Archive

Posts Tagged ‘ඉල් පොහොය’

..:: ඉල් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

පෙර පොහොය දිනයන් මෙන්ම ඉල් පුන් පොහොය දිනයේ දීද සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල බෞද්ධ අපට වැදගත් වන කරුණු රාශියක් සිදුවී ඇත. ඒවා පහත පරිදිය,

  • සම්බුද්ධ ශාසනයේ හි ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවියේ මෙම ඉල්  පුන් පොහොය දිනයේදීය. මෙම ධර්ම දූත හැටනමේ මූලිකත්වය දරා ඇත්තේ “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” මහ රහතන් වහන්සේ ඇතුළු “පස්වග” ශ්‍රාවකයන්ය.

  • “තුන් බෑ ජටිලයන්” දමනය කිරීම සඳහා අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “උරුවෙල් දනව්ව” කරා වැඩමවීම.

  • අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අගසව් “සැරියුත්” මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම.

  • “පසුවස්” පවාරණය හා කඨින චීවරය පූජා කළහැකි අවසන් දිනය යන ශාසනික කරුණු කාරනා හේතු කොටගෙන මෙම ඉල් පොහොය දිනය මුළු මහත් ලෝක වාසී බෞද්ධයින් හට වැදගත් වේ.

  • එසේම මෙම උතුම් පොහොය දිනය තුල සියළුම බෞද්ධයින් හට වැදගත් වන තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එනම් මතු බුදුවන “මෛත්‍රී” බෝධි සත්වයන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වෙත විත් පැවදි වූයේ ඉල් පුර පසලොස්වක පොහොය දිනයකදීය. මෙසේ පැවදිවූ මෙම තෙරණුවන් උපසම්පදා ලැබ බුද්ධ ධර්මය මැනවින් හදාරා විශාල භික්ෂූ පිරිසකට අචාර්ය වරයා වූහ. වස් කාලයක් තුල වස් වැසූ මෙම තෙරණුවන් වහන්සේ වස් අවසන තම දායකයන් ගෙන් ඉතාමත් වටිනා උසස් තත්වයකින් යුත් වස්ත්‍ර යුගලයක් වස් වාසික චීවරය ලෙස ලැබූහ. ඉන් පසු මෙම තෙරුන් එම චීවර දෙකෙන් එකක් ගෙන බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ගඳ කිලියෙහි වියනක් කොට පූජා කළහ. අනෙක් චීවරය ගෙන තීරු වශයෙන් ඉරා මහ වියන් කෙලවර වටකොට එයද බුදුපියාණන් වහන්සේට පූජා කළහ. මහා සංඝයා වහන්සේ මැද සිටි මහ තෙරුන් ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහණ, ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නේය ” යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතුනට නියත විවරන ලබාදුන් සේක.

එසේ නම් ඉල් පුන් පසලොස්වක පොහොයදින දී බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් මෙලෙසය. මෙහි යම් යම් අඩුපාඩු, වැරදීම් වෙතොත් එවා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!