Archive

Archive for the ‘සැරිසර’ Category

සංඛපාල විහාරය – සැරිසර වාර්තා

රත්නපුර, කහවත්ත, මාදම්පෙ පහු කරගෙන, පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ රුහුණු රට පල්ලෙබැද්ද ප්‍රදේශයට යද්දි, කොළඹගේ ආරට නුදුරුව මාවතේ වම් පසින් හමුවෙන විහාරස්ථානය සංඛපාල විහාරය නම් වෙනවා. පැය කිහිපයක් එකදිගට වෑන් රථයේ ගමන් කිරීම නිසා ඇතිවුණු ගමන් මහන්සිය නිසාත්, එතෙක් සංඛපාල විහාරයට නොගිය දෙදෙනෙක් අප අතර සිටි නිසාත් සංඛපාල විහාරයේ මඳකට නවතින්නට තීරණය වුණා මිස එම ප්‍රදේශයේ අතීත විභූතිය කියා පාන තොරතුරු සොයමින් පරිසරයේ සැරිසරකට පෙර සූදානමක් අප වෙත තිබුණෙ නැහැ.

විහාර භූමියේ වටපිටාව අපි හැමදාමත් සැරිසරන්නට ප්‍රිය කරන නිහඬ, නිස්කලංක පරිසරයෙන් සමන්විත වුණා. විහාරයට පිවිසෙත්ම හිතේ නැගෙන දහසකුත් සිතුවිලි මොහොතකට නතර වෙන්නෙ පරිසරයේ අපූර්වත්වය විඳින්න මනසට ඉඩදෙන ගමන්. පියගැටපෙල මතින් විහාර මළුවට යද්දි හමුවෙන ගල් කුළු වලට වාරු වෙලා තුරු සෙවණේ මොහොතක් නැවතුණ අපේ කතාබහට පාදක වුණේ මෙම විහාරස්ථානයේ අතීත කතාවයි.

දුටුගැමුණු රජතුමාගෙ සේනාවෙ හිටපු ඵුස්සදේව යෝධයාට අයත් වෙලා තිබුණු සංඛය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කලේ ඵුස්සදේව යෝධයා බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ඵුස්සදේව විසින් පර්වතයේ ඉහලට ගල් පඩිපෙලක් කපමින් ගොස්, හක් ගෙඩිය තැන්පත් කළ බව බොහෝදෙනා අතර ප්‍රසිද්ධ කතාවක්. සංඛය තවමත් මෙහි තිබෙන බව පැවසෙන විවිධ කතාන්දරත් ජනවහරේ විරල නැහැ. කෙසේ වෙතත් මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශය ඵුස්සදේව යෝධයාට ගම්වරයක් ලෙස දුටුගැමුණු රජතුමා ප්‍රදානය කළ වග සඳහන් වෙනවා. ඒ වගේම ඵුස්සදේව යෝධයා භික්ෂු ජීවිතයට ඇතුලත් වෙලා අර්හත් ඵලය ලද බවත් ජනවහරේ වගේම වංශකතාවලත් සඳහන්. විහාරස්ථානය ඇතුලෙ ඵුස්සදේව යෝධයාගෙ ජීවිතයේ විවිධ අවස්ථා සිතුවම් කරලා තියෙන හැටිත් සිත් ගන්නා සුළුයි.

මේ මනස්කාන්ත පරිසරයේ හෝරා දෙකක් පමණ ගත කරද්දි දක්නට ලැබුණු, නිරීක්ෂණය කළ දේවල් අතරින් හක්ගෙඩි ගල, විහාරගෙයි බිතු සිතුවම්, රාජාධි රාජසිංහ රජ සමයේ විසූ කරතොට ධම්මාරාම තෙරුන් වදාල කවි සහ කටාරම් කෙටූ ඉපැරණි සෙල්ලිපිය විශේෂ තැනක් ගත්තා. තුරු සෙවණට වී අවට සිරි නරඹමින් ඉන්න අතරෙ, විහාරයට පැමිණෙන බැතිමතුන්ගෙන් බොහෝ දෙනා හක්ගෙඩියක සලකුණ සටහන් කර ඇති ගල දෙස උනන්දුවෙන් මෙන්ම විමතියෙන් බලමින් ඒ ගැන කතා කරන අයුරු දක්නට ලැබුණා. එකත් එකටම ඒ කතාවෙන්නෙ ඵුස්සදේව යෝධයාගෙ සංඛය ගැන ජනප්‍රවාද වෙන්නට ඕනෙ.

ගිරිකුල ඉහලටම යන්නට අදහසක් තිබුණත්, හිරු අවරට යමින් කාල වේලාව පිළිබඳ ගැටළු ඇතිකරමින් සිටියා. ඒ අතරම මාර්ගයේ ඉහලට යද්දි දෙබර ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක්ද පවතින බව අසන්නට ලැබුණු නිසා තවත් දිනෙක මෙහි පැමිණෙන බලාපොරොත්තුවෙන් සංඛපාල විහාරයේ සැරිසරට අනාගතයෙන් ඉඩක් වෙන්කරන්නට තීරණය කෙරුණා.

නාගරික පරිසරයේ එදිනෙදා හමුවෙන කොන්ක්‍රීට් වනාන්තර, වාහන තදබදය හා ඝෝෂාවන් නිසා හෙම්බත් වෙන මනස සුවපත් කරන්නට නිස්කලංක පරිසරයක ගෙවෙන හෝරා දෙකක් නොසෑහෙන තරම්. තත්වය එසේ වුවත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරමින් අපි නැවතත් පුරුදු ජීවන චක්‍රයට අවතිර්ණ වෙන බලාපොරොත්තුවෙන් පියගැටපෙල බහින්නට පටන් ගත්තෙ, බැතිමත් බෞද්ධයන් ගැවසෙන ශාන්තවූ පරිසරයක වෙසෙමින්, ඉතිහාසය හා අපේ උරුමය ගැන සාකච්ඡා කළ දැනුමින් පෝෂණය වූ අපූරු හෝරා දෙකක මිහිරි මතකයන් ජීවිතයට එක්කරගෙනයි.

දඹුල්ල – දුටුගැමුණු සැරිසර

ශ්‍රී ලංකාවෙ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයේ පිහිටා තිබෙන රන්ගිරි දඹුලු විහාරය අප බොහෝ දෙනෙකුට ආගන්තුක ස්ථානයක් නෙමෙයි. සීගිරිය බලන්නට යන බෞද්ධ සංචාරකයන් සම්ප්‍රදායක් ලෙස දඹුල්ල විහාරය වන්දනා මාන කරන්න යන සිරිතකුත් අප අතර තියෙනවනෙ. ඒ කෙසේ වෙතත් සීගිරිය තරමටම ඓතිහාසික වැදගත් කමක් දඹුල්ලටත් නැතුව නෙමෙයි. පසුගිය දිනෙක හදිසියේ යොදාගත් වැඩ වගයකට මාතලේ යන්න දුටුගැමුණු කණ්ඩායමේ අපි කීප දෙනෙකුට සිද්ධ වුණා. ඒ කටයුතු අහවර කරලා එනගමන් දඹුලු විහාරයට යන්නත් අපට අවස්ථාව සැලසුණා.

වසර දහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසය ගැන තොරතුරු රැසක් අනාවරණය කෙරෙන පුදබිමක් ලෙස හැඳින්විය හැකි දඹුලු විහාරයට එදා අපි යනකොට තරමක් හැන්දෑ වෙලා. විහාරය ඉදිරිපස වෙළඳුන්ගෙන් නෙළුම් මල් අරගෙන අපි කෙලින්ම ගියේ ඉහල මළුවේ පිහිටි ලෙන් විහාරයට. ඒ යන අතරමඟ තවත් විශේෂ සිදුවීමක් අපි දුටුවා. එනම්, නෙළුම් මල් අරගෙන යන බැතිමතුන්ගෙන් එම මල් උදුරා ගන්නට රිලවුන් උත්සාහ කිරීමයි. මෙය පොඩි දරුවන්ට බියකරු සිදුවීමක් වුවත් අපටනම් තරමක හාස්‍ය ගෙනදෙන කරුණක් වුණේ අප කණ්ඩායමේ ඇතැමෙක් රිලවුන්ගෙන් නෙළුම් මල් පරිස්සම් කරන්නට කල කී දෑ නිසයි.

බුදු පිළිම සහ සිතුවම් වලින් සමන්විත ලෙන් පහකින් සැදුණු දඹුල්ල ලෙන් විහාරය ලංකාවේ විශාලතම ලෙන් විහාරය ලෙස සැලකෙනවා. වසර දෙදහසකට වඩා පැරණි මෙම විහාරයේ සිතුවම්ද ලෝක ප්‍රසිද්ධයි. ක්‍රි. පූ. පලවෙනි සියවසේදී වට්ඨ ගාමිණී අභය හෙවත් වළගම්බා රජු මෙම විහාරය නිර්මාණයට මූලික වුණ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. අපි පළමුව විහාරය අවට ඡායාරූප ගැනීම ආරම්භ කලේ ඒ වෙනකොටත් කළුවර වැටෙන්න වැඩි වෙලාවක් නොතිබුණ නිසයි. ලෙන් විහාරය මත ගලෙහි දිගටම කෙටූ කටාරම මෙහි විශේෂ තැනක් ගත්තත් එහි සඳහන් සෙල් ලිපිය මේ වනවිට බොහෝ දුරට මැකිලා ගිහින්.

දඹුල්ල විහාරයේ සිතුවම් වලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මේ අතරින් ප්‍රධාන ලෙනෙහි වහලයේ සිතුවම් කර ඇති බුදු රදුන්ගේ මාර පරාජය දැක්වෙන සිතුවම සුවිශේෂයි. එමෙන්ම පුරාණ සිතුවම් වල ආරක්ෂාව තකා ලෙන් විහාරයේ සිතුවම් ඡායාරූපගත කිරීම පිළිබඳව පනවා ඇති නීති රීති වලටත් අප අවනත විය යුතුමයි. සිතුවම් වලට අමතරව ලෙන් විහාරය තුල කුඩා ස්ථූපයක්, සියයකට අධික බුදු පිළිම, සමන්, විෂ්ණු දෙවිවරුන්ගේ සහ මෛත්‍රී නාථ බෝසතුන්ගේ පිළිම දක්නට ලැබෙයි. ලෙන් විහාරයේ වහලයෙන් ජල බිඳු වෑස්සෙන ස්ථානයද බොහෝ දෙනාගේ සිත් ඇදගත් දසුනක්. ගලේ පැල්මකින් මතුවෙන මේ දිය බිංදුවට බොහෝ දුරට හේතු වෙනවා විය හැක්කේ ගල තුලින් දිවෙන ජල මාර්ගයක් වෙන්න පුළුවන්. මෙම ස්ථානයට දිය බිඳු පතිත වීම මුළු වසර පුරාවටම නොවෙනස්ව සිදුවීමත් විශේෂයි. ඒ අතරම කලක පටන් මෙහි ශුද්ධ වූ ජලය ලෙස සටහන් කල පුවරුවක් තබා තිබෙන අතර මේ වනවිට එහි “ශුද්ධ” යන වචනය කපා ඉවත් කර ඇති අයුරු දක්නට ලැබෙනවා. වැඩි දුර සිතා නොබලා ස්ථාපිත කරන මෙවන් පුවරු ගැනත් අප විමසිලිමත් වියයුතු බවට කදිම නිදසුනක් ඒ.

දඹුලු ගල ඉහල ලෙන් විහාරවල පෞරාණික බව තවමත් රැකී තිබුණත් විහාරය ඉදිරිපස කොටසේ ඇතුම් ඉදිකිරීම් තුලින් පෞරාණික ස්වභාවය ගිලිහී යමින් පැවතීමත් දක්නට ලැබුණා. දඹුල්ල විහාරස්ථානය වැඳපුදාගෙන අපි ආපහු පහලට එනකොට හිරු බැස ගිහින් හාත්පස අඳුර රජ කරමින් පැවතුනා. ලංකා ඉතිහාසයේ තවත් සාඩම්බර යුගයක් සනිටුහන් කරනා දඹුල්ල පුදබිමින් මෑත්ව ආපසු කොළඹ බලා එන දුටුගැමුණු බලකාය කොළඹට එනකම්ම වාහනයෙදි ඉතිහාසය ගැන සංවාදයක යෙදෙමින් ආවෙ අපේ හෙළ ඉතිහාසය ගැන අප විසින් දැනගත යුතු කරුණු තව බොහෝ ඇති බව අපටම පසක් කරවමින්.

ලෙන් විහාරය අබියස නිල් මානෙල් පොකුණ

මාකෙළි ඇල්ල ~ සැරිසර වාර්තා

බස්නාහිර පලාතෙ, කළුතර දිස්ත්‍රික්කයේ මායිමට වන්නට පිහිටි මාකෙළි ඇල්ල ලංකා භූමියේ තවත් සුන්දර ස්ථානයක්. කොළඹ මාර්ගයේ අගලවත්තට ගොස් කුකුළේ ගඟ ව්‍යාපෘතියටත් පැමිණි පසු, කුකුළේ ගඟ සිට කිලෝ මීටර 3ක් පමණ තරම් දුරින් පිහිටි මාකෙළි ඇල්ලට පහසුවෙන්ම ලඟා වෙන්නට පුළුවන්. නෙළුකැටිය රක්ෂිත වනාන්තරය හරහා ගලා බසින මාකෙළි දොළ තමයි මෙම ස්ථානයේදී මාකෙළි ඇල්ල බවට පරිවර්තනය වෙන්නෙ.

ඇල්ල පිහිටි ප්‍රදේශයට අප කිට්ටු වෙනකොට අවතීර්ණ වෙන්නෙ ජනගහණය ශුණ්‍ය  හරිත වර්ණ පලාතකට. ඇල්ල බලන්න යන සංචාරකයන් ඇරුණහම වෙනත් වාහනයක් ඒ මාර්ගයේ නොයන තරම්. පාර දෙපැත්තෙම හරිත වර්ණ ගහකොළ වලින් සැරසුන පරිසරය සිසිල් සුවදායක බවක් ගේනවා. යන අතරමඟ පුංචි දිය පාරකුත් හමුවුණත් අපි එතැන නොනැවතී කෙලින්ම ගියේ මාකෙළි ඇල්ල සමීපයට.

ඇල්ල අසබඩ පිහිටි රථගාල සමීපයේ සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සවිකල පුවරුවක් මගින් මාකෙළි ඇල්ලට සම්බන්ධ ඉතිහාසය ගැනත් යමක් ඉගෙනගන්නට අපට හැකිවුණා. එහි සඳහන්  ආකාරයට මාකෙළි ඇල්ල පිහිටි පාලින්ද නුවර, වීදිය බණ්ඩාර කුමරු ප්‍රාදේශිය පාලකයෙකු ලෙස ඔටුණු පැළඳි නුවරක්. ඒ වගේම ගිරි දුර්ග, ජල දුර්ග වලින් සමන්විත මේ පරිසරය යුධමය අවස්ථා වලදි ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස යොදාගෙන ඇති බවටත් තොරතුරු තිබෙනවා. එම විස්තර සඳහන් පුවරුව පසුකරගෙන ඊට වම් පැත්තෙන් වැටී තිබුණු පඩිපෙල බැහැලා අපි කෙලින්ම ගියේ ඇල්ල නරඹන්නට නිර්මාණය කරලා තියෙන තැනට.

මීටර 15ක් පමණ උසින් යුතු දිය ඇල්ලෙන් කඩා හැලෙන සුදු පැහැති පැහැදිලි ජල ධාරාව ඇල්ල පහලට වැටී අවට සිටින්නන්ගේ ඇඟට ජල බිඳු ඉසිමින් ගලා යන හැටි කෙතරම් වෙලා බලා හිටියත් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම දිය ඇල්ල බලන්නට සකසා ඇති ස්ථානයෙන් ටිකක් එහාට ගියහම නාන්න සුදුසු තැනකුත් හමු වෙනවා. දිය ඇල්ලේ සුන්දරත්වය වගේම එහි ඇති අනතුරුදායක බවත් ඉතාම ඉහළයි. මේ වන විට මෙම ස්ථානයේදී ජීවිත තිස් ගණනක් බිලි ගෙන ඇති බැවින් සංචාරකයන් තම පරෙස්සම ගැන කල්පනාවෙන් සිටීම වැදගත්.  ඒ වගේම ඉතාම සුන්දර පරිසරයක් වන මාකෙළි ඇල්ල අවට රක්ෂිතය අප විසින් ගෙනයන පොලිතින් ආදී අපද්‍රව්‍ය තැන තැන දමා අපවිත්‍ර නොකිරීමටත් අප වගබලා යුතුමයි.

පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් අප කණ්ඩායම මාකෙළි ඇල්ලේ සුන්දරත්වය විඳිමින් සතුටු සාමීචියේ යෙදෙමින් සිටියා. අනතුරුව එළැඹියේ නික්ම යන වෙලාවයි. දිය ඇල්ලෙන් මෑත්ව රථ වාහන නවතා ඇති තැනට පැමිණි අපි එහි වූ පුංචි කඩමණ්ඩියකින් ප්‍රණිත බෙලිමල් හකුරුත් සමඟ පානය කොට තවත් සැරිසරක නිමාව සටහන් කරමින් නැවතත් නිවෙස් බලා එන්නට පිටත් වුණා.

සටහන: චේතියා
ඡායාරූප: තරිඳු

පාහියන්ගල – සැරිසර වාර්තා

2010 සැප්තැම්බර් 12 ප්‍රතිචාර 2ක්

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය ගම්මානයේ පිහිටි පාහියන්ගල ගල්ලෙන ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයකි. ක්‍රි‍.ව. 4 වැනි සියවසේ ලංකාවේ සංචාරය කල ෆාහියන් (Fa-Hein) නම් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් සිරිපා වන්දනාවේ වඩින අතර තුර මෙම ගල්ලෙනෙහි කලක් විසීම හේතුවෙන් උන්වහන්සේගේ නමින් අද වන විට මෙම පුදබිම හැඳින්වෙයි.

ලක්දිව විසූ ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක රැසක් ගෙන ආ ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි පාහියන්ගල ගල් ලෙන, මුහුදු මට්ටමේ සිට අඩි 400ක් පමණ උසින් පිහිටි, 3000ක් පමණ විශාල ජනකායකට රැඳෙන්නට තරම් ඉඩ පහසුකම් ඇති සුවිසල් ගල්ලෙනකි.

පාහියන්ගල නැරඹීමට අප කණ්ඩායම කොළඹින් පිටත් වුණේ පාන්දර 6.00ට පමණ. කොලඹ හොරණ මාර්ගයේ ගමන්කොට බුලත්සිංහල වෙත ලඟාවන්නට ගතවූයේ පැය දෙකකට ආසන්න කාලයක්.  බුලත්සිංහල පහුවෙනකොට අවට පරිසරය බෙහෙවින් වෙනස් වෙලා. අපට හුරු පුරුදු දූවිලි පිරුණු නාගරික පරිසරය වෙනුවට මෙහි බලන බලන අත දුටුවෙ හරිත වර්ණ ගස්වැල්, අස්වැන්න නෙලන්නට ආසන්න රන්වන් කුඹුරු යාය, තැනින් තැන දක්නට ලැබෙන විවිධ මල් වර්ග.  යටගම්පිටියට කිට්ටු වෙනකොට මිනිස් වාසයෙන් හුඟාක් ඈත් වුණ ගම්මානයේ යාන වාහන හඬ ඇසෙන්නෙත් කලාතුරකින්. මිනිස් හඬකට තිබුණෙ අප කණ්ඩායමේ පිරිස කතා කල හඬක් පමණයි. එතරම්ම නිස්කලංක, සිත් නිවාලන වටාපිටාවෙත් බැලු බැලු අත පෙනෙන්නෙ කොලපාට වනාන්තරයයි.

මේ සුන්දර පරිසරය මැදින් අපි පාහියන්ගල වෙතට ගමන් කලා. විහාර භූමියට ඇතුල් වෙලා දිය පොකුණ, ඉදිකෙරෙමින් පවතින චෛත්‍යය පසු කරගෙන ඉදිරියටම ගිය අපි ගල්ලෙන පාමුල මොහොතකට නැවතුණා. සුවිසල් ගල් පර්වතය දිගේ රූරා වැටෙන ජලය, කටාරම් නොකෙටූ ගුහා දොරටුව ඉදිරියෙන් බිමට පතිත වෙන්නෙ  පිණි වැස්සක්ද දොරටුවට පසෙකින්  කුඩා දිය ඇල්ලක්ද නිර්මාණය කරමිනි.

ගල් ලෙන තුල නරඹන්න දෑ බොහෝයි. අඩි 40ක් පමණ දිගින් යුතු සැතපෙන බුදු පිළිම වහන්සේ ගල් ලෙනේ මැදට වන්නට ඉදිකර ඇත. පාහියන්ගල විහාරය නිර්මාණය කරන සමයේ භාවිතා කරන ලද යකුලක් පිළිමය තුල නිදන් කර ඇති බවද අසන්නට ලැබිණි. ගොඩනගන ලද විහාර බිත්ති වල මහනුවර සම්ප්‍රදායට හුරු බිතු සිතුවම් ඇතත් ඒවා මහනුවර යුගයට පසුව, මෑත ඉතිහාසයේදී සිතුවම් කරන ලද බව පෙනී යයි.

මේ අතර පුරාවිද්‍යා කැණීම් කටයුතු තවමත් විහර භූමිය තුල කෙරෙමින් පවතී. මෙතෙක් සොයාගන්නා ලද ඇට කටු ආදියද තැනින් තැන ප්‍රදර්ශනයට තබා ඇත. පර්යේෂණ වලින් මෙම ආදිවාසීන් මීට වසර 30000 – 37 000 අතර ඈත අතීතයේ විසුවන් බව නිගමනය කර ඇත.

පාහියන්ගල පුදබිම පුරා සංචාරය කල අපට නික්ම යන්නට කාලය උදාවිය. එහි ගත කල හෝරා කිහිපය තුල අප සිත් වඩ වඩාත් ඇද බැඳ ගත්තේ නිස්කලංක, හරිත වර්ණ පරිසරයයි. එම වනගත පරිසරය පසු කරගෙන ආපසු එද්දී දිගින් දිගටම හිතට ආවේ සිත සැහැල්ලුවෙන්, සමාධි ගත කරගෙන මෙහිම වසන්නට ඇත්නම් යන හැඟීමයි.

සටහන – චේතියා
ඡායරූප – තරිඳු

සීගිරිය සහ බඹරු 3

සීගිරිය සහ බඹරු

සීගිරිය සහ බඹරු 2

මෙම වසරේ මාර්තු මාසයේ සිදුකල බඹර සංහාරයේ පටන් බොහෝ දෙනාගේ හිත් සීගිරිය වෙනුවෙන් උණුවිය. පුවත්පත් වල පිටු ගණන් සීගිරිය වෙනුවෙන් වෙන්විය.  දෙබරෙට ගල් ගැසුවා සේ ඇවිස්සුණු සියල්ලන් දැන් සන්සුන්ය. එහෙත් දුටුගැමුණු බලකාය තවමත් පෙර පරිදිම සීගිරියේ සිදුවන දෑ ගැන සෙවිල්ලෙන් සිටීම අතහැර නැත. සිංහලයාට හැමදෙයක්ම මතක සිටින්නේ සති දෙකකැයි එක්තරා ත්‍රස්තවාදී නායකයෙක් කල ප්‍රකාශය හිස් මුදුනින් පිලිගන්නා ජාතියක් මැද මේ අයුරින් කාලීන ගැටළු ගැන ඇතිවෙන රැල්ල අවසන් වූ පසුවත් එම  ගැටළු තවමත් පවතින බව සිහි තබා ගනිමින් ඒ අනුව කටයුතු කරනා අප කණ්ඩායම අසිංහලයන් වත්දැයි ගැටළුවක් අපට ඇතිවෙමින් පවතී. ඒ අතරම පරදේසක්කාරයන්, ආක්‍රමණිකයන් සහ ත්‍රස්තවාදීන් විසින් සිංහලයා මෙසේ යැයි කියමින් අප මිනිසුන් තුලට සූක්ෂමව රිංගවූ ගතිගුණ වලින් තොර අප සැබෑ සිංහලයන්දැයි සැකයකුත් මතුවෙමින් පවතී.

කතාවෙන් කතාවෙන් මාතෘකාවෙනුත් පිට බොහෝ දුර ගිය බැවින් නැවත සීගිරියට යමු. සීගිරියේ වර්තමාන තත්වය ගැන දැන් වැඩි කතා බහක් නැත. පසුගිය දිනෙක සීගිරියේ සිංහකට අසල වැසිකිලි ගොඩනැගීමට එරෙහිව එගම වැසියන් උපවාස කලහ. පොඩි මිනිසුන්ට මේ රටේ හඬක් නගන්නට අයිතියක් නැති බැවින් ඔවුන් සිරගත විය.  පසුව නිදහස ලැබුණද සීගිරියේ සිදුවන අකටයුතුකම් වල නිමාවක් නැත. වැසිකිලි ගොඩනැගීමේ කටයුතුද  අතරමඟ නැවතී ඇති සෙයකි. අවසන් වරට අප දකින විටත් එහි කොන්ක්‍රීට් දමා තිබිණි. මේ අතර ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් කැටි වූ සීගිරි ගල සිදුරු කරමින් පවතී.  මෙය හෙණ ගහන අපරාධයක් නොවේද? සීගිරිය තුල සංචාරකයන්ට උපරිම පහසුකම් සලසනු වස් වැසිකිලි හදා  දෙන්නට තියෙන තදියම මෙම ලෝක උරුමය රැකගන්නට නොම වීම කණගාටුවකි, ඛේදවාචකයකි. ගල මුදුනේ නටඹුන් වල් වැදී ඇත. ඒවා කලකින් පිලිසකර කල බවක් පෙනෙන්නට නොවිණි.  පිළිසකර කරන්නට සංස්කෘතික අමාත්‍යාංශයට හෝ ජාතික උරුමය පිළිබඳ දෙපාර්තමෙන්තුවට සිහියක් නැත.  කොහොමහරි වැසිකිළි ටික හදාගත්තොත් ඇති වන්නේ සංචාරකයා සීගිරි යන්නේ එය පාවිච්චි කිරීමට මිස සීගිරිය නරඹන්නට නොව යැයි මොවුන් සිතා සිටින නිසා විය යුතුය.

මේ අල්ල පනල්ලේ බඹරු ආයෙම සීගිරියට පැමිණ ඇත. වසර දහස් ගණනක් පුරාවට එහි ස්ථිර පදිංචි කරුවන් වූ බඹරුන් පලවා හැරීම අපට කල නොහැක්කක් බව උන් පෙන්වා දී ඇත.  කාට නැතත් සිගිරියට හානියක් වෙන විට එහි වේදනාව බඹරුන්ට දැනේ. උන් පහර දෙන්නේ එවිටය. නැවතත් උන් බඹර වද බඳිමින්  සිටී. මෙදා පොටේ මෙම විනාශයේ අවසානයක් දකිනු රිසි අපත් රටේ පාලකයින්ට, බලධාරින්ට වඩා බඹරුන් කෙරෙහි බලාපොරොත්තු තබා ඇත්තෙමු.

පර්වත මුදුනේ නටඹුන් වල් වැදී ඇති අයුරු

මාලිගාතැන්න විවේක සේනාසනය – සැරිසර වාර්තා

බස්නාහිර පලාතේ පිහිටි උසම ස්ථානය අපට හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්නෙන්. මෙම මනරම් ගල්තලාව මත පිහිටි මාලිගාතැන්න විවේක සේනාසනය නරඹන්න දුටුගැමුණු සැරිසර කණ්ඩායම නොබෝ දිනක පිටත් වුණා.  මාර්ගය දෙපස පිහිටි මනරම් වෙල්යාය පහු කරගෙන විහාරස්ථානයට යන ගමනෙදි අවට පරිසරයෙ නිස්කලංක බවත් එක්ක අපේ හිතත් ඉබේම සැහැල්ලු වෙනවා.  විහාරස්ථානය පිහිටලා තියෙන්නෙ කන්ද පාමුලට වෙන්න. සියවස් ගණනක්  ඉපැරණි මේ පුදබිම කලින් කලට පැමිණි සතුරු ආක්‍රමණයන්හිදී හෙළ රජදරුවන්ට ආරක්ෂාව සැපයූ ස්ථානයක් බව ඉතිහාසයේ සඳහන්. එසේ මාලිගාතැන්න පුදබිමේ ආරක්ෂාව ලද රජවරුන් අතර අනුරපුර යුගයේ වළගම්බා රජුත් වෙනවා.

සේනාසනය පසුකරගෙන අපි ඊලඟට ගියේ පර්වත මුදුනෙ පිහිටි උඩ මළුවට.  උඩ මළුවේ ඇති චෛත්‍යය, බෝධිය මෙන්ම පසෙකින් දක්නට ලැබෙන කුඩා පොකුණද අපේ සිත්ගත් අංගයන් වුණා.  මෙම විහාරයට බොහෝ පැරණි ඉතිහාසයක් ඇති බවට තවත් සාධකයක් ලෙස කටාරම් කෙටූ ලෙන් කිහිපයක්ම අපට දක්නට ලැබුණා.  මේ සියල්ලටම වඩා පැහැදිලිව මුළු බස්නාහිර පලාතම පර්වත මුදුනට බොහොම අපූරුවට දර්ශනය වෙනවා. නමුත් උඩ මළුවේ චෛත්‍යයට ලඟා වෙන්නට ඇති මාර්ගය තරමක් දුෂ්කරයි.  සකස් කල ගල් පඩි පෙළක් තිබුණත්, පඩි සකස් කර නොමැති, ඉතා සුපරික්ෂාකාරීව ගමන් කලයුතු ප්‍රදේශයකුත් හමු වෙනවා. එම නිසා මාලිගාතැන්න බලන්නට යන අය හොද කල්පනාවෙන් පර්වත මුදුනට යා යුතු බවත් මතක් කර දෙන්න ඕනෙ.

ඉතාම සුන්දර වටපිටාවක, ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයන් හා සබැඳිව පවතින මාලිගාතැන්න විවේක සේනාසනයෙන් පිටත් වෙන වෙලාව හිතුවටත් වඩා ඉක්මණට එළැඹුනේ අපේ කාර්‍යබහුලත්වය නිසාමයි. කෙසේ වෙතත් විහාරයේ ඇති පැරණි කැටයම්, හිඳි පිළිමය, බෝධිය, කටාරම් කෙටූ ලෙන් ආදී මේ සියල්ල දැකබලා ගැනීමෙන් අනතුරුව  මේවා සංරක්ෂණය කර රටේ අනෙකුත් පුරවැසියන්ද මේ ගැන දැනුවත් කිරීමේ වැදගත්කම අපේ හිත් වලට දැණුනා. නිවාඩු දවස් වලට මෙසේ සැරිසර  තුලින් අප කණ්ඩායම ඉපැරණි පුදබිම් සොයා ගොස් අපේ උරුමයන් ගැන ලක් වැසියන් දැනුවත් කිරීමට මෙසේ පෙළගැසී සිටීම ගැන විටෙක අපේ හිත්වලට නැගෙන්නෙත්  පුංචි අහිංසක ආඩම්බරයක්.  යන යන හැම නගරයකම බෞද්ධ පුදබිම් පිරුණු මේ පුංචි රට හැබෑවටම ධර්මද්වීපයක්.