Archive

Author Archive

මුල්කිරිගල පුංචි සීගිරිය

කර්තෘ: චන්දිමා

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යනාදී විවිධ නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය පුංචි සීගිරිය නමින්ද ප්‍රචලිතව ඇත්තේ පර්වතයක් මත ඉදිව ඇති නිසාය. ක්‍රි.පූ. 2-3 සියවස්වලදී නිර්මාණය ඇරඹීයයි සිතන මෙහි නිර්මාතෘ පිළිබඳව විවිධ මත පවතී. ඇතැමෙකුට අනුව සද්ධාතිස්ස රජුන් මෙය කරවූ අතර, කාවන්තිස්ස රජු විසින් කරවූ මුහුදුගිරි විහාරය හෙවත් සමුද්‍රගිරි විහාරය මෙය බවටත් මත පවතිනවා. සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙය විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන්. මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද දැක්වෙනවා. මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ  මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ. පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ය. මෙහි ඇති බෝධීන් වහන්සේ සඟමිත් තෙරණිය ගෙන ආ බෝධින් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් අතුරින් එකක් බවට ජනප්‍රවාදයේ පැවතියත් බෝධි වංශයේ මේ ගැන සඳහන් නොවේ.

ලන්දෙසි යුගයේදි සිරීපාදය සමග මෙය පටලවා ගත් කිතුණු භක්තික විදේශිකයන්, ආදම් සහ ඒවගේ සොහොන් මෙහි වේයයි සිතූ නිසා එකල මෙය ඔවුන් නිතර ආගිය තැනක් විය.  (සිරීපාදෙත් පටලව ගත්තු එකේ..) විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදම්යයි ලන්දේසීන් රැවටුණු අතර, ඔවුන් විසින් ලියන ලද පොත්වලද මේ බව දැක්වේ.

මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතක් ඇතුළත්. මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි. අතිශයින් රමණීය බිතු සිතුවම් ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකියි. ගලෙහි ඉහළට නැගීමට පඩි 533ක් තිබෙනවා. බෝධීන් වහන්සේ ඇත්තේ මෙහි මුදුනෙයි.

ගිහින් බලමු නේද? අපේ උරුමයන්නෙ. :D

වවුනියාව

යුද්ධයේ අවසාන සමයේ වවුනියාවට යාමට මට අවස්ථාවක් ලැබුණා. දැන් වගේ නෙවෙයිනෙ; අමාත්‍යාංශයෙන් ලියුම් ගහල, අවසර ලත් වාහනයක් එවල, මැදවච්චියෙදි ඒ ලියුම එතන නිලධාරියට පෙන්නල… අලි කට්ටක් කාල තමයි ගියෙ.

වවුනියාවෙදි අපට නොයෙකුත් උපදෙස් ලැබුණ: කොහෙවත් යන්න එපා; වැඩ ඉවර වුණහම සපයා ඇති වාහනයෙ සපයා ඇති නිල නිවසට යන්න; සපයන කෑම කන්න…

ඒත් කලින් වැඩ ඉවර වුණු දවස් කිහිපයෙ රස්තියාදුවෙ යන්න අපට ඒ උපදෙස් බාධාවක් වුණේ නෑ.

වවුනියාවෙ නගරයට ඉතා සමීපයේ වැව් කිහිපයක් තියෙනවා. වැව් හැදුවෙ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. නමුත් දැන් මේ වැව් අසබඩ පදිංචිව ඉන්නෙ බහුතරය ද්‍රවිඩ ජාතිකයන්. නගරය පුරාම කෝවිල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන් වැව් අසබඩ. අප එහි යන කාලෙ පායන නිසා වැව් බොහොම හිඳිලා. ඉතින් අපි කණ්ඩියෙන් බැහැලා, වැව මැද වතුර තියෙන හරියට ගිහින්, වැව් පතුළේ හිඳගෙන අවට සිරි නැරඹුවා. ඔය වෙලාවෙ ඈත වැව් ඉවුරෙ ළමයින් කණ්ඩායම් සෑදී යමින් සිටියා; බැලූ බැල්මට අතිරේක පන්ති ඉවර වෙලා යනව වගෙයි. ඉන් එක් කණ්ඩායමක් නැවතිලා අප දෙස බලා සිටින බව පෙනුණු නිසා මම අත වැනුවා. ඔවුන් කණ්ඩියෙන් පැනල අපි දිහාවට ආවා.

අපිට දෙමළ බෑ; ඒ ගොල්ලන්ට සිංහල බෑ.

අපි හිනා වෙනවා; ඒ ගොල්ලොත් හිනා වෙනවා.

ඉතින් මං දැන හිටි දෙමළ වචන ටිකෙන් මම දමල ගැහුවා: එන්න පෙයර්? වයසු එන්න? ක්ලාස් පෝවදා? ඉදු උංගලුඩෛය තංගෛ?

ළමයිනුත් ඇරියෙ නෑ; එක එක උත්තර දෙන ගමන් උං අපිට හිනා වෙනවා. අන්තිමට අපේ අත්වලින් ඇදගෙන අපිව අරන් ගියා එයාලගෙ ගෙදරට. ගෙවල්වල  මිනිස්සුත් හරි හොඳයි; කියන වචන නොතේරුණාට, එයාලගෙ ගෙදර හදල තියෙන පොඩි කෝවිල අපට පෙන්නුවා; තේ සහ කැවිලිවලින් සංග්‍රහ කළා. හිනා වෙවී අපි දිහා බලා හිටියා. ඊට පස්සෙ ළමයින්ට අපිට තව කෝවිල් පෙන්නන්න යන්න ඉඩ හැරියා.

පුදුම විශ්වාසයක්.

කෝවිල් දෙකක් විතර බලනකොට අපිට තේරුණා මේව ඔක්කොම එක වගේ කියල. ඒත් ළමයින්ට කියා ගන්න බෑනෙ. යන යන තැන, විශේෂයෙන් ළමයින්ගෙ යාලුවන් මුණ ගැහෙනකොට ඔවුන්ගෙ ඡායාරූප ගන්නත් අපට සිද්ද වුනා: ඔවුන් පෙළට හිටගෙන හිනා වෙවී ඉන්නවා. ඒ ගොල්ලො අපවත් අරන් දුර පාරකින්, රේල් පාරෙ දිගේ ගිහින්, ලෑලි ගෙවල් සහිත වත්තක් මැදින් වැටුණු පාරවල් ඔස්සේ ගියා ගියා ගියා. අන්තිමට ආවා තවත් කෝවිලක් ළඟට. එතන උත්සවයක්. කෝවිල  ඇතුලෙ පූසාරිතුමා දේශනයක්. ඉතින් හැම කෝවිලකදිම වගේ පාවහන් ගලවල පය සෝද ගත්තත් ඇතුළට යන්න විදිහක් නෑ. බොහොම සැරෙන් කෙරුණු ඒ දේශනාව හරියට බැණුමක් වගේ. අපි එළියට වෙලා ඒ දෙස බලා හිටියා අනික් එළියෙ හිටි මිනිස්සුත් එක්ක. මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. ටිකකින් කට්ටියම හැරි හැරි අපි දිහා බලනවා; ළමයින් හිනා වෙනවා. පස්සෙ අපිවත් ඇදගෙන එළියට ආ ළමයින් අභිනයෙන් අපට කිව්වා සිද්දිය: මගේ යෙහෙළිය සිටියෙ ඇගේ දිගු කෙස් කලඹ නිදහසේ හෙළාගෙන- පූසාරි තුමා ඒක දැඩි සේ විවේචනය කරල!!

තවත් දිනයක අපි ගියා වීදි සංචාරයේ. අඳුර වැටීගෙන එන වෙලාව. නගරයේ බස් නැවතුම ළඟ තියෙනවා මුදල් ගෙවා නාන තැනක්. පෙණුමෙ හැටියට සෑහෙන පරණ තැනක්. මෙච්චර වැව් තියෙද්දි අමුතුවෙන් නාන තැන් මොකටද? ඒත් එතන බොහොම ජනාකීර්ණයි. ඒ වෙලාවෙ අඳුර වැටීගෙන යන වෙලාව නිසා හිටියෙ පිරිමි අය විතරයි. ඉතින් ඇතුළට යාමේ ආසාව යටපත් කරගෙන අපි හැරිල ආවා.

කොළඹ නුවර වැනි නගරවල  තියෙන ප්‍රතිමා බොහෝවිට ජාතික වීරයන්ගෙ, එහෙම නැත්නම් යම් යම් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙනෙ. වවුනියාවෙ ඇති බොහොමයක් ඔවුන්ගෙ සාහිත්‍යයටසේවය කළ අයගෙ ප්‍රතිමා. එමෙන්ම ඒවා සාදා ඇත්තෙත් ඉතා මෑත කාලයේ.

තවත් දිනක අපි ධීවර ගම්මානයක් පසු කරමින් ගිහින් නැවතුනේ හමුදා කඳවුරක් අසල ඇති වැවක් ළඟ. එතන ඉතාම සුන්දරයි.  කුරුලු උණ තියෙන අයට යන්න අපූරු තැනක්. නා නා ප්‍රකාර කුරුල්ලන්, විශේෂයෙන් උකුස්සන්, කොකුන් වර්ග එතන පිරිලා.

නැවත වවුනියාවෙ යන්න ලැබෙන දිනයක් එනතුරු මම ආසාවෙන් ඉන්නවා.

ප්‍රවර්ග:සැරිසර

දේවදූතයන් දුටිමි.

පසුගිය දිනයක පාන්දර අකුණු සහිත ධාරානිපාත වර්ෂාවක් කඩා හැලුනා. බෝම්බයක් ගහල වගේ සද්දෙත්, තත්ත්පර ගණනාවක් පුරා රැඳුණු අලෝකයත් නිසා ගැස්සිලා ඇහැරුණු මට නින්ද ගියේ සෑහෙන වෙලාවකට පස්සෙ. උදෙන්ම මට වැඩට යන්න සිද්ද වෙලා තිබුණා. මොකට එළි වෙනවද කියල හිතමිනුයි පාරට බැස්සෙ.

මහ වීදියේ පදික වේදිකාව පුරා ඇති පෙට්ටි කඩ පෙළ ඒ වනවිටත් නින්දේ. දහවලට පොත් පත්, රෙදි වර්ග, ප්ලාස්ටික් බඩු ආදී නොයෙක් දෑ තබා විකුණන මැස්සවල් උඩ මිනිසුන් නිදි. ඉරුණු රෙදි පොරොවාගෙන, සීතලේ ගැහෙමින්, අත පය අකුළගෙන නිදි.

වැඩට යන්න වුණාට මොකද? මම හිතුවා. අඩු ගානෙ මම වහළක් යට උණුසුමට නිදා ගත්තනෙ.

එදා සවස ආපසු එද්දි ඔවුන්ගේ සුපුරුදු ජීවිතය වීදි බැහැලා. ඒත් එතනින් එනකොට අමතක කරන්න බැහැ උදේ දැක්ක දේ. සමහරවිට ඒ නිසාම වෙන්නැති, මග දකින දේවල් තදින් සිතට කා වැදුණේ.

හන්දියේ සිඟන්නෙක්, කිලිටි බිම හිඳගෙන සිරුර කසමින් සිටියා; ඔහුගෙ සිරුර පුරා සුදු පැහැ කුෂ්ටයක්. හැමෝම පිළිකුලෙන් ඔහුව මග ඇරලා යනවා. ඊට නුදුරින් වයසක සිඟන්නියක් යන එන හැමට අත පාගෙන ඉන්නවා. (හන්දිය නිසා වෙන්නැති එතන කිහිපදෙනෙක්ම හිඟමන් යදින්නේ) බස් නැවතුම අසළ විශාල නිමි ඇඳුම් සාප්පුව අසළ සැමදා සිටින අබ්බගාත කපුරු බෝල වෙළෙන්දා සුපුරුදු යාතිකාව: “අනේ නෝන, එකක් ගන්ඩ; අනේ නෝන, එකක් ගන්ඩ; අනේ”

මිනිස්සු ඔහේ දුවනවා. තම තමන්ගේ ලෝකවල ගිලිලා.

සෙනග දුව යන වීදිය අයිනේ, වසා ඇති ගොඩ නැගිල්ලක පිට පඩියේ වැරහැළි ගොඩක් නිදි.

මී කුණක් වට කරගෙන කපුටු රැළක්, මිනිසුන් යන එන විට ඈත් මෑත් වෙමින්, උන්ගේ ලෝකයේ.


මට මතක් වුණා….මමත් ඔය තත්ත්වෙට පත් වීමට ඇති ඉඩකඩ ඇහිරූ කෙනෙක් නොවෙයි.


දේවදූත සූත්‍රයෙ හිඟන්නන් ගැනනම් කියන්නෙ නැහැ.

මරණින් මතු අපාගත වන අයගෙන් යම රජු අහනවලු ‘නුඹ දුටුවෙ නැද්ද දේවදූතයින්?” කියල.

කවුද දේවදූතයින්? දිවසළු හැඳගෙන, සුවඳ විහිදුවමින්, ආලෝකයෙන් බැබළි, අහසින් යන…. අප්පෝ ඒ උත්තමයො? නැහැ.

දේවදූතයින් කිව්වෙ අපට සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාර කරන, යහමගට හැරීමට නිමිත්තක් වෙන අයට: අලුත උපන් දරුවන්- මළ මූත්‍ර ගොඩේ වැතිරගෙන, අනුන්ගෙන් පිළිසරණ බලාපොරොත්තුවෙන්, අවශ්‍යතා කියා ගන්න බැරුව ඉන්න දරුවන්; දැඩි සේ ගිලන්ව සිටින පුද්ගලයන්- අනුන් මත යැපෙමින්, වේදනා විඳිමින්, තමන්ගෙ කටයුතුවත් කර ගත නොහැකිව සිටින රොගීන්; මහල්ලන්- ජීවිතය ගෙවී ගොස්, ජරාවට පත්ව, වාරු නැතිව, රෝග පීඩාදියෙන් පෙළෙමින් සිටින මහල්ලන්; අපරාධවලට දඬුවම් ලබන්නන්- පරිභව කරනු ලැබ, නොයෙක් ආකාරයෙන් වදයට පමුණුවනු ලබන, තමන් විසින් කරන ලද දෙයට මෙලොවදීම විපාක ලැබී ඇති අපරාධකාරයන්; මළ මිණී- ප්‍රාණය ගිළිහුණු, ආදරය කළ අයගේ පවා පිළිකුලට/බියට බඳුන් වූ, දිරාපත් වූ, ඕජස් ගලන මළමිණී.

මේවා දැක්කනම්, තේරුම් ගන්න ඕනෙ මමත් මෙහෙම පත්වන ස්වභාවය ඉක්මවූ කෙනෙක් නෙවෙයි; හිතට එන්න ඕනෙ, මමත් සිතින් කයින් වචනයෙන් කුසල් රැස් කරන්න ඕනෙ කියල. එදිනෙදා ජීවිතයේ නොයෙකුත් දේවල් මැද්දේ මේ දේවල් අපට දකින්න ලැබෙන්නෙ අපට සිහිය උපදවා ගන්නයි.

සිහිය උපදවාගෙන අප්‍රමාදී වෙන්නයි.

වෙසක් උත්සවයට අප කෙසේ සූදානම් විය යුතුද?

වෙසක් උත්සවය ළඟ ළඟම එනවා. සසරින් නික්මීම නමැති පොතේ පාතේගම සුමනරතන හිමියන් විසින් දක්වා ඇති කරුණු කිහිපයක් බෙදා ගන්නට හිතුණේ එහි ඇති වැදගත්කම අදටත් ඔබින නිසයි.

ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. සමහරවිට ඒ ඒ උත්සවය සඳහා මැරිය යුතු සත්ත්ව වර්ගය, උත්සව දිනය එනතෙක් මහත් කරමින් ඇති කිරීමට පවා මිනිසුන් පෙළඹෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි.

වෙසක් උත්සවය සමරන අප සිහියට ගත යුත්තේ මේ අවිහිංසාව සත්ත්ව ඝාතනයට පමණක් සීමා නොකළ යුතු බවයි. අප අතින් සත්ත්ව හිංසනයට හේතු වන යම් ක්‍රියාවක් වීමට ඉඩ ඇද්ද, සිහියෙන් විමසා බලා, එවැනි ක්‍රියාවන් මග හරවා ගැනීම එහිදී වැදගත්. උදාහරණයක් හැටියට සැරසිලි සඳහා පොලිතින් වැනි ද්‍රව්‍ය යොදා ගැනීම දැක්විය හැකියි. එලෙසම වන්දනා චාරිකා පිණිස හෝ සිල් ගැනීම පිණිස යන පිරිස සිය ආහාර පොලිතින් කොළවල ඔතාගෙන ගොස්, ඉතිරි ආහාරත් සමග අර පොලිතින් කොළය විසි කිරීම බොහෝවිට කෙරෙනවා. එමගින් පරිසරයට හානි වනවා සේම, ඇතැම් සතුන් පොලිතින් ආහරයට ගැනීම නිසා රෝගවලට ගොදුරු වීමටත් මිය යාමටත් හැකියි.

වෙසක් තොරණ් සෑදීමේදි බොහෝවිට යොදා ගැනෙන්නේ පුවක් ශාක කඳන්. මෙහිදී යම් තරමකින් හෝ පරිසර හානියක් සිදුවන බව පිළිගත යුතු වෙනවා. නමුත් ඒ වෙන හානිය අවම කර ගැනීම පිණිස, එක්කෝ වසර කිහිපයක් එකම ලී දඬු භාවිතා කළ හැකියි. එමෙන්ම, ශ්‍රමදානයක් මගින් විනාශ කළ පුවක් ගස් වෙනුවෙන් නව ශාක රෝපණය කළ හැකියි. එය අනාගතයට ඉතා ප්‍රයෝජනවත්ද වෙනවා.

සිංහල බෞද්ධයන් දන් දීමට බෙහෙවින් හුරු පිරිසක්. මෙය අගය කළ යුතු කාරණයක්. මෙහිදීද සැළකිල්ල යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි දන් දෙන ආහාරපානවල පිරිසිදුකම. අප ගැනීමට කැමති යම් විදිහකින් පිරිසිදු දෙයක්ද, අනික් අය සඳහාත් එලෙසම ආහාරපාන සකස් කිරීමට උත්සුක වියයුතුයි. තවත් වැදගත් දෙයක් තමයි, ඇතැම් ප්‍රදේශවල බලෙන් වාහන නවතා, පාරේ යන මිනිසුන් නවතා ආහාරපාන පිළිගැන්වීම. මෙය ඒ අයට හිරිහැරයක් සේම අවශ්‍ය අයට දීමට හැකි ආහාර අපතේ යාමක්. එමෙන්ම සමහරු මග යන වාහන නැවැත්වීම පිණිස බෞද්ධ කොඩිය රැගෙන පාරට පනිනවා. මෙය ඉතා වැරදි ක්‍රියාවක්. බෞද්ධ කොඩිය යනු අපගේ ගෞරවයට ලක් විය යුතු දෙයක්. එය මෙවැනි ක්‍රියාවලට භාවිතය අනුමත කළ නොහැකියි.

වෙසක් කූඩු තරග, තොරණ් තරග වැනි නොයෙක් තරගද දැන් සමාජය තුළට රිංගාගෙන තිබෙනවා. නමුත් බුදුදහම යනු තරගකාරී මානසිකත්වය ප්‍රතික්ෂේප කරන දර්ශනයක්. මේ තරග  නිසා නොයෙකුත් ඇණ කොටා ගැනීම් මෙන්ම දුක් වේදනාද, සෑහීමකට පත් නොවීමද සිදු විය හැකියි. මෙවන් කටයුතු බුදුන් වහන්සේට කෙරෙන ආමිස පූජාවක් කොට සළකා, තරගකාරී මානසිකත්වයෙන් මිදී එහි නියැළීම ඉතා වැදගත්.

වෙසක් සමයේදී ගවයන් වැනි සතුන් නිදහස්  කිරීමද දැන් බහුලව සිදු කෙරෙන කටයුත්තක්. මෙය අගය කළ යුතු නමුත් එලෙස සතුන් නිදහස් කිරීමෙන් ඇත්ත වශයෙන්ම සත්ත්ව ඝාතනය නැවැත්විය හැකිද යන්න කල්පනා කර බැලීම වටී. ඔබ නිදහස් කරන සතා වෙනුවෙන් තවත් සතකු මැරීම මිස, දිනකට මරන සතුන් ගණන ඇත්ත වශයෙන්ම අඩු වේද? සත්ත්ව හිංසනයෙන් වැළකීම පිණිස එය ඉතා තාවකාලික පිළියමක් පමණි. දීර්ඝ කාලීන සහ ස්ථිරසාර විසඳුම කුමක්ද යන්න අපේ පැරැණ්ණෝ දැන සිටි බැවින් ඔවුහු මස් මාංශ භක්ෂණයෙන් වැළකුණහ.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනෙක් අයට හිරිහැර වන පරිදි , ශබ්ද දූෂණයක් ඇති වෙන පරිදි හැසිරෙන තැන් තියෙනවා. හොඳම උදාහරණය ඇතැම් දන්සැල්. අවශ්‍ය පමණට පමණක් ශබ්දය භාවිතය මෙන්ම ප්‍රචාරය කරන දෙය වෙසක් වැනි ආගමික දිනයකට සරිලන දෙයක් බවටද වග බලා ගැනීම අපගේ යුතුකමක්.

බුදු හිමියන්ගේ තෙමඟුල සිහි කරන පොහොය දිනවලට ආගමික කටයුතු කරනවා සේම, ඊට පෙර සමාජයේද චන්ද්‍රයාගේ/සූර්යයාගේ ගමන් මග අනුව, දින හඳුනාගෙන නොයෙක් සීල වෘත ආදිය සමාදන් වීම තිබුණා. එසේනම් බෞද්ධයන් පොහොය දිනයේදී තෙමඟුල සැමරීම ඉන් වෙනස් වන්නේ කෙසේද? සිදුහත් තවුසන් අවසන්වරට දන් වළඳා අධිෂ්ඨානපූර්වකව නේරංජන නදියට හෙළූ තලිය උඩුගම් බලා ගිය බව සඳහන්. බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේද එවන් උඩුගම් බලා යාමක්. පොදුවේ මුළු ලෝකයේම අවධානය තිබෙන්නේ කම් සැප සෙවීමටත් කම් සැප විඳීමටත්. එහි ඇති නිසරු බව තේරුම් ගෙන උපදින, මැරෙන ස්වභාවයෙන් මිදෙන මගක් බුදු හිමියන් සොයා ගත් සේක. ජීවිතය නමැති ගංගාවේ කෙළෙස් සැඩ පහරට හසු නොවී ප්‍රහාශ්වර මනසක් උපදවා ගන්නට හැකිනම් එයයි මේ පටිසෝතගාමී මාර්ගයේ ඉලක්කය.

බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්‍රබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා.  නමුත් බුදු හිමියන්ගේ ප්‍රහාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්‍යන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්‍යන්තර පරිසරයයි. අවුරුදු 2500ක සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්‍යාත්මික පරිසරය සැකසීම හෙවත් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්‍රඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි.

කඳුකරයේ අසිරිය ~ මහ එළිය

ඇවිදින්න ආස කෙනෙකුට, ස්වභාව ධර්මයට පෙම් බඳින කෙනෙකුට යන්න හොඳම තැනක් තමයි මහ එළිය. නැත්නම්, වැඩි දෙනෙක් දන්නා පරිදි හෝට්න් තැන්න. විවිධ දුර ප්‍රමාණවල මං පෙත් රාශියක් ඒ අවට තියෙනවා. නුවර එළිය සිට අඹේවෙල මාර්ගය ඔස්සේත්, නැත්නම් බදුල්ල මාර්ගයේත් හෝට්න් තැන්නට ආ හැකියි. දුම්රියේ යනවනම් ඔහිය හෝ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ බැස පැමිණිය හැකියි. මේ අවට ඇති ඇතැම් සංචාරක හෝටල්වලින් දුම්රියපොළට පැමිණ වාහනයකින් ගෙන යන සේවයත් සපයනවා.

අපි ගියෙ අඹේවෙල මාර්ගයෙ.

හෝට්න් තැන්නට එන අය මුදල් ගෙවා ප්‍රවේශපත් ලබා ගත යුතුයි. දේශීය සංචාරකයන් බහුලවම යන ගමන තමයි ලෝකාන්තය චාරිකාව. එතැනට ඇතුළුවන තැනදි බොහොම උනන්දුවෙන් ගමන් මලු පරීක්ෂා කර බලනවා ප්ලාස්ටික්/පොලිතින් ගෙනියනවද කියල. ඉතින් ආහාරපාන ගෙනියනවනම් පෙට්ටියක දමාගෙන, නැත්නම් කඩදාසි උරයක දමාගෙන යන්න ඕනෙ. (එහෙම වුණත් මම දැක්කා ඇතුළෙ කුඩා දරුවන්ගෙ කැඩුණු සපත්තු, කිරි දමා තිබුණු පැකට් වැනි දේවල් විසි කර තිබෙන අයුරු. මෙහෙම මිනිස්සු මොකට මේ වගේ පරිසරයකට එනවද මන්දා, තමන්ගෙ කොන්ක්‍රීට් වනයට වෙලා ඉන්නෙ නැතුව)

වර්ෂ 1969 දී ස්වභාවික වනාන්තරයක් හැටියට නම් කෙරුණු මේ ප්‍රදේශය, පුරා විද්‍යාත්මක වටිනාකමකින්ද යුක්තයි. වසර විසි දහසකට පෙර සිට මෙහි ඇති වූ වනාන්තරවල ස්වභාවය, දේශගුණික විපර්යාස පමණක් නොවෙයි, මධ්‍ය ශිලා යුගයේ මෙහි ජීවත් වූ මානවයන් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා. ක්‍රි.පූ. 8000දීත් මේ බිමේ වගා කටයුතු සිදු වූ බවට සාක්ෂි ලැබී තිබෙනවා.

මෙහි ශාක ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක්: තෙත් තෘණ භූමිය සහ කඳුකර වනාන්තරය.  නමුත් පරිසර පද්ධති විදිහට සළකනකොට මෙය කොටස් හතරකට බෙදෙනවා: විශේෂ අනන්‍ය වූ වනාන්තරය; සදාහරිත වනාන්තරය; තෙත් තෘණ භූමි සහ වගුරු බිම්; ගංගාධර ජලජ පරිසර පද්ධති.

ශාකවිශේෂ 101 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් 49ක් ලංකාවට ආවේණික ප්‍රභේද. ඉනුත් බහුතරය මේ ප්‍රදේශයට ආවේණික ඒවා. වනාන්තර කොටසට අයත් ශාක කඳුකරයේ පවතින දැඩි සුළඟට ඔරොත්තු දෙන පරිදි ඇඹරුණු කඳන්, කුඩ හැඩැති මුදුන්, දැඩි පත්‍ර ආදියෙන් යුත් කුරු වනාන්තරයක ආකාරය ගන්නවා.

එමෙන්ම කඳුකරයට ආවේණික වූ ඒක දේශික පක්ෂීන් වන ලංකා අඳුරු නිල් මැසි මාරා, ලංකා සිතැසියා,  ලංකා මයිලගොයා, ලංකා රුසි රැවියා, රතු මල් කොහා ආදීන් ඇතුළු පක්ෂි විශේෂ 98ක්ද, ලංකා ගෝන මුවා, සාවා, වල් බළලා, වල් ඌරා, දිවියා වැනි ක්ෂීරපායී සත්ත්ව විශේෂ 14ක්ද, උභයජීවී විශේෂ 16-20ක් පමණද, සමණල විශේෂ 40ක්ද මෙහි දැකිය හැකියි. අපිනම් දැක්කෙ ගෝන්නු විතරයි. අනෙකුත් සතුන් දැකීමට අලුයම් කාලයෙහි පැමිණිය යුතුයි. කුරුලු සද්ද වනය තුළින් ඇහුනත් ලෝකාන්ත මාර්ගයෙදි අපි කුරුල්ලන් දැක්කෙ නෑ; ඉන් පිටත ප්‍රදේශයෙදිනම් කුරුලුවිශේෂ කිහිපයක්ම දැක්කා.

සුන්දරත්වයෙන් මේ මුලු පෙදෙසම අනූනයි. නමුත් වඩාත් සුන්දර දසුනක් හසු කර ගත හැකි ස්ථාන සළකුණු කර තිබෙනවා. වට රවුම් මාර්ගයක් වන මෙහි එක්කෝ පළමුව බේකර් දිය ඇල්ල බලා දෙවනුව ලෝකාන්තය පැත්තට යා හැකියි; නැත්නම් අනෙක් පසින් පටන් ගත හැකියි. අපි තෝරා ගත්තේ පළමුව ලෝකාන්තයට යන මාර්ගය.

මේ මග ඇතැම් ස්ථාන තියෙනවා පොළොවේ පාංශු ස්ථර පැහැදිලිව දැකිය හැකි. හියුමස් කොටස, වැලි සහිත පස, කහ සහ රතු පස් මෙලෙස දැකිය හැකියි. හියුමස් අඩංගු නිසා මෙන්ම, වරින් වර පිළිස්සීමට ලක්වීම නිසාත් මේ තැන්වල පස මතුපිට ඉතා තද කළු පැහැයක් ගන්නවා. ඇතැම් තැන්වල එය ඉතා පුළුල් ස්ථරයක්.

රෝස පාෂාණයෙන් යුත් කොටසත් ඒ වගේ සිත් ගන්නා භූ ලක්ෂණ සහිත ප්‍රදේශයක්.

ලෝකාන්තයට යාමට පෙර ඊට වඩා අඩු ප්‍රපාතයක් වන පුංචි ලෝකාන්තය හමු වෙනවා. ලෝකාන්තය බොහෝවිට දහවල් වන විට මීදුමෙන් වැසී යනවා. අපි ගිය දවසත් ඒ වගේ. එය මීටර 1050ක බෑවුමකින් යුක්තයි. පහළින් ඇත්තෙ බලංගොඩ ප්‍රදේශය.

අපි ලෝකාන්තය සිට බේකර්ස් ඇල්ල බැලීමට යන මගදි හමු වුණා කුඩා දරුවන් කැටුව යන පවුල් කිහිපයක්. ඒ වනකොටත් දරුවන් වැඩි දෙනෙක් හිටියෙ දෙමව්පියන්ගෙ අතේ. ඇවිදීමට අකමැති අපේ කෙනෙකුත් ඒ අයගෙන් ඇහුවා “තව ගොඩක් දුරද?” කියල. දරුවෙක් වඩාගෙන හිටි ඒ පියා දුන්නෙ බොහොම පැහැදිලි උත්තරයක්: “අහන්න එපා; මට මතක් කරනකොට තරහ එනවා!” මං හිතන්නෙ ඇවිදින්න අකමැති කට්ටිය නොගිහින් ඉන්න එක හොඳයි. තවත් සමහරු මහ හය්යෙන් කෑ ගසමින්, ගී ගයමින් ගමන් කළා. අපේ අය මෙහෙම වුණත්, අපට මුණ ගැහුණු විදේශිකයන් බොහොම සතුටින්, එමෙන්ම වනයට උචිත පරිදි නිශ්ශබ්දව ගමන් කළා. මගෙත් එක්ක ගිය අයත් ලෝකාන්තය බලල ඉක්මණට එතනින් පිට වෙන්න හදිසි අය වුණු නිසා පුංචි වතුර පාරවල සද්දෙ, කුරුළු ගී වැනි දේවල් අහන්නවත්, මීදුම රස විඳින්නවත් මට වැඩි ඉඩක් ලැබුණෙ නෑ. අපි පිට වෙන්න කිට්ටුව හමු වුණු විදේශික පිරිසකටත් මේ ප්‍රශ්නෙම තිබුණා: මං වගේ එකෙක් මග නැවතිලා කැරකි කැරකි ඉන්නවා; ඔහුගෙ කණ්ඩායමේ අය යන්න කතා කරනවා, මොනවද බලන්නෙ අහනවා. අනේ පව්.

බේකර්ස් ඇල්ල පැත්තෙන් ගමන පටන් ගන්න අයට පොඩි වාසියක් ලැබෙන්නෙ ඇල්ල ඇති තැනට නගින බෑවුම ඒ පැත්තෙන් අඩු නිසයි. නමුත් ලෝකාන්තය පැත්තෙන් ගිහින් ඒ කඳු ගැටය නගිනකොටනම් මගෙ හඳුන්පොත කී ගාන සද්දෙ එළියටත් ඇහෙන තරම්. මග අහුරගෙන ඉන්න බැරි හින්ද එක දිගටම නැග්ගා.

ලෝකාන්තය සහිත මේ ඇතුළත උද්‍යානයට වටින් ඇති මාවත ඔස්සේ යනවිටත් මෙලෙසම අපූරු දසුන් හමු වෙනවා. තුරු වදුලු වසාගෙන මීදුම පැතිර යනවිට ගැඹුර අනුව එක් එක් ශාක දර්ශනය වන පැහැය වෙනස් වෙනවා. හරියට හීනයක් වගෙයි.

පිටත උද්‍යාන කොටසෙ, නිශ්ශබ්දතාවයට  කැමති අයට තවත් අපූරු අත්දැකීමක් ලබන්න පුලුවන්. ඒ කඳු නැගීම. අපි තොටුපොළ කන්දට නැග්ග දවසෙ වෙන කවුරුත් එහි සිටියෙ නෑ. අපි නිශ්ශබ්ද වුණාම මුලු ලෝකෙමත් නිශ්ශබ්දයි; අතරින් පතර තුරු වදුලු අතරින් කුරුළු නාද පමණක් ඇසෙනවා. සිත ධ්‍යානයකට සම වැදුනා වගෙයි. මහ එළියට කිට්ටුවෙන් ලංකාවෙ දෙවන හා තෙවන උසම කඳු මුදුන් පිහිටා තිබෙනවා. ඒ කිරිගල්පොත්ත සහ තොටුපොළ කන්ද. ඈතින් සමණොළ කන්දත් පෙනෙනවා.

ඉතින්, යමු ඊළඟ නිවාඩුවට, අසිරිමත් මහ එළියට~

ප්‍රවර්ග:සැරිසර

වන අරණක අසිරිය ~ කිතුල්ගල

බොහෝ දෙනා කිතුල්ගල යන්නෙ ඔරු පදින්න. ඒකත් නරක නැහැ, සෑහෙන පිරිසක් ඉන්නවනම්. නමුත් අපට කිතුල්ගල යන්න ඕන වුණේ කුරුල්ලො බලන්න.

ඉතින් අන්තර්ජාලය පීරලා හොයා ගත්තා නවාතැනක්; හොයා ගත්තා පාර; ගියා.

හැබැයි ඉතින් හදිසියෙ දා ගත්ත ගමනක්නෙ. අදාළ නවාතැනට ගියාම එතන ඉන්න ටිකක් බය හිතුණා. ඒ නිසා ආපහු හැරිල ගියා හෝටල් සංස්ථාවෙ නවාතැනට. එතන පිටුපසින් කැළණි නදියෙ ජල ධාරාව. හෝ නාදය එක දිගට. ඊට එහා වනය. පුදුම ලස්සනක්.

අපට ඕනෙ වුණේ උදෙන්ම පිටත් වෙලා කැලයට යන්න- මොකද, එහෙම නැතුව කුරුල්ලො බලන්න බැහැ. නමුත් අපට සැප……ට නින්ද ගියා. ඇරත් නවාතැනේ කෑම දෙන්නෙ 7.30ට. නොකා කැලේ යන්නත් හිත නෑ. නවාතැනේ අයම කතා කරල දුන්නා ගමේ තරුණයෙක් අපට මග පෙන්වන්න. අන්තිමට ගමනට පිටත් වෙනකොට 8.30 විතර වෙලා.

අපි එතනින්ම බැස්සා ගඟට. ගඟ හරහා කුඩා ඔරුවකින් තමයි මිනිසුන් එහා මෙහා යන්නෙ. එය බලා හිටින්න අපූරු දසුනක්. තොටියා පළමුව ගං ඉවුර දිගේ කෙළින්ම ඉහළට ඔරුව පදිනවා; ඉන් පස්සෙ තමයි ගඟ මැදට හරවන්නෙ. ගඟේ දිය පහරත් සමඟ ඔරුව පාවෙලා පහළට යන අතරෙ ඔහු අපූරුවට ඔරුව යොමු කරනවා එහා ඉවුරට. මේ ගඟ හරහාම තමා විනෝදය පිණිස ඔරු පදින්නෙත්. ඒ අය එනකොට මෙ ඔරු අයින් කර ගන්නවලු.

ගඟෙන් එගොඩ වෙලා ගම මැදින් ගිහින් අපි ආවා මාකන්දාව සංරක්ෂිතයට. එතැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් තිබුණත් තවම ප්‍රවේශ පත්‍ර දීමක් අරඹලා තිබුණෙ නෑ. එතැන හිටි නිලධාරියා පොඩි සද්දයක් දැම්මා අපව එක්කගෙන ගිය තරුණයට: “කියල තියෙනව නේද? ඔහොම එක්ක එන්න බෑ; අවසර ගන්න ඕනෙ කොළඹින්..” ඊට පස්සෙ අපිට හිනාවකින් සංග්‍රහ කළා. ඒත් අපිනම් හිනාවකට වඩා සංග්‍රහයක් කළේ නෑ. අපේ මාර්ගෝපදේශකයා මොන මොනවාදෝ කිවු පසු අපට වනයට යාමට අවසර ලැබුණා.

අපි යන වෙලාව වෙනකොට කුරුල්ලො හැංගිලා. තැනින් තැන කුරුලු  නාද ඇහුණත් හොඳින් නිරීක්ෂණය කරන්න ලැබුනෙ නෑ. අපේ තරුණයත් කුරුළු වර්ග නමින් දැන සිටියේ ඉතා ස්වල්පයයි.

උස් ගසින් පිරි වනය මැද තැනින් තැන දොළ පහරවල්. මේවා පසු කරමින් අපි ගියේ මකුළු ඇල්ල බලන්නයි. එය සුන්දර දිය ඇල්ලක්. නමුත් වෙනත් වැසි වනාන්තරවල වගේම මාකන්දාව රක්ෂිතයත් කූඩැල්ලන්ගේ කෙළිබිමක්. එකෙක් අරන් දානකොට දහයක් උඩට නැගල මූණ බලනවා. දිය ඇල්ල බලල ආපසු එම මාර්ගයේම ඇවිත්, ඊළඟ මං පෙතට හැරුණා විතරයි, මගේ ගමන් සගයාගේ කූඩැල්ලන් දරා ගැනීමේ සීමාව ඉක්මවා ගියා. “ඔයාට ඕනෙනම් යන්න” කියල ඔහු ආ පාර දිගේම දිව්වා වනයෙන් එළියට!

වනයේ තවත් රවුමක් ගියත් කූඩැල්ලන් හැර වෙනත් සතෙක් දැකීමේ වාසනාව මට අහිමි වුණා. නමුත් මේ වනය පිස එන මඳ සුළඟ විඳිමින්, තුරුලතාවල සුවඳ විඳිමින් යන මට එය ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මගේ මාර්ගෝපදේශක තරුණයටනම් එය හිතට වදයක් වුණා. එ නිසා ඔහු යෝජනා කළා වනය මැදින් ඔහුගේ ගමට යන්න- වනයේ වෙසෙන වලි කුකුළන් රංචුවක් දවසකට වරක් දෙකක් ගමට එනවලු. ඔහුට ඕනෙ වුණේ මට අඩු ගානෙ කුකුළෙක්වත් පෙන්නන්නයි. මටත් ඇවිදින්න ආස නිසා ඒ රවුමත් ගිය නමුත් මයිනන්, කහ කුරුල්ලන් හා ගිරවුන් මිස වලි කුකුළන්නම් දකින්නට වුණේ නෑ.

ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ බවට සැළකෙන බෙලි ලෙන ඇත්තේ කිතුල්ගල කිට්ටුව නමුත් කූඩැල්ලන් නිසා සසර කළකිරී හිටි මගේ ගමන් සගයා මගට බැස ඇවිදීම තරයේ ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඒ ගමන අතහැර දමන්නට මට සිදු වුණා.

ප්‍රවර්ග:සැරිසර