නිවස > ඉතිහාසය, කාළීන සිදුවීම්, දුටුගැමුණු බළකාය > හෙළ පරපුර වරද්දගත්තු තැන…

හෙළ පරපුර වරද්දගත්තු තැන…

හෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි.

කවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක්  බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක. මෙම ලිපියේ සිරස්තලය “හෙළ පරපුර වරද්දගත්තු තැන” ලෙස සටහන් කලත් අපට වැරදුන තැන් එකකට වඩා  මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.

පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක්  ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම  හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි.  මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී  හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?

ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද?  තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර,  සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි.  වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද?  මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි?   වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි.

වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන උනන්දුවක් දක්වන පිරිස්ද බොහොමයකි. විසිතුරු වෙබ් අඩවි, බ්ලොග්  දිනෙන් දින අන්තර්ජාලයට එක්වේ. මේවායේ හරබර ලිපි, වටිනා කරුණු මෙන්ම අතරින් පතර ඉතිහාසය ගැන පදනම් විරහිත බොලඳ කතාද නොඅඩුව දක්නට ලැබේ. මෙවන් වෙබ් අඩවි සහ  පුවත්පත්වල පලවූ ලිපි රැසක් පරිශීලණය කිරීමෙන් අනතුරුව පැහැදිලිව වටහාගත් එක කරුණක් නම් කරන වැඩේ හරියට කරන්නේ බොහොම ටික දෙනෙකු බවයි. වෙනත් කිසිවෙකුගේ අදහසක්, වෙන කෙනෙක් ලියූ ලිපියක් හෝ ඉතිහාස කරුණක් හරිද වැරදිද වත් විමසා නොබලා උස්සාගෙන ඇවිත් තම තමන්ගේ වෙබ් අඩවි, බ්ලොග් වල පල කරගෙන ඉතිහාසය ගැන කතා කරන පිරිසක්ද මෙම ගවේශණය තුලදී අපට හමුවිය. එක අතකට පැරණි මහාචාර්ය වරු කියපු දේ එලෙසම අදහමින් ඉතිහාසය කතා කරන ආචාර්ය මහාචාර්ය වරු ඉන්න රටක ඒ ගැන අපි එතරම් පුදුම විය යුතු නැත. වාද කරන්නට මාතෘකාවක් නැතිවට, කරන්නට වෙන වැඩක් නැතිවට හෝ  ලකුණු දමාගන්නට ඉතිහාසය හොයනවානම් වහාම එය නවත්වන ලෙස ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. ප්‍රසිද්ධිය, ලාභ ප්‍රයෝජන තකා ඉතිහාසය සෙවීම අප හෙලා දකින අතර ඉතිහාසය සෙවීමේ රැල්ලට හසුවී එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණු පටලාගෙන ඉතිහාසය කතා කල නොහැක. විශේෂයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසයත් එක්ක එහෙම කෝළම් කිරීම විටෙක භයානකය.  අපේ හෙළ පරපුර වරද්ද ගත්තේ එලෙසයි.

හෙළ දෙරණේ දූ පුතුන් වෙලත් අපි හරියකට ඉතිහාසයක් නොදනිමු.  ඉතිහාසවේදීන් අපට රස කර කර පවසන්නේ විජයගෙන් පැවතෙන පරපුරක් ගැනයි. රාවන නාමය ඇසූ පමණින්ම ඔවුන් බොහෝදෙනා ප්‍රලය වේ. කකුසඳ, කෝනාගම වැනි ගෞතම බුදුන්ට පෙර ලොව පහල වූ බුදු වරුන් ලක්දිවට වැඩිය බව පැවසෙන සෙල්ලිපි, සිතුවම් ආදිය ඇතැමෙක් සොයාගෙන ඇතත් ඒවාට නිසි අවධානයක්, අනුග්‍රහයක් ලබාදී ඉපැරණි ඉතිහාසය යලි මතු කරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි.  ඉදිරිපත් වෙන කෙනෙක් සිටියොත් ඊටද අකුල් හෙලයි. කාලාන්තරයක් තිස්සෙ පොත්වල තිබුණ දේ ගිරව් වගේ කට පාඩම් කරලා වීරයො වගේ ඉතිහාසය ගැන කතා කලා මිස, යක්ෂ, නාග, රාක්ෂාදී ගෝත්‍ර සහ රාවන වැනි රජවරුන් ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කලා මිස, පරදේසක්කාරයන් අන්දපු පලියට ඇඳගෙන සිංහල ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේද මිත්‍යා කතා යැයි කීවා මිස අපේ සැබෑ මුතුන් මිත්තන්ගේ වග සොයා ගියේ කීයෙන් කී දෙනාද?

එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කල ඉතිහාස කරුණු මතම එල්බ ගෙන ඔහු සියයට සීයක් නිවැරදි යැයි සිතමින් ඔහුගේ කෝණයෙන් අපත් ඉතිහාසය දෙස බලනු පසෙක ලා පැරණි පොත පත, ජනශ්‍රැතිය, සිංහල බස් වහර, කවි පද ආදිය පරිශීලණය කරමින්, සැවොම එකතු වී ඉතිහාසයේ නොගැලපෙන තැන් නිරවුල් කර ගනිමින්, නැවතත් සිංහලේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ලඟාවිය නොහැකිද? හැකිනම් ඒ වෙනුවෙන් කැප වන්නට අවංකවම අප සූදානම් විය යුතුය. ඒ කැප කිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. ලක්දිව බුදු සසුනේ පැවැත්ම, සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.


  1. Roshan Eranga
    2010 සැප්තැම්බර් 24 දින පෙ.ව. 10:32 ට

    ඔයා හරි….
    අපි අපේ ඉතිහාසය හැමදාම තීරනය කලේ පිට කෙනෙක් කියන දේවල් මත ඉඳ ගෙන.දැන් වත් අපි අපේ කකුල් දෙකෙන් නැගිටින්න ඕනි…පිටරටින් එන කෑම ගැන නොහිතා අපේ කකුල් වලින් නැගිටිමු…

  2. කාදර්
    2010 සැප්තැම්බර් 24 දින ප.ව. 7:02 ට

    පෝස්ට් එක නම් ‍හොදයි

    ඒත් මේක ටිකක් අවුල් නේ මට

    //සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.//

    • 2010 සැප්තැම්බර් 25 දින ප.ව. 9:54 ට

      අපේ ඉතිහාසය, උරුමය නිවැරදිව හඳුනාගැනීමත්, අනාගත පරපුර වෙනුවෙන් සංස්කෘතිය, සාරධර්ම මෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමත් හෙළ පරපුරේ වගකීමක්. ලිපියේ සමස්ථ අදහසත් එක්ක ලියලා තියෙන සම්පූර්ණ වාක්‍යයේම තේරුම විමසුවා නම් අවුල් වෙන්න විදිහක් නෑ.

      “සිංහලේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ලඟාවිය නොහැකිද? ඒ වෙනුවෙන් කැප වන්නට අවංකවම අප සූදානම් විය යුතුය. ඒ කැප කිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. ලක්දිව බුදු සසුනේ පැවැත්ම, සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.”

  3. Upendra
    2010 සැප්තැම්බර් 25 දින පෙ.ව. 2:12 ට

    mama hithanawa kauda mae hela parapura kiyala pehadali karai kiyala. aduma ganae oba adhas karana hela parapurata sambanda e-mail address ekak ho web site ekak wagae deyak wath eli karai kiyala.

    • 2010 සැප්තැම්බර් 25 දින ප.ව. 9:54 ට

      හෙළ පරපුර යන්නෙන් අපි අදහස් කරන්නෙ මේ හෙළ දෙරණෙ ඉපදුන සිංහල පරම්පරාව ගැන. මට පේන්නෙ යාළුවා අපි කියපු දේ ටිකක් පටලවගෙන වගෙයි.

      • Upendra
        2010 සැප්තැම්බර් 27 දින ප.ව. 6:17 ට

        sthuthi pehadili kireema sambandawa. aththatama pataluna nisai liha ganna ahuwae. ahupa ekae waradak neha mama hithannae.

        • 2010 සැප්තැම්බර් 27 දින ප.ව. 10:37 ට

          ප්‍රශ්න අහල තමන් නොදන්න දෙයක් හෝ නොපැහැදිලි දෙයක් විසඳගන්න එක හොද වැඩක්. දුටුගැමුණු බලකායෙ අපිත් කැමති කට්ටිය ප්‍රශ්න අහනවට. ඔබගේ පැනයට මහසෙන් දුන් පිලිතුර ප්‍රමාණවත් කියල මම හිතනවා.

  4. 2010 සැප්තැම්බර් 25 දින ප.ව. 2:32 ට

    ඔබ කියන කතාව හරියටම හරි, අපි ඉගෙන ගන්නා ඉතිහාසය හරිද වැරදිද කියල කවුරුවත් දන්නෙ නෑ, මහා වංශයේ පවා සාවද්‍ය දේවල් බොහොමයක් තිබෙන බවයි පැවසෙන්නෙ. ඕනෑ කමින්ම සඟවපු කොටස් තිබෙන බව කියනව.

    පොඩි අමතර දෙයක්. ලංකාවෙ කොඩිය කියල ඔබ දාල තියෙන එක හරිද? වම් පස තීරු දෙකත් එක්කම නේද නිවැරදි ධජය.

  5. Upendra
    2010 සැප්තැම්බර් 27 දින ප.ව. 6:20 ට

    @ Madhawa, helayae kodiyae wam pasa theeru dakae thruma poddak hoyanna. ewita obata pehadili wai ai ae theeru deka ain karala thiyennae kiyala. jaya jaya sri !!!

  6. 2010 සැප්තැම්බර් 27 දින ප.ව. 10:46 ට

    සුද්ද අපේ රටට නිදහස දුන්නට පස්සෙ ජාතික කොඩියට අලුතින් තිරු 2ක් එකතු උනා. එකට කට්ටිය කිව්වෙ දෙමළ සහ මුස්ලිම් අය නියොජනය කරන්න දැම්ම කියල, සමහරු කිව්ව සුලු ජාතීන් ඉන්නව කියල පෙන්වන්න දැම්ම කියල. කොහොම හරි ඒකෙන් උනෙ අපේ ජාතික කොඩිය බහු ජාතික කොඩියක් වගේ උන එක.
    ලංකාවෙ ඉන්නෙ එක ජාතියක්, රටකට සිටින්නේ එක ජාතියක් නිසා, ජාතික කොඩියකින් නියෝජනය වෙන්නෙ ඒ ජාතිය.
    අපි එකම කොඩියක් යට එකම සොයුරු සොයුරියන් කැළක් විදිහට ජීවත් වෙනව දකින්නයි දුටුගැමුණු බලකායෙ අපේ ප්‍රාර්ථනය. ඉතින් අපි ජාතික කොඩිය හැටියට පාවිච්චි කරන්නෙ මේ කොඩිය. එකම දැයක් එක කොඩියක්.

  7. kumudu
    2011 ජනවාරි 11 දින පෙ.ව. 3:32 ට

    mama apramanawa sathutu wenawa mema lipiya kiyawanna labima gana.me wenuwen apita kala haki de kumakda kiya dana ganna kamathiy.

  8. 2011 ජූනි 4 දින පෙ.ව. 10:34 ට

    අද ඉතිහාස පොතේ ඇත්තේ ඉංග්‍රීසින් රට ආක්‍රමණය කලා අයුරු ,ලෝක ඉතිහාසය සහ ඉංග්‍රීසි ආණ්ඩුකාර වරු ගැනයි.ඉංග්‍රීසින්ට පෙනුණු නිදහස් අරගල කැරලි ලෙස දරුවන්ට ඉගැන්වීමට ඇති පදනම කුමක්ද?
    අධික තණ්හාව හා බල ලෝබය පසුව හඹා ගිය අධිරාජ්‍යවාදීන් පැමිණීමට පෙර අප පවත්වාගෙන ආ ශ්‍රී විභූතිය සගවා ඇත්තේ කුමක් නිසාද?
    ආගමික හැදියාවෙන් හික්මුණු අප යුද්ද කිරීමට සුදානම්ව සිටියේ හෝ බල ලෝභයෙන් සිටියේ නැත.සිංහලේ කලා නිර්මාණ හා වාරි තාක්‍ෂණය අප ප්‍රවීණ වූ ශික්ෂිත විෂය පථය කියාපායි.
    ඒවා සුනු විසුනු කර අධිරාජ්‍යවාදීන් කල කෙනිහිලිකම් සගවා ඔවුනට ගැති තරුණ පරපුරක් සදා ගැනීමට අද ඉතිහාස පොත ක්‍රියාත්මක වෙයි.(සාමාන්‍යපෙළ ඉතිහාස පොතේ ඇති පාඩම් සොයා බලන්න.).මෙය මෙසේ සිදු වීමට ඉඩ දිය නොහැක.අභිමානය ගොඩ නැංවෙන පරිදි නිවැරදි ඉතිහාසය අධ්‍යාපනයට එකතු කිරීමට පෙලබවීමට කාලය එලබ ඇත.

  9. 2011 ජූලි 21 දින ප.ව. 8:43 ට

    හොද ලිපියක්. ඉතින් අනිවාර්යෙන්ම අපේ හෙළයන්ගේ ඇස් ඇරවීමට යමක් කළ යුතු යයි මම සිතුවෙමි. මම නම් 2000 වසරේ සිට උඩුගං බලා පිහිනමි. ඒ අනුව 2007 වසරේදී අභිමානි හෙළන්කා – ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක් යනුවෙන් ග‍්‍රන්‍ථයක් පළ කෙරුවෙමි. මා එහි පිටුපස කවරයේ ඇති සටහන් කීපයක් පළ කරමි. මේ එකකටවත් අපේ කිසිම ඉතිහාසඥයකු අභියෝග නොකළ බවත්, අභිමානයෙන් දන්වන අතර 2003 වර්ෂයේදී ස්වර්ණවාහිනියේ මහා සිංහලේ වංසකතාවේ විචාර වැඩ සටහන්වලට සහභාගි වී අභියෝග කළද, මට අභියෝගයක් නොතිබුණි.
    ඔන්න කරුණු ටික. 1.මහියංගනයට යක්‍ෂයන් රැුස් වූයේ බුදු බණ ඇසීමටයි.
    2.දෙවැනි සියවසේදී ආඬිගල කන්ද මුදුනේ නියත පරිමාවට, ලංකාවේ හැඩයට, දිය පොකුණක් සෑදුවේ ගුවනේ සිට කළ මැනීම්වලින්ද?
    3.බුදුහිමියෝ අනිමිස ලෝචන පූජාව පැවැත්වූයේ විශ්ව ශක්තිය ආරෝපණය කර ගැනීමටයි.
    4.අශෝක රජුට විදේශාධාර යවා අපේ දේවානම්පියතිස්ස රජු ඉන්‍දියාවේ සංකේතාත්මකව රජ වූයේය.(මෙය 2009 දී කැලණි විශ්වවිද්‍යාලයේ පැවැත් වූ අන්තර් ජාතික සමුඵවකටද ඉදිරිපත් කෙරුවෙමි.
    5.සංඝමිත්තා තෙරණිය සමග අටලොස් කුලයක් ආවේ අප රජුගෙන් ලැබූ ශිෂත්‍වයකටයි.(මෙය ඔප්පු කොට මහා සිංහලේ වංසකතාවේදී අපේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් පවා අසරණ කෙරුවෙමි.*
    6.කුවේණියව මැරුවේ විජයයි.
    7.විජය එද්දී කුවේණිය අත දුර දක්නයක් තිබුණේද?(මහාචාර්ය සුනන්ද මහේන්‍ද‍්‍ර මෙය දැක අපේ රටින් ක්පියෝපැට්රා යුගයේදී මැග්නිෆයි කණ්ණඩි යවා තිබෙන බව පැවසුවේය*
    8.රාවණා රජ අජටාකාශ යානා යැව්වේ සමනල කන්දෙන්ද?
    9.සහතික වශයෙන්ම කැලණියට සුනාමියක් ආවේ නැත.(මේ පිළිබදව ද පුවත්පත්වලට ලිපි සැපයිණි.
    10.රක්‍ෂණ ආවරණයක් සහිත ලොව පළමු නෞකාව පැදවූයේ දේවී කුමරියයි.
    11.ලොව පළමු සඥා පණිවිඩය යැව්වේ කාවන්තිස්ස රජුයි.
    මේ සියල්ලම පාහේ මා පුවත්පත්වලටද යවා පළ වූ ඒවාය.
    මේ ග‍්‍රන්‍ථය මුද‍්‍රණය කළ පසු තුන් මසකින්ම මට දෙවැනි මුද‍්‍රණයටද යා හැකි විය.
    එක්තරා භික්‍ෂුවක් මා කෙරේ ඊර්ෂ්‍යාවෙන් මාව බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පත් කළ කොමිටියක් ඉදිරියට ගෙන ගියේය. ඒ 2009 සැප්.9 වෙනිදාය. අරිසෙන් අහුබුදු සූරීන් මෙය දැනගත් වහාම කොමිසම ඉදිරියට යාමට මට නැකතක් සාදා මන්තරයක්ද දුන්නේය. කොමිටියට මගේ කට වැසීමට අසීරු වූ හෙයින් විගසින් පොත තහනම් කිරීමට නිර්දේශ කරන ලදී. එහෙත් කි‍්‍රයාත්මක කළ නොහැකි වූයේ මා ඉරිදා පුවත්පතකට ලියූ ලිපියක් නිසාය. අන්තිමට වූයේ මට විරුද්ධව නෙත්, ඉසිර හා ලක්හඬ යන එෆ්.එම් නාලිකාවල නිතර දොස් නැගූ ඒ හාමුදුරුවන්ගේ වැඩ සටහන් මවිසින් තහනම් කරවීමයි. Please visit my website-www.thilakarandeni.lk

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න