Archive

Author Archive

සෝමාවතිය අරබයා ලියවුන පද්‍යයක්…

අමනිවන පෑදූ

බුදුරැස් කැරලි වීදු

කෙලෙස්මල් සේදු

වඳිමු සෝමාවතිය සාදු

සැමට ලඟා කර දෙන මොක් මග අතර

අපි යමු වඳින්නට සෝමාවතී වෙහෙර

වන පෙත් මැදින් පායා එන සුපුන් සඳේ

සම්බුදු ගුණ සුවඳ ඒ රැස් තුලින් පිදේ

සැමටම ලඟා…..

බුදු රදුනගේ දකුණු දළදා වැඩ සෑදු

සෝමාවතිය දොහොතින් නමදිමු සාදු

සැමටම ලඟා…..

ගණනින් වසර දෙදහස් සියයකට උඩ

මහරජ ගිරි අබා ගොඩ නැගු ඇතුව හැඩ

සැමටම ලඟා…..

අලි කොටි වලස් ගැවසෙන රජ දහන මැද

මහා වන තලාවෙහි වෙහෙරක් දිලෙයි අද

සැමටම ලඟා…..

පද්‍යාවලිය: සේසිරි විජේසේකර විසිනි.

සෝමාවතී චෛත්‍යරාජයා අවට ඇති සෙල්ලිපි…

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 3ක්

සෝමාවතී චෛත්‍යරාජයා මුල් කාලයේදී පාචින නාගාරාමය (නැගෙනහිර පැත්තෙන් පිහිටි ශ්‍රේෂ්ඨ ආරාමය) “මණි අගිය” (අග්‍රගන්‍ය මාණික්‍යය) යන නම් වලින් හැඳින් වූ බව සෙල්ලිපි වලින් අනාවරණය වේ.

දැනට සෙල්ලිපි අටක් සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස පවතී. එයින් සෙල්ලිපි දෙකක් චෛත්‍යරාජයා අසල හා අනිත් සෙල්ලිපි හය සෝමාවතී දාගැබට නුදුරින් චෛත්‍යරාජයා වෙත යන මාර්ගය සමීපයෙහි මීන්විල විශාල ගල්පර්වතයක් වූ එරික් ස්වෝන් නමැති සුප්‍රකට ජායාරුප ශිල්පිය වල අලියෙකු ගෙන් මරණයට පත් දිග් ගලෙහි තිබෙනු දැක බලාගත හැක.

මේ ලිපි අතර චෛත්‍යරාජයා සමීපයෙහි පිහිටි පේලි දහයකින් යුත් විශාල පුවරු ලිපිය ඉතා වේදගත්වේ.

එම ලිපියෙන් කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-192) ගෙන් මණි අගිය නම්  මේ සෝමාවතී විහාරයට කරන ලද පුජාවක් කියවේ. එම ලිපියේ අදහස

01) යහපතක් වේවා, නාග නමැති මහරජුගේ පුත්‍රයා වූ ද, භාතියතිස්ස නමැති මහරජුගේ මනිටු සොහොයුරු වුද, තිස්ස නමැති මහරජ අලිවිටියෙහි භව්ටක වැව සමීපයහි වූ මණි අගිය නමැති රාජමහා විහාරයෙහි සංඝාරාමය නැවත පිහිටුවා යථෝක්ත විහාරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනය (කල් යාමේදී) ක්‍රියාවේ නොයෙදීම හේතු කොටගෙන මේ ස්ථානයට (ලැබීමට නියමිත) ආදායම නොලැබෙන අවස්ථාවේදී මෙබඳු නියෝගයක් පනවන ලදී.මේ ආඥාවට අනුව මේ මුදල සැයේත් පෝයගේත් ප්‍රතිසංස්කරණය කිරීමටද නව කර්මාන්ත වැඩ සඳහා ද යෙදිය යුතු වන්නේය.

ප්‍රතිසංස්කරණ වැඩ කිරීමට ද නව කර්මාන්තයටද උවමනා නොවන්නේ නම් මේ ආදායම සංඝයා වෙත දානය සැපයීම සඳහා දිය යුතුය.

මේ විහාරය සඳහා පනවා ඇති ආඥාව පිලි නොපැදීමේ වරදට දඬුවම කහවනු පන්සියයකි.

මේ විහාරයේ උපෝසථාගාරයේ පහන් දැල්වීම සඳහා තෙල් සැපයීමටද කටුකොහොල් අරීමටද ප්‍රතිසංස්කරණය කිරීමටද මේ තොටුපළවල් තුන එනම් අතර ගගහි කෙහිගම තොටුපල ද, සුමනතගම තොටුපලද තොටගමකහි තොටුපලද දෙන ලදී.

මණි අගියේ උපෝසථාගාරයේත්  රාජමහා විහාරයේත් ආරක්ෂාව සැලසීම නිශ්චය කළයුතුව තිබෙන හෙයින් මේ විහාරයට හිමි සඟ සතු ඉඩම්වල පදිංචි පවුල් වල ය මහා වැකන්දියේ වැඩවලින් මුදවා විහාරය රැකීමේ කාර්යයෙහි යෙදිය යුතුය.

02) ක්‍රි. පු. 9 – ක්‍රි. ව. 21 නාග නමැති මහරජ තම පුත් නකල නමැති කුමාරයා විසින් පිහිටුවන ලද, පාචීන නාගාරාම විහාරයට රජඅඩපිටි  නමැති ගම ප්‍රදානය කළේය.

03) ක්‍රි. පු. 41 – ක්‍රි. පු. 19 කුටකන්න තිස්ස රජතුමා විසින් පිහිටුවන ලද ලිපිය අනුව දෙගම නමැති දිය ඇලක් සාදවා කුඹුරුවලට ජලය ලබාදුන් අයුරු පැහැදිලි වේ.

04) ක්‍රි. ව. 9 – ක්‍රි. ව. 21 මහානාග රජ තම පුත් නාග කුමාරයා පිහිටවූ පාචීන නාගාරාමය නම් විහාරයෙහි නඩත්තුව සඳහා විහාරය සමීපයෙහි වූ රජලි නමැති කුඹුරෙහි සත් කරිසක් සඟසතු කොට පුජා කරන ලදී.

05) ක්‍රි. ව. 112 – ක්‍රි. ව. 134 සංග්‍රාමයේ විජයග්‍රාහක වූ ගාමිණි අභය මහරජු විසින් රජ ඇළෙහි  පිහිටි ගමේ ආදායම මණිඅගිය විහාරයට දෙන ලදී.

06) ක්‍රි. ව. 22 – ක්‍රි. ව. 31 අතර සිටි ආමන්ඩ ගාමිණී  අභය රජුගේ ලිපියක පේලි දෙකක් පමණක් ඉතිරි වී ඇති අතර ඒ සමීපයෙහි තවත් ලිපියක් (එරික් ස්වෝන් ගලෙහි) විනාශයට පත්ව ඇත.

මෙවන් අති පෞරාණික සිද්ධස්ථානය වර්තමානයෙහි විහාර කැලය නමින් හැඳින්වෙන සෝමාවතී අභය භුමිය මධ්‍යයෙහි පවතී. එදා මාගම්පුර වෙල්යායේ කොටසකැයි සිතිය හැකි මේ සමතලා බිම් ප්‍රදේශයේ ස්වභාව ධර්මයාගේ බලපෑමත්, මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වී පිටාර ගැලීමත්, රාජධානි වෙනස් වනවාත් සමගම ජනශුන්‍ය විල්ලු සහිත මහා වනයක් බවට පත්ව නිතර ජාල රකුසාට මුළු ප්‍රදේශයම ගොදුරු වෙමින් වසර 1000 කට අධික කාලයක් ගතවිය.

අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී වල්බිහිව නටබුන්ව ගිය සෝමාවතිය ජනතාවගේ මතකයෙන් ක්‍රමයෙන් ඇත්වන්නට විය.එහෙත් ජනතාවගේ හදවතින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින බුදු රැස් විහිදෙන සෝමාවතිය යන නාමය ඈත් නොවී පරම්පරාගතව පැවතුනි.

සොමවතියේ එදා සහ වත්මන් තත්වය පිලිබඳ ලිපියකින් නැවත ඔබ හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

උපුටාගැනීම්: පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි විසින් රචිත “සෝමාවතී චෛත්‍යරාජයා” ග්‍රන්ථයෙනි.

නිරෝගී සුවයට සක්මන් භාවනාව…

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 3ක්

“සක්මන් භාවනාව” යනු සිහි නුවනින් යුතුව ඇවිදීමකි. ලෝක නාථ වූ බුදුරජාණන් වහන්සේද තුන්වෙනි සතියේදී සක්මන් කල සේක. ජීවක වෛද්‍ය තුමාගේ ඉල්ලීමක් අනුව “අනුජානාමි භික්කවේ චන්කමනං” යනුවෙන් භික්ෂුන් වහන්සේලාට නිරෝගී සුවය සඳහා සක්මන අනුදැන වදාළහ. මෙලොව වශයෙන් කායික සුවයත්, සතිය දියුණු වී කෙලෙස් රෝග ද සුව වීමෙන් සදාකාලික නිරෝගී සුවය වූ නිවන් සුවයද ලැබේ.

ඉඳගෙන පැයක් පමණ භාවනා කරන භාවනා යෝගියකු පැය භාගයක්  සක්මන් කිරීමෙන් නිරෝගී සුවය සඳහා අත්‍යවශ්‍ය වන ව්‍යායාමයද සම්පුර්ණ වේ.

භික්ෂුන්වහන්සේලාට සහ (භාවනා) යෝගීන්ට ඉතා සුදුසු ව්‍යායාම දෙකක් තිබේ. එනම් සක්මන් කිරීම සහ විහාර මළු, බෝ මළු, සක්මන් මළු ආදිය ඇමදීමත්ය. මෙම ව්‍යායාම දෙකෙහි යෙදෙන භික්ෂුන්වහන්සේලගේ සහ යෝගීන්ගේ නිරෝගී සුවය ආරක්ෂා වේ. දියවැඩියාව ආදී රෝග රැසකින් ආරක්ෂා වී සිටීමට පුළුවන.

අතීතයේ වැඩ විසු අපේ පැරණි භික්ෂුන්වහන්සේලා සහ වයෝවෘද්ධ ඇත්තෝ වඩාත් නිරෝගී සුවයෙන් ජීවත් වීමට සමත් වුයේත්, අද මෙන් ලෙඩ රෝග බහුල නොවීමට එක ප්‍රධාන හේතුවක් වුයේත්, ඒ ඇත්තන් දිනකට සැතපුම් කීපයක් පයින් ගමන් කිරීමත්, සක්මන් භාවනාවේ යෙදීමත්, දිනකට පැයක් හෝ මිදුල ඇමදීමත්, ආගමික වත් පිළිවෙත් වල යෙදීමත් නිසාය.

සක්මන් භාවනාවේ යෙදෙන අයට බුදු ගුණයක් ගැන සිත සිතා හෝ මෛත්‍රී භාවනාවේ යෙදෙමින් හෝ තම මෙනෙහි කරන භාවනාවට අදාලව මෙනෙහි කරමින් භාවනා කල හැක.

වැඩිපුර වෙහෙසෙන්න එපායයි වෛද්‍ය උපදෙස් ලබා සිටින අයෙක් වුවත් ඉතා සුළු වෙලාවක් සක්මන් භාවනාවේ යෙදීම නිරෝගී වීමට හේතු වේ. වෙහෙස දැනෙන තුරු සක්මන් නොකර සුළු වෙලාවක් සක්මන් කරන්න. නැවත නැවතත් වරින්වර ටිකෙන් ටික සක්මන් කරන්න. සක්මන නිසා ශරීරයට අවශ්‍ය ව්‍යායාමයද නොඅඩුව ලැබෙන අතර වැඩි වෙලාවක් ඉඳගෙන භාවනා කිරීමේ හැකියාවද දියුණු වේ. සතිය දියුණු වී සමාධිය ලැබේ. මෙලොව වශයෙන් නිරෝගී සුවය ලැබේ.

වයස්ගත වීම නිසා හෝ රෝගාතුර වීම නිසා අබල දුබල වී සිටින එහෙත් දිනකට විනාඩි 5ක් තරම් සුළු වෙලාවක් හෝ ඇවිදීමට හෝ ඇමදීමට හැකි අයෙක්නම් – සක්මන් කිරීම හෙවත් ඇවිදීම – ඇමදීම හෙවත් ගෙමිදුල් අතුගෑම (සහ මල් වැවීම ද) නිරෝගී සුවය ලැබෙන අගනා භාවනා ක්‍රම කීපයකි. ශරීරයට අපහසුවක් නොදැනෙන පරිදි මෙම කාර්යයන්හි යෙදෙන්න. සාර්ථක ප්‍රතිපල ලැබේ.

ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා” ග්‍රන්ථය ඇසුරිනි.

රෝග සුව වීමට (සමථ) භාවනාවක්…

2010 අප්‍රේල් 24 ප්‍රතිචාර 4ක්

මේ ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතයි. අපගේ ජීවිතය පවත්වා ගැනීමට අපට අත්වශ්‍යම දෙය වාතයයි. අහාර නැතිව සතියක් හෝ ඊටත් වැඩි දින ගණනක් – වතුර නැතිව පැය ගණනක් ජීවත් වන්නට පුළුවනි. එහෙත් පිරිසිඳු වාතය නැතුව (හුස්ම නොගෙන) පැයක්වත් ජීවත් විය හැකිද? පැයක් තියා පැයකාලක්වත් ජීවත් වීමට නුපුළුවන. ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතය බව ඉන් අපට මනාව පැහැදිලි වේ.

මෙලොව බිහිවූ කව්රුත් පළමුව කලේ පිරිසිඳු වාතය උරා ගැනීමයි. කුමන වැඩක යෙදී සිටියත් අප ජීවත්වන තුරුම මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුකරමු. එය කඩ කළ දිනට අපගේ මරණය සිදුවේ.

බුදු රජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව ලැබුවේද මෙම ජීව වායුව ශරීරයට ඇතුළුවීම සහ පිටවීම දෙස නුවනින් බල සිට ඒ අනුව ත්‍රිලක්ෂණ ධර්මය මෙනෙහි කිරීමෙනි. ආනා පානා සති භාවනාව යනු එයයි.

අපට නොපෙනෙන බොහෝ දේව රූප, භූත රූප, රුපවාහිනී රූප මේ වායුවේ පවතී. ඒවා අපට නොපෙනෙන්නේ එම රූප දැකීමට තරම් සියුම් ඇසක් අපට නැති නිසා මිස රූප නැති නිසා නොවේ.

එමෙන්ම අපට නොඇසෙන බොහෝ ශබ්ද තරන්ගත් මේ සුලගේම ගමන් කරයි. විද්‍යාත්මක යන්ත්‍ර සුත්‍ර මගින් විසුරුවා හරිනු ලබන විවිධ ශබ්ද, විවිධ භාෂා වලින් අපට ගුවන් විදුලි යන්ත්‍රයක ආධාරයෙන් ඇසීමට පුළුවන. එම ශබ්ද පමණක් නොව අප කතා කරන දේවල්ද මේ සුළගට එකතු වේ. පිරිත්හඬ, බනහඬ  වැනි හොඳ යහපත් ශබ්ද මෙන්ම ඵරුස වචන, කුණුහරුප, සම්පප්‍රලපාදී (ආශාව තරහව වැඩිවන කතා) බොහෝ අහිතකර ශබ්දද මේ සුළගේ පවතී.

එමෙන්ම යහපත් මෛත්‍රී භාවනාදී හොඳ සිතුවිලි මෙන්ම නපුරු අයගේ අයහපත් නරක සිතුවිලිද මෙම සුළගේ පවතී.

නපුරු මිනුසුන්ගේ මුවින් පිටවෙන (නපුරු වචන) අහිතකර ශබ්ද තරංග සහිත වූ වැකි ඇතුලත් නපුරු සිතුවිලි, අහිතකර චිත්ත තරංග සහිත වාතය ශරීරයට වැඩිපුර උරාගත් විට ඒ අහිතකර වූ වාතය ආශ්වාස කල පුද්ගලයන්ගේ ද සිතුවිලි වඩ වඩාත් නොමගට යෙදේ. ඔවුන්ගේ සිත් තුල රාග, දෝස, මෝහ, වැඩි වැඩියෙන් දියුණු වේ.

යහපත් සිතුවිලි (භාවනා) යහපත් ශබ්ද බනහඩ, පිරිත්හඬ සහ වෙනත් යහපත් වචන සහ ශබ්ද තරංග සහිත වූ පිරිසිඳු වාතය ලබා ගන්න වූ අයගේ සිතුවිලි වඩ වඩාත් හොඳ වේ.රාග, දෝස, මෝහ තුනී වේ. යහපත උදා වේ.

නිතර තෙරුවන් වඳින පුදන ගෙදරක සාමය දියුණුව ඇතිවන්නේ එම බෞද්ධ නිවසේ වඩ වඩාත් හොඳ සිතුවිලි සහ යහපත් තරංග වැඩි වැඩියෙන් ඇති නිසාය. බෝ මළුවක් අසලදී – ශාන්ත පුද බිමක වැඩි වෙලාවක් ගත කරන විට යහපතක් උදාවන්නේ එබඳු පුජනීය භූමිවල මෙම යහපත් ශබ්ද තරංග සහ චිත්ත තරංග වැඩිපුර ඇති නිසාය.

යහපත් ගුණවත් සත්පුරුෂයන්ගේ මුවින් පිටවූ යහපත් ශබ්ද තරංග සහ (භාවනා) චිත්ත තරංග මිශ්‍ර වූ පිරිසිඳු අම්ලකර වාතය වැඩි ප්‍රමාණයක් ඔබගේ ශරීරයට ලබාගත හැකි නම් ඔබගේ යහපත් සත්පුරුෂකම වැඩි දියුණු කර ගැනීමට පුළුවන. මේ භාවනා ක්‍රමය අත්හදා බලන්න.

රේඩියෝවේ මීටරය කරකවන ඔබ, ඔබට උවමන ගුවන් විදුලි සේවයේ හඬ තෝරා බේරා ලබාගන්නක් මෙන් – සියලු දේටම වඩා මහා බලයක් ඇති ඔබේ සිත තුලින් හොඳ අධිෂ්ටානයක් ඇතිව බලවත් චිත්ත අධිෂ්ටානයෙන් යුතුව පිරිසිඳු වාතාශ්‍රය ලැබෙන තැනක ඉඳගෙන මෙසේ සිතන්න.

භාවනා ක්‍රමය:

“මේ විශ්වයේ පවතින භාවනා සිතුවිලි ආදී යහපත් චිත්ත තරංග සහිත වූ ද, බනහඬ, පිරිත්හඬ වැනි යහපත් ශබ්ද තරංග සහිතකර වුද පිරිසිඳු වාතය මගේ ශරීරයට ඇතුළු වේවා!!!” යි සිතා හොඳින් හුස්ම ගන්න. තත්පර කීපයක් එම පිරිසිඳු වාතය පෙනහළු තුල රඳවාගෙන “මම නිරෝගී වේවා!!!” යි දෙතුන් වරක් සිතන්න. “මාගේ සිරුරේ පවතින සියලු අහිතකර ශක්ති පිටවෙවා!!!” යි සිතා හෙමින් හුස්ම පිට කරන්න. මෙසේ වාර කීපයක්ම හොඳ පිරිසිඳු වාතය ලබාගන්න.

දිනකට විනාඩි 5ක් හෝ වැඩිම උනොත් විනාඩි 10ක් හෝ අඩුම ගනනේ වාර තුන හතරක් මේ භාවනා ක්‍රමය අනුව පිරිසිඳු වාතය ශරීරයට ලබාගන්නා ඔබගේ ලේ ධාතුව වඩාත් පිරිසිඳු වී ඔබ නිරෝගී කෙනෙක් වෙනවාට කිසිදු සැකයක් නැත. ලේ ධාතුව පිරිසිඳු වී හතිය, මහන්සිය, අඩුම ආදී බොහෝ රෝග සුව වේ.

තෙරුවන් සරණයි…!!!

පතපොත ඇසුරිනි: පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා”

බුදුරැස් විහිදෙන සෝමාවතිය…

පාලිධාතුවංශය, සිංහල ධාතුවංශය , ජිනකාලමාලිනිය ආදී ඓතිහාසික ග්‍රන්ථ වලින්ද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ගෙන් සොයාගත් නටබුන් හා සෙල්ලිපි වලින් සෝමාවතී චෛත්‍යරාජයා පිළිබඳව කරුණු රැසක් අනාවරණය වේ.

ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.

වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්‍යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි  නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වන අතරම සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ.

වංශකථාවල සඳහන් පරිදි සෝමාවතී දාගැබ පිහිට ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දිරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්දව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුර විද්‍යාත්මක සාධක අනුව හෙළිවන අතරම චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගාලු මහවැලි ගඟ දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.

එදා සෝමාවතිය රුහුණු ප්‍රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස් වූ නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.

සෝමාවතී චෛත්‍යයෙන් හමුවූ සෙල්ලිපි වල අක්‍ෂර ස්වරූපය භාෂා ලක්ෂණ ව්‍යාකරණ රීති ආදියත් චෛත්‍යරාජයා ගොඩ නංවා ඇති ගඩොල් ඒවාට යොදා ඇති බදාම, ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්‍රාකාර බැමි, තිරුවන ගල් වලට සමාන ගල් වලින් නෙලූ සඳකඩපහන්, හස්ති රුප, සිරිපා සටහන්, ගල් කුළුණු හා පෝය සීමා ආදිය දෙස බැලීමෙන් මෙම සෝමාවතී චෛත්‍යරාජයා වසර 2100 කට වඩා ඉපැරණි බව හෙළිවේ.

සිද්ධාර්ථ කුමරුගේ සැබෑම අභිනික්මන…

මේ අසහාය මනුෂ්‍ය රත්නය උපත ලැබුවේ හිම කඳු අසල පිහිටි සුන්දර කපිල වස්තු නගරයේ ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලකය. මේ රාජකීය පවුලේ ඔටුන්න හිමි කුමාරයා වූ මෙතුමන් ගේ ගිහි නම සිද්ධාර්ථ ය. “යහපත උදා කරන තැනැත්තා” යනු ඒ නමෙහි තේරුමයි. රජ පවුලේ සිරිතට අනුව නව යොවුන් වියේදී සුරූපී යසෝදරා කුමරිය හා සිද්ධාර්ථ කුමරු විවාහ විය. වයස විසි නවය වන විට සිද්දාර්ථයන් ගේ සියලු සිතුම් පැතුම් මුළුමනින් ම වෙනස් වී ගියේය. ජීවිතයේ යථාර්ථය කුමක් දැ යි කුතුහලයෙන් ඒ සිත වෙලී ගියේය.

සැබෑම වූ මානසික විමුක්තියක් මේ ජීවිතයේදී උදාකර ගත හැකි බව එතුමා තරයේම සිතාගෙන සිටියේය. උන්වහන්සේ ගේ සිහිනය වුයේ සියල්ලෙන් වෙන් වී හුදකලා අසපුවක භාවනා කිරීමය. මේ ගුණවත් යොවුන් කුමාර ගේ චින්තනයට වැට කඩොලු බැඳ තිබුනේ රජ මාලිගයෙන්මය. එහෙත් ඒ කිසිම රාජකීය බන්දනයකට කුමරුන්ව සිරගත කල නොහැකි විය. නිදහස සොයා යන කුරුල්ලෙක් කැදැල්ල අතහැර පියඹා යන්න සේ සිද්ධාර්ථයන් ද රජමැදුර හැරදා මහා රෑ පිටත්ව ගියේය. තමන්ට දාව බිලිඳු රාහුලයන් උපන් ඒ දිනය සාමාන්‍යයෙන් පිය කෙනෙකුට බලවත් බන්දනයක් ම ය. එහෙත් ඒ හැගීමට ඉඩ නොදී එදිනම අභිනික්මන් කිරීමට එතුමා තුල මොන තරම් මානසික ශක්තියක් තිබෙන්නට ඇත් ද?

බුදුවසින් විසි හයවන සියවසේ කාම පිපාසාවෙන් මෝහනයට පත් වී සිටින ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිත්වලට නො ඉවසිය හැකි වරදක් මෙය පෙනෙන්නට ඉඩ තිබේ. සමහර අන්‍යාගමික සොහොයුරන්ට එසේ පෙනෙන වග පසුගිය දිනෙක ලංකාවේ ප්‍රධාන පෙලේ ෆෝරමයක දුටු නිසා මා හට මේ කියවූ ලිපිය මෙහි පල කරන්ට සිතුනි.

එහෙත් රුපියල් සත උදෙසා තම කිරිදරුවන් පවා අතහැර පිටරටවල දුප්පත් රැකියාවන් සොයා යන මව් වරුන් කොතෙක් ද? අඹු දරුවන් අතහැර දුර රටවල අනන්ත දුක් විඳිමින් රැකියාවල් කරන පියවරු මොන තරම් සිටිත් ද? ඒ ගැන කතා කරන්න කනස්සලු වෙන්නට කිසිවෙක් නැත. එකම එක පවුලක් උදෙසා ඔවුහු අනන්ත දුක් අනුභව කරමින් සිටිති. හරි හම්බකරගත් දෙයින් සමහර කෙනෙකුට ප්‍රයෝජන ලබාගන්නට ද වාසනාවක් නැත.

එහෙත් සිද්ධාර්ථ කුමරු ගේ දොර හැර ගියේ පිට රටක රැකියාවක් කරන්නට නොවේ. වනාන්තරයේ මැණික් තිබෙන තැන් හෝ නිධන් තිබෙන තැන් සොයන්නට නොවේ. එසේත් නොමැතිනම් වනාන්තරයේ තිබෙන සුවිසල් රුක් ගොමු, දිය ඇලි, වනසතුන් බල බලා සතුටු වන්නට නොවේ. ඊනියා උගතුන් සොයා බලන විශ්ව ශක්තීන් සොයන්නටත් නොවේ.

එසේ නම් කුමකටද? ප්‍රථමයෙන් තමා මේ සසරින් එතෙරව දෙවනුව අපවද මේ දුක් කතරින් එතෙර කරවීම සඳහායි.

සිතා බලන්න…

ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

මෙම ලිපිය පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත “විස්මිත අවබෝධය” යන ග්‍රන්ථයෙහි තවත් බොහෝ කරුණු කාරණා සහිතව අඩංගුව ඇත.