Archive

Author Archive

නිවන් මඟ අවුරන භව තණ්හාව

මේ එළඹෙන්නෙ වෙසක් පුන් පෝ දිනයයි. ගණන් බලා ඇති අන්දමට සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලබා වසර 2601ක් පිරෙන්නෙ මේ වෙසක් මාසයටයි. දාන මාන, ආලෝක පූජා සහ ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන් දෙමින්, ලොවපුරා වෙසෙන බොදු සැදැහැවතුන් උත්සවාකාරයෙන් වෙසක් පොහොය සමරන්නට ලක ලැහැස්ති වෙන මේ මොහොතේ, අප තවමත් අඳුරේ අතපත ගාන නිර්වාණ මාර්ගය සොයා යාම පිළිබඳව කතා කරන්නටයි අපේ මේ සූදානම…

ලෝ සතුන්ට නිවන් මඟ විවර කරදුන් මහා කාරුණිකයාණෝ අපට කියාදුන් නිර්වාණ මාර්ගය සොයා යන්නට තවමත් අපවෙත ඉතිරිව ඇති බව පසක් කරවමින්, දන්සැල්, පින්කම් ආදී අනන්ත වූ වෙසක් සැමරුම් සමඟ තවත් වෙසක් පුන් පෝ දිනයක් මෙලෙසින් ගෙවී යාමට නියමිතයි. සෑම වසරකම මෙලෙසින් කුසල ක්‍රියාවන්හි නිරත වෙන අප කාටත්, සසර මඟ තව බොහෝ දුරක් යන්නට ඉතිරි බව අප සැමදෙනාගේම මතයයි. එය හැබෑවක්ද? නැතිනම් මේ සසර ගමන අප විහින්ම දික්කරගත්තක්ද? මොහොතක් නැවතී සිතා බලමු.

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?

අද වෙන විට බොහොමයක් බොදුනුවන් නිර්වාණ මාර්ගයෙන් ඈත් වෙලා යැයි අප පැවසුවොත් කී දෙනෙක් නම් ඊට එකඟ වේවිද? කී දෙනෙක් නම් විරුද්ධ වේවිද? කලකට ඉහත “බුදුබණ ඇසුවට නිරන්තරේ” යන මාතෘකාව යටතේ නිර්වාණය අපේක්ෂා කරන කෙනෙක් යායුතු ගමන කෙබඳුද යන්න පාඨක ඔබෙන් අපි ප්‍රශ්න කළෙමු. අදහස් දැක්වූ බොහෝ දෙනාගේ මතය වූයේ මිනිසත් බවක් ලැබේයැයි අවිනිශ්චිත ලබන ආත්මයකට කල් දැමීමට වඩා මෙම ආත්මයේ ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. එනම්, තෘෂ්ණාවෙන් මිදී නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම භවය තුලම සූදානම් වීම සුදුසු බවයි. එසේනම් තව තවත් කම් සැප සොයා සදෙව්ලොව සරන්නට හෝ දුකින් තොර මතු භවයක් ලබන්නට කරන ප්‍රාර්ථනා පසෙක ලා උතුම් වූ නිර්වාණය පසක් කරගැනීමේ චේතනාවෙන් කුසල් රැස් කරමු.

ඔබ සැමට සසර කෙළවර තථාගත ධර්මය පසක් වේවා!

කැප්පෙටිපොළ සැමරුම

වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් අනන්නවත්, කඳුළු සලන්නවත් නෙමෙයි…  සිංහලේ පවතින තුරා ඔවුන්ව, ඔවුන් කළ මෙහෙවර මතක තියාගන්න.

එකක් නෑර හැමදෙයක්ම සිහියෙ තියාගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපේ විරුවො රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් වැදපු හැටි, ජීවිත පූජා කළ හැටි, විතරක් නෙමෙයි… කැප්පෙටිපොල නිළමෙ තුමාව ඉංග්‍රීසින්ට පාවා දුන්න හැටි සිහි වෙනකොට, අද ඉන්න අපේ සමහරුන්ගෙ කෙරුවාව ගැන අනේ අපොයි කියලා හිතෙනවා. රට වෙනුවෙන් දිවි දුන් පිනෙන් නිවන් දකිනාතෙක් අපේ වරිගෙ රැකගන්න මේ පින්බිමේම උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.

බුදුන්ගේ දේශයේ අවසානයද….?

“අනුරපුර පල්ලිය ඉවත් කිරීමට නියෝග කල නිළධාරිණියට ස්ථාන මාරුවක්”…

යන සිරස්තලයෙන් පුවත්පත්වල සහ අන්තර්ජාලයෙත් පලවූ පුවතත් සමඟ, අප කණ්ඩායම විසින් මෙම අනවසර ඉදිකිරීම් ගැන වැඩි කතා බහකින් තොරව සිටීමේ පිළිවෙත වෙනස් කිරීමට තීරණය කළෙමු. මේ සිද්ධිය ගැන මුලදිත් ලිපියක් පල නොකිරීමට ප්‍රධානම හේතුව වූයේ, මෙවන් ලිපි කියවා එවෙලෙට කුපිත වන සිංහල බෞද්ධ මෙන්ම, අන්‍යාගමික හෝ අන්‍යාගමික හිතැති පිරිස් විසින් සයිබර් අවකාශයේ ඵල රහිත වාග් සංග්‍රාම වලට පැටලී තාවකාලික වීරයන් වීම විනා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් කිසිදිනක නොගන්නා බැවිනි. මෙම විහිළු දැකීමෙන් කලකිරී සිටි අප කණ්ඩායම මෙවන් පුවත් ගැන බ්ලොග් අඩවියෙන් සාකච්ඡා කිරීම සීමා කළෙමු.

නමුත් ඉහත සඳහන් සිදුවීමත් සමඟ තවදුරටත් මේ ගැන මුනිවත රැකීම නොකළයුත්තක් බව හැඟේ. ඒ අතරම, බෞද්ධයාගේ රටේ, සිය උරුමය වෙනුවෙන් කටයුතු කරන්නන්ට සිදුවන මෙවන් අසාධාරණ හමුවේ මේ දේවල් ගැන කතා කිරීමද එක අතකට නිශ්ඵල යැයි සිතේ. අනුරපුර පූජා භූමිය තුලම හොරෙන්ම පල්ලියක් අටවාගන්නට මෙම අන්‍ය ආගමිකයන් ක්‍රියා කලේ ඔවුන්ට පල්ලියක් අටවා ගන්නට වෙන ඉඩමක් නොතිබුණු නිසාමද?…. නැත. මේ සිද්ධ වෙන්නෙ ආක්‍රමණයකි. එළිපිටම කරන මේ නින්දිත ආක්‍රමණයට විරුද්ධව බුද්ධිමත්ව පෙළ ගැහෙන්නට සිංහල බෞද්ධයා සූදානම් විය යුතුමයි.

ලංකාව බුදුන්ගේ දේශය වුණේ අතීතයේ විසූ රජ කෙනෙක් අපේ රට බුදුන් වහන්සේට පූජා කල නිසා පමණක්ම නොවෙයි. වසර දහස් ගණනක් පුරාවට, රටේ ගමක් නගරයක් නෑර වෙහෙර විහාර ඉදිකරමින්, ආක්‍රමණිකයන් හා දිවිහිමියෙන් සටන් වදිමින් බුදු සසුන මෙලොවින් වියැකෙන්නට නොදී රැකගත් එකම ජාතිය වෙසෙන්නේ ලංකාවේ බැවිනි. ඒ ජාතිය සිංහල බෞද්ධයායි. අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලත් නවගුණ වැල මෙන්ම, සසුන රැකගැන්මට අවැසි තැනදී ආයුධයක් අතට ගන්නට පවා මැලිනොවුණු ජාතියකට අද උරුම වී ඇති ඉරණම ඉතාම කණගාටුදායකය.

අනුරපුර පල්ලිය ඉවත් කල පුවතත් සමඟ තවමත් කොන්ද පණ තියෙන බෞද්ධයන් ලංකාවේ සිටීම පිළිබඳව අප සතුටු වුණත්, ඔවුන්ට මේ අත්වෙන ඉරණම හමුවේ තවදුරටත් ලංකාද්වීපය බුදුන්ගේ දේශය නොවේදැයි අපට සැක පහළ වෙයි. මේ පිළිලයට සිත්සේ වැඩෙන්නට ඉඩහැර මානව අයිතිවාසිකම් ගැන පණ්ඩිතකම් දොඩමින් සිටියොත් අපේ අනාගත දරු පරපුරට වෙසෙන්නට නිවහල් රටක් ඉතුරු නොවෙනු ඇත. අතීතයේ අපේ රට ජාතිය ආක්‍රමණ වලින් බේරාගත් අපේ මුතුන් මිත්තන් ගැන අපි අදටත් ආඩම්බරයෙන් කතා කලත්, මෙහෙම ගියොත් අපේ අනාගත පරපුර නම් අපට දෙස් දෙවොල් තබනු නොඅනුමානය.

රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම…

1920 වසරේදී ආරියසේන ආශුබෝධ නමින් කොග්ගලදී උපත ලද මෙම කීර්තිමත් ලේඛකයා අරිසෙන් අහුබුදු නමින් සිය නාමය වෙනස් කලේ  හෙළ හවුල හා එක්වීමෙන් පසුවයි. එදා මෙදා තුර දශක ගණනාවක් පුරාවට දැයේ දූ පුතුන් සිය දහස් ගණනකට අර්ථවත් නම් තැබූ මේ අපූර්ව මිනිසා අප අතරින් සමුගත්තේ සිය ජීවිත කාලය තුල උපන් රටට මහත් වූ සේවයක් කැපකිරීමක් කිරීමෙන් අනතුරුවයි.

ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, කථිකයෙක් ලෙස එතුමා හෙළ බස ගැන, හෙළ ඉතිහාසය ගැන අප දැනුවත් කල අයුරු ප්‍රශංසනීයයි. සක්විති රාවන වැනි වේදිකා නාට්‍යද, මනුවස, කොග්ගල පවත වැනි පද්‍ය ග්‍රන්ථද, හෙළ දෙරණ වග වැනි ගද්‍ය කෘතීන්ද රචනා කල අරිසෙන් අහුබුදු ශූරීන් හෙළ ඉතිහාසය ලොවට කියන්නට බොහෝ වෙහෙසක් ගත්තෙකි. සාහිත්‍යය, හෙළබස වෙනුවෙන් ඔහු කල සේවය හමුවේ ඔහුට නිවන් සුව පතන්නට හදවත නොනැමෙන්නේ මතුවටත් හෙළයන් අතර ඉපිද ඔහුගෙන් වෙන සේවය ලබන්නට තරම් ආත්මාර්ථකාමී බවක් අප පෘතග්ජන හදවත් වලට දැනෙන බැවිනි.

ඇදුරාණෙනි… ඔබට දුටුගැමුණු බළකායේ උපහාරය!

ප්‍රවර්ග:කාළීන සිදුවීම්

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සිංහල අවුරුදු චරිත්‍ර