Archive

Archive for the ‘ධර්ම දේශනා’ Category

දහම් පද

”නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං
විපාකං පටිසේවති”

යමක් කොට පසුතැවිලි වීමට සිදුවේ නම්, දුකට පත්ව අඬමින් එහි විපාක විඳීමට සිදුවේ නම්, එවන් ක්‍රියා සිදු නොකළ යුතුය.

”තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවති”

යම් ක්‍රියාවක් කළ පසුව පසුතැවීමක් ඇතිනොවේද, එහි විපාක ප්‍රීතියෙන් යුතුව විඳීමට හැකිවේද, එවන් කටයුතු වල නියැලීම යහපත්ය.

(ධම්මපදයෙන්)

වසල සූත්‍රය

මෙය බුදු දහමේ දේශනාවන් අතුරින් සමාජ ශෝධනය සඳහා දේශනා කරන ලඳ ඉතාමත්
ප්‍රභල දේශනාවකි පෙර දඹදිව කුළ භේදය ඉතාම දරුණු ලෙස පැතිර ගිය අවධියක
බාරධ්වාජ බ්‍රාහ්මණයාට වසලයා යනු කවුරුන්දැයි හදුනා ගැනීම පිණිස බුදුරදුන් විසින්
දේශනා කරන ලදී. මිනිසෙකු වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු සිදුකරන්නාවූ ක්‍රියාවන්
වලින් බව බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව තුළින් පැහැදිළි කරන ලද අතර එය පැරණි
භාරත සමාජය තුළ මහා පෙරළියක් ඇති කිරීමට හේතු විය. මෙම දේශනාවේ මිනිසෙකු
සමාජය ඉදිරියේ වසලයෙකු වන්නේ කෙසේදැයි පියවර 33 කින් දක්වා ඇත.

1. නිතර කිපෙන බව.
2. බද්ධ වෛරයෙන් යුක්තවීම.
3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.
4. මිසදිටු අදහස් ඇතිවීම.
5. අනුන් රවටන ස්වභාවය.
6. සත්ත්ව හිංසාව.
7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.
8. අනුන් සතු දෙය සොරකම් කිරීම.
9. ණය ගෙන ණය හිමියා රැවටීම.
10. මංකොල්ලකෑම.
11. බොරු සාක්ෂ්‍ය දීම
12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි
හැසිරීම.
13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර
අකෘතඥවීම.
14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා
කිරීම හා පරොස් බස් බිණීම.
15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන්
නොමඟ යැවීම.
16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.
17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි
විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.
18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.
19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන්
කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.
20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.
21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.
22. රළු පැවතුම් ඇති බව.
23. තද මසුරු සිත් ඇති බව.
24. පවිටු අදහස් ඇති බව.
25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය.
26. කෛරාටික බව.
27. පව් කිරීමට ලජ්ජා නැතිකම.
28. පව් කිරීමට බිය නැතිකම.
29. බුදුරදුන් නිග්‍රහ කිරීම.
30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.
31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .
32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කෙරේ නම් හේ ලොව සොර
දෙටුවා බව ප්‍රකාශ කිරීම.
33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් නොවන බවත් කර්මයෙන් ( ක්‍රියාවෙන්) ම
වසලයෙක් හෝ බමුණෙක් වන බවත් දැන්වීම.

ගිහියන් උදෙසා බුදුරදුන් දේශනා කළ මෙම අගනා පිරිත් දේශනාවේ සිංහල තේරුම පහත
පිරිත් දේශනාවෙන් ශ්‍රවණය කර අප තුළ ඇති වසල ගති පන්නා දමා අප අතර සිටින
වසලයන් හදුනාගෙන ඔවුන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක්ම ළගා කරගැනීමට අදිටන්
කර ගනිමු…

Download

ප්‍රවර්ග:ධර්ම දේශනා

මෝර පිරිත

මෝර පිරිත යනු බුද්ධ දේශනාවේ සදහන් තවත් මහානුභාව සම්පන්න පිරිත් රත්නයකි. අපගේ පැරැන්නන් හිමිදිරි උදෑසන මෙම පිරිත් දේශනාව කීමෙන් තමා කරන කියන සියළුම කාර්ය්‍යන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වන බවත් කිසිදු අපල උපද්‍රවයකට තමා ලක් නොවන බවටත් දැඩි විශ්වාසයකින් පසුවිය. මෙම පිරිත වනයේ සැරිසරන්නවූ මොනර රාජයෙකු ශ්‍රී සම්බුද්ධ ශාසනය මත විශ්වාසය තබා තම දින චරියාව ආරම්භ කරන්නා සේ අපගේ දින චරියවත් සියළුම බුදුවරුන්ගේ හා අරහත් ඵලයට පත් උතුමන්ලාගේ ශීලයේ බලයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන උතුම් ප්‍රාර්ථනය පෙර දැරි කොටගෙන දේශනා කරන ලද්දකි.

සිංහල තේරුම:

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත්
කරවන්නා වූ හිරු නැගෙයි; ලොව ආලෝකමත් කරන්නා වූ හිරු රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි; ලොව ආලෝකමත් කරවන රන් පැහැයෙන් යුත් රජුනි, මම ඔබ නමස්කාර කරමි.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
උත්තමයන් කෙරෙහි වේවා. ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙසේ ආරක්ෂාව ලැබ මොණර තෙමේ (ආහාර සෙවීම පිණිස)පිටත්ව
යෙයි.

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත් කරන්නා
වූ හිරු බැස යයි. ලොව ආලෝකමත් කරන්නා වූ රන්වන් පැහැ  රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි. ඔබගෙන් ආරක්ෂාව ලැබ අපි මෙම රාත්‍රියෙහි ආරක්ෂිතව වෙසෙන්නෙමු.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
බ්‍රාහ්මණයන් කෙරෙහි වේවා.( බුදුවරුන්) ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙලෙස ආරක්ෂාව ලැබ මොණර තෙමේ ප්‍රීතියෙන් වෙසේ.

මෙම මහානුභාව සම්පන්න පිරිත් රත්නය හිමිදිරි උදෑසන ශ්‍රවණය කිරීමෙන් හා එහි අර්ථය නිතර මෙනෙහි කිරීමෙන් සෙතක් ශාන්තියක්ම උදා කර ගනිත්වා….

Download

ප්‍රවර්ග:ධර්ම දේශනා

සංස්ඛාර

බුදු දහම තුල නිතර භාවිතාවන වදන් අතුරින් සංස්ඛාර යන වදන ඉතාමත් බහුලව යෙදෙන්නකි. මෙම සංස්ඛාර යන වදන බහුලව යොදනු ලබන්නේ “යම් කිසි දෙයක් හේතුවෙන් හටගත්තාන්ම් ඒ හේතුවෙන් හටගත් ඵලය සංස්ඛාර යනු වේ” යන අර්ථයෙනි

සංස්ඛාර යන වදන, බුදු දහම හා අපේ දිවිය යන ත්‍රිත්වය පිළිබද අගනා පැහැදිළි කිරීමක් අඩංගු පහත ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් වැඩිදුර අවබෝධයක් ලබාගන්න…

මෙතනින් බාගත කරන්න

සෝම හිමියන්ගේ අගනා දහම් දේශනා මාලාවක්

ප්‍රවර්ග:ධර්ම දේශනා