සිතුවිලිවල ඒකාග්‍රතාවය
අපේ සිත්වල උපදින නානා මාදිලියේ සිතුවිලි කේන්ද්‍රීය කොට ගෙන අප තුලින් පැහැදිලිව විද්‍යාමාන වෙන හොඳ, නරක ඉරියව් හා වෙනස් වන ගති සොබා පිටතින් බලනා කෙනෙකුගේ කෝණයෙන් බිඳකට විමර්ශනය කර බලනා කල්හී ඒවා ධනාත්මක හා ඝෘණාත්මක වශයෙන් දෙකොටසකට පැහැදිලිව ගොඩ ගැසීමට හැකියාව තිබෙනවා…
පෘථග්ජන මිනිසුන් වශයෙන් අපිට එදිනෙදා සමාජයේ විවිධ තැන්වලදීත් අපේම පෞද්ගලික ජීවන රටාව තුලදීත් විවිධ අභියෝගයන්ට හා ගැටළුවලට මුහුණ දෙන්න සිදුවීම හා ඒවාත් සමඟ නිරන්තර ගැටීමක නියැලෙන්න සිදුවීම අහඹු දෙයක් නොවේ..…
අපි විමසා බලමු අපි බහුතරයකට සමාජයේ බහුලව අත් විඳින්න ලැබෙන බොහෝ විට හුරු පුරුදු අවස්ථා කීපයක් හා එහිදී අපේ සිතුවිලි කොයි විදිහටද ඒවා එක්ක ගනු දෙනු කරන්නේ කියල….
හිතන්නකෝ ඔබ හොඳ ගති පැවතුම් ඇති යහපත් සාර ධර්ම අගය කරන සමාජයට නිරතුරුවම යහපතක්ම කරනා පුද්ගලයෙක් කියල..ඔබ කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න හීනෙකින්වත් නොසිතන කෙනෙක්ය කියලා…
ඔබ හොඳ කරන්න කරන්න ඔබට කෙනෙක් දිගටම නොනවත්වා ඔබව විවේචනය කරමින් පහර දෙනවානම් ඔබේ සිතැඟි ඊලඟ පැයේදී කුමන ස්වරූපයක් ගනීද??
මහත් සේ බලාපොරොත්තු රඳවා ගෙන සිටි දෙයක් එකවර ඇස් ඉදිරිපිටම නොසිතූ ලෙස දෙදරා යා නම් කෙබඳු මානසික බලපෑමක් එයින් ඔබට ඇතිවේද??….
ඇස් පනාපිට හැම නරක ක්‍රියාවක්ම කරන තැනැත්තාටම බොහෝ දේ ලැබෙද්දී ජීවිතය පුරාවට හොඳම කරනා තමන්ට ඒ දේවල්වලින් අංශුවක තරම්වත් දෙයක් නොලැබීයාම හා ලැබෙන්නට වාසනාව අහිමි වීම කෙබඳු ලෙස තම සිතට බලපෑම් කරයිද??…
ඉල්ලුවාටත් වඩා සුදුසුකම් ඇතිව රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියද අවසානයේ තමන් තරම්වත් සුදුසුකම් නොමැත්තෙක් ඒ සඳහා තෝරා පත් කර ගැනීම……අඩුම තරමේ වැරදි ඇත්නම් ඒවා මතුවට පිලිසකර කර ගනු වස් කුමන පදනමක පිහිටා තමන්ව ප්‍රතික්ෂේප කලාදැයිවත් වගකිව යුත්තන් තමන්ට ප්‍රකාශ නොකිරීම..
නොකල වරදකට සමාජය තමන්ව හංවඩු ගැහීම කොන් කිරීම හා ලේබල් කිරීම කෙතරම් දුරට කෙනෙකුට සිතින් වේදනා විඳිය හැකි මනෝමය ව්‍යාකූල භාවයක් ඇති කරනු ලබයිද??
මෙවැනි තත්වයන් හමුවේ යාන්ත්‍රික උප සංස්කෘතියක දිවි ගෙවනා අපි කෙතරම් ශක්තිමත් මනසකින් හෙබි වුවත් අර්ධ වශයෙන් හෝ සිත කඩා වැටීමකට ලක් වන්නේ නැද්ද?
ඔබ කෙතරම් බණ දහම ප්‍රගුණ කල සිත පිරිසිදුව තබා සිටින අයෙක් වුවත් ඔය ඉහත කී අවස්ථාවන් එකින් එක පරිස්සමින් ගෙන විශ්ලේශනය කර බලද්දී ඔබත් ඉහත දැක්වු සිද්ධීන්ගෙන් අඩුම තරමේ එකකින්වත් කම්පනයක් හා සිත් සෙලවීමක් අත්විඳ තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..
ඔය කම්පනයේදී මුලින්ම ඔබට ස්වයංක්‍රීයව සිතට දැනෙන්නේ මහත් පිලිකුලක් හා කලකිරීමක්..
එහෙම වෙන්නේ උඩු සිත හා යටි සිත අතර ප්‍රබල බැඳීම හා සම්බන්ධතාවය සමතුලිත ලෙස පවත්වා ගෙන යාමට බොහෝ සේ උපකාරී වන හා මුල පුරන ඒකාග්‍රතාවය අහිමි වීම නිසා…
ඒ අහිමි වීමත් සමඟ අභ්‍යන්තරයෙන් සැනින් ශ්‍රාවය වන්නාවූ ක්ෂනික ක්‍රියාකාරී සිතුවිලි එන්සයිමයන් වියරු උත්තේජකයන් හා වෙලී කැලතී සැනින් අපව ප්‍රකෝප කරවන්න කල කිරවන්න හා වෙනස් කරවන්න අපේ සිරුර හා බැඳුනු පොදු ක්‍රියා දාමයක් ඇතුලතින් ක්‍රියාත්මක වෙනවා……
එතැනදි ඔබේ මුහුණේ ඉරියව් නිරායාශයෙන් වෙනස්වීමකට ලක් වෙනවා. ඔබ හිටියාට වඩා තරමක නොසන්සුන්තාවයක ඉන්නා බව පිටින් බලන කෙනාට තේරෙනවා..
ඔබේ මුවින් වෙනදට පිටවෙන ශාන්ත බවක් ගත් වදන් වැකි මෙදා ටිකක් රොස් පරොස් බවක් ගන්නවා…වෙනදා නොතිබුණු රළු ගොරෝසු බවක් එතුලින් දිස් වෙනවා..
අවසාන ප්‍රතිඵලය කෙලෙස විසඳුනත් ඔය මං ඉහතින් කියපු චර්යාවන් එකක් දෙකක් එහෙමත් නැත්නම් සියල්ලක්ම අප තුලින් විද්‍යාමාන වෙන්න පුලුවන්….
එයයි එහි අපුර්වත්වය…..ඒ වෙනස පිටස්තර ලෝකයෙන් සඟවා සිටීමට කොහෙත්ම බැහැ…
හැබැයි බණ භාවනා ක්‍රම යම් පමණකට පරිශීලනය කර ඇති තැනැත්තාට මෙහිදී සාමාන්‍ය කෙනෙකුට දැනෙන පීඩාව හා ආතතිය සමඟ සසඳා බලන කල්හී එය අවම කර ගැනීමේ ශක්‍යතාවය යම් තාක් දුරට ගිණිය හැකි ප්‍රතිශතයක පවත්වා ගෙන යන්න ඉඩ ප්‍රස්ථා බොහෝ විට තියෙන්න පුලුවන්…
මොකක්ද මේ අසහනය??. අද සමාජයේ නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපේ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි. නමුත් හිතන තරමට ලැබෙන්නේ නැහැ. ලැබෙන ප්‍රමාණයයි බලාපොරොත්තු ප්‍රමාණයයි අතර විශාල පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා බලාපොරොත්තු ඇතිකර ගත්තම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක් නැහැ. සහනයක් නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක තමයි අද අප ජීවත් වන්නේ..
සතුට පවතින්නේ භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.
සතුට අධ්‍යාත්මය හා සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම ලස්සන යි. ඒත් සතුට හිතේ අහලකවත් නෑ..
ඒත් පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා. එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න පුළුවනි.
බුදුදහම බුද්ධිමත් අය සඳහාම මිස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ දේශනා කරල තියෙනවා. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්.
ප්‍රඥාව මිනිසකු සතු උසස් ම වස්තුවක්. එහෙම නම් අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලයයි.. ප්‍රඥාවයි.
බුදු දහම ප්‍රායෝගිකයි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්. නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන්ගෙන් පිරිහී සිටින නිසා වුවමනාවෙන් තමන් විසින්ම ගොඩනගා ගත් ප්‍රශ්න ගොන්නකට මැදිවී එහිම ගිලෙමින් සිටිනවා.
බුදු දහමේ නිසි ඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන අයටයි….
එදිනෙදා ජීවිතයේදී සිත කම්පා වුණු අවස්ථාවකදී නැවත සිතේ සාමය ඇති කර ගැනීමට මෙය හොඳ උපකාරයක් වේවි. බොහොම ස්තුතියි.
ඔබට බොහෝ පිං සටහන අගය කලාට…
ඉතාමත් කාලෝචිත ලිපියක්. මා අත්දැකීමෙන්ම දන්නව සමාජයේ ඔවැනි දේවල් සිදුවූ පුද්ගලයන්ව. ඔවුන් කලින් සිටි තත්වයට වචා දැන් සිටින තත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ දෙනෙක්‍ට යමක් අවබෝධකරගන්නට මෙම ලිපිය ඉවහල් වේ යැයි මා සිතනව. ඔබට බොහෝ පින්.
බුදු සරණයි !!!
බොහොම පිං විචාරයට……