Archive

Author Archive

පුංචි ඉල්ලීමක්

පුංචි ඉල්ලීමක්

සුදු නෙළුම

සිතුවිලිවල ඒකාග්‍රතාවය

අපේ සිත්වල උපදින නානා මාදිලියේ සිතුවිලි කේන්ද්‍රීය කොට ගෙන අප තුලින් පැහැදිලිව විද්‍යාමාන වෙන හොඳ, නරක ඉරියව් හා වෙනස් වන ගති සොබා පිටතින් බලනා කෙනෙකුගේ කෝණයෙන් බිඳකට විමර්ශනය කර බලනා කල්හී  ඒවා ධනාත්මක හා ඝෘණාත්මක වශයෙන් දෙකොටසකට පැහැදිලිව ගොඩ ගැසීමට හැකියාව තිබෙනවා…

පෘථග්ජන මිනිසුන් වශයෙන් අපිට එදිනෙදා සමාජයේ විවිධ තැන්වලදීත්  අපේම පෞද්ගලික ජීවන රටාව තුලදීත් විවිධ අභියෝගයන්ට හා ගැටළුවලට මුහුණ දෙන්න සිදුවීම හා ඒවාත් සමඟ නිරන්තර ගැටීමක නියැලෙන්න සිදුවීම අහඹු දෙයක් නොවේ..…

අපි විමසා බලමු අපි බහුතරයකට සමාජයේ බහුලව අත් විඳින්න ලැබෙන බොහෝ විට හුරු පුරුදු  අවස්ථා කීපයක් හා එහිදී  අපේ සිතුවිලි කොයි විදිහටද ඒවා එක්ක ගනු දෙනු කරන්නේ කියල….

හිතන්නකෝ ඔබ හොඳ ගති පැවතුම් ඇති යහපත් සාර ධර්ම අගය කරන සමාජයට නිරතුරුවම යහපතක්ම කරනා පුද්ගලයෙක් කියල..ඔබ කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න හීනෙකින්වත් නොසිතන කෙනෙක්ය කියලා…

ඔබ හොඳ කරන්න කරන්න ඔබට කෙනෙක් දිගටම නොනවත්වා ඔබව විවේචනය කරමින් පහර දෙනවානම් ඔබේ සිතැඟි ඊලඟ පැයේදී කුමන ස්වරූපයක් ගනීද??

මහත් සේ බලාපොරොත්තු රඳවා ගෙන සිටි දෙයක් එකවර ඇස් ඉදිරිපිටම නොසිතූ ලෙස දෙදරා යා නම් කෙබඳු මානසික බලපෑමක් එයින් ඔබට ඇතිවේද??….

ඇස් පනාපිට හැම නරක ක්‍රියාවක්ම කරන තැනැත්තාටම බොහෝ දේ ලැබෙද්දී ජීවිතය පුරාවට හොඳම කරනා තමන්ට ඒ දේවල්වලින් අංශුවක තරම්වත් දෙයක් නොලැබීයාම හා ලැබෙන්නට වාසනාව අහිමි වීම කෙබඳු ලෙස තම සිතට බලපෑම් කරයිද??…

ඉල්ලුවාටත් වඩා සුදුසුකම් ඇතිව රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියද අවසානයේ තමන් තරම්වත් සුදුසුකම් නොමැත්තෙක් ඒ සඳහා තෝරා පත් කර ගැනීම……අඩුම තරමේ වැරදි ඇත්නම් ඒවා මතුවට පිලිසකර කර ගනු වස් කුමන පදනමක පිහිටා තමන්ව ප්‍රතික්ෂේප කලාදැයිවත් වගකිව යුත්තන් තමන්ට ප්‍රකාශ නොකිරීම..

නොකල වරදකට සමාජය තමන්ව හංවඩු ගැහීම කොන් කිරීම හා ලේබල් කිරීම කෙතරම් දුරට කෙනෙකුට සිතින් වේදනා විඳිය හැකි මනෝමය ව්‍යාකූල භාවයක් ඇති කරනු ලබයිද??

මෙවැනි තත්වයන් හමුවේ යාන්ත්‍රික උප සංස්කෘතියක දිවි ගෙවනා  අපි කෙතරම් ශක්තිමත් මනසකින් හෙබි වුවත් අර්ධ වශයෙන් හෝ සිත කඩා වැටීමකට ලක් වන්නේ නැද්ද?

ඔබ කෙතරම්  බණ දහම ප්‍රගුණ කල සිත පිරිසිදුව තබා සිටින අයෙක් වුවත් ඔය ඉහත කී අවස්ථාවන් එකින් එක පරිස්සමින් ගෙන විශ්ලේශනය කර බලද්දී ඔබත් ඉහත දැක්වු සිද්ධීන්ගෙන් අඩුම තරමේ එකකින්වත් කම්පනයක් හා සිත් සෙලවීමක් අත්විඳ තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..

ඔය කම්පනයේදී මුලින්ම ඔබට ස්වයංක්‍රීයව සිතට දැනෙන්නේ මහත් පිලිකුලක් හා කලකිරීමක්..

එහෙම වෙන්නේ උඩු සිත හා යටි සිත අතර ප්‍රබල බැඳීම හා සම්බන්ධතාවය සමතුලිත ලෙස පවත්වා ගෙන යාමට බොහෝ සේ උපකාරී වන හා මුල පුරන ඒකාග්‍රතාවය අහිමි වීම නිසා…

ඒ අහිමි වීමත් සමඟ අභ්‍යන්තරයෙන් සැනින් ශ්‍රාවය වන්නාවූ  ක්ෂනික ක්‍රියාකාරී සිතුවිලි එන්සයිමයන් වියරු උත්තේජකයන් හා වෙලී කැලතී සැනින් අපව ප්‍රකෝප කරවන්න  කල කිරවන්න හා වෙනස් කරවන්න  අපේ සිරුර හා බැඳුනු පොදු ක්‍රියා දාමයක් ඇතුලතින් ක්‍රියාත්මක වෙනවා……

එතැනදි ඔබේ මුහුණේ ඉරියව් නිරායාශයෙන් වෙනස්වීමකට ලක් වෙනවා. ඔබ හිටියාට වඩා තරමක නොසන්සුන්තාවයක ඉන්නා බව  පිටින් බලන කෙනාට තේරෙනවා..

ඔබේ මුවින් වෙනදට පිටවෙන ශාන්ත බවක් ගත් වදන් වැකි මෙදා ටිකක් රොස් පරොස් බවක් ගන්නවා…වෙනදා නොතිබුණු රළු ගොරෝසු බවක් එතුලින් දිස් වෙනවා..

අවසාන ප්‍රතිඵලය කෙලෙස විසඳුනත් ඔය මං ඉහතින් කියපු චර්යාවන් එකක් දෙකක් එහෙමත් නැත්නම් සියල්ලක්ම අප තුලින් විද්‍යාමාන වෙන්න පුලුවන්….

එයයි එහි අපුර්වත්වය…..ඒ වෙනස පිටස්තර ලෝකයෙන් සඟවා සිටීමට කොහෙත්ම බැහැ…

හැබැයි බණ භාවනා ක්‍රම යම් පමණකට පරිශීලනය කර ඇති තැනැත්තාට මෙහිදී සාමාන්‍ය කෙනෙකුට දැනෙන පීඩාව හා ආතතිය සමඟ සසඳා බලන කල්හී එය අවම කර ගැනීමේ ශක්‍යතාවය යම් තාක් දුරට ගිණිය හැකි ප්‍රතිශතයක පවත්වා ගෙන යන්න ඉඩ ප්‍රස්ථා බොහෝ විට තියෙන්න පුලුවන්…

මොකක්ද මේ අසහනය??. අද සමාජයේ නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපේ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි. නමුත් හිතන තරමට ලැබෙන්නේ නැහැ. ලැබෙන ප්‍රමාණයයි බලාපොරොත්තු  ප්‍රමාණයයි  අතර විශාල පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා බලාපොරොත්තු ඇතිකර ගත්තම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක් නැහැ. සහනයක් නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක තමයි අද අප ජීවත් වන්නේ..

සතුට පවතින්නේ භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.

සතුට අධ්‍යාත්මය හා සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම ලස්සන යි. ඒත් සතුට හිතේ අහලකවත් නෑ..

ඒත් පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා. එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න පුළුවනි.

බුදුදහම  බුද්ධිමත් අය සඳහාම මිස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ දේශනා කරල තියෙනවා. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්.

ප්‍රඥාව මිනිසකු සතු උසස් ම වස්තුවක්. එහෙම නම් අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලයයි.. ප්‍රඥාවයි.

බුදු දහම ප්‍රායෝගිකයි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්. නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන්ගෙන් පිරිහී සිටින නිසා වුවමනාවෙන් තමන් විසින්ම ගොඩනගා ගත් ප්‍රශ්න ගොන්නකට මැදිවී එහිම ගිලෙමින් සිටිනවා.

බුදු දහමේ නිසි ඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන අයටයි….

සත්‍යයේ නෙළුම……

මහගිරිදඹ නගිමි
සෝපානය පසෙක ලා
දැකැති මිටි ගනිමි
තුවක්කුව පසෙක ලා
රතු ලේ නොහෙලාම
රතු කමිස නොඇඳම…..

හිමි දවස
පාත්‍රය පාකල
උඩු ගං බලා
ඇදී යමි
තිර අදිටනින්
හිස මුඩු නොකොට
කසාවත් නොඇඳම……

අසත්‍යයේ මඩ වගුරෙන්
සත්‍යයේ නෙළුම
පුබුදුවාලන්නට……

අසත්‍යයේ බයිලාවෙන්
සත්‍යයේ ගීතය
හඳුනාගන්නට……..

මතු බුදු වෙයන් උඹ..අම්මේ !!

වේවැල් කැඩිලා…. වක ගැසුනුහාන්සි පුටුවෙ ඉඳගෙන…. පාර දිහා දෑස් දල්වගෙන බලා ඉන්නව.
තමන්ගෙ කුසින් මෙලොවට බිහි කරලලේ කිරි කරල පොවපු දරුව කොයි වෙලාවෙද තමන් බලන්න එන්නෙ කියල….
පේන තෙක් මානයක ඔහු නෑ .. අම්ම හුගාක්ම අසරණ වෙලා……
හිරු එළිය කෙමෙන් නැගී එද්දී වෙනද මෙන් අම්මගෙ සිතට ගොඩවදින බලාපොරොත්තු .. යලි හිරු අදුරේ ගිලී යද්දී සුනු විසුනු වෙලා යන්නෙ සුසුම් ගුලි ගොඩාක් හිස් අහස් තලය පුරාවට පුරවමින්………..
අදත් පාරෙ යන කෙනෙකුට තමන්ගෙ පුතා කියල රැවටිල….
ඔළුව අතගාලකඳුළු දෑසෙ පුරෝගෙනදෑතම ගෙන සිඹිමින්…. එක එල්ලෙ ඔහුගෙ මුහුන දිහා බලාගෙන ඉන්නවඅසිහියෙන් වගෙ මොන මොනවදෝ කොඳුරනව….
මට වාවන්නෙ නැතුව ගියා. එක පාරටම මගෙ නෙතින් කඳුළු කැට දෙකක් රූරා ගලා විත් මගේම අත මතට පතිත උනා..
ඉහිලුම් නොදෙන පපුවෙන් නොහඩා සිටින්නට මම දැරුවෙ ලොකු උත්සාහයක්
රූප රමු එකින් එක පෙලට අවිත් මගෙ ඇස් ඉදිරිපිටමෙ මම දකින්නෙ සිනමා පටයක්ද?? මටම මගෙ නෙත් අදහාගන්න බැහැ..
අම්මගෙ එකම පුතා වගෙම එකම දරුව…… ඔය අම්ම පුතාව හදා වඩා ගන්න දැරු අප්‍රමාණ වූ දුක් කන්දරාව…. පුතා අද ලොකු මහත්තයෙක්.. පිට රටක ලොකු සුඛෝපභෝගී ජීවිතයක් ගෙවනව…..
තාත්ත නැති වුනායින් පස්සෙ මේ අම්ම ඔය පුතාව ලොකු මහත් කරන්නට….. ශිල්ප ශාස්ත්‍රය නොඅඩුව ලබා දෙන්න දැරුවෙ මේ ලෝකයෙ කිසිම අම්ම කෙනෙක් නොවිදිනා දුක් කන්දරාවක්…..
රෑ මැද්දේ ගිනි ගහන ලිපේ රස්නය නොතකා…. ගිනි කකා තමයි මේ අම්මා ඉඳී ආප්ප තැම්බුවෙ කඩයට විකුනන්න..වෙන ජීවන මාර්ගයක්, හව්හරනයක් නොතිබුන හින්ද……
මේ අම්ම තම දෙපයින් ස්වාධීනව නැගී සිටිය දිරිය ළඳක්……
අම්ම ගිනි රස්නය වැදිලම වයසටත් කලින්ම ලෙඩ ඇඳට වැටුනා
එහ කැපවීම් කරල උස් මහත් කරපු පුතා අද කෝ දෙයියනෙ!!!.. අම්මව උන්නද මළාද කියල නිනව්වක් නෑ….
සමාජයෙ ඉහලම පදවිතානාන්තර වල ඉඳන් ලෝකයට වැදි බණ දේශනා කරන්නේ මෙන්න මේ අය නොවෙද කියල මට හිතුන….
මගෙ හිතට මුළු මහත් සමාජ ක්‍රමය කෙරෙහිම ඇතිවුනෙ මහ විශාල කලකිරීමක්
මිනිස්කම විකිනිල අදටත් මේ මොහොතෙත් ගජරාමෙට විකිනෙමින් පවතිනව..
කොටින්ම මිනිස්සු අමනුස්සයො ගානට වැටිල..රුපියල් සතත් එක්ක නොනවතින අරගලයක…..
දෙමව්පියන්ට සැලකීම…. සැබෑ ආදරය…… මේව ඔක්කොම පෑල දොරින් පැනල ගිහින් ඉතිහාසයට එක්වෙල ගොඩක් කල්…..
අම්මට අද අඩන්න බැහැ…..අම්මගෙ දුබල ඇස්වලඑලියට පනින්න කඳුළු තවත් ඉතුරු වෙලා නෑඒව හරියට වැස්ස නැතුව ඉරි තලා ගිය වියලි කලපයෙ බිම් තීරුවක් වගෙ…..
මුහුදකට ඇති තරම් මෙ අම්මගෙ ඇස්වලින් කඳුළු හැලිල ඇති
අදත් පුතා කියල වෙන කෙනෙකුට රැවටුනු අම්ම වෙනද වගෙම ලොකු සුසුමක් පිට කලා
හදවතේ බුර බුරා නැගුන දුක්ඛ දෝමනස්සයන් එකට එකතු කරල එකවර මුදා හල සුසුම් ගොන්නක් එතන තිබුන කියලයි මට දැනුනේ…….
අමාරුවෙන් හැරමිටියට බර වී ගෙට ගොඩවුනු අම්ම…. කෙලින්ම ගියෙ කාමරයට.
දූවිලි වැදී.. ගෙයි මුල්ලෙ තිබු පෙට්ටගමින් අම්ම පොඩි ඇඳුම් පයක් එලියට අරන් හදවතට තුරුලු කරගත්ත….
මුන දෝතින් වසා ගෙන පිස්සුවෙන් වගෙ ඇඳුම් ඉඹගෙන ඉඹගෙන ගියා….
මාතෘ සෙනෙහස උතුරා දෝරෙ ගැලූ තවත් හැගුම්බර තප්පර කීපයක් මගෙ දෑස් ඉදිරිපිට……
මට තවත් එම දුක්බර දසුන බලා ඉන්න බැහැ දෙයියනේ….
මට හීන් කෙන්දිරියක් එක්ක ඇඬුමක් ආවා…. මම විගහට ගෙයින් එලියට බැහැල පාර දිහාවට පිය මැන්න….
මට ඈත රේඩියෝවකින් යාන්තමට මෙන් ඇහුනෙ ගැඹුරු ගී හඩක්….
දවසක් පැල නැති හේනේ…………..”
මගෙ පපුව ඇතුලෙ ඊයම් ගුලි ගොඩක් එහාට මෙහාට පැද්දෙනවා වගෙ බරක් දැනෙන්න ගත්ත…..
බෝ මළුවක දිදුලන පහන් වැටක් බඳු වූ මගෙම අම්මව එකපාරට මගෙ මතකයට ආව….
අම්මෙ….. නුඹ ජාති ජාතිත් මගෙම අම්ම වෙන්න ඕනෙසංසාරෙ නුඹ මතු බුදුවෙන තුරාවට…. නුඹේ මව් සෙනෙහස මට දැනේවි අම්මෙ!!! …….
නුඹ ලබා දුන්න ලොව්තුරු මව් සෙනෙහස මගෙ සිරුරෙ හැම ලේ බිංදුවකටම මුසු වෙලා අම්මෙ!!
ජීවිතයෙ අවසන් හුස්ම පොද ඉහල අවකාශය සිප වැළඳ ගන්න තුරුමමත් නුඹ වගේමමිනිස්සුන්ට ආදරය උපරිමයෙන්ම බෙදා දෙන්නම් අම්මෙ
අම්මෙ උඹ මතු බුදු වෙලාඅපි ඔක්කොම මේ සසරින් එතෙර කරපන් අමමෙ.!!

~~

බෞද්ධ අධ්‍යාපනයේ පෙර ගමන් කරු…..

විදේශ රටක වෙනත් ආගමික ලබ්ධිකයකු වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරටට පැමිණියේ පාණදුරා වාදයේ පිටපතක් කියවන්නට ලැබී ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයක් ඇති කොට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පිහිටවීමේ අරමුණ ඇතිව ය.

එතුමා, 1880 මැයි මස මෙරටට පැමිණි අතර මැයි 25 වැනිදා ගාල්ල විජයානන්ද පිරිවෙනට ගියේය. එහිදී තිසරණ සහිත පංච ශීලයේ පිහිටි එතුමා බෞද්ධාගමිකයකු විය. පසුව කොළඹට පැමිණ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීය. එකල අනගාරික ධර්මපාල තුමා හා වලිසිංහ හරිශ්චන්ද්‍ර යන දේශප්‍රේමී බොදු නායකයන්ගේ සහාය ද එතුමාට ලැබිණි. බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය බෞද්ධ පරිසරයක් ඔස්සේ සකස් විය යුතු බව ඕල්කට් තුමාගේ අරමුණ විය. ඒ සඳහා 1886 දී කොළඹ මැලිබන් වීදියේ කුඩා නිවෙසක ඉංගිරිසි විද්‍යාලයක් ආරම්භ කෙරුණු අතර ඒ වත්මන් ආනන්ද විද්‍යාලයේ මූලාරම්භයය.

මෙම බෞද්ධ ප්‍රබෝධය හා බෞද්ධ පාසල් සංකල්පය පිළිබඳව සරසවි සඳරැස පත්‍රය විස්තර පළ කැර තිබූ අතර 1886 නොවැම්බර් 1 වැනිදා ඇරැඹුණු එම ඉංග්‍රිසි පාසල පිළිබඳව සරසවි සඳරැස පත්රයේ පළ වී තිබූ ප්‍රවෘත්තිය මෙසේය. “බෞද්ධ ශිෂ්‍යයයන් සඳහා පිටකොටුවේ පාසලක් ආරම්භ විය. බෞද්ධ මාපියන්ගේ දරුවන් බොදු පාසල් වලට යැවීමට උනන්දු කැරවීම මෙහි අරමුණය. මෙම ඉංගිරිසි පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 ක් වූ අතර ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන්නට වූ විට මරදානේ ඉඩමක් මිලදී ගෙන මැලිබන් වීදියේ ඉංග්‍රිසි පාසල  මරදානට ගෙන එන ලදී.

මෙම විදුහලට ආනන්ද යන නම යෙදුණු ආකාරය පිළිබඳ කතා පුවත ද රසවත් ය. විදුහලට නමක් යෙදීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඕල්කට් තුමා රැස්වීමක් කැඳවූ අතර ඕල්කට් තුමා කීවේ මෙම විදුහල ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය දුන් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ගේ නාමය මේ විදුහලට යෙදිය යුතු බව ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ එම යෝජනාව අනුමත නො කළහ. “මේ සඳහා මගේ නම අවශ්‍යයම යැයි කියා සිටිනවා නම් මගේ නාමයේ ගුණ යන කොටස අතහැර ආනන්ද යන කොටස පමණක් යොදන්න. බුදුන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක ආනන්ද තෙරණුවන්ට ගෞරවය පිණිස ඒ නම යෙදිය හැකි යැයි උන්වහන්සේ කීහ. ආනන්ද විදුහල ලෙස එදා සිට හැඳින්වෙන මෙම විදුහල ශත වර්ෂයකට අධික කාල පරිච්ඡේදයක් පුරා දිවයිනේ මහ බොදු විදුහල  ලෙස කීර්ති රාවය පතුරවයි.

ආනන්ද විදුහලේ ප්‍රථම විදුහල්පති වූයේ අයර්ලන්ත ජාතික සී.ඩබ්ලිව්. ලෙඩ්බීටර් මහතා ය. ඉන්පසුව ජේ.ටී.ඩේවිස්, එම්.යූ. මුවර් ෆ්රිට්ස් කැන්ස් මහත්වරු විදුහල්පතිවරු ලෙස කටයුතු කළ අතර ප්‍රථම ශ්‍රී ලාංකික විදුහල්පතිවරයා වූයේ ඒ.ඊ. බුල්ජන්ස් මහතා ය. ඉන්පසුව විදුහල්පති ධූරය හොබවමින් ආනන්දය විශිෂ්ට විදුහලක් බවට පත් කිරීමට සිය කාලය හා ශ්‍රමය වැය කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, පී. ද එස්. කුලරත්න, ආචාර්ය ජී.පී. මලලසේකර, එල්.එච්. මෙත්තානන්ද, එස්.ඒ. විජේතිලක, එම්. ඩබ්ලිව්. කරුණානන්ද, කර්නල් ඊ.ඒ’ පේරුසිංහ, කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ, එන්. නෙත්තානන්ද, වී.එස්. කුඩලිගම, ඒ.පී. ගුණරත්න, ටී.බී. දමුණුපොළ යන විදුහල්පතිවරුන් ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු ය.

මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, කොළඹ නාලන්දා , පන්නිපිටියේ ධර්මපාල ආදී විදුහල් ආරම්භ වූයේ ද එතුමා ඇති කළ බෞද්ධ ප්‍රබෝධය  නිසා ය. වෙසක් පොහොය නිවාඩු දිනක් බවට පත් කිරීමෙන් එතුමා කළ විශිෂ්ට සේවාව ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. බෞද්ධ ප්‍රබෝධය පිණිස කොඩියක් නිර්මාණය කිරීමේදී එතුමා මූලිකත්වය ගත් අතර වර්තමාන බෞද්ධ කොඩිය එම උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙම බෞද්ධ ප්‍රබෝධය නිසා ඇති වූ විදුහල් වල ශිෂ්‍යයයන් අන්තර් ජාතික තලයේ ලැබූ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදීමට විවිධ අවස්ථාවල සමත්ව ඇත. එම ජයග්‍රහණ ක්‍රීඩා අධ්‍යාපන හා සමාජයීය ක්ෂේත්‍ර දක්වා විහිද ඇති අතර එම විදුහල් වල දූ පුතුන් ලබාගත් ජයග්‍රහණවල ගෞරවය මෙබඳු විදුහල් ජාලයක් ඇති කොට අධ්‍යාපන ප්‍රබෝධයේ මං සලකුණු තබන්නට එදා අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ ඕල්කට් තුමාට හිමි විය යුතු ය.

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ බෞද්ධාගම හා බොදු සංස්කෘතිය නඟා සිටුවීමට මෙතුමා කළ සේවය සිහි ගැන්වීමට මෙතුමාගේ නමින් නම් කැරුණු ආනන්ද විදුහලේ ඕල්කට් අනුස්මරණ ශාලාව කියාපාන්නේ දහස් සංඛ්‍යාත බොදු දරුවන ගේ අභිමානය නොවේද?

සත්‍යය මත පදනම්ව කටයුතු කරන මනුෂ්‍යය වර්ගයාගේ දියුණුව රඳා පවතින්නේ සහෝදරත්වය මත බවට එතුමන් දැරූ මතය මෙබඳු අවදියෙක වඩාත් ඉස්මතුව පෙනේ.

බෞද්ධ අධ්‍යාපනයට නව ජීවයක් දෙන්නට ගන්නා උත්සාහය පිළිබඳව ඕල්කට් තුමා දැරුවේ මෙවන් අදහසකි. ‘බීජ වපුරා ඇත. එම බීජ වලින් හටගන්නා සුහුඹුල් පැළ යෝධ වෘක්ෂ බවට පත්වෙයි. එම වෘක්ෂ වලින් සරුසාර පල දැරීම නවතා ලීමට සමතෙක් මේ ලොවෙහි නැත. ඕල්කට් තුමා අදහස් කළ පරිදි එතුමා වපුල බීජ දැන් පල දරා ඇත. පල දැරූ ගස් වලින් පල ප්‍රයෝජන ලබන අය ද බොහෝ ය.

එබඳු උතුම් පරමාර්ථයකින් කටයුතු කළ එතුමා සිහිපත් කිරීම කෘතවේදී ජනතාවගේ යුතුකම ය.

සැකසුම ආනන්ද විද්‍යාලයාධිපති බී.ඒ. අබේරත්න මහතාගේ අනුග්‍රහයෙනි…

ප්‍රවර්ග:ඉතිහාසය