත ප්‍රදේශයන්හි සිය මාළිගා තනාගෙන විසූ බවත්, මහ කන්නයේ ගොයම් කපා සඳුන් දර උපයෝගී කරගෙන අළුත් සහලින් පිසූ කිරිබතින් බුදුන් වහන්සේ පිදූබවත් ඉපැරණි පුස්කොල පොත්වල සඳහන් වේ. සමන්ත කූඨ වර්ණනාවේ සඳහන් වන පරිදි සහල් ගොඩ ගැසූ පර්වතයන් ලෙස ඉරුගල හා සඳුගල නමින් ගල්ගුහා කූරගල ආසන්නයේ තිබිණි. වර්තමානයේ අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා තේරීමේ තරඟ වල මුල් අදහසත් හිරු කුමරු හා සඳ කුමරිය සංකේතවත් කිරීම බව ඇතමෙකුගෙ පිළිගැනීමයි.

දිවංගත කපිතාන් ශ්‍රී චන්ද්‍ර කුලරත්න සඳහන් කරන ආකාරයට කාශ්මීරයේද බක්මහ සැණකෙලිය පැවැත්වේ. එනමුදු ඔවුන් සමරන්නේ බක්මහ ආරම්භ වන පුර පෑලවිය මිස සූර්‍ය සංක්‍රාන්තිය නොවේ. එනමුදු බක්මහ සැනකෙළිය හෙළයාටම ආවේණික බව පසක් කරන තවත් කරුණකි. එනම්, සිංහල බෝධිවංශයට අනුව මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන විට ධර්ම ප්‍රචාරය සඳහා කාශ්මීරයට යන්නේ භජන්තික තෙරුන්ය. එහිදී ධර්මය ශ්‍රවණය කරන ආරාවල නාග රාජයා ඇතුළු 10 000 නාගයින් බුදුන් සරණ ගිය අතර යකුන් මාර්ගඵල වලට පැමිණ ඇත. එසේනම් කාශ්මීරය ආශ්‍රිත ප්‍රදේශ වලද යක්ශ නාග ගෝත්‍රිකයන් විසූ බවත්, සූර්‍ය වන්දනය හා බක්මහ සැනකෙළිය හෙළයාටම ආවේණික උත්සවයක් බවත් තහවුරු වේ.

විශේෂයෙන්ම මෙම කරුණ මෙහිදී සඳහන් කරන්නේ මෑතකදී මෙය සිංහල හින්දු අළුත් අවුරුද්ද නමින් හැඳින්වුණ බැවිණි. රාම රාවන සටනින් පසු ලංකාව තුල හින්දු බලපෑම් ඇති වූවා සේම හින්දු චාරිත්‍ර වලට සූර්ය නමස්කාරය එක්වුණා මිස එය ඉන්දියාවෙන් අප රටට ආනයනය කල සංස්කෘතික අංගයක් නොවේ. එමෙන්ම ග්‍රීසිය, රෝමය ආදී රටවලටද සූර්ය වන්දනය පැතිර යාම තුලින් එම රටවල් ලංකාව සමග සබදතා පැවැත්වූ බව තහවුරු වේ. වර්තමානයේ අපට බහුලව අසන්නට ලැබෙන්නේ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් ගැනයි. එහෙත් වසර 5000 කට පෙර අසුරයන් සූර්‍ය මංගල්‍යය සමරද්දී දමිළ (Tamil) නම් ජන වර්ගයක්ද මෙලොව විසු බවට කිසිදු සදහනක් හෝ සෙල්ලිපියක්වත් නැත (මෛගලිතික යුගය). එසේනම් හෙළයාගේ අවුරුද්දට හින්දූන් ඈඳා ගැනීම පසුකලෙක සිදුවූවක් බව පැහැදිලිය.

එදා ලක්දිව විසූ සිව් මහා ගෝත්‍ර වල හෙලයන් එකම දිනක, එකම නැකතට, එකම දිශාවක් බලා සූර්‍ය වන්දනයේ යෙදුණු අතර, වසර 5000 කට පසුව අදත් ලක්දිව වෙසෙන හෙළයන් බුදු දහම හා සබැඳි මෙම හෙළ සිරිත් විරිත් බැති බරව ඉටුකරති. මෙලෙස රටක් ජාතියක් ලෙස එකම මොහොතක අවුරුදු චාරිත්‍ර ඉටු කරන අප වරිගයෙන් පිළිඹිබු වන්නේ වසර දහස් ගණනක් පුරාවට, කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිව් මහා බුදු වරුන්ගේ ධර්මය පෙරටු කරගෙන අප රැකගෙන ආ සංස්කෘතිය සහ අපේ එකමුතු බවයි. එවන් වූ සාඩම්බර සංස්කෘතියක් මෙතරම් කලක් අඛණ්ඩව ඉදිරියට ගෙනයන තවත් රටක්, ජාතියක් තියේද?

Advertisements