Archive

Posts Tagged ‘සෝමාවතිය’

සෝමාවතිය අරබයා ලියවුන පද්‍යයක්…

අමනිවන පෑදූ

බුදුරැස් කැරලි වීදු

කෙලෙස්මල් සේදු

වඳිමු සෝමාවතිය සාදු

සැමට ලඟා කර දෙන මොක් මග අතර

අපි යමු වඳින්නට සෝමාවතී වෙහෙර

වන පෙත් මැදින් පායා එන සුපුන් සඳේ

සම්බුදු ගුණ සුවඳ ඒ රැස් තුලින් පිදේ

සැමටම ලඟා…..

බුදු රදුනගේ දකුණු දළදා වැඩ සෑදු

සෝමාවතිය දොහොතින් නමදිමු සාදු

සැමටම ලඟා…..

ගණනින් වසර දෙදහස් සියයකට උඩ

මහරජ ගිරි අබා ගොඩ නැගු ඇතුව හැඩ

සැමටම ලඟා…..

අලි කොටි වලස් ගැවසෙන රජ දහන මැද

මහා වන තලාවෙහි වෙහෙරක් දිලෙයි අද

සැමටම ලඟා…..

පද්‍යාවලිය: සේසිරි විජේසේකර විසිනි.

Advertisements

බුදුරැස් විහිදෙන සෝමාවතිය…

පාලිධාතුවංශය, සිංහල ධාතුවංශය , ජිනකාලමාලිනිය ආදී ඓතිහාසික ග්‍රන්ථ වලින්ද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ගෙන් සොයාගත් නටබුන් හා සෙල්ලිපි වලින් සෝමාවතී චෛත්‍යරාජයා පිළිබඳව කරුණු රැසක් අනාවරණය වේ.

ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.

වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්‍යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි  නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වන අතරම සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ.

වංශකථාවල සඳහන් පරිදි සෝමාවතී දාගැබ පිහිට ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දිරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්දව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුර විද්‍යාත්මක සාධක අනුව හෙළිවන අතරම චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගාලු මහවැලි ගඟ දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.

එදා සෝමාවතිය රුහුණු ප්‍රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස් වූ නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.

සෝමාවතී චෛත්‍යයෙන් හමුවූ සෙල්ලිපි වල අක්‍ෂර ස්වරූපය භාෂා ලක්ෂණ ව්‍යාකරණ රීති ආදියත් චෛත්‍යරාජයා ගොඩ නංවා ඇති ගඩොල් ඒවාට යොදා ඇති බදාම, ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්‍රාකාර බැමි, තිරුවන ගල් වලට සමාන ගල් වලින් නෙලූ සඳකඩපහන්, හස්ති රුප, සිරිපා සටහන්, ගල් කුළුණු හා පෝය සීමා ආදිය දෙස බැලීමෙන් මෙම සෝමාවතී චෛත්‍යරාජයා වසර 2100 කට වඩා ඉපැරණි බව හෙළිවේ.