Archive

Author Archive

..:: උඳුවප් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

2010 දෙසැම්බර් 22 ප්‍රතිචාර 3ක්

උඳුවප් පොහොයත් සමග තවත් වසරක අවසානය ලඟාවේ. මෙම උතුම් පොහොය දිනයේදීද පෙර පොහොය දිනයන් මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවිය.

  • ශාසනික වශයෙන් උඳුවප් පොහොය දින සිංහල බෞද්ධයන් හට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට භික්ෂුණී ශාසනය පිහිටවීමද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ දඹදිව සිට මෙරටට වැඩමවීම මෙම පොහොය දිනයත් සමඟ කෙරුන ඓතිහාසික හා ශාසනික සිදුවීම්ය. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල නැවත බුදු සසුන පිහිටුවීමට මුල් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය ඇතුලුව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සිදුවිය.

  • සම්බුද්ධ ශාසනික වශයෙන් මෙන්ම මෙරට කෘෂිකාර්මික වශයෙන්ද මෙම උඳුවප් මාසය  මෙරට ජනතාවට වැදගත් වේ. ඒ කෙසේද යත් මෝසම් වැසි වලින් කෙත්වතු සාරවත් වී අලුත් හේන් වල බව භෝග සිටුවන්නේද, මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය. විශේෂයෙන්ම උඳු වපුරන මෙම මාසය උඳුවප් මාසය ලෙස හැදින්වීමෙන්ම එම වැදගත් කම මනාව පිළිඹිබු වේ.

මෙම ලිපියත් සමඟම “පෝ දා තතු” ලිපි පෙල අවසන්වේ. මෙතෙක් මාත් සමඟ මෙම කර්තව්‍යට අත හිත දුන්, වැරදි පෙන්වා එය නිවැරදි කරගැනීමට උදව් කල සියළු දෙනා හටම උතුම් වූ නිවනින්ම සැනසීම උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. එසේම මෙම ලිපියේද යම් කිසි වැරදි අඩුපාඩුවක් වෙතොත් එයද නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! අයියනායක දෙවි පිහිටයි !!!

..:: ඉල් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

පෙර පොහොය දිනයන් මෙන්ම ඉල් පුන් පොහොය දිනයේ දීද සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල බෞද්ධ අපට වැදගත් වන කරුණු රාශියක් සිදුවී ඇත. ඒවා පහත පරිදිය,

  • සම්බුද්ධ ශාසනයේ හි ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවියේ මෙම ඉල්  පුන් පොහොය දිනයේදීය. මෙම ධර්ම දූත හැටනමේ මූලිකත්වය දරා ඇත්තේ “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” මහ රහතන් වහන්සේ ඇතුළු “පස්වග” ශ්‍රාවකයන්ය.

  • “තුන් බෑ ජටිලයන්” දමනය කිරීම සඳහා අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “උරුවෙල් දනව්ව” කරා වැඩමවීම.

  • අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අගසව් “සැරියුත්” මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම.

  • “පසුවස්” පවාරණය හා කඨින චීවරය පූජා කළහැකි අවසන් දිනය යන ශාසනික කරුණු කාරනා හේතු කොටගෙන මෙම ඉල් පොහොය දිනය මුළු මහත් ලෝක වාසී බෞද්ධයින් හට වැදගත් වේ.

  • එසේම මෙම උතුම් පොහොය දිනය තුල සියළුම බෞද්ධයින් හට වැදගත් වන තවත් විශේෂ සිදුවීමක් සිදු විය. එනම් මතු බුදුවන “මෛත්‍රී” බෝධි සත්වයන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වෙත විත් පැවදි වූයේ ඉල් පුර පසලොස්වක පොහොය දිනයකදීය. මෙසේ පැවදිවූ මෙම තෙරණුවන් උපසම්පදා ලැබ බුද්ධ ධර්මය මැනවින් හදාරා විශාල භික්ෂූ පිරිසකට අචාර්ය වරයා වූහ. වස් කාලයක් තුල වස් වැසූ මෙම තෙරණුවන් වහන්සේ වස් අවසන තම දායකයන් ගෙන් ඉතාමත් වටිනා උසස් තත්වයකින් යුත් වස්ත්‍ර යුගලයක් වස් වාසික චීවරය ලෙස ලැබූහ. ඉන් පසු මෙම තෙරුන් එම චීවර දෙකෙන් එකක් ගෙන බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ගඳ කිලියෙහි වියනක් කොට පූජා කළහ. අනෙක් චීවරය ගෙන තීරු වශයෙන් ඉරා මහ වියන් කෙලවර වටකොට එයද බුදුපියාණන් වහන්සේට පූජා කළහ. මහා සංඝයා වහන්සේ මැද සිටි මහ තෙරුන් ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහණ, ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නේය ” යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතුනට නියත විවරන ලබාදුන් සේක.

එසේ නම් ඉල් පුන් පසලොස්වක පොහොයදින දී බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් මෙලෙසය. මෙහි යම් යම් අඩුපාඩු, වැරදීම් වෙතොත් එවා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

..:: වප් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ සිට මේ මොහොත දක්වාම පැවත එන මහා පින්කමක අවසානය මෙම උතුම් පොහොය දිනයෙන් අවසන් වේ. වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුවන්නෙ මෙම පොහොය දින තුලදීය. කඨින චීවර පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත්වූ පින් රැස්කරගත හැකි උතුම් පින්කමකි.

  • අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “සැවැත් නුවර” වැඩවසනා සමයේ  “පචෙය්‍ය රටේ” තිස් නමක් භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ දකිනු පණිස ගමන් ඇරඹීය. වැසි උදාවී ඇති බැවින් අතර මග “සාකේත නුවර” වස් සමාදන්ව වස් තුන් මස වසන්වී යළි ගමන් ඇර්ඹීය. අතරමගදී මහ වැස්සකට කොටුවූ උන්වහන්සේලාගේ සිවුරු තෙතබරිත විය. ඔවන් “ජේතවනාරාමයට” පැමිණියේ තෙත්වූ සිවුරු සමගිනි. මේ පිළිබදව කරුණු විමසීමෙන් අනතුරුව වෙනත් සිවුරක් ආරක්ෂිතව ගෙන ආවේනම් මෙවන් ආපදාවකට ලක් නොවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඔවුනට “කඨිනහ්කරණය” කිරීමට අවසර දුන්නේය. මෙලෙස දඹදිව මෙන්ම ශ්‍රී ලංකාවේද කඨීන චීවර පූජාව එදා සිට අද දක්වාම පවත්වනු ලැබේ.
  • මෙම පොහොය දින වැදගත් වන තවත් හේතුවක් වනුයේ “දෙවන පෑතිස්” රජු “අරිට්ඨ” කුමරා ඇතුලු දූත පිරිස “ධර්මාශෝක” රජු වෙත යවා “ජයසිරි මහ බෝධී” ශාඛාව ලංකාවට වැඩමවීම හා අරිට්ඨ් කුමරු හා “සිඟාල” මහ රහතන් වහන්සේ විසින් “මිහිඳු” මා හිමිගේ අනුදැනුම ඇතිව “ථූපාරාමයේ”දී විනය පිටකය සංගායනා කිරීම වප් පොහොය දින සිදුවිය.
  • තවද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, මහා පවාරන දිනය, භික්ෂුන් වහන්සේලා විනය ප්‍රඤප්තියක් ඉටුකරන දිනය මෙම උතුම් පොහොය දින සිදුවී ඇති තවත් වැදගත් සිදුවීම් වේ.

මෙලෙස වප් පුන් පොහොය දිනයේ වැදගත් ශාසනික සිද්ධීන් සිදුවූ අතර, නැවත තවත් පොහොය දිනක තොරතුරු රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මෙසේ සමුගනිමි. තවද මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සිදුවී ඇත්නම් ඒවා සඳහන් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !!! දළදා සමිදු පිහිටයි !!!

..:: බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

2010 සැප්තැම්බර් 21 1 ප්‍රතිචාරයක්

තවත් පින්බර පොහොය දිනයක් ළග ළගම පැමිණේ. පෙර සේම මෙවරත් මෙම එළඹෙන පොහොය දිනයේ සිදුවූ පින්බර සුදුවීම් හා අවස්ථා මෙම ලිපියෙන් දැක්වේ.


  • මෙම පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්,  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීමය.

  • අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය.  මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී  සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.

  • සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද  “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.

සේරුවාවිල  චෛත්‍ය රාජයාණන්

පින්තූරය ලබා ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2009/09/04/z_pic350-fea.jpg

ගිරිහඩු සෑය

පින්තූරය ලබා ගත්තේ: http://www.lakehouse.lk/budusarana/2008/09/22/z_pic350-fea.jpg

නැවත වරක් තවත් පින්බර පොහොය දිනයක තතු ඔබවෙත ගෙන එන අරමුණින් මෙම ලිපිය මා අවසන් කරමි. මෙම ලිපියෙහි කිසියම් තැනක වැරදි අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා දෙන මෙන් පාඨක ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! අයිය නායක දෙවි පිහිටයි !!!


..:: නිකිණි පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

නිකිණි පුන් පොහොය දිනය බෞද්ධ අප කාටත් කිහිප ආකාරයකින් වැදගත් වේ.  අප බුද්ධ ශාසනයේ, ශාසනික ප්‍රතිපත්තිවලට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට “වස්” එළඹීමට දින දෙකක් ඇත. එනම් “පෙර වස් හා පසු වස්” යනුවෙනි. මෙයින් පසු වස් එළඹෙනුයේ නිකිණි පොහොයටයි.

  • කොසොල් නුවර “උදේනි” නම් වැසියකු වස් කල කළ ඇරයුමකට භික්ෂූන් නොවැඩිය වග රජගහ නුවර වැඩසිටි අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේට සැළවිය. භික්ෂූන් වහන්සේ නමක් වස් එළඹ සිටියද සතියක් ඇතුලත ආපසු පැමිණෙන අදිටනින් වස් සීමාවෙන් පිටතට යා හැකි බවට සැළෙන “සත්තා හකරණය” නම් වූ පනත අප බුදු පියාණන් විසින් දේශනා කරන ලද්දේ මෙම නිකිණි පොහොය දිනකදීය.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.
  • මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.
  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය තැනීම ඇරඹුනේද නිකිණි පොහෝ දිනකයි.

මෙලෙස නිකිණි පොහොය දින සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස යහපත පිණිස සිදුවූ සිදුවීම් මෙසේය. මෙම ලිපියෙහි යම් වැරදි අඩුපාඩු වෙතොත් ඒ පිළිබදව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.
(සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ)

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි. අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

  • අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව  මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
  • තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
  • කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

පින්තූරය ලබාගත්තෙ – http://www.lakehouse.lk/budusarana/2…_p04-asala.jpg