Archive

Posts Tagged ‘නවම්’

..:: නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

මෙවර ලිපියෙන් “නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” පිළිබදව ඔබ සැමව දැනුවත් කිරීමට මා බලපොරොත්තු වෙමි. සම්මා සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධීන් කිහිපයක්ම මේ උතුම් පොහොය දිනයේ දී සිදුවිය. එම නිසා සියළු ලෝකවාසි බෞද්ධයන් හට මෙම උතුම් පොහොය දිනය අනුස්මරණීය දිනයක් බව නොඅනුමානය.

  • ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ භික්ෂූ සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම මෙම උතුම් පොහොය දිනයේදී සිදුවිය. මෙම සංඝ සම්මේලනය “රජගහ නුවර වේළුවනාරාමයේදී” පැවැත්විය.

ප්‍රථම සංඝ සම්මේලනය

  • නවම් පුන් පොහොය දිනයේ දී සිදුවූ තවත් වීශේෂ සිදුවීමක් වනුයේ බුද්ධ ශාසනය තුල අගසව් තනතුරු පිරිනැමීමයි. මේ සඳහා “ධර්ම සෙනවි සැරියුත් තෙරුණ්” බුදු පියාණන්ගේ දකුණත් සව් ලෙසටද, “මහා ඎදි ලාභී මුගලන් තෙරුණ් ” බුදු පියාණන්ගේ වමත් සව් ලෙසටද පත්විය.

අගසව් තනතුරු පිරිනැමීම

  • සම්බුද්ධ ධර්මයෙහි මූලික දේශනා දෙකකි. එනම් “ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හා  ආනා දේශනාවයි”, මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” යනුවෙන් හැදින්වෙන්නේ යම් කිසි අවවාදයක් කිරීමත්, ස්වයං හික්මීමත්, ඉවසීම උතුම් සැපත බව හා සියළු අකුසල් නොකලයුතු බවත් යන්නයි. එසේම “ආනා දේශනාව” යනුවෙන් හැදින්වෙන්නේ අණ කිරීමත්, ශික්ෂාපද පැනවීමත් යන්නය. මෙම දේශනාවන් විනය රැකගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” දේශනාව නවම් පුන් පොහොය දින “රජගහ නුවර වේළුවනාරාමයේ පැවති සංඝ සම්මේලනයේදී” දේශනා කරන ලද්දේය.

ප්‍රථම ධර්ම සංගායනාව

  • අප මහා ලොව්තුරා බුදු පියණන් වහන්සේ “ගිජ්ජකූට පර්වතය” අසල පිහිටි “සුඛරකථලෙන” නම් ස්ථානයේ වැඩසිටිද්දී “දීඝනක” නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය” දේශනා කොට වදාලේද නවම් පුන් පොහොය දිනයකදී ය.

  • අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ “ආයු සංස්කාරය” අත්හළේද නවම් පුන් පොහොය දිනයකදීය. සැරියුත්, මුගලන් අගසව් දෙනම පිරිනිවන් පෑමෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ “රජගහ නුවරින්” පිටත්ව, “චාපාල චෛත්‍යය” වෙත වැඩම කළ සේක. “සතර ඍද්ධිපාදලාභියෙකුට” කල්පයක් ජීවත්විය හැකි බව ලොව්තුරා තථාගත බුදු රජාණන් වහන්සේ විසින්, “ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට” තෙවරක්ම ප්‍රකාශ කළ ද එය, අනද හිමියනට තේරුම් ගත නොහැකි විය. ඉන් ප්‍රයෝජනගත් මාරයා, තථාගත බුදු පියාණන්ට පිරිනිවන් පාන්නට ආරාධනා කළේය.

මේසේ  නවම් පුන් පොහොය දිනයන් තුළ සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් මෙන්ම විශේෂ සිදුවීම් සිදුවිය. මා අතින් සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පෙන්වා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැවත තවත් උතුම් පොහොය දිනයක සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා සමගින් හමුවෙමු.

ඔබ සැමට ලබන්නා වූ නව වසර කුසලින් පිරි, අකුසලයෙන් තොර වූ නව වසරක් වේවායි ! මා එක සිතින් පතමි. සැමට සම්මා සම්බුදු සරණයි ! දළඳා සමිදු පිහිටයි !