නිවස > බුදු දහම > නිරෝගී සුවයට සක්මන් භාවනාව…

නිරෝගී සුවයට සක්මන් භාවනාව…

“සක්මන් භාවනාව” යනු සිහි නුවනින් යුතුව ඇවිදීමකි. ලෝක නාථ වූ බුදුරජාණන් වහන්සේද තුන්වෙනි සතියේදී සක්මන් කල සේක. ජීවක වෛද්‍ය තුමාගේ ඉල්ලීමක් අනුව “අනුජානාමි භික්කවේ චන්කමනං” යනුවෙන් භික්ෂුන් වහන්සේලාට නිරෝගී සුවය සඳහා සක්මන අනුදැන වදාළහ. මෙලොව වශයෙන් කායික සුවයත්, සතිය දියුණු වී කෙලෙස් රෝග ද සුව වීමෙන් සදාකාලික නිරෝගී සුවය වූ නිවන් සුවයද ලැබේ.

ඉඳගෙන පැයක් පමණ භාවනා කරන භාවනා යෝගියකු පැය භාගයක්  සක්මන් කිරීමෙන් නිරෝගී සුවය සඳහා අත්‍යවශ්‍ය වන ව්‍යායාමයද සම්පුර්ණ වේ.

භික්ෂුන්වහන්සේලාට සහ (භාවනා) යෝගීන්ට ඉතා සුදුසු ව්‍යායාම දෙකක් තිබේ. එනම් සක්මන් කිරීම සහ විහාර මළු, බෝ මළු, සක්මන් මළු ආදිය ඇමදීමත්ය. මෙම ව්‍යායාම දෙකෙහි යෙදෙන භික්ෂුන්වහන්සේලගේ සහ යෝගීන්ගේ නිරෝගී සුවය ආරක්ෂා වේ. දියවැඩියාව ආදී රෝග රැසකින් ආරක්ෂා වී සිටීමට පුළුවන.

අතීතයේ වැඩ විසු අපේ පැරණි භික්ෂුන්වහන්සේලා සහ වයෝවෘද්ධ ඇත්තෝ වඩාත් නිරෝගී සුවයෙන් ජීවත් වීමට සමත් වුයේත්, අද මෙන් ලෙඩ රෝග බහුල නොවීමට එක ප්‍රධාන හේතුවක් වුයේත්, ඒ ඇත්තන් දිනකට සැතපුම් කීපයක් පයින් ගමන් කිරීමත්, සක්මන් භාවනාවේ යෙදීමත්, දිනකට පැයක් හෝ මිදුල ඇමදීමත්, ආගමික වත් පිළිවෙත් වල යෙදීමත් නිසාය.

සක්මන් භාවනාවේ යෙදෙන අයට බුදු ගුණයක් ගැන සිත සිතා හෝ මෛත්‍රී භාවනාවේ යෙදෙමින් හෝ තම මෙනෙහි කරන භාවනාවට අදාලව මෙනෙහි කරමින් භාවනා කල හැක.

වැඩිපුර වෙහෙසෙන්න එපායයි වෛද්‍ය උපදෙස් ලබා සිටින අයෙක් වුවත් ඉතා සුළු වෙලාවක් සක්මන් භාවනාවේ යෙදීම නිරෝගී වීමට හේතු වේ. වෙහෙස දැනෙන තුරු සක්මන් නොකර සුළු වෙලාවක් සක්මන් කරන්න. නැවත නැවතත් වරින්වර ටිකෙන් ටික සක්මන් කරන්න. සක්මන නිසා ශරීරයට අවශ්‍ය ව්‍යායාමයද නොඅඩුව ලැබෙන අතර වැඩි වෙලාවක් ඉඳගෙන භාවනා කිරීමේ හැකියාවද දියුණු වේ. සතිය දියුණු වී සමාධිය ලැබේ. මෙලොව වශයෙන් නිරෝගී සුවය ලැබේ.

වයස්ගත වීම නිසා හෝ රෝගාතුර වීම නිසා අබල දුබල වී සිටින එහෙත් දිනකට විනාඩි 5ක් තරම් සුළු වෙලාවක් හෝ ඇවිදීමට හෝ ඇමදීමට හැකි අයෙක්නම් – සක්මන් කිරීම හෙවත් ඇවිදීම – ඇමදීම හෙවත් ගෙමිදුල් අතුගෑම (සහ මල් වැවීම ද) නිරෝගී සුවය ලැබෙන අගනා භාවනා ක්‍රම කීපයකි. ශරීරයට අපහසුවක් නොදැනෙන පරිදි මෙම කාර්යයන්හි යෙදෙන්න. සාර්ථක ප්‍රතිපල ලැබේ.

ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා” ග්‍රන්ථය ඇසුරිනි.

  1. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:24 ට

    බොහොම පින්.

  2. නුවා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 10:00 ට

    බොහොම ස්තුතියි සහෝදරී…

  3. හර්ෂණ රුවන් කුමාර
    2019 මාර්තු 7 දින පෙ.ව. 9:59 ට

    රෝග සුවයට භාවනා පරගස්තොට සුධම්ම හිමියන්ගේ පොත ලබා ගන්නේ කොහොමද

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න