Archive

Posts Tagged ‘සෙල්ලිපි’

හෙළ පරපුර වරද්දගත්තු තැන…

හෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි.

කවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක්  බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක. මෙම ලිපියේ සිරස්තලය “හෙළ පරපුර වරද්දගත්තු තැන” ලෙස සටහන් කලත් අපට වැරදුන තැන් එකකට වඩා  මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.

පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක්  ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම  හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි.  මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී  හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?

ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද?  තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර,  සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි.  වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද?  මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි?   වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි.

වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන උනන්දුවක් දක්වන පිරිස්ද බොහොමයකි. විසිතුරු වෙබ් අඩවි, බ්ලොග්  දිනෙන් දින අන්තර්ජාලයට එක්වේ. මේවායේ හරබර ලිපි, වටිනා කරුණු මෙන්ම අතරින් පතර ඉතිහාසය ගැන පදනම් විරහිත බොලඳ කතාද නොඅඩුව දක්නට ලැබේ. මෙවන් වෙබ් අඩවි සහ  පුවත්පත්වල පලවූ ලිපි රැසක් පරිශීලණය කිරීමෙන් අනතුරුව පැහැදිලිව වටහාගත් එක කරුණක් නම් කරන වැඩේ හරියට කරන්නේ බොහොම ටික දෙනෙකු බවයි. වෙනත් කිසිවෙකුගේ අදහසක්, වෙන කෙනෙක් ලියූ ලිපියක් හෝ ඉතිහාස කරුණක් හරිද වැරදිද වත් විමසා නොබලා උස්සාගෙන ඇවිත් තම තමන්ගේ වෙබ් අඩවි, බ්ලොග් වල පල කරගෙන ඉතිහාසය ගැන කතා කරන පිරිසක්ද මෙම ගවේශණය තුලදී අපට හමුවිය. එක අතකට පැරණි මහාචාර්ය වරු කියපු දේ එලෙසම අදහමින් ඉතිහාසය කතා කරන ආචාර්ය මහාචාර්ය වරු ඉන්න රටක ඒ ගැන අපි එතරම් පුදුම විය යුතු නැත. වාද කරන්නට මාතෘකාවක් නැතිවට, කරන්නට වෙන වැඩක් නැතිවට හෝ  ලකුණු දමාගන්නට ඉතිහාසය හොයනවානම් වහාම එය නවත්වන ලෙස ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. ප්‍රසිද්ධිය, ලාභ ප්‍රයෝජන තකා ඉතිහාසය සෙවීම අප හෙලා දකින අතර ඉතිහාසය සෙවීමේ රැල්ලට හසුවී එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණු පටලාගෙන ඉතිහාසය කතා කල නොහැක. විශේෂයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසයත් එක්ක එහෙම කෝළම් කිරීම විටෙක භයානකය.  අපේ හෙළ පරපුර වරද්ද ගත්තේ එලෙසයි.

හෙළ දෙරණේ දූ පුතුන් වෙලත් අපි හරියකට ඉතිහාසයක් නොදනිමු.  ඉතිහාසවේදීන් අපට රස කර කර පවසන්නේ විජයගෙන් පැවතෙන පරපුරක් ගැනයි. රාවන නාමය ඇසූ පමණින්ම ඔවුන් බොහෝදෙනා ප්‍රලය වේ. කකුසඳ, කෝනාගම වැනි ගෞතම බුදුන්ට පෙර ලොව පහල වූ බුදු වරුන් ලක්දිවට වැඩිය බව පැවසෙන සෙල්ලිපි, සිතුවම් ආදිය ඇතැමෙක් සොයාගෙන ඇතත් ඒවාට නිසි අවධානයක්, අනුග්‍රහයක් ලබාදී ඉපැරණි ඉතිහාසය යලි මතු කරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි.  ඉදිරිපත් වෙන කෙනෙක් සිටියොත් ඊටද අකුල් හෙලයි. කාලාන්තරයක් තිස්සෙ පොත්වල තිබුණ දේ ගිරව් වගේ කට පාඩම් කරලා වීරයො වගේ ඉතිහාසය ගැන කතා කලා මිස, යක්ෂ, නාග, රාක්ෂාදී ගෝත්‍ර සහ රාවන වැනි රජවරුන් ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කලා මිස, පරදේසක්කාරයන් අන්දපු පලියට ඇඳගෙන සිංහල ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේද මිත්‍යා කතා යැයි කීවා මිස අපේ සැබෑ මුතුන් මිත්තන්ගේ වග සොයා ගියේ කීයෙන් කී දෙනාද?

එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කල ඉතිහාස කරුණු මතම එල්බ ගෙන ඔහු සියයට සීයක් නිවැරදි යැයි සිතමින් ඔහුගේ කෝණයෙන් අපත් ඉතිහාසය දෙස බලනු පසෙක ලා පැරණි පොත පත, ජනශ්‍රැතිය, සිංහල බස් වහර, කවි පද ආදිය පරිශීලණය කරමින්, සැවොම එකතු වී ඉතිහාසයේ නොගැලපෙන තැන් නිරවුල් කර ගනිමින්, නැවතත් සිංහලේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ලඟාවිය නොහැකිද? හැකිනම් ඒ වෙනුවෙන් කැප වන්නට අවංකවම අප සූදානම් විය යුතුය. ඒ කැප කිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. ලක්දිව බුදු සසුනේ පැවැත්ම, සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.


Advertisements

සෝමාවතී චෛත්‍යරාජයා අවට ඇති සෙල්ලිපි…

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 3ක්

සෝමාවතී චෛත්‍යරාජයා මුල් කාලයේදී පාචින නාගාරාමය (නැගෙනහිර පැත්තෙන් පිහිටි ශ්‍රේෂ්ඨ ආරාමය) “මණි අගිය” (අග්‍රගන්‍ය මාණික්‍යය) යන නම් වලින් හැඳින් වූ බව සෙල්ලිපි වලින් අනාවරණය වේ.

දැනට සෙල්ලිපි අටක් සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස පවතී. එයින් සෙල්ලිපි දෙකක් චෛත්‍යරාජයා අසල හා අනිත් සෙල්ලිපි හය සෝමාවතී දාගැබට නුදුරින් චෛත්‍යරාජයා වෙත යන මාර්ගය සමීපයෙහි මීන්විල විශාල ගල්පර්වතයක් වූ එරික් ස්වෝන් නමැති සුප්‍රකට ජායාරුප ශිල්පිය වල අලියෙකු ගෙන් මරණයට පත් දිග් ගලෙහි තිබෙනු දැක බලාගත හැක.

මේ ලිපි අතර චෛත්‍යරාජයා සමීපයෙහි පිහිටි පේලි දහයකින් යුත් විශාල පුවරු ලිපිය ඉතා වේදගත්වේ.

එම ලිපියෙන් කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-192) ගෙන් මණි අගිය නම්  මේ සෝමාවතී විහාරයට කරන ලද පුජාවක් කියවේ. එම ලිපියේ අදහස

01) යහපතක් වේවා, නාග නමැති මහරජුගේ පුත්‍රයා වූ ද, භාතියතිස්ස නමැති මහරජුගේ මනිටු සොහොයුරු වුද, තිස්ස නමැති මහරජ අලිවිටියෙහි භව්ටක වැව සමීපයහි වූ මණි අගිය නමැති රාජමහා විහාරයෙහි සංඝාරාමය නැවත පිහිටුවා යථෝක්ත විහාරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනය (කල් යාමේදී) ක්‍රියාවේ නොයෙදීම හේතු කොටගෙන මේ ස්ථානයට (ලැබීමට නියමිත) ආදායම නොලැබෙන අවස්ථාවේදී මෙබඳු නියෝගයක් පනවන ලදී.මේ ආඥාවට අනුව මේ මුදල සැයේත් පෝයගේත් ප්‍රතිසංස්කරණය කිරීමටද නව කර්මාන්ත වැඩ සඳහා ද යෙදිය යුතු වන්නේය.

ප්‍රතිසංස්කරණ වැඩ කිරීමට ද නව කර්මාන්තයටද උවමනා නොවන්නේ නම් මේ ආදායම සංඝයා වෙත දානය සැපයීම සඳහා දිය යුතුය.

මේ විහාරය සඳහා පනවා ඇති ආඥාව පිලි නොපැදීමේ වරදට දඬුවම කහවනු පන්සියයකි.

මේ විහාරයේ උපෝසථාගාරයේ පහන් දැල්වීම සඳහා තෙල් සැපයීමටද කටුකොහොල් අරීමටද ප්‍රතිසංස්කරණය කිරීමටද මේ තොටුපළවල් තුන එනම් අතර ගගහි කෙහිගම තොටුපල ද, සුමනතගම තොටුපලද තොටගමකහි තොටුපලද දෙන ලදී.

මණි අගියේ උපෝසථාගාරයේත්  රාජමහා විහාරයේත් ආරක්ෂාව සැලසීම නිශ්චය කළයුතුව තිබෙන හෙයින් මේ විහාරයට හිමි සඟ සතු ඉඩම්වල පදිංචි පවුල් වල ය මහා වැකන්දියේ වැඩවලින් මුදවා විහාරය රැකීමේ කාර්යයෙහි යෙදිය යුතුය.

02) ක්‍රි. පු. 9 – ක්‍රි. ව. 21 නාග නමැති මහරජ තම පුත් නකල නමැති කුමාරයා විසින් පිහිටුවන ලද, පාචීන නාගාරාම විහාරයට රජඅඩපිටි  නමැති ගම ප්‍රදානය කළේය.

03) ක්‍රි. පු. 41 – ක්‍රි. පු. 19 කුටකන්න තිස්ස රජතුමා විසින් පිහිටුවන ලද ලිපිය අනුව දෙගම නමැති දිය ඇලක් සාදවා කුඹුරුවලට ජලය ලබාදුන් අයුරු පැහැදිලි වේ.

04) ක්‍රි. ව. 9 – ක්‍රි. ව. 21 මහානාග රජ තම පුත් නාග කුමාරයා පිහිටවූ පාචීන නාගාරාමය නම් විහාරයෙහි නඩත්තුව සඳහා විහාරය සමීපයෙහි වූ රජලි නමැති කුඹුරෙහි සත් කරිසක් සඟසතු කොට පුජා කරන ලදී.

05) ක්‍රි. ව. 112 – ක්‍රි. ව. 134 සංග්‍රාමයේ විජයග්‍රාහක වූ ගාමිණි අභය මහරජු විසින් රජ ඇළෙහි  පිහිටි ගමේ ආදායම මණිඅගිය විහාරයට දෙන ලදී.

06) ක්‍රි. ව. 22 – ක්‍රි. ව. 31 අතර සිටි ආමන්ඩ ගාමිණී  අභය රජුගේ ලිපියක පේලි දෙකක් පමණක් ඉතිරි වී ඇති අතර ඒ සමීපයෙහි තවත් ලිපියක් (එරික් ස්වෝන් ගලෙහි) විනාශයට පත්ව ඇත.

මෙවන් අති පෞරාණික සිද්ධස්ථානය වර්තමානයෙහි විහාර කැලය නමින් හැඳින්වෙන සෝමාවතී අභය භුමිය මධ්‍යයෙහි පවතී. එදා මාගම්පුර වෙල්යායේ කොටසකැයි සිතිය හැකි මේ සමතලා බිම් ප්‍රදේශයේ ස්වභාව ධර්මයාගේ බලපෑමත්, මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වී පිටාර ගැලීමත්, රාජධානි වෙනස් වනවාත් සමගම ජනශුන්‍ය විල්ලු සහිත මහා වනයක් බවට පත්ව නිතර ජාල රකුසාට මුළු ප්‍රදේශයම ගොදුරු වෙමින් වසර 1000 කට අධික කාලයක් ගතවිය.

අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී වල්බිහිව නටබුන්ව ගිය සෝමාවතිය ජනතාවගේ මතකයෙන් ක්‍රමයෙන් ඇත්වන්නට විය.එහෙත් ජනතාවගේ හදවතින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින බුදු රැස් විහිදෙන සෝමාවතිය යන නාමය ඈත් නොවී පරම්පරාගතව පැවතුනි.

සොමවතියේ එදා සහ වත්මන් තත්වය පිලිබඳ ලිපියකින් නැවත ඔබ හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

උපුටාගැනීම්: පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි විසින් රචිත “සෝමාවතී චෛත්‍යරාජයා” ග්‍රන්ථයෙනි.