Archive

Posts Tagged ‘ගැමුණු’

ගැමුණු කුමරු කොත්මලේ ගියේ ඇයි…?

කොත්මලේ මේ රටේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් බව කියැ වේ. මහවැලි ගෙඟ්
ප්‍රධාන අත්තක් වන කොත්මලා ඔය ඇසුරු කර ගත් කොත්මලේ මිටියාවත සිංහලයන්ට විශේෂයෙන් වැදගත්
වන්නේ ස්වභාව සෞන්දර්යටත් වඩා එහි ඇති ඓතිහාසික උරුමය නිසා ය. ජාතියේ අසහාය වීරයා වන ගැමුණු
රජතුමා තම තරුණ කාලය ගත කළේ කොත්මලේ ප්‍රදේශයේ බව වංශ කතාවලින් හෙලි වේ. අපේ රටේ මධ්‍යම
කඳුකරයේ කොත්මලේ මිටියාවතට ඉහළින් අද බොහෝ ජනාවාස ඇත. ඒ බොහොමයක් ඉංගි්‍රසින්ගේ උවමනාවට
ඇති කළ ඒවා වෙයි. නමුත් ඊට පෙර ලංකා ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව,
කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සීතාවක සහ සෙන්කඩගල සිට රට කරවන කල්හි ඉහළ මධ්‍යම කදුකරයේ
ජනාවාස තිබී ඇත්තේ කොත්මලේ සහ තවත් ස්ථාන කිහිපයක පමණි. ඒ අතුරින් ද ඓතිහාසික සටහන්වල
කොත්මලය ගැන විශේෂයෙන් සදහන් වේ. එකම සිද්ධිය විස්තර කිරීම සඳහා ඇතැම් කෘතිවල කොත්මලය ලෙස
යොදද්දී තවත් තැනක මලය රට ලෙස යොදා ඇත. ඒ ඇතැම් විට එකල මලය රට යනුවෙන් අදහස් කළේ
කොත්මලයට නිසා විය හැක

අනුරාධපුර පාලකයා බවට පත්ව සිටි ආක්‍රමණික එළාර රජුට එරෙහි ව බල මුළු එක්රැස් කරමින්
උපක්‍රමශීලී ව කටයුතු කළ කාවන්තිස්ස රජතුමා, ඥාති සබදතා මගින් විවිධ ප්‍රදේශවල බලවත් ව සිටි ප්‍රාදේශීය
නායකයන් හා සන්ධාන ගත විය. දහසය හැවිරිදි නව යොවුන් ගැමුණු කුමරු එළාර රජුට එරෙහි සටනට අවසර
පැතූ බවත්, කාවන්තිස්ස රජු තෙවරක් ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් සදහන් ය. පසුව ගැමුණු කුමරු පිය
රජතුමා කාන්තාවක ලෙස සලකා ගැහැණු පළදනා යවා කොත්මලේ ප්‍රදේශයට පැන ගිය බව මහාවංශය, සිංහල
ථූපවංශය, රාජාවලිය වැනි කෘතිවල සදහන් වේ.

“මාවිලි ගඟින් එගොඩ යන්ඩ අවසර නොදී කුමාරයන් රැකගන්ඩ ඕනෑ නිසා තුන්වරක් එපාය කියා පත් ලියා
පුතණුවන් ස්වමීපයට ඇරියාහ. සතරවෙනිවර ගෑනුන් පළදින ආභරණ එවා මපියරජ ගෑණිය,පිරිමියෙක් නොවෙයි
කියා ගෑනු පළදින ආභරණ එවූසේක. පියාණන් ඊට සිත කෝපව සැණෙකින් මේ කුමාරයා නසිති කියා රැහැණිව
උදහස්ව හිර කරමි සිතා පියරජ කී බසට ගීලීමලයට ගොසින් සැගවී කිපදවසක් සිට කොත්මලයට ගිය සේක.”
(රාජාවලිය – ඒ.වී සුරවීර සංස්කරණය)

දහසයහැවිරිදි වියේ දී කොත්මලේට ගිය ගැමුණු කුමරු නැවතත් මාගමට පැමිණෙන්නේ පිය
රජතුමාගේ අභාවයෙන් පසු ය. වංශ කතාවලට අනුව එවකට ගැමුණු කුමරුට වයස අවු 42 ක් විය යුතු ය.මහත්
කැපවීමෙන් උපක්‍රමශීලීව රට පුරා බල මුළු රැස්කළ කාවන්තිස්ස රජතුමා රජකම හිමි ගැමුණු කුමරුට මෙතරම්
කලක් කොත්මලේට වී සිටීමට ඉඩ දුන්නේ ඇයි ද යන ප්‍රශ්නය යමෙකුට නැඟිය හැක. තම ආදරණීය වැඩිමල්
පුතනුවන් මාගමට ගෙන්වා නො ගෙන කොත්මලයට වී සිටීමට විහාරමහා දේවිය ඉඩ දුන්නේ යම් කරුණක් නිසා
විය හැක. ගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේ සිටි බව විහාරමහා දේවි තොමෝ ඉතා හොදින් දැන සිටියා පමණක්
නොව තම නියෝජිතයන් හරහා නිතර නිතර තොරතුරු ද සොයා බැලුහ.

කොත්මලේ ප්‍රදේශයේ ජනප්‍රවාද අනුව කොත්මලේ යනු ඈත අතීතයේ සිට යක්ෂ ගෝත්‍රික ජනයාගේ
මුල් බිමකි. කොත්මලය හැරුණු විට බුත්තල, දිඹුලාගල, රිටිගල, ලග්ගල, මහියංගනය, වැනි ප්‍රදේශ ද යක්ෂ ගෝත්‍රික
ජනතාව බහුල ලෙස ජීවත් වූ ප්‍රදේශ ලෙස සැලකේ. කොත්මලේ ඉතිහාසය හා සමාජ තොරතුරු පිළිබද
ගවේෂණයක යෙදෙන විමල් රණතුංග මහතා පවසන පරිදි කොත්මලේ ගම්මාන අදටත් එම අනන්‍යතාව රැකගෙන
ඇත. යක්ෂ ගෝත්‍රික පාලකයෙකු යැ යි පැවසෙන රාවණා රජු සමග ද කොත්මලේ සම්බන්ධතාවයක් ඇත.
රාවණාගොඩ නමින් හදුන්වන ප්‍රදේශයක් කොත්මලේ ඇති අතර, කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස අලුත් කොඩියක්
හදුන්වා දෙන තුරු කොත්මලේ දිසා කොඩිය වූයේ ද රාවණා රජුගේ රුව සිත්තම් කළ එකකි. පසුව එම කොඩිය
හේවාහැට කොඩිය බවට පත් විය.

dutugamunu kawi

සිංහල ජාතිය බිහිවීම පිළිබද ප්‍රවාදයට අනුව පණ්ඩුකාභය රජු දවස යක්ෂ, නාග, දේව සහ සිංහ
ගෝත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය. සිංහල ජාතියේ ප්‍රමුඛ ධාරාව යක්ෂ ගෝත්‍රිකයන් වුව ද දේශපාලන
වශයෙන් සිංහ සහ නාග ගෝත්‍රිකයන්ට ප්‍රමුඛතාවයක් හිමි වූ බව පෙනී යයි. විශේෂයෙන් දේශපාලන වශයෙන්
තමන්ට හිමි වූ බලය පිළිබද යක්ෂ ගෝත්‍රිකයන් එතරම් සෑහීමකට පත් නො වූ බවත් එහෙයින් සිංහ-යක්ෂ ගෝත්‍ර
අතර දිගු කලක් විහිද ගිය අරගලයක් පැවති බවත් පෙනී යයි. කාවන්තිස්ස රජතුමා මේ අරගලය පිළිබද ව හොදින්
දැනුම්වත් වී සිටින්නට ඇත. එළාර රජු සමග සටනට ගැමුණු කුමරුට අවස්ථාවක් ලබා නොදුන්නේ මේ ප්‍රශ්නය
නිසි පරිදි විසදාගෙන නො තිබූ හෙයින් විය හැකි ය.

යක්ෂ ගෝත්‍රිකයන්ගේ රජදහනක් වූ කොත්මලයට ගැමුණු කුමරු පිටත් වන්නේ පලා යෑමකට වඩා
කාවන්තිස්ස – විහාරමහාදේවි දෙපලගේ අනුදැනුම ද ඇති ව විය හැක. එළාර පරාජය කිරීමට නම් මේ රටේ යක්ෂ
ගෝත්‍රිකයන්ගේ සහාය දිනා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු බව ඔවුන් තීරණය කරන්නට ඇත. එම සහය ලබා
ගැනීමටත් ,ගැමුණු කුමරුට කරුණු අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීමටත් දුරදක්නා නුවනින් යුතු වූ කාවන්තිස්ස
– විහාරමහාදේවි දෙපල සිය නව යොවුන් පුතු කොත්මලයට පිටත් කර හරින්නට ඇත. යුධ ශක්තිය යම් තරමකට
වර්ධනය වී තිබුණ ද යඬ ගෝති්‍රක ජනතාවගේ ප්‍රමාණවත් සහාය ලබා ගැනීමකින් තොරව එළාර පරාජය කිරීම
පහසු නො වන බව පිය රජතුමා හොදින් තක්සේරු කර තිඛෙන්නට ඇත. ජාතිය එක්සේසත් කිරීම සදහා එදා
කාවන්තිස්ස – විහාරමහාදේවි දේපළ ගත් නිර්භීත නිවැරැදි තීරණය මේ රටේ ඉතිහාසය තුළ ගත් අති විශිෂ්ඨතම
තීරණයක් බවට කිසිදු සැකයක් නැත.

මේ සදහා කොත්මලයම තෝරා ගන්නට හේතු කාරණා කිහිපයකි. කොත්මලය ආරම්භයේ සිටම
රුහුණු රටට අයත් ප්‍රදේශයක් විය. ප්‍රදේශයේ ජනප්‍රවාදවල කියැවෙන පරිදි කාවන්තිස්ස රජතුමාගේ මාමා කෙනෙකු
කොත්මලේ ප්‍රදේශයේ සිට ඇත. බ්‍රහ්මචාරී ඩී.ඊ.වික්‍රමසූරිය මහතාගේ රුහුණු මාගම්පුර වර්ණනාවේ දැක්වෙන පරිදි
කාවන්තිස්ස රජතුමා පෙරභවයේ ජීවත් වී ඇත්තේ ද කොත්මලේ අමරුප්පල ලෙන සමීපයේ ගම්මානයක ය.
කාවන්තිස්ස රජුගේ පුර්ව ජන්මය පිළිබද මේ පුවත මේ අයුරින්ම රසවාහිනිය , සද්ධර්මලංකාාරය හා ධාතූවංශයේ ද
සදහන් ව ඇත. කොත්මලා ඔය අසල පිහිටි මෙම ගම්මානය දැන් කොත්මලේ ජලාශයට යට වී ඇත.

මේ කතා වලින් කියන්නට උත්සහා දරන්නේ ගැමුණු කුමරු පැමිණීමට පෙර සිටම කාවන්තිස්ස
රජතුමා කොත්මලය ගැන දැන සිටි බවත් ප්‍රදේශයේ ජනතාව ගැන යම් යම් විශ්වාසයක් පැවැති බවත් විය හැක.
කොත්මලේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට කාවන්තිස්ස රජු ඒ වන විටත් සමත්ව සිටියා විය හැක.
කොත්මලයට පැමිණි ගැමුණු කුමරුට එහි වැසියෝ ආගන්තුක සත්කාර කළ හ. හොදින් රැකබලා
ගත් හ. ගැමුණු කුමරු සිංහල සංස්කෘතිය යනු කුමක් දැයි කොත්මලයේ දී අවබෝධ කර ගන්නට ඇත. එපමණක්
නො ව හෙතෙම රහසිගත ලෙස සේනා සංවිධානය කළේ ය. අදටත් මුළු මහත් කොත්මලේ මිටියාවතේ සෑම ගහක්,
ගලක්, ඇළක්, දොළක් ම ගැමුණු කුමරුගේ ජීවිතය හා බැදී ඇත. ගැමුණු කුමරු හදා වඩා ගැනීම පිළිබද ව
කොත්මලේ ජනතාව අදටත් ආඩම්බර වෙති.

පිය රජතුමාගේ අභාවයෙන් පසු මාගමට පැමිණි ගැමුණු කුමරු කල් යල් බලා එළාරට එරෙහි සටන
ඇරඹී ය. එහිදී මෙරට යක්ෂ ගෝත්‍රික බහුතරයකගේ සහාය ගැමුණු කුමරුට හිමි විය. දස මහා යෝධයන් අතුරින්
නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්බර වැන්නන් යක්ෂ ගෝති්‍රකයන් බැව් පැව සේ. එපමණක් නො ව ගැමුණු කුමරු
සේනා මෙහෙය වූයේ තමන්ට සහාය හිමි වූ යක්ෂ ගෝත්‍රික බල ප්‍රදේශ ඔස්සේ ය. බුත්තල, මහියංගනය, දිඹුලාගල,
රිටිගල යක්ෂ ගෝත්‍රික බලකොටු ලෙස සැලකේ. රිටිගල ප්‍රදේශයේ දී ප්‍රබල යක්ෂ ගෝත්‍රික නායකයකු වූ රිටිගල
ජයසේන මැඩලීමට ගැමුණු කුමරුට සිදු වූ අතර ඒ සදහා එතුමන්ගේ තෝරාගැනීම වූයේ තමන් සතු වූ යක්ෂ
ගෝත්‍රික සෙනවියකු වූ ගෝඨයිම්බරය.

එළාර පරාජය කල ගැමුණු කුමරු යක්ෂ ගෝත්‍රික ජනතාවට සුවිශේෂිත්වයක් හිමිකර දුන්නේ ය.
කොත්මලේ ජනතාව සිය මාළිගයට කැදවා පුදසත්කාර කළ ගැමුණු රජු ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයූයේ තම
සිරියහන් ගබඩාවේ බැව් පැවසේ. ගැමුණු රජුට පැවති ආදරය නිසා කොත්මලේ වැසියන් රජතුමාගේ යහනේ
නොනිදා බිම වැතිරී හිස පමණක් යහනේ තබා රුය පහන් කළ බැව් පැවසෙන කතාවක් කොත්මලේ වැසියන් අතර
ප්‍රකට ය.

ගැමුණු රජතුමාගේ අග මෙහෙසිය බවට පත් වුයේ ද කොත්මලේ තමන් නැවතී සිටි ගම ගෙදර
දියණියක ය. කොත්මලේ ජනප්‍රවාදවලට අනුව ඇය අනුරාධපුරයට යන විටත් ගැබිනියකි. සාලිය කුමරු යනු ගැමුණු
රජුට දාව ඇයට උපන් පුත් කුමරු ය. සද්ධර්මලංකාරයේ දැක්වෙන පරිදි ගැමුණු රජු ගල්වල් රට ප්‍රදේශයේ යුව
රජකම සාලිය කුමරුට ලබා දී ඇත. ර්‍ණගල්වල් රට” යනු කොත්මලේ ප්‍රදේශයට යෙදු තවත් නමකි.
ජාතියේ අසහාය විරයා වු ගැමුණු කුමරු රුක බලා ගත් කොත්මලේ එතැන් සිට මේ රටේ සිංහල
බෞද්ධයන්ට සුවිශේෂී සුරඬිත ස්ථානයක් විය. පරසතුරු උවදුරු හමුවේ සිංහල ප්‍රභූහු කොත්මලේ මිටියාවතට පළා
ආහ. එහි සිට සේනා සංවිධාන කළ හ. ඒ සියල්ලට වඩා සිංහලයන් සතු වු අගනාම වස්තුව වූ ද රාජ්‍යත්වයේ
සංෙඛිතය වූ ද දළදා වහන්සේ පරසතුරු උවදුරු හමුවේ රැගෙන ආවේ ද කොත්මලයට යි.

වැදගත් වූ කෘති

01.  මහාවංශය – ශ්‍රී සුමංගල නායක හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්ඛිත පඬිතුමා සංස්කරණය
02.  පූජාවලිය – කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1951
03.  රාජාවලිය – ඒ. වී.සුරවීර ,1976
04.  සද්ධර්මලංකාරය – ඛෙන්තර සද්ධාතිස්ස හිමි ,1950
05.  ලලාට ධාතුවංශය – දඹගස්ආරේ ශ්‍රි සුමේධංකර මහා ස්ථවිර ,1961
06.  සිංහල ථූපවංශය – කීරිවත්තුඩුවාවේ ශ්‍රි ප්‍රඥාසාර නායක ස්ථවිර ,1957
07.  රසවාහිනීි – කිරිඇල්ලේ ඤාණවිමල හිමි
08.  මධ්‍යම ලංකා පුරාවෘත – නාඋල්ලේ ධම්මානන්ද හිමි ,1969
09.  දුටුගැමුණු මහරජ – සිරිමල් රණවැල්ල ,1980
10.  කොත්මලේ පුරාවෘත – ජී.බී.කෙහෙල්ගමුව ,1935
11.  කොත්මලේ ඉතිහාසය සහ සමාජ තොරතුරු – විමල් රණතුංග ,1994
12.  කොත්මලේ හිරුබට නිම්නය – අනුරාධ සෙනවිරත්න
13.  රුහුණු මාගම්පුර වර්ණනාව – ඩි.ඊ.වික්‍රමසූරිය ,1920

වෛද්‍ය චන්න සුදත් ජයසුමන-වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය.

මුල් සැකසුම